ප්‍රංශ ජාතිකයන් මරීන් ලු පෙන්ගේ අන්ත දක්ෂිණාංශික 'නැෂනල් රැලී' පක්ෂයට ඡන්දය දීමට හේතු හතරක්

Marine Le Pen, co-leader of the far-right Rassemblement National (National Rally - RN) on stage after partial results in the first round of the early French parliamentary elections in Henin-Beaumont, France, on 30 June 2024

ඡායාරූප මූලාශ්‍රය, Reuters

    • Author, ඇලෙක්සැන්ඩ්‍රා ෆුෂේ
    • Role, බීබීසී ලෝක සේවය

ප්‍රංශයේ අන්ත දක්ෂිණාංශික පක්ෂය වන නැෂනල් රැලී (NR) පක්ෂය, ඉරිදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු වටයෙන් 33% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් මැතිවරණ සටනේ පෙරමුණට පැමිණීමට සමත්ව ඇත.

එරට වාමාංශික සන්ධානයක් වන New Popular Front (NPF) පක්ෂය 28%ක් ලබා ගනිමින් ඔවුන්ගේ පසුපසින් සිටින අතර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ සන්ධානය 21%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් තුන්වන ස්ථානයට පත්ව ඇත.

ඒත් සමග අන්ත දක්ෂිණාංශික පක්ෂයක් පාර්ලිමේන්තුවේ බලය දිනා ගැනීම වැළැක්වීම සඳහා මධ්‍යවාදී සහ වාමාංශික පක්ෂවලට එක්වන ලෙසට මැක්‍රොන් දැන් ඉල්ලීම් කර තිබේ.

ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයක පළමු වටය ප්‍රථම වරට ජයග්‍රහණය කිරීමට ප්‍රංශ ඡන්ද දායකයින් පෙර නොවූ විරූ ලෙස මරීන් ලු පෙන් සහ ජෝර්ඩන් බාර්ඩෙලාගේ නායකත්වයෙන් යුත් පක්ෂය වෙත යොමු වීමට බලපෑ ප්‍රධාන හේතු මොනවා ද?

සරල කාරණය නම් එය යථාර්තයක් බවට පත් වීම ඓතිහාසික ය, ප්‍රංශ ප්‍රවීණ විචාරක අලා ඩුවමෙල් පවසයි.

1) දේශීය හේතු සහ ආර්ථිකයේ තත්ත්වය

ක්‍රය ශක්තියට (වියදම් කිරීමේ හැකියාව) බලපා ඇති ජීවන වියදම් අර්බුදය එමෙන් ම බලශක්ති මිල ඉහළ යාම, සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය සහ ප්‍රංශ වැසියන් "අනාරක්ෂිතභාවය" ලෙස හඳුන්වන අපරාධ වැඩිවීම පිළිබඳව ඇති බිය ආදී උත්සුකයන් ඡන්ද දායකයින්ගේ ලැයිස්තුවේ ඉහළින් ම ඇත.

ප්‍රංශයේ ආර්ථිකය සාමාන්‍යයෙන් යහපත් වුවත්, එරට ග්‍රාමීය ප්‍රදේශවල එනම්, විශාල නගරවලින් බැහැරව වෙසෙන ජනතාව බීබීසීයට පැවසුවේ, ග්‍රාමීය ප්‍රදේශවල විරැකියාව ඉහළ මට්ටමක පැවතීම සහ එම අනුපාතය 25%ක් දක්වා ඉහළ යා හැකි තත්ත්වයක් තිබියදී අරමුදල් සහ අවධානය නගර වෙත යොමු වන වාතාවරණයක ඔවුන්ව නොසලකා හරින ලද බවක් හැඟෙන බව ය.

ප්‍රාදේශීය නිවාසවල මිල ගණන් ඇතැමෙකුට දැරිය නොහැක. ඇතැම් ප්‍රදේශවල ප්‍රතිපාදන කප්පාදුව හේතුවෙන් පාසල් වසා දමා ඇති අතර නගර මධ්‍යයේ ඇති විශාල මධ්‍යස්ථාන වෙත ගෙන යාමේ අරමුණින් ප්‍රාදේශීය සෞඛ්‍ය මධ්‍යස්ථාන වසා දැමීම බොහෝ දෙනෙකු සිත් තැවුලට පත් කිරීමට හේතු වී තිබේ.

මහාචාර්ය තෝමස් පිකෙටි බීබීසීයට පැවසුවේ, ගෝලීයකරණයෙන් ප්‍රතිලාභ ලත් පිරිසෙන් මැක්‍රොන්ට ප්‍රධාන වශයෙන් සහය ලැබෙන කණ්ඩායම ගොඩනැගෙන බව ත්, නොසලකා හරින ලද යැයි හැඟෙන පිරිස අන්ත දක්ෂිණාංශික පාර්ශවයට නැඹුරු වන බව ත් ය.

"කර්මාන්ත ශාලා වැසී ගිය, දුම්රිය, රෝහල් වැනි පොදු සේවාවන් වෙත ප්‍රවේශ වීමට අපහසු, විශාල නගරවලින් ඈත්ව සිටින නිසා තම දරුවන්ට අධ්‍යාපනය ලබා දීම දුෂ්කර වූ කුඩා නගරවල ජීවත් වන බොහෝ අයගෙන්" [දක්ෂිණාංශික පාර්ශවයට] විශාල සහයක් ලැබෙන බවට, ජනප්‍රිය කෘතියක් වන 'Capital in the 21st Century'හි කතුවරයා ද වන පිකෙටි හඳුනා ගනී.

Aurélie, a woman in Amiens
ඡායාරූප ශීර්ෂ වැකිය, ඔරෙලි පවසන්නේ, මැක්‍රොන් ප්‍රථම වරට ජනාධිපති ධූරයට වූ විට ඔහු ද ඇමියා ප්‍රදේශවාසියෙකු වූ නිසා එය ගෞරවයක් ලෙස තමාට හැඟුණු නමුත් දැන් ඇය ඔහු ගැන කලකිරී සිටින බව ය
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

යුරෝපීය මැතිවරණයේදී නැෂනල් රැලී පක්ෂයට ඡන්දය ලබා දුන්, පැරිසියේ නැගෙනහිර දෙසට වන්නට පිහිටා ඇති, පොන්ටෝ-කොම්බෝ නගරයේ පැට්‍රික් බීබීසීයට මෙසේ පැවසීය: "මෙහේ මිනිස්සුන්ට වෙනසක් ඕනේ. ඒ අය බලාගෙන ඉන්නේ ඡන්දේ දෙන්න. මහ පාරේ ආරක්ෂිතව ගමනක් බිමනක් යන්න බැහැ කියලා දැනෙද්දී ඒ අය සතුටු නැහැ."

මැක්‍රොන් හැදී වැඩුණු, උතුරු ප්‍රංශයේ ඇමියා නගරයේ වයස අවුරුදු දෙකක පුතෙකු සිටින, පිරිසිදු කිරීමේ වෘත්තියේ නියැළෙන කාන්තාවක වන 37 හැවිරිදි ඔරෙලි පවසන්නේ, NR ප්‍රතිපත්තියට ඇය එකඟ වන්නේ ආරක්ෂාව පිළිබඳව ඇති ප්‍රශ්නය නිසා බව ය.

"මම හැමදා ම උදේ 04:30 වැඩට යන්න නැගිටලා එළියට යනවා. ඇමියාවල මට බයිකලයෙන් හරි පයින් හරි ඕනේ තැනක් යන්න පුළුවන් කමක් තිබුණා. ඒත් තවදුරටත් එහෙම තත්ත්වයක් නැහැ. දැන් මම කාර් එකෙන් යන්නේ," ඇය බීබීසීයට පැවසුවා ය.

"තරුණ අය හැම වෙලේ ම රංචු ගැහිලා ඉන්නවා, සහ මට බයයි."

පසුගිය වසරේ රාජ්‍ය විශ්‍රාම වැටුප් වයස අවුරුදු 62 සිට 64 දක්වා ඉහළ දැමූ රජයේ අතිශය ජනප්‍රිය නොවන ප්‍රතිසංස්කරණ නීතියට මැක්‍රොන් අත්සන් කිරීමෙන් පසු, විශ්‍රාම වැටුප් ද ඡන්ද දායකයින් අතර ඇති උත්සුකයන්ගෙන් එකක් බවට පත්ව තිබේ.

විශ්‍රාම වැටුප් ක්‍රමය බිඳ වැටීම වැළැක්වීම සඳහා ප්‍රතිසංස්කරණය අත්‍යවශ්‍ය බව ඔහු පැවසීය.

නිවාස උණුසුම් කිරීම සඳහා විදුලිය සහ ගෑස් පිරිවැය මෑත කාලීනව ඉහළ යාම ද ඡන්ද දායකයින්ට විශාල ප්‍රශ්නයක් වී ඇති අතර, NR නායක ජෝර්ඩන් බාර්ඩෙලා පවසා ඇත්තේ, බලශක්තිය සහ අත්‍යවශ්‍ය භාණ්ඩ 100ක් මත ක්‍රියාත්මක වැට් (විකුණුම් බද්ද) කපා හැරීම සහ මාස කිහිපයකින් රජයේ විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණ අවලංගු කිරීම පිළිබඳව අවධානය යොමු කරන බව ය.

2) පවතින ක්‍රමය පිළිබඳව ඇති අතෘප්තිය

දේශපාලන ක්‍රමය කටයුතු කරන්නේ තමන් වෙනුවෙන් නොවන අතර NR රජයක් අත්හදා බලා නොමැති බව ත්, වෙනසක් විවේකයක් තරම් හිතකර විය හැකි බව ත් ඡන්ද දායකයින් බොහෝ අවස්ථාවලදී පවසා ඇත.

"මම සෑහීමකට පත්වෙනවා, මොකද අපිට වෙනසක් අවශ්‍යයි," මරීන් ලු පෙන්ගේ උතුරු බලකොටුව වන එනා බෝමෝහි (Hénin-Beaumont) 64 හැවිරිදි ජෝන්-ක්ලෝඩ් ගේලට් ඉරිදා පැවති ඡන්ද විමසීමෙන් පසු රොයිටර්ස් පුවත් සේවයට පැවසීය.

"දේවල්වල වෙනසක් සිද්ධ වෙලා නැහැ, ඒවා වෙනස් වෙන්න ඕනේ."

එනා බෝමෝහි ම වාසය කරන තවත් NR ආධාරකරුවෙකු වන 80 හැවිරිදි මාගරීට් මෙසේ පැවසීය: "ඔවුන්ට [නැෂනල් රැලී] සාර්ථක වෙන්න පුළුවන් වුණේ මිනිස්සුන් ඉන්නේ හෙම්බත් වෙලා නිසා. ඉතින් මිනිස්සු දැන් කියනවා: 'අපිට කමක් නැහැ, ඡන්දේ දීලා බලමු මොකද වෙන්නේ කියලා.'

"නමුත්, අනෙක් පක්ෂ ඒ ගමනට බාධක දමාවි කියලා මට බයක් තියෙනවා. අපි ඡන්දේ දුන්නා, මේක තමයි ප්‍රතිඵලය, අපි ඒක පිළිගන්න ඕනේ සහ අපි බලමු මොකද වෙන්නේ කියලා."

නමුත් ඒ අසල පිහිටා ඇති වෙනී (Oignies) නගරයේ පදිංචි යමිනා අදූ පැවසුවේ, NRහි සාර්ථකත්වය ගැන තමන් කම්පනයට පත් වූ බව ය.

අන්ත දක්ෂිණාංශික පක්ෂයකට සහය දැක්වීම සඳහා ඡන්ද දායකයින් මෙහෙයවා ඇති බ වත් ඔවුන්ගේ තීරණය ප්‍රංශ සමාජය තුළ බරපතළ හා භයානක බෙදීම් ඇති කළ හැකි බව ත් ඇය පැවසුවා ය:

"ඇත්තට ම, ඒකෙන් මාව කම්පනයට පත් වුණා. මට හිතෙන්නේ ඒක ඛේදනීය තත්ත්වයක්. මොකද, මොකක් ද වෙන්නේ කියලා මිනිස්සු අවබෝධ කරගෙන නැති නිසා. ඔවුන් සැලකිල්ලට ගන්නේ ක්‍රය ශක්තිය සහ කෙටි කාලීන සහ දෘශ්‍යමාන වෙනත් දේවල් විතරයි.

"නමුත් ඒ පිටුපස බොහෝ අදහස් සහ මෙහෙය වීම් තියෙනවා, ඒක අපව වෙනස් ආකාරයක යුද්ධයකට ගෙන යාවි. පළමු හා දෙවන ලෝක සංග්‍රාම වගේ නෙවෙයි, ඒක තේරුම් ගන්න අමාරු වේවි. අපි සිවිල් යුද්ධයකින් කෙළවර වේවි කියලා මිනිස්සුන්ට වැටහෙන්නේ නැහැ. මට හිතෙන්නේ එහෙමයි. සහ අපි වගේ අයට තමයි දුක් විඳින්න වෙන්නේ."

French President Emmanuel Macron greet members of the public before leaving a voting station on June 30, 2024 in Le Touquet-Paris-Plage, France.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, වත්මන් දේශපාලන අර්බුදයට ජනාධිපති මැක්‍රොන් වගකිව යුතු බව බොහෝ දෙනෙක් පවසති

රට මුහුණ දී සිටින වත්මන් අර්බුදය සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් ජනාධිපති මැක්‍රොන්ට දොස් පවරති.

The Economist පුවත් පතේ පැරිස් කාර්යාංශයේ ප්‍රධානී සොෆී පෙඩර් බීබීසීයට මෙසේ පැවසීය: "ඔහු විවිධ දේශපාලන මත දරන පුද්ගලයන් එක්රැස් කිරීම සඳහා සම්මුතිවාදී ව්‍යාපාරයක් නිර්මාණය කළා. ඒක වැඩ කළා සහ ඒක පාර්ලිමේන්තුවේ සහ දෙපාර්ශවය අතර ඇති වූ නිමක් නැති වාද විවාද අවසානයකට ගෙනාවා.

"නමුත් ඒකෙ ප්‍රතිඵලය තමයි වමේ සහ දකුණේ මධ්‍යස්ථ මතධාරීන් සියලු දෙනා මැක්‍රොන්ගේ පක්ෂයට එක්වීම සහ ඔහු සඳහා ඇති විකල්පය ලෙස අන්ත වාමාංශික හෝ දක්ෂිණාංශික දේශපාලන බලවේගයක් පත් වීම."

3) ප්‍රංශ අනන්‍යතාවය වටා ඇති සංක්‍රමණ සහ භීතීන් සමග කටයුතු කිරීම

වසර ගණනාවක් පුරා, පාර්ලිමේන්තුවේ නැෂනල් රැලී නායිකාව වන මරීන් ලු පෙන්, ප්‍රංශ ඡන්ද දායකයින්ට තම පක්ෂය වඩා ත් ගෝචර සහ වඩා ත් පිළිගත හැකි පක්ෂයක් බවට පත් කිරීමට කටයුතු කර ඇත.

ඇය ඇගේ පියා වන ජෝන්-මරී ලු පෙන් සහ ඔහුගේ ජාතික පෙරමුණේ (National Front) සෙසු නිර්මාතෘවරුන්ගේ යුදෙව් විරෝධී හා අන්තවාදී මූලයන්ගෙන් ඈත් කර එය නැෂනල් රැලී (National Rally) ලෙස නම් කළා ය.

කෙසේ වෙතත්, එය ජනතාවාදී, යුරෝසෙප්ටික් (යුරෝවිරෝධී) සහ දැඩි සංක්‍රමණ විරෝධී පක්ෂයක් ලෙස තවදුරටත් පවතී.

එහි වත්මන් නායක ජෝර්ඩන් බාර්ඩෙලා පවසා ඇත්තේ, ප්‍රංශ ද්විත්ව පුරවැසියන් "අර්ධ ජාතිකයන්" ලෙස හඳුන්වමින් ඔවුන් සංවේදී මූලෝපායික තනතුරු දැරීම තහනම් කිරීමට තමාට අවශ්‍ය බව ය.

එමෙන් ම සංක්‍රමණිකයන් සඳහා සමාජ ශුභසාධනය සීමා කිරීමට සහ විදේශික මව්පියන් සිටින දරුවන්ට ප්‍රංශ පුරවැසිභාවය සඳහා ඇති ස්වයංක්‍රීය අයිතිය ඉවත් කිරීමට ද ඔහුට අවශ්‍ය ය.

නමුත් යෝජිත, ප්‍රසිද්ධියේ හිස් ආවරණ පැළඳීම තහනම් කිරීම දැනට ප්‍රමුඛතාවක් නොවේ.

සංක්‍රමණිකයන්, විශේෂයෙන් ම මුස්ලිම් ජාතිකයින්, ප්‍රංශ සමාජයට අනුකලනය නොවනු ඇතැයි යන බිය මත පක්ෂය කටයුතු කරයි.

නිදසුනක් වශයෙන්, එක් අපේක්ෂකයෙකු වන ඉවන්කා දිමිත්‍රෝවා බීබීසීයට පැවසුවේ, ප්‍රංශයේ නීතිවලට වඩා තම ආගමික නීතිය ඉහළින් තැබීමට කැමති සංක්‍රමණිකයන්ට එරෙහිව පක්ෂය පියවර ගන්නා බව ය.

French gendarmes on their horses watch Muslim worshipers leaving the Great Mosque of Paris after the morning prayers on the first day of Islam's most important festival, the Feast of the Sacrifice (Eid al-Adha) on 16 June 2024

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, විශ්ලේෂකයෙකු අදහස් වන්නේ, පසුගිය දශකය තුළ සංක්‍රමණවලට එරෙහිව ප්‍රංශ මහජන මතය දැඩි වී ඇති බව ය

මෙය සංක්‍රමණික ප්‍රජාවන් තුළ ප්‍රධාන ධාරාවේ විශ්වාසයක් වී ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති අතර, වත්මන් නීතියෙන් ඔබ්බෙන් ඇති "ක්‍රියා" මොනවා ද යන්න පක්ෂය පැහැදිලි කර නැත.

පැරිසියේ ෆයිනෑන්ෂල් ටයිම්ස් කාර්යාංශයේ ප්‍රධානී ලීලා අබූඩ් මෙසේ පවසයි: "පසුගිය දශකය තුළ සංක්‍රමණවලට එරෙහිව ප්‍රංශයේ මහජන මතය දැඩි වෙලා තියෙන්නේ: ඔබට ඒක සිරියානු යුද්ධයත් එක්ක 2015දී සරණාගත අර්බුදය ඇති වුණු කාලය දක්වා ගෙන යන්න පුළුවන්. දේශපාලනඥයන් වෙනස් වෙන්නේ තමන්ට පේන දේට ප්‍රතිචාර දක්වන්න, ඒ කියන්නේ තමන් වටා වෙනස් වෙන දේවල්වලට ප්‍රතිචාර දක්වන්න."

යුරෝපා සංගමය සම්බන්ධයෙන් ගත කල, එහි පදනම වන යුරෝපීය නීතිවලට ප්‍රමුඛත්වය දීම අවසන් කිරීමට NR පක්ෂය පොරොන්දු වී ඇත.

එහෙත් නේටෝ විරෝධී සහ යුරෝපා සංගම් විරෝධී ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙතේ මෘදු බවක් දක්නට ඇති අතර නැෂනල් රැලී පක්ෂයේ ව්ලැදිමීර් පූටින්ගේ රුසියාව සමග පැවති සමීප සබඳතා නිහඬව ම අතහැර දමා තිබේ.

යුරෝපා සංගමයෙන් ඉවත්වීම 2022 සිට ම න්‍යාය පත්‍රයට ඇතුළත් වී නොතිබිණි.

4) සමාජ මාධ්‍යවල අන්ත දක්ෂිණාංශික හැසිරීම

Jordan Bardella, President of the National Rally (Rassemblement National, RN), a French nationalist and right-wing populist party, leaves a Paris venue after delivering a speech to the media from around the world based on the partial results of the first round of the early French parliamentary elections, on 30 June 2024 in Paris, France

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, NR නායක ජෝර්ඩන් බාර්ඩෙලා සමාජ මාධ්‍ය, විශේෂයෙන් ටික්ටොක් ඵලදායි ලෙස භාවිත කර ඇත

ප්‍රංශ අනන්‍යතාවය අහිමි වීමේ මිනිසුන්ගේ බිය සහ පුළුල් ජීවන වියදම් අර්බුදය ප්‍රයෝජනයට ගනිමින් NR පක්ෂය සරල සටන් පාඨ සහ අදහස් ගෙන හැර දක්වමින් තමන් ප්‍රචාරණ කටයුතු සාර්ථකව සිදු කර ඇත.

ඔවුන් තම ප්‍රතිරූපය ගොඩනගා ගැනීමට සහ ඡන්ද දායකයින්ට තමන් විශ්වාසදායක සහ හුරුපුරුදු යැයි හැඟවීමට සමාජ මාධ්‍ය ඉතා ඵලදායී ලෙස භාවිත කර තිබේ.

"ප්‍රංශයේ, අපි ජෝර්ඩන් බාර්ඩෙලාව ටික්ටොක් දේශපාලකයෙකු ලෙස හඳුන්වන්නේ ඔහු සමාජ මාධ්‍ය හරහා මිනිස්සු එකතු කරගන්න සහ ඒවා සමග හරි පහසුවෙන් කටයුතු කරන දේශපාලනඥයෙකු නිසා." Université de Franche-Comté හි වින්සන්ට් ලෙබ්රෝ බීබීසීහි නිව්ස්නයිට් වැඩසටහනට පැවසීය.

"ඒක ඔහුගේ සමාජ ප්‍රතිරූපය ගොඩනගා ගන්න දායක වෙලා තියෙනවා. ඔහු කියන්න හදන්නේ මොකක් ද කියලා ඔබ දන්නේ නැහැ, නමුත් ඔබ ගොඩක් දේවල් දකිනවා."

NR පක්ෂයට එරෙහිව නැගී සිටින අන්ත වාමාංශික NPF අපේක්ෂකයෙකු වන චාල්ස් කුලියෝලි පවසන්නේ "බොහෝ අය ජාතිවාදී නැහැ," යනුවෙනි. "ඔවුන් මේ ක්‍රමයෙන් හෙම්බත් වෙලා ඉන්නේ. ඔවුන් මැක්‍රොන්ගේ ප්‍රතිපත්තිවලින් හෙම්බත් වෙලා ඉන්නේ, ඔවුන්ට පොරොන්දු වෙලා තියෙන හැම දෙයකින් ම හෙම්බත් වෙලා ඉන්නේ."