ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පරිසරයට වින කටින ඇලුමිනියම් සල්ලි කරන කන්ද උඩරට පවුල
පරිසරයට වින කරනා ප්‍රධානතම ද්‍රව්‍යයක් වන ඉවතලන ඇලුමිනියම් යොදා ගනිමින් විවිධ භාණ්ඩ නිපදවා මුදල් ඉපයීමට කන්ද උඩරට පවුලක් සමත් වී තිබේ.
පිළිමතලාව, ගඩලාදෙණියේ පදිංචි වයලා කන්දේවත්ත, ඇගේ දියණිය ඉසුරි සහ පුත්‍රයා තරිඳු සමග පවත්වාගෙන යන 'ද මෙටල් ෆැක්ටර්' ආයතනයෙන්, ඉවත දමන ලද ඇලුමිනියම් කෑන්, ටින් වැනි දෑ භාවිතාවෙන් විවිධ ද්‍රව්‍ය නිපදවා අලෙවි කරනු ලබයි.
පරිසරවේදීන් පෙන්වා දෙන්නේ මුහුදු වෙරළට මෙන්ම දෛනිකව නාගරික පරිසරයට එකතුවන ඉවතලන ඇලුමිනියම් ප්‍රමාණය ද පොලිතින් හා සමානවම පරිසර දූෂණයට හේතුවන ප්‍රධානතම සාධකයක් බවයි.
“අපි ඇලුමිනියම් කෑන්ස් එකතු කරලා, ඒකට තව ටිකක් ඇලුමිනියම් එකතු කරලා ඒවා උණු කරලා, වෙළදපොලේ මිලක් ගත හැකි උපයෝගිතා භාණ්ඩ හදනවා,” ව්‍යාපාරය ගැන විස්තර කරමින් වයලා කන්දේවත්ත බීබීසි සිංහල සේවයට කියා සිටියා ය.
ලාල් කන්දේවත්ත විසින් මීට අවුරුදු 30කට පමණ පෙර ආරම්භ කරන ලද පිත්තල හා ඇලුමිනියම් භාණ්ඩ නිෂ්පාදනයට ඉවත දමන ඇලුමිනියම් කෑන්, ටින් වැනි දෑ සුළු වශයෙන් යොදාගෙන තිබේ.
ඉවත දමන ඇලුමිනියම් මගින් සිදුවන පරිසර දූෂණය වළක්වා ගැනිමේ ප්‍රතිචක්‍රීකරණ වැඩසටහනක් මෙල්ටින් පොයින්ට් ව්‍යපෘතිය විසින් ආරම්භ කිරීමත් සමග ඒ හා අත්වැල් බැඳගත් ද මෙටල් ෆැක්ටර් ආයතනය ඉවතලන ඇලුමිනියම් භාවිතා කරමින් භාණ්ඩ නිෂ්පාදනය කිරිම 2021 වසරේ සිට ආරම්භ කර ඇත.
“අපේ තාත්තා ඒ කාලේ ඉඳලා ඇලුමිනියම් වැඩ කරද්දි, සමහර වෙලාවට සුළු වශයෙන් අයින් කරන ඇලුමිනියම් කෑන්, ටින් වගේ දේවල් පාවිච්චි කළා. ඊට පස්සේ තමයි මෙල්ටින් පොයින්ට් කියන වැඩසටහනින් අපිට කෑන් හම්බ වෙන්න ගත්තේ.
“තාත්තා නැති වුණාට පස්සේ අම්මයි, අයියයි, මමයි තමා මේ වැඩේ කරන්නේ. අයියා රට හිටියත් ඕඩර්ස් ගන්නවා, අපේ වැඩවලට උදවු කරනවා,” ඉසුරි කන්දේවත්ත කතා බහට එක්වෙමින් කියා සිටියා ය.
“අපේ පැත්තේ ඉවත දාන ඒවා එකතු කරන තැන් තියෙනවා. යකඩ, ඇලුමිනියම් වගේ දේවල් ඒ අය එකතු කරනවා. ඒවගේ තැන්වලින් ඇලුමිනියම් හොයාගෙන තමයි අපි මුලින්ම මේ වැඩේ පටන් ගත්තේ. පස්සේ අපිට මෙල්ටින් පොයින්ට් ව්‍යපෘතියේ සහායත් ලැබුණා මේ වැඩේ කරගෙන යන්න,” වයලා කන්දේවත්ත පැවසීය.
හැඳි ගෑරුප්පු, ආහාර දමන බඳුන්, විසිතුරු භාණ්ඩ ඇතුළු විවිධ වර්ගයේ භාණ්ඩ සියයකට වැඩි ප්‍රමාණයක් ද මෙටල් ෆැක්ටර් ආයතනය විසින් නිපදවන බව ඇය පවසන්නී ය.
“මේ කෑන් යම් කිසි උෂ්ණත්වයක් යටතේ දියර වෙනකම් උණු කරනවා. අපි ගාව විවිධ හැඩේ මෝල්ඩ් [අච්චු] තියෙනවා. ඒ මෝල්ඩ් එක පස්වලට ගහලා මෝල්ඩ් එක අච්චුව වගේ හිටිනවා. ඊට පස්සේ අර පස් ටික පෙට්ටියක් වගේ එකකින් වහලා අර පස්වලින් හදාගත්ත අච්චුව පිරෙන්න අපි උණු කරලා හදාගත්ත ඇලුමිනියම් ටික වක් කරනවා. එහෙම තමයි අපි මූලික ටික හදාගන්නේ.”
මෙරට මෙන්ම විදේශවල ද තම භාණ්ඩ අලෙවි කරන බව මෙටල් ෆැක්ටර් ආයතනයේ ප්‍රධානී බීබීසි සිංහල සේවය හා කියා සිටියා ය.
“ගොඩක් වෙලාවට මේවා හොටෙල්ස්වලට ගන්නවා. මේක හයිඑන්ඩ් මාකට් එකට තමයි යන්නේ, මොකද මේවා මිල අධික වෙනවා. ලංකාවේ ෂොප් කීපයකටත් දැනට මේ භාණ්ඩ දෙනවා. අපේ ආයතනයෙන් කෙලින්ම යවන්නේ නැති වුණත් වෙනත් ආයතන හරහා මාලදිවයින් වගේම තව රටවල් කිහිපයකටත් මේ භාණ්ඩ යනවා,” වයලා කන්දේවත්ත පැවසුවා ය.
පරිසරයට හානි කරන ඉවතලන ඇලුමිනියම් කෑන් නැවත භාවිතයට ගැනීමේ ප්‍රතිචක්‍රීකරණ වැඩසටහනක් වශයෙන් ආරම්භ කර ඇති මෙල්ටින් පොයින්ට් ව්‍යපෘතිය ගැන එහි සභාපති කීර්ති කනහර ආරච්චි බීබීසි සිංහල සේවය හා අදහස් දැක්වීය.
“ලංකාවේ ඇලුමිනියම් කෑන්ස් අපි දකිනවා, බියර් කෑන්ස් එහෙම තැන් තැන්වල තියෙනවා. ඒවා කලෙක්ට් වෙනවා ද මොකද වෙන්නේ කියලා අපි යුනිවර්සිටි ස්ටුඩන්ඩ්ලා එක්ක රිසර්ච් එකක් කළා. ඒ කරපුවාම අපිට තේරුණා මේ තියෙන කෑන්ස් එක එක අවස්ථාවල දි කලෙක්ට් වෙනවා, කොළඹ තියෙන කෑන්ස් එක දවසින් කලෙක්ට් වෙනවා, නමුත් දුර පළාත්වල හැමදාම එහෙම නෑ, ඒ කලෙක්ට් කරන ඒවා ගෙනල්ලා එක එක නිමි භාණ්ඩ හදනවා, ඒත් ඒවා නියම කොලිටි එකට වෙන්නේ නැහැ. හැබැයි මේකෙන් ලොකු ආදායමක් හම්බ වෙන්නේ නැති නිසා දැනට ඉන්න අයත් මේ කර්මාන්තයෙන් ඉවත් වෙනවා කියන එක අපි දැක්කා," ඔහු පවසයි.
මෙම තත්ත්වය හඳුනාගත් මෙල්ටින් පොයින්ට් ව්‍යපෘතිය මෙම කර්මාන්තයේ නිරත පුද්ගලයන් හට අවශ්‍ය පහසුකම් හා උපකාර ලබාදීමට ඉදිරිපත් වී ඇත.
“අපි කරන්නේ කර්මාන්තයේ ඉන්න හැමෝටම උදව් කරන එක. කලෙක්ෂන් එකට උදව් කරනවා, කර්මාන්තයේ නියැලිලා නිෂ්පාදනය කරන අයට උදව් කරනවා, නිෂ්පාදන නිමි භාණ්ඩ වෙළඳපළේ ගිහිල්ලා විකුණන්න අපි උදව් කරනවා. ඔය තුන කරන්න තමයි මෙල්ටින් පොයින්ට් පටන් ගත්තේ,” හෙතෙම කියා සිටියේ ය.
“පිළිමතලාව, ගඩලාදෙණිය තමයි හොඳම විසිතුරු භාණ්ඩ හදන්නේ පිත්තලවලින්. හැබැයි පිත්තල කර්මාන්තය සෑහෙන දුරට පහතට වැටීගෙන ගිහිල්ලා, කර්මාන්ත ශාලා වැහෙමින් තියෙන වෙලාවක තමයි මෙටල් ෆැක්ටර් අපිට හම්බ වුණේ. ඒගොල්ලොත් පරාම්පරික වෘත්තිය හිටපු අය. ඒ අය ගාව හිටියා වෘත්තීය හැකියාව තියෙන මිනිස්සු. හැබැයි ඒ කර්මාන්ත ශාලාව වැටිලා, ඒගොල්ලොත් බොහොම අමාරුවෙන් ඉන්න වෙලාවක තමයි අපි හම්බ වුණේ."
මෙල්ටියින් පොයින්ට් ආයතනය ඇලුමිනියම් කෑන් එකතු වන ස්ථාන හඳුනාගෙන එම ස්ථානවල බඳුන් සවි කරමින් ද, කසල එකතු කරන පුද්ගලයන් හරහා ද ඉවතලන ඇලුමිනියම් ප්‍රමාණයක් මිලට ගනු ලබයි.
ඉදිරියේ මේ පිළිබඳව දැනුවත් කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව කී මෙල්ටින් පොයින්ට් ව්‍යපෘතියේ සභාපතිවරයා, “අපි ඉස්සහරට වෙබ් සයිට් එකක් හදලා ඒකේ එකතු කරන තැන් මැප් කරලා, ඇලුමිනියම් කෑන් සම්බන්ධව ඉන්න එකතු කරන අයට, උණු කරන අයට වෙන්න පුළුවන්, බඩු හදන කට්ටිය වෙන්න පුළුවන්, ඒ අයට එක ප්ලැට් ෆෝම් එකක් හදනවා,”යි වැඩිදුරටත් කියා සිටියේ ය.