CID ය විරංජිත් තාඹුගලගෙන් රුපියල් කෝටි 2ක කප්පම් ගත් බව කියන සිද්ධිය කුමක් ද?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ අධ්‍යක්ෂවරයා විසින් ව්‍යාපාරික විරංජිත් තාඹුගලගෙන් රුපියල් කෝටි දෙකක කප්පමක් ලබාගත් බව කියන සිද්ධිය සත්‍යයක් නම් එය බරපතළ කරුණක් බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කොට අදාළ නිලධාරීන්ට එරෙහිව බරපතල නීතිමය පියවර ගත යුතු බවත් නීතිපතිවරයා අද (ජුලි 10 වැනිදා) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

තමාට එල්ල වී ඇති මරණීය තර්ජන සම්බන්ධයෙන් වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතේ ප්‍රතිපාදන යටතේ නිසි ආරක්‍ෂාව ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ව්‍යාපාරික විරංජිත් තාඹුගල විසින් ඉදිරිපත් කළ ඉල්ලීම සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මේ බව ප්‍රකාශ කර සිටියේය.

මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පුද්ගලයෙකුගෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් සැකකාර විරංජිත් තාඹුගලට එරෙහිව මෙම නඩුකරය ගොනු කර තිබෙන බව සඳහන් කළේය.

විරංජිත් තාඹුගල නමැති මෙම සැකකරුගේ බැංකු ගිණුම් වලට 2018 වසරේ සිට 2022 වසර දක්වා ඇමෙරිකාවේ සිට ඩොලර් 26,429,490 ක මුදලක් ලැබී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.

මේ අතරතුර සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දින තුනක් රහසිගත ආකාරයෙන් ප්‍රකාශ ලබාදී තිබූ බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සිහිපත් කළේය.

රුපියල් කෝටි 2 ක කප්පමක් ලබාගෙන ඇති බවට ප්‍රකාශයක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ එහි අධ්‍යක්ෂවරයා තමන්ගෙන් රුපියල් කෝටි 30 ක කප්පමක් ඉල්ලා එය කෝටි 5 කට අඩු කොට ඉන් කෝටි 2 ක් ලබාගෙන තිබෙන බවට මෙම සැකකරු විසින් ප්‍රකාශ කර තිබෙන බවට වාර්තා වී ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා රජයේ නිලධාරින් මේ ආකාරයෙන් කප්පම් ලබාගෙන තිබේ නම් එය බරපතල තත්ත්වයක් බවත් සඳහන් කර සිටියේය.

එවැනි නිලධාරීන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙවැනි නීති විරෝධී කටයුත්තක් සිදුවී තිබුණේ නම් ඒ සම්බන්ධයෙන් සැකකරු විසින් අල්ලස් කොමිසමට හෝ සුදුසු ආයතනයකට පැමිණිලි කිරීමට හැකියාවක් තිබෙන බවත් ප්‍රකාශ කළේය.

සැකකරු එසේ ක්‍රියා නොකොට තමන්ට එරෙහිව සිදුකරන වත්කම් පිළිබඳ පරීක්ෂණය මගහැර යාම සඳහා විවිධ ප්‍රකාශ සිදුකිරීමට මෙම නඩුව හරහා අධිකරණය වේදිකාවක් කර ගැනීමට ඉඩදිය නොහැකි බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අවධාරණය කළේය.

මෙම සැකකරු විමර්ශනවලට නිසියාකාරව සහයෝගය ලබාදී නොමැති බවත් ඔහු විසින් චෝදනා කරනු ලැබීය.

සැකකරුට එරෙහිව නඩු 5ක්

මෙම සැකකරුට එරෙහිව විවිධ අධිකරණවල නඩු පහක් පමණ පැවැති බවත් ඔහු තම අපරාධ වසන් කර ගැනීම සඳහා සහකාර පොලිස් අධිකාරීවරයෙකු උපාය දූතයෙකු ලෙස යොදාගෙන ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එය බරපතල තත්ත්වයක් බවත් පෙන්වා දුන්නේය.

ඒ අනුව වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙම සැකකරු ඉල්ලා සිටින සහනය ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට හැකියාවක් නොමැති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ඉන් අනතුරුව සැකකාර විරංජිත් තාඹුගල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපාලි ජයමාන්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා විමර්ශන කටයුතුවලට සහාය නොදක්වන බවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එල්ල කළ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළේය.

නීති විරෝධී වත්කම් විමර්ශන අංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ අධ්‍යක්ෂවරයා තම සේවා දායකයාගෙන් මුදල් ලබා ගැනීමේ සිද්ධියට අදාල සියලු හඬපට සහ වීඩියෝ පට සිය සේවා දායකයා සතුව තිබෙන බවත් නීතිඥවරයා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේය.

මුල් අවස්ථාවේදී තම සේවා දායකයා නීති විරෝධී වක්කම් විමර්ශන අංශයට ගොස් ප්‍රකාශ ලබාදීමට සූදානම් වුවත් ඔහුගෙන් නිසියාකාරව ප්‍රකාශ ලබා නොගත් බවත් ඔහු පැවසීය.

තමා සේවාදායකයාගෙන් නීති විරෝධී වත්කම් විමර්ශන අංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ අධ්‍යක්ෂවරයා රුපියල් කෝටි දෙකක මුදලක් ලබාගත් සිද්ධිය සම්බන්ධයෙන් වෙනම පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙන්ම අල්ලස් කොමිසමේ ද සිටින්නේ එම නිලධාරීන්ගේ සමකාලීනයින් බවත් එම නිසා අදාළ පැමිණිල්ල ඉදිරිපත් කිරීම ගැටලු සහගත බවත් නීතීඥවරයා කියා සිටියේය.

මහජන ආරක්ෂක අමාත්‍යවරයාද තම සේවා දායකයා සමග අමනාප තත්ත්වයකින් පසුවන බව පෙන්වා දුන් නීතිඥවරයා අමාත්‍යවරයා කළ ඇතැම් ප්‍රකාශ වලින් ඔහුගේ ජීවිතයට තර්ජන එල්ල වී තිබෙන බවත් කියා සිටියේය.

එබැවින් වින්ඳිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතේ විධි විධානය යටතේ තම සේවාදායකයාට ආරක්ෂාව ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින බව විත්තියේ නීතිඥවරයා සඳහන් කළේය.

‘වින්දිතයකු වශයෙන් හඳුනාගත නොහැකියි’

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ ප්‍රකාශ කළේ සැකකාර විරංජිත් තාඹුගල මෙම නඩුවේ වින්දිතයකු වශයෙන් හඳුනාගත නොහැකි බව ය.

ඒ අනුව සැකකරු විසින් කරනු ලැබූ ඉල්ලීමට අදාළව නියෝගයක් නිකුත් කළ නොහැකි බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුට තිබෙන තර්ජන සම්බන්ධයෙන් සුදුසු ආයතන වෙත පැමිණිලි කිරීමට ඔහුට හැකියාවක් තිබෙන බවත් සඳහන් කළාය.

පුද්ගලයෙකු රවටා රුපියල් මිලියන හැත්තෑවක මුදලක් ලබාගෙන සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ව්‍යාපාරික විරංජිත් තාඹුගල ඉකුත්දා අත්අඩංගුවට ගෙන ලැබූ අතර පසුව ඔහු ඇපමත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබුණි.

තමන් සම්බන්ධයෙන් කරන විමර්ශනවලට අදාළව විරංජිත් තාඹුගල නොකඩවා දින තුනක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවේ රහස් ප්‍රකාශ ලබා දී තිබුණි.