පාපැදියෙන් ලොව වටා සංචාරය කළ පළමු මිනිසා දුටුවේ කුමක්ද?

ඡායාරූප මූලාශ්‍රය, Corbis/Getty Images
ජූල්ස් වර්න් ඔහුගේ ප්‍රසිද්ධ නවකතාව වන 'Around the World in 80 Days' ප්‍රකාශයට පත් කිරීමෙන් දශකයකට පසුව බ්‍රිතාන්‍ය සංචාරකයෙක් ලොව වටා සංචාරය කිරීමේ ඉලක්කය ඇතිව පිටත් විය.
කෙසේ වෙතත්, දුම්රියෙන් සහ නෞකාවෙන් සිය ගමනේ නිරත වූ වර්න්ගේ පොතේ චරිතය මෙන් නොව, තෝමස් ස්ටීවන්ස් පා පැදියක් භාවිතා කිරීමට අදහස් කළේය.
ඔහුගේ සංචාරය 1884 වසරේ දී ආරම්භ වූ අතර වසර දෙකකට වැඩි කාලයක් ඒ සඳහා ගත විය. ඔහු යළි නිවසට පැමිණීමෙන් අනතුරුව, ඔහු 'Around the World on a Bicycle' නැමැති ග්‍රන්ථයක් රචනා කළේය.
ගෝලීය වශයෙන් විශාල අවධානයක් දිනාගෙන තිබෙන මෙම ග්‍රන්ථය තුළ ඔහු උතුරු ඇමෙරිකානු මහාද්වීපය හරහා, යුරෝපය හරහා සහ ආසියාව හරහා ගමන් කරන අතරතුර දුටු දේ විස්තරාත්මකව සඳහන් කර තිබේ.
උතුරු ඇමෙරිකාවේ පළමු නැවතුම
එංගලන්තයේදී උපන් ස්ටීවන්ස් 1871 දී එක්සත් ජනපදයේ පදිංචි වූ අතර එවකට ඔහුගේ වයස අවුරුදු 17 කි.
මලල ක්‍රීඩකයෙකු නොවූ නමුත් ඔහු පා පැදි ධාවනය සඳහා දැඩි උනන්දුවක් දැක්වූ අතර එය සැලකුණේ එකල එය සැලකුණේ වංශාධිපති පුද්ගලයින්ගේ විනෝදාශයක් ලෙසයි.
ඇමෙරිකානු කතුවරයෙකු සහ චිත්‍රපට නිෂ්පාදකයෙකු වන රොබට් ඉසෙන්බර්ග්ට අනුව, ස්ටීවන්ස් මෙතරම් ජනප්‍රිය වීමට හේතුව වූයේ "ඔහු අහම්බෙන් ඉදිරියට ගිය සහ එය සිදු කිරීමට ප්‍රමාණවත් ලෙස පෙළඹවීම් ලද සාමාන්‍ය මිනිසෙකු වීමයි."
මුලදී, ස්ටීවන්ස්ගේ ඉලක්කය වූයේ උතුරු ඇමෙරිකානු මහාද්වීපය තරණය කිරීමයි, ඔහු එය සිදු කළේ මාස පහක කාලයකදී සැන් ෆ්‍රැන්සිස්කෝ සිට බොස්ටන් දක්වා පාපැදිය ධාවනය කිරීමෙන් ය.
මෙම සංචාරයෙන් අනතුරුව ජනප්‍රිය පාපැදි සඟරාවක් ස්ටීවන්ස්ට අනුග්‍රාහකත්වයක් ලබා දීමට ඉදිරිපත් වූ අතර, ඔහු ලොව වටා තම ගමන දිගු කිරීමට තීරණය කළේය.
1884 අප්‍රේල් මාසයේදී ඔහු චිකාගෝ සිට එංගලන්තයට යාත්‍රා කළේය. යුරෝපා මහද්වීපය තරණය කළ පසු, ඔහු තුර්කිය, ඉරානය, ඉන්දියාව, චීනය සහ ජපානය හරහා පා පැදිය ධාවනය කළේය.
ස්ටීවන්ස්ගේ පා පැදිය අදට වඩා බොහෝසෙයින් වෙනස් එකක් විය. එය ඉතා විශාල ඉදිරිපස රෝදයක් සහ ඉතා කුඩා පසුපස රෝදයක් සහිත penny farthing ලෙස හැඳින්වෙන බර මාදිලියක එකකි.
වාර්තා වන පරිදි, ඔහු සිය යට ඇඳුම්, තුවක්කුවක්, කූඩාරමක් ලෙස දෙගුණකින් විශාල කළ හැකි පොන්චෝ කූඩාරමක් සහ අමතර ටයරයක් වැනි කුඩා භාණ්ඩ ප්‍රමාණයක් පමණක් රැගෙන ගියේය.

ඡායාරූප මූලාශ්‍රය, Prisma/UIG/Getty Images
ඉස්තාන්බුල්හිදී හමුවීම්
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
1885 වසරේ ගිම්හානයේදී ස්ටීවන්ස් ඉස්තාන්බුල් වෙත ළඟා වූ අතර එහිදී ඔහු රාමසාන් මාසය සඳහා නගරයේ ඓතිහාසික කොටසක් වන ගලාටා හි හෝටලයක නවාතැන් ගත්තේය.
එරට ජනතාව, වීදිවල සහ විලාසිතාවල විවිධත්වය සටහන් කරමින් ඔහු ඉස්තාන්බුල් නගරය ලෝකයේ "වඩාත්ම විශ්වීය නගරවලින් එකක්" ලෙස විස්තර කළේය . ඔහු නගරයේ විචිත්‍රවත් රාත්‍රී දර්ශන විස්තර කළේය, එහිදී අතුරු මාර්ග කෝපි අවන්හල්වලින් පමණක් ආලෝකමත් වූ අතර, මිනිසුන් ඔවුන්ගේ අතේ දැල්වෙන ලාම්පු රැගෙන ඇවිද ගියහ.
කාන්තාවන් වේල්පට ඉවත හෙළමින් ට්‍රෑම් රථ සහ තොටුපළවල වෙන්වූ කාමරවල රැඳී සිට දුම් පානය කරමින් සිටින ආකාරය ද ඔහු සටහන් කළේය.
ස්ටීවන්ස් නගරයේ සංචාරය කිරීම සඳහා මාර්ගෝපදේශයක් පවා නිර්මාණය කළ අතර එය ඔහුගේම ගමන් මාර්ගය අනුගමනය කරමින් සකසන ලද්දකි.
"ඉස්තාන්බුල්හි මඟ පෙන්වන්නෙකු සමඟ ගත කරන සවස් වරුවකදී පුරාවස්තු කෞතුකාගාරය, හේගියා සොෆියා පල්ලිය, ඇඳුම් කෞතුකාගාරය, තීරු 1,001, සුල්තාන් මහමූත්ගේ සොහොන, ලෝක ප්‍රසිද්ධ ග්‍රෑන්ඩ් බසාර්, පරෙවි පල්ලිය, ගලාටා කුළුණ සහ පළමු සුල්තාන් සුලෙයිමාන්ගේ සොහොන නැරඹිය හැක."
ඔහුගේ කෘතියේදී Sufi නමැති කැරකෙන නර්තන චාරිත්‍ර සහ නගරයේ ධනවත් පවුල්වල වාසස්ථාන පිළිබඳව සාකච්ඡා කර ඇත.
ඔහුගේ රාමසාන් සංචාරයේදී ඔටෝමාන් අධිරාජ්‍යයේ ගෘහ නිර්මාණ ශිල්පය සහ මුස්ලිම් පල්ලිවල උස කුළුණු (minarets) අතර උත්සව සමයේදී එල්ලා ඇති අලංකාර පහන් කෙරෙහි පැහැදී සිටියේය.

ඡායාරූප මූලාශ්‍රය, Abdullah Freres/Buyenlarge/Getty Images
මාර්ගයේ ගමන් කරන අතරතුර, ස්ටීවන්ස්ට එවකට සුල්තාන්වරයාව සිටි දෙවන අබ්දුල් හමීඩ්ගේ රෙජිමේන්තුව (හමුදා ඒකකය) ද මුණගැසුණේය. වර්තමානයේදී ඔහු සැලකෙන්නේ තුර්කි ඉතිහාසයේ වඩාත්ම මතභේදකාරී චරිතවලින් එකක් ලෙසයි.
"මං සුල්තාන්ගේ මුහුණ දැකීමේ මගේ ඉලක්කය සපුරා ගත්තා, නමුත් එය තාවකාලික දසුනක් විතරයි."
තුර්කියේ ප්‍රමුඛ කාර්මික කලාපයක් වන İzmit බොක්ක වෙත පැමිණි ඔහු "සුදු පැහැති තීන්ත ආලේප කරන ලද ගම්මාන සවස් යාමයේ ඉතා සුන්දර දර්ශනයක් නිර්මාණය කරයි" යනුවෙන් සටහන් කළේය
මධ්‍යම ඇනටෝලියා කලාපයේ මාර්ගවලදී, ඔහුට සංචාරක කුර්දිවරුන්ගේ කඳවුරු භූමියක් හමු විය. එහි සිටි ප්‍රජාව ඔවුන්ගේ ත්‍යාගශීලීභාවයෙන් ඔහුව මවිතයට පත් කළහ.
ඔහු තමන්ව පිළිගත් කුර්දි ප්‍රජාවේ ප්‍රධානියා "හූකා (hookah) පයිප්පයකින් දුම් පානයේ නිරත වන ගෞරවනීය ෂෙයික්වරයෙකු" ලෙස සඳහන් කළේය. ඔහුට පිරිනමන ලද ආහාර සහ ඔහුගෙන් ලද ඉල්ලීමකින් තොරවම ඔහු වෙනුවෙන් සකස් කරන ලද ඇඳ පිළිබඳව ද සටහන් කළේය.
තුර්කියේ විවිධත්වය පිළිබඳ ස්ටීවන්ස්ගේ සඳහන් කිරීම් අනුව, ඔහුගේ සංචාර වෙනුවෙන් ආර්මේනියානු පූජකවරයෙකු ඔහුට බයිබලයක් තෑගි කිරීම ද ඇතුළත් විය.

ඡායාරූප මූලාශ්‍රය, ullstein bild via Getty Images
තවදුරටත් නැගෙනහිරට ගමන් කරයි
ඉරානයේ ෂා, නසර් අල්-ඩින්ගේ ආගන්තුකයෙකු ලෙස ස්ටීවන්ස් ටෙහෙරානයේ යම් කාලයක් ගත කළේය.
ටෙහෙරාන් නගරයට ආසන්නයේ පිහිටි Zoroastrian Towers of Silence වෙත ගෞවරය දැක්වීම සඳහා ඔහු මද විරාමයක් ලබා ගත්තේය. මළවුන් භූමදාන කිරීමෙන් පස දූෂිත වන බව විශ්වාස කෙරුණු හෙයින් එම ස්ථානය ඒවා ගිජුලිහිණියන්ට ආහාරය සඳහා නිරාවරණය වන අයුරින් සකස් කරන ලද පෞරාණික ස්ථානයක් වේ.
සොරොස්ටර්ගේ ගිනිදැල් බොහෝ කලකට පෙර නිවා දමා ඇති බවත්, කුළුණු පුරාණ ආගමක ශේෂයක් ලෙස පවතින බවත්, වරක් සදාකාලික ගිනිදැල් "දිවා රෑ තෙල් වත්කර දැල්වූ " බවත් ඔහු සඳහන් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, EDUCATION IMAGES/ GETTY IMAGES
ඉරානයෙන් පසු, ස්ටීවන්ස් ඇෆ්ගනිස්ථානය බලා පිටත් විය. කෙසේ වෙතත්, ඔහුට රටට ඇතුළු වීමට නොහැකි වූ බැවින් කැස්පියන් මුහුද තරණය කර නෞකාවකින් වර්තමානයේ අසර්බයිජානයේ අගනුවර වන බකු වෙත පැමිණ එතැන් සිට දුම්රියෙන් නූතන ජෝර්ජියාවේ බටුමි වෙත පැමිණියේය.
ඉන්පසු ඔහු නෞකාවෙන් ඉන්දියාවේ කල්කටා නගරයට පැමිණියේය.
ඉන්දියාවේදී, ඔහු තැබූ සටහන්වල ටජ්මහල් ස්මාරකය බෙහෙවින් වර්ණනා කළේය. ඔහු දැඩි අව් රශ්මිය ගැන පැමිණිලි කළද, දර්ශන සහ වර්ණ ඔහුගේ මේ දක්වා පැමිණි ගමනේ ප්‍රියතම අත්දැකීම් බව සඳහන් කළේය. එතැන් සිට ඔහු හොංකොං වෙත ගොස් පසුව චීනයට ගියේය. ඔහුගේ ගමනේ අවසාන නැවතුම ජපානයේ යොකොහාමා විය.
එහිදී, ස්ටීවන්ස්ට ගම්වාසීන් මුණුගැසුණු අතර ඔවුන්ව විස්තර කළේ ''ආචාරශීලීව'' සහ ''සතුටින් දිවෙගෙවන'' මිනිසුන් ලෙසයි. "ඔවුන් වෙනත් ඕනෑම ජාතියකට වඩා සතුටින් ජීවත්වෙමින් ගැටලුව විසඳීමට කටයුතු කරමින් සිටිනවා." ඔහු සටහන් කළේය. දරුවන් තුළ ඉගෙනීමට ඇති කැමැත්ත පිළිබඳව ද ඔහු මවිතයට පත් විය.
1886 වසරේ දී ඔහු වසර දෙකයි මාස අටක් පුරා පැවති සිය ගමන අවසන් කළ ස්ථානය මෙයයි.
ඔහු විසින්ම සිදු කළ ගණනය කිරීම්වලට අනුව ඔහු සැතපුම් 13,500ක් (කිලෝමීටර් 22,000ක්) පා පැදියෙන් ලෝක සංචාරයක් සම්පූර්ණ කළ පළමු පුද්ගලයා ලෙස සැලකේ. ඔහු මුලින්ම සඟරාවක ඔහුගේ සංචාරක සටහන් ප්‍රකාශයට පත් කළ අතර පසුව 1887 වසරේදී ග්‍රන්ථයක් ලෙස එළිදැක්වීය.
පෙරදිග බලපෑම' සහ විවේචනය
ස්ටීවන්ස් තමන්ට හමු වූ ප්‍රජාවන් අගය කරමින් විස්තර කළ අතර, එම කාලපරිච්ඡේදයේ බොහෝ සෙයින් ප්‍රකට කියමන් භාවිතා කළේය. ඔහු බොහෝ විට තමාට හමු වූ මිනිසුන් පිළිබඳ විස්තර කර තිබුණේ "අර්ධ ශිෂ්ටාචාරගත", "අපිරිසිදු" සහ "නූගත්" ලෙසයි.
ඇත්ත වශයෙන්ම, ඔහු තුර්කියේ සිවාස් වෙත ගිය අතරතුර, මෙසේ ලිවීය: "සාමාන්‍ය ආර්මේනියානු ගැමියෙකුගේ මනසෙහි ලාක්ෂණික තත්ත්වය ගැඹුරු, ඝන නොදැනුවත්කම සහ සදාචාරාත්මක අඳුරු බව යි."
ස්ටීවන්ස්ගේ තුර්කිය සංචාර අධ්‍යයනය කරමින් සිටින තුර්කි ලේඛක අයිදාන් සෙලික්ට අනුව ඔහු එකල බොහෝ සංචාරකයින් මෙන් පෙරදිගවාදියෙක් වන අතර එනම් පෙරදිග සංස්කෘතීන් සහ මිනිසුන් පිළිබඳ ඒකාකාර කාචයකින් බැලූ අයෙකි.
කෙසේ වෙතත්, ලේඛක රොබට් අයිසෙන්බර්ග් විශ්වාස කරන්නේ ස්ටීවන්ස්ගේ ගමන ඉදිරියට යත්ම ඔහුගේ දෘෂ්ටිකෝණය වෙනස් වීමට පටන් ගත් බවයි: "ඔහු ඇත්ත වශයෙන්ම දැඩි සංස්කෘතික දෘෂ්ටිකෝණයකින් කතා කරනවා. ඔහු සාමාන්‍ය පොදු වික්ටෝරියානු ප්‍රමිතියක් භාවිතා කළා" අයිසෙන්බර්ග් පැවසුවේය. "නමුත් ඔහු ටජ්මහලට ළඟා වූ විට සහ ඔහු එය සැබවින්ම අගය කරන විට, ඔහු ගෘහ නිර්මාණ ශිල්පය සහ කලාව ගැන බෙහෙවින් පැහැදුණු අතර එක් වරක්වත් ඔහු එය වෙනත් කිසිවකට සංසන්දනය කළේ නැහැ. ඔහු එයින් මවිතයට පත්වුණා."

ඡායාරූප මූලාශ්‍රය, Around the World on a Bicycle
පා පැදියකින් ලොව වටා සංචාරය කළ පළමු පුද්ගලයා ලෙස, ස්ටීවන්ස්ගේ කතා සඳහා එංගලන්තය සහ ඇමෙරිකා එක්සත් ජනපදය තුළ බොහෝ ඉල්ලුමක් තිබිණි. විද්වතුන්ට අනුව, ඔහුගේ වාර්තා මගින් එම කාලවකවානුවේදී බොහෝ ඇමෙරිකානුවන් ලෝකයේ සෙසු ප්‍රදේශ දුටු ආකාරය හැඩගස්වා ඇත.
තරුණ ඇමෙරිකානු වික්‍රමාන්විත චරිත වන විලියම් සැච්ට්ල්බෙන් සහ තෝමස් ඇලන් සඳහා ස්ටීවන්ස්ගේ ජීවිතය ආශ්වාදයක් බවට පත් වූ අතර ඔවුන් ද පා පැදියෙන් ඉස්තාන්බුල් වෙත සංචාරය කළහ.
මේ සියල්ලට ඔබ්බෙන්, සෙලික් විශ්වාස කරන්නේ ස්ටීවන්ස්ගේ වැදගත්ම උරුමය වන්නේ රෝද දෙකේ ගමන් ජනප්‍රිය කිරීම සඳහා ඔහු දැක්වූ සැලකිය යුතු දායකත්වය බවයි. ඔහු එය "පා පැදි විප්ලවයක්" ලෙස විස්තර කළේය.














