කඳු මුදුන්වල අවිධිමත් ඉදිකිරීම් සිදුකිරීමේ අවදානම කුමක් ද?

අප ජීවත් වන පෘථිවිය විවිධ පාරිසරික සහ ජෛව විවිධත්වයෙන් යුත් දේශගුණික කලාපයන් ගෙන් සමන්විත වේ.

මෙම පරිසර කලාපයන් තුළ අපගේ ඇසට පෙනෙන මෙන්ම නොපෙන ජෛව විවිධත්ව ක්‍රියාකාරකම් සිදුවන අතර ඒවා පෘථිවියට සහ එහි ජීවීන්ගේ පැවැත්මට උපකාරී වන බව පරිසරවේදීන් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ද එකිනෙකට වෙනස් දේශගුණික කලාපයන් යටතේ ජෛව විවිධත්වයෙන් යුත් පාරිසරික කලාප පිහිටා ඇති අතර, මිනිස් ක්‍රියාකාරකම් නිසා ඒවායේ පැවැත්මට මේ වන විට හානි සිදුවෙමින් පවතින බව පරිසරවේදීන් මෙන්ම සාමාන්‍ය ජනතාව අදහස් ප්‍රකාශ කර සිටියි.

ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීමට ගෝලීයව ගත් තීරණය

දේශගුණික විපර්යාසය, ජෛව විවිධත්වය විනාශවීම, රසායනික දූෂණයන් නිසා ජලය සහ භූමිය විනාශ වීම යන කරුණු නිසා ස්වාභාව ධර්මය ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් බව පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ බීබීසී සිංහල සේවය වෙත ප්‍රකාශ කළේ ය.

"මෙම පරිසර පද්ධති තුළ ගංඟා, ඇල දොළ, කඳු වැනි සොබාවිකව තිබෙන මේ භූමි පද්ධති සහ පරිසර පද්ධති ආරක්ෂා කර ගන්න මුළු ලෝකයේම විශාල සාකච්ජාවක් පැවැත්වුණා 2020 වසරේ ඉඳලා. ඒ අනුව 2022 වසරේ දී 'ග්ලෝබල් බයෝ ඩයිවසිටි ෆ්‍රේම්වර්ක්' කියලා එකක් හැදුවා. ඒකේ තියනවා 30%ක් තියන ලෝකයේ පරිසර පද්ධති ආරක්ෂා කරන්න ඕන කියලා. ඒක අනුව තියෙන ප්‍රධාන පරිසර කලාපයක් තමයි මේ කඳු, උස් බ්ම් ඇතුළු අනෙකුත් පරිසර කලාප පද්ධති අප එයට ගන්න ඕන.

"නමුත් අපි කරන්නේ පුළුවන් තරම් විනාස කරන එක. ඒවායේ බිම තියෙන වගා කරන්න පුළුවන් ස්ථාන සියල්ල වනසලා ඉවරයි. වැසි වනාන්තර විනාශ කරමින් යනවා, අපිට තව ඉතුරු වෙලා තියෙන්නේ සුළු ඉන් සුළු ප්‍රමාණයක් පමණයි. වගුරු බ්ම් අපි ගොඩ කරලා වනසනවා, කුඹුරු ඉඩම් ගොඩ කරලා වනසනවා. අපිට යන්තම් හෝ ඉතිරිව තියෙන්නේ මේ කඳු ටික පමණයි. නමුත් දැන් වන විට මෙම කඳු ආශ්‍රිතව විවිධ ඉදිකිරීම් සඳහා අත්පත් කරගෙන යමින් ඇති බවක් පෙන්නුම් කරනවා," පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා පැවසුවේ ය.

කඳු ආශ්‍රිත ඉදිකිරීම් නිසා පරිසරයට ඇතිවිය හැකි බලපෑම්

කඳු ඇතුළු මෙම සියලු පරිසර පද්ධතින්හි ජෛව විවිධත්වයට හානි පමුණුවමින් සහ ජනතාවට ඒවා දැක බලා ගැනීමට ඇති අවකාශය අහුරමින් විවිධ පාර්ශව විසින් එම පරිසර කලාප සහ ප්‍රදේශ අත්පත් කර ගැනීම මඟින් විශාල විනාශයක් සිදුවෙමින් පවතින බව ජ්‍යෙෂ්ඨ උපදේශක විතානගේ අවධාරණය කර සිටියේය.

"කඳු වලින් තමයි අපට ජලාශ ඇතුළු ජල මූලාශ්‍ර ආරම්භ වෙන්නේ. මිනිස් ක්‍රියාකරකම් නිසා ඒවා සිඳී ගොස් මහජනතාවට ඉදිරියේ දී ජල හිඟයකට මුහුණ දීමට සිදුවෙන්න පුළුවන්. විවිධ ඉදිකිරීම් වලදී බෝර දැමීමෙන් පස් බුරුල් වෙලා ඒ හරහා හානි සිදුවෙන්න පුළුවන්. වැසි සමයේ දී නාය යෑම් ආදිය ඇති වෙලා මිනිස් ජිවිත විනාශ වෙන්න පුළුවන්.

"අනෙක් අතින් මේ සංවේදී පරිසර කලාප වල පිහිටි ජෛව විවිධත්වයට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා සොබාවික පරිසරයට එල්ල විය හැකි තර්ජනය විශාලයි," ඔහු ප්‍රකාශ කළේය.

ආගම් භේදයෙන් තොරව කඳු පන්ති ආරක්ෂා කර ගැනීම වැදගත්

මේ වන විට මෙරට සිටින ඇතැම් පිරිස් ආගමික වශයෙන් ද, තවත් පිරිසක් සංචාරක කර්මාන්තය නාමයෙන් හෝටල් ඉදිකරමින් ද, තවත් පිරිසක් හන්තානේ වැනි කඳු ආශ්‍රිතව නිවාස ව්‍යපෘති ඉදිකිරීම් සිදුකරමින් ද යන බව ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා පැවසුවේ ය.

"මේවා ඇත්තටම ආරක්ෂාවී තිබෙන්න ඕන ස්ථාන. මේ කඳු ඇතුළු මේ පරිසර පද්ධති සියල්ලම එක ජාතියක්, එක ආගමක් අයිතිකර ගන්නවා නෙමෙයි අපි හැමෝටම පොදුවේ ඒවා විඳින්න තියෙන අයිතිය උල්ලංඝණය කරමින් මේ කරන්නේ විශාල විනාශයක්. පූජ්‍ය පක්ෂ විසින් අනවසරයෙන් මේ වගේ දේවල් කරගෙන යෑම හරහා ගැටලුවක් ඇතිවනවා. සමාජ ගැටලුවක් මෙන්ම ඒකෙන් පාරිසරික ගැටලුවක් ඇති වනවා. ඒවා කරන්න අවශ්‍ය නීති රීති හරහා තමයි ඒ කාරණා සිද්ධ කරන්නට ඕන. විශේෂයෙන් මේ ඉඩම් වල අයිතිය පිලිබඳ ගැටළු තිබෙනවා. බලපත්‍රයක් තිබුණාම ඒ කඳු පන්තියේ තිබෙන සොබාවික ලක්ෂණය වෙනස් කරලා ආගමික ස්ථානයක් හදන්න ඒගොල්ලන්ට අවසර දෙනවද? එහෙම අවසරයක් දෙන්නේ නැහැ."

"ඉඩම අයිති වෙන්න පුළුවන් කාට හරි. නමුත් ඒවා ආරක්ෂා කර ගන්න ප්‍රමිතියක් තියෙන්න ඕන," ඔහු පවසයි.

"අපිට මේක නීතියෙන් කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් සියලුම බෞද්ධ සංඝයාවහන්සේලා එකතු වෙලා මේ කඳු පන්ති සියල්ලම සොබාවධර්මය ආරක්ෂා කරනවා කියන ප්‍රතිපත්තියකට එන්න ඕන. ඒක රාජ්‍ය ප්‍රතිපත්තියක් විය යුතු වනවා. අපිට පන්සල් වලට විරෝධයක් නෙමෙයි මේ තියෙන්නේ. අපේ සොබාවිකව තියෙන කඳු මුදුන් ටික විනාශ වෙන්න ඉඩ නොදී රැකගත යුතුයි කියලයි මේ කියන්නේ. එහෙම තැන්වල පන්සලක් හැදුවත්, කෝවිලක් හැදුවත්, පල්ලියක් හැදුවත් ඒක වැරදියි. ඒ වගේම හෝටල් ඉදිකිරීමටත් අපි විරුද්ධයි," ඔහු ප්‍රකාශ කළේය.

දෘශ්‍ය දූෂණය ගැන පැවරූ නඩුව

කඩුගන්නාවේ ආශ්‍රිතව ඉදිකර තිබූ වෙළඳසැල් පෙළ හේතුවෙන් පරිසරයට ඇතිවන දෘශ්‍ය දූෂණය නිසා 1996 වසරේදී පරිසර පදනම විසින් අධිකරණය හමුවේ මාවනැල්ල ප්‍රාදේශීය සභාවට එරෙහිව නඩු පැවරීමක් සිදුකළ බව ජ්‍යෙෂ්ඨ උපදේශක විතානගේ සඳහන් කළේය.

"එසේ නඩු පවරන්න හේතුව වුණේ බලන සහ බතලේගල යන ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම වෙළෙදසැල් ඉදිකොට තිබීම නිසයි. ඒ දාපු නඩුවේ ප්‍රතිඵලයක් විදිහට තමයි කඩුගන්නාවේ ඉදිකර තිබූ ඒ වෙළෙඳසැල් පාරෙන් අනෙක් පැත්තට ගත්තේ.

"ඒ නඩු තීන්දුවෙන් වෙළෙඳසැල්වල ඉදිකර තිබූ බිල්බෝඩ් පනස් ගානක් අපි ගැලෙව්වා. ඒකට ප්‍රධාන හේතුව තමයි බලන සහ බතලේගල පිහිටි වීව් එක වහගෙනයි මේ කඩ පේලිය තිබුණේ. අපි නඩු තීන්දුවකින් ඒක අයින් කළේ බතලේගල පේන වීව් එක ආරක්ෂා කර ගන්නයි. දැන් ඒ වීව් එකේ ගිහින් ආගමික ස්ථානයක් හැදුවම එතන විව් එක සම්පූර්ණයෙන්ම විකෘති වෙනවා," ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ය.

කඳුකරයක් යනු ස්වභාවික පරිසර පද්ධතියකින් සැදුම්ලත් තැනක් බැවින් ඉදිකිරීමකදී ගස් කැපීම හා ස්වභාවික පස් තට්ටුවට බාධා පැමිණවීම මඟින් එම පරිසර පද්ධතියට අයත් ජෛව විවිධත්වයට බාධා කිරීමක් සිද්ධ වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් පර්යේෂණ අංශයේ හිටපු අධ්‍යක්ෂ ආර්. එම්. එස්. බණ්ඩාර බීබීසී සිංහල සේවය වෙත පැවසුවේය.

ඔහු සඳහන් කළේ ඉදිකිරීම් සඳහා කඳු බෑවුම් ආශ්‍රිතව පිහිටි ගස් කැපීම නිසා ඒ ආශ්‍රිතව ලැබෙන වර්ෂාපතනය පවා නොලැබී යාමෙන් ජල පෝෂක වලට බාධා එල්ල විය හැකි බවයි.

කඳු ආශ්‍රිත අවිධිමත් ඉදිකිරීම් නිසා ඇතිවිය හැකි බලපෑම් මොනවා ද?

"විශේෂයෙන් කඳු මුදුන් සහ කඳු බෑවුම් ආශ්‍රිතව අවිධිමත් ලෙස ඉදිකිරීමක් සිදුකළොත් මූලිකව සිදුවෙන්න පුළුවන් දේ තමයි ඒ ප්‍රදේශය අස්ථායි වෙලා නාය යෑම් ආදිය සිද්ධ වෙන්න තිබෙන හැකියාව," නායයෑම් පර්යේෂණ අංශයේ හිටපු අධ්‍යක්ෂකවරයා පැවසුවේ ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, "නාය යෑම් එක්ක කඳු ආශ්‍රිතව සිදුකරන ඉදිකිරීම් හා ඒ අවට තිබෙන පරිසරයට මෙන්ම එහි ජීවත් වන පුද්ගලයින්ටත් හානියක් වෙන්න පුළුවන්. අවිධිමත් විදිහට ඉදිකිරීම් කරන්න ගිහිල්ලා පස සෝදා පාළුව වැඩි වෙනවා. ඒ එක්කම ඒ සෝදා පාළුවට ලක්වෙන පස් ගංඟා වලට එකතු වීම සිද්ධ වෙන්න පුළුවන්.

"ඒ වගේම ඉදිකිරීමක් පමණක්‌ නොවෙයි වගා කටයුතු සිදුකරද්දී මේ ගැන අවධානයක් යොමු කරන්න වෙනවා," ඔහු සඳහන් කළේ ය.

අවදානම් කලාප සිතියම්ගත කිරීම

නාය යෑමේ අවදානම් සහිත කලාප හඳුනා ගැනීම සඳහා දිස්ත්‍රික්ක වශයෙන් එම ස්ථාන නම් කරමින් සිතියම්ගත කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගත් බවද ඔහු ප්‍රකාශ කළේ ය.

"මේ පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අධ්‍යයනයන් කරලා සිතියම්ගත කිරීම් කරලා තියෙනවා මොන කඳු බෑවුම ද අවදානම්, මධ්‍ය අවදානම් සහ ආරක්‍ෂිත කියලා ලංකාව පුරාම පිහිටි දිස්ත්‍රික්ක 13ක."

"ඒ අනුව ඉදිකිරීම් කරද්දී අදාළ සිතියම දිහා බලලා අධි අවදානම් කලාප වලදී ගත යුතු මාර්ගෝපදේශයකුත් දීලා තියනවා. ඒ මාර්ගෝපදේශ මාලාව අනුව කටයුතු කළ යුතු වෙනවා. ඒක තමයි පිළිපැදිය යුතු කරුණ වන්නේ. නමුත් ලංකාවේ එහෙම මාර්ගෝපදේශයක් තිබුණොත් පිළිපදින්නේ නැහැනේ. ඒවා නොසලකාහැරීම් වලට භාජනය කරනවා."

"ඒ හින්දා තමයි අපි හැම වැස්සකදීම දකින්නේ නාය යෑමක්, ඉවුරු කඩා වැටීමක්, ගල් පෙරලීමක්. එහෙම වෙන්නේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ලබාදුන් මාර්ගෝපදේශ අනුව කටයුතු නොකරන නිසයි.

"ඒක හින්දම 2011 වසරේ දී ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කළා ඕනෑම කඳු බෑවුමක ඉදිකිරීමක් සිදුකරන විට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශයක් ලබා ගන්න කියලා. ඉදිකිරීමට අදාළ සැලැස්මට ප්‍රාදේශීය සභාව තමයි අනුමත කිරීම ලබා දීම සිදුකරන්නේ. ඒ අනුව කඳු බෑවුම් ආශ්‍රිතව සිදුකරන ඉදිකිරීම් වලදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන නිර්දේශය ඇතුළත් කරලා අදාළ අවසරය ලබා දෙන්න කියා චක්‍රලේඛය මඟින් දැනුම් දුන්නා ඒක පිළිපදින්න කියලා. ගොඩක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල එම චක්‍ර ලේඛය අනුව කටයුතු කළත් ඇතැම් අවස්ථාවන් වලදී ඒවා අනුගමනය නොකරන ස්ථානත් තිබෙනවා. ඒවාට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කළ යුතුයි."

"ගොඩනැගිලි පමණක් නොවෙයි කඳු බෑවුම් ආශ්‍රිතව මාර්ග ඉදිකිරීම්, ජලාශ ඉදිකිරීම් වලදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති මාර්ගොපදේශ මාලාව අනුගමනය කිරීම වැදගත් වනවා. එසේ නොමැති වීමෙන් ඇතිවන නාය යෑම් වැනි ආපදා නිසා මිනිස් ජීවිත මෙන්ම දේපල හානි සිදුවන්න පුළුවන්," යනුවෙන් ඔහු පැවසුවේය.

උස් කඳු මුදුනක ඉදිකිරීමක් සිදුකළ හැකි ද?

උස් කඳු මුදුන්වල ඉදිකිරීම් සම්බන්ධයෙන් පවතින නෛතික තත්ත්වය කුමක් ද යන්න සම්බන්ධව බීබීසී සිංහල සේවය කරුණු සොයා බැලීය.

පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ ප්‍රකාශ කළේ ඉදිකිරීම සිදුකරන ඉඩමේ හිමිකාරීත්වය කුමන පාර්ශවයකට හිමි වුවත් පරිසරයට හානියක් සිදුකිරීමට කිසිම අවසරයක් නොමැති බවයි.

"උස් කඳු මුදුන්වල එය රජයේ ඉඩමක් නම් කොහොමත් ඒක තහනම්, මොකද 'අදර් ස්ටේට් ෆොරස්ට්' කියන කැටගරි එකට වැටෙනවා. එහෙම තැන්වල ඉදිකිරීම්, එළිපෙහෙළි කිරීම් මොකුත් කරන්න බැහැ. එය නීතියෙන් තහනම්. ඊළඟට, කඳු මුදුන් ආශ්‍රිතව ආගමික ස්ථානයක් ඉදිකිරීමට නම් බෞද්ධ කටයුතු කොමසාරිස්ගෙන් අවසරය ඕන. එමෙන්ම නිකායෙන් අවසරය තිබෙනවා ද, ඉදිකිරීම සිදුකරන්න යන ස්වාමින් වහන්සේ අදාළ නිකායේ හිමිනමක් ද කියලා සොයා බැලීමක් සිදුකරලා තමයි අවසර ලබාදීමක් සිද්ධ කරන්නේ."

"එමෙන්ම කඳු මුදුන් ආශ්‍රිත සිදුකරන ඕනෑම ඉදිකිරීමක් සඳහා අවසර දීමට පෙර නාය යෑමේ අවදානමක් තිබෙනවා ද, පස් සෝදා යාමේ අවදානමක් තිබෙනවා ද, ජල පෝෂක ප්‍රදේශවලට හානියක් සිදධ වෙන්න පුළුවන් ද, කසල බැහැර කිරීමේ දී අදාළ පරිසර කලාපයට හානියක් සිදුවෙනවා ද කියන නීතිමය පැති ගණනාවක් බලන්න වෙනවා. පළාත් පාලන ආයතන විසින් ඉදිකිරීමක් සිදුකරන්න පෙර අදාළ සැලසුම අනුමත කරන්න පෙර අදාළ ගොඩනැගිල්ලට අදාල නිසි කසල, මලාපවාහන සහ අප ජලය බැහැර කිරීමේ පද්ධතියන් ඇත්ද යන්න සොයා බැලීම සිදුකළ යුතුයි," නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ පැවසුවේය.

නිරිතදිග මෝසම සමග මධ්‍යම කඳුකරයට ඇතිවන තත්ත්වය

මැයි මාසයේ අවසන් සතියේ සිට සැප්තැම්බර් මාසය දක්වා නිරිතදිග මෝසම් වැසි තත්ත්වය මධ්‍යම කඳුකරයට බලපෑම් එල්ල කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පවසයි.

"නිරිතදිග මෝසම් වැසි තත්ත්වය වර්ධනය වීමත් සමග මහනුවර, නුවරඑළිය සහ රත්නපුරය දිස්ත්‍රික්ක ආශ්‍රිතව වැසි තත්ත්වයන් ඇතිවනවා. විශේෂයෙන්ම දිවයින ආශ්‍රිත වායු ගෝලයේ කැළඹීම් තත්ත්වයන් මත වැසි තත්ත්වය වර්ධනය වීම නිසා දිවයිනේ බටහිර බෑවුම් කලාපයට වැසි ඇතිවීමට පුළුවන්," නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසුවේය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිරිතදිග සහ ඊසානදිග මෝසම් වැසි තත්ත්වයන් ඇතිවන කාලසීමාව නාය යාම, ඉවුරු කඩා වැටීම, ගල් පෙරලීම් බහුලව සිදුවන කාල සීමාවන් ලෙස අනතුරු ඇඟවීම් සිදු කර සිටියි.