ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇප පෙත්සම ඉල්ලා අස් කර ගනී: නීතිඥයා අධිකරණයට කීවේ කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඇප මත මුදා හරින ලෙසට හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඉදිරිපත් කර තිබූ පෙත්සම අද (ඔක්: 02) ඉල්ලා අස් කර ගැනිණි.
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මෙම ප්‍රතිශෝධන පෙත්සම ගොනු කර තිබුණේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලමිනි.
ප්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමෙන් අනතුරුව එය නිෂ්ප්‍රභ කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේ ය.
මෙම පෙත්සම අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ කැඳවනු ලැබී ය.
ශෂීන්ද්‍රගේ නීතිඥයා අධිකරණයට කීවේ කුමක් ද?
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, මෙම පෙත්සම ඉල්ලා අස්කර ගන්නා ලෙස තම සේවාදායකයා තමන්ට උපදෙස් ලබා දී ඇති බව ය.
ඒ අනුව, අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
එම ඉල්ලීම පිළිගත් කොළඹ මහාධිකරණ විනිසුරුවරයා අදාළ ප්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙමින් එය නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළේ ය.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022 වසරේ මැයි මස 09 වන දා ඇති වූ අරගලයේදී හානියට පත්වීමෙන් පසු එකී දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදු කර රුපියල් 8850000ක් වන්දි ලබා ගැනීම තුළින් "දූෂණය" නමැති වරද සිදුකිරීම සහ මහවැලි අධිකාරිය සතු දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් කළ චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ශෂීන්ද්‍ර රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.














