ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ටීබී ජෝෂුවා: ලෝක ප්‍රකට දේව සභාවක නායකයා සිදුකළ ස්ත්‍රී දූෂණ සහ වධහිංසා හෙළිවෙයි
ලොව විශාලතම ක්‍රිස්තියානි එවැන්ජලික දේව සභාවේ නිර්මාතෘවරයා විසින් සිදු කරන ලද මහා පරිමාණ අපචාර සහ වධහිංසා පැමිණවීම් පිළිබඳ සාක්ෂි අනාවරණය කර ගැනීමට බීබීසීයට හැකිව තිබේ.
සියලු ජාතීන්ගේ සිනෙගොග් දේව සභාවේ (Synagogue Church of all Nations/SCOAN) හිටපු සාමාජිකයන් විශාල පිරිසක් (බ්‍රිතාන්‍ය ජාතිකයන් පස් දෙනෙක් ද ඇතුළුව) නයිජීරියාවේ නැසීගිය ටීබී ජෝෂුවා විසින් සිදු කරන ලද ස්ත්‍රී දූෂණ, බලහත්කාර ගබ්සා කිරීම් ඇතුළු කෲරකම් ගැන චෝදනා කරති.
නයිජීරියාවේ ලේගොස්හි රහසිගත අංගනයක සිදුව ඇති බවට චෝදනා එල්ල වන මෙම අපයෝජන වසර 20කට ආසන්න කාලයක් පුරා විහිද යයි.
සියලු ජාතීන්ගේ සිනෙගොග් දේව සභාව (SCOAN) මෙම චෝදනාවලට ප්‍රතිචාර නොදැක්වූ නමුත් මීට පෙර ඒ සම්බන්ධයෙන් සිදු කෙරුණු ප්‍රකාශ පදනම් විරහිත බව පැවසීය.
2021 වසරේ දී මියගිය ටීබී ජෝෂුවා, ලොව පුරා අතිවිශාල අනුගාමිකයන් පිරිසක් සිටි ආකර්ෂණීය හා අතිසාර්ථක දේශකයෙක් සහ රූපවාහිනිය හරහා ආගමික ඉගැන්වීම් සිදු කළ එවැන්ජලික ධර්ම ප්‍රචාරකයෙකු විය.
වසර දෙකක කාලයක් පුරා සිදු කළ විමර්ශනයකට පසු බීබීසීය අනාවරණය කර ගත් කරුණු වන්නේ:
- ළමා අපයෝජන සහ මිනිසුන්ට කසයෙන් තළා දම්වැල්වලින් බැඳ තැබූ සිදුවීම් ඇතුළුව ජෝෂුවා විසින් සිදු කරන ලද ශාරීරික හිංසනය හෝ වධහිංසා පැමිණවීම් පිළිබඳ ඇසින් දුටු සාක්ෂි විශාල ගණනක්
- ජෝෂුවා විසින් ඔවුන්ට ලිංගික අතවර කරන ලද බව පවසන කාන්තාවන් විශාල ගණනක් ඇතුළුව එම ගොඩනැගිලි සංකීර්ණය තුළ වසර ගණනාවක් නැවත නැවතත් දූෂණයට ලක් වූ බව පවසන කාන්තාවන් බොහෝ ගණනක්
- ගබ්සා කිරීම් පහකට ලක් වූ බව පවසන කාන්තාවක ඇතුළුව, ජෝෂුවා විසින් සිදු කරන ලදැ යි කියන දූෂණවලින් පසු දේවස්ථානය තුළ බලහත්කාරයෙන් ගබ්සා කිරීම් පිළිබඳ නැගෙන බහුවිධ චෝදනා
- ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් වෙත විකාශනය කෙරුණු ජෝෂුවාගේ "ආශ්චර්යමත් සුව කිරීම්" ව්‍යාජ ලෙස සකස් කළ ආකාරය ගැන විස්තර කරන පෞද්ගලික අත්දැකීම් සම්බන්ධ සාක්ෂි
වින්දිතයින්ගෙන් එක් අයෙකු වන රේ නම් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව 2002 වසරේදී බ්‍රයිටන් විශ්වවිද්‍යාලයයේ ඇගේ උපාධිය අතහැර දේව සභාවට බඳවා ගන්නා විට 21 වන වියේ පසුවූවා ය. ඇය එතැන් පටන් ඊළඟ වසර 12 ගත කළේ, ලේගොස්හි පිහිටි වංකගිරියක් වැනි කොන්ක්‍රීට් අංගනය තුළ ජෝෂුවාගේ ඊනියා "ශ්‍රාවකයෙකු" ලෙසිනි.
"අපි හැමෝම හිතුවේ අපි ස්වර්ගයේ ඉන්නේ කියලා, නමුත් අපි හිටියේ අපායේ, භයානක දේවල් සිද්ධ වෙන අපායක," ඇය බීබීසීයට පැවසුවා ය.
රේ පවසන්නේ, ඇය ජෝෂුවා අතින් ලිංගික අතවරයට ලක් වූ බව ත් වසර දෙකක කාලයක් හුදකලා මැදිරියක රඳවා සිටි බව ත් ය. අපයෝජන කෙතරම් දරුණු ලෙස සිදුව තිබුණේ ද යත්, ඇය පවසන්නේ, අංගනය තුළදී ඇය කිහිප වතාවක් ම සියදිවි නසා ගැනීමට පවා උත්සහ කළ බව ය.
SCOAN සඳහා ලොව පුරා අනුගාමිකයින් සිටින අතර, එය Emmanuel TV නමින් ක්‍රිස්තියානි රූපවාහිනී නාලිකාවක් සහ මිලියන සංඛ්‍යාත නරඹන්නන් ඇති සමාජ මාධ්‍ය ජාල ගිණුම් ද පවත්වාගෙන යයි. 1990 ගණන්වල සහ 2000 ගණන්වල මුල් භාගයේ දී, යුරෝපය, ඇමෙරිකාව, අග්නිදිග ආසියාව සහ අප්‍රිකාවේ සිට දස දහස් ගණන් වන්දනාකරුවෝ ජෝෂුවා "සුව කිරීමේ ප්‍රාතිහාර්යයන්" සිදු කරනු දැකීමට නයිජීරියාවේ පිහිටි දේවස්ථානය වෙත ඇදී ආහ. එලෙස පැමිණි පිරිසෙන් අවම වශයෙන් 150 දෙනෙක් පමණ ඔහු සමග ශ්‍රාවකයන් ලෙස ලේගොස්හි ඔහුගේ අංගනය තුළ ඇතැම් විට දශක ගණනාවක් යන තුරු ජීවත් වූහ.
එක්සත් රාජධානිය, නයිජීරියාව, එක්සත් ජනපදය, දකුණු අප්‍රිකාව, ඝානාව, නැමීබියාව සහ ජර්මනිය යන රටවල ඔහුගේ හිටපු "ගෝලයන්" 25කට වැඩි පිරිසක් බීබීසී සමග අදහස් දැක්වූයේ, මෑතකාලීනව, එනම් 2019 වසරේ දී ලද අත්දැකීම් ද සමගින් දේවස්ථානය තුළ ඔවුන්ගේ අත්දැකීම් පිළිබඳ තහවුරු කෙරෙන ප්‍රබල සාක්ෂි ද ලබා දෙමිනි. වින්දිතයෝ බොහෝ දෙනෙක් මෙම දේව සභාව හා සම්බන්ධ වන විට නවයොවුන් වියේ පසු වූ අය වූහ. බ්‍රිතාන්‍යය සම්බන්ධ සිදුවීම්වල දී, ලේගොස් වෙත අදාළ පිරිස් ප්‍රවාහනය සඳහා එක්සත් රාජධානියේ වෙනත් දේවස්ථාන ද සම්බන්ධීකරණයෙන් ජෝෂුවා විසින් මුදල් ගෙවනු ලැබ ඇත.
රේ සහ සම්මුඛ සාකච්ඡාවට එක්වූ තවත් බොහෝදෙනෙකු ඔවුන් ආගමික කල්ලියකට බැඳී සිටීමෙන් ලද අත්දැකීම් එකිනෙකා සමග ගැලපීමට උත්සහ කළේ ය.
නැමීබියාවේ ජෙසිකා කයිමු පවසන්නේ, ඇගේ ජීවිතයේ දුක්ඛිත කාල පරිච්ඡේදය වසර පහකට වඩා වැඩි කාලයක් පැවති බව ය. ජෝෂුවා ඇය මුල් වරට දූෂණයට ලක් කරන විට ඇයට වයස අවුරුදු 17ක් වූ බව ත්, පසුව ඔහු අතින් දූෂණය වීම හේතුවෙන් එහි සිටියදී ඇය අවස්ථා පහකදී බලහත්කාර ගබ්සා කිරීම්වලට භාජනය වූ බව ත් ඇය පවසයි.
"ඒවා හොර රහසේ වගේ සිද්ධ වුණේ... අපිට දීපු වෛද්‍ය ප්‍රතිකාර... ඒවායින් අපි මැරෙන්නත් ඉඩ තිබුණා," ඇය බීබීසිය පැවසුවා ය.
සම්මුඛ සාකච්ඡාවට සහභාගි වූ අනෙක් පිරිස පවසන්නේ, ඔවුන් නිරුවත් කර විදුලි රැහැන් සහ අශ්වයින්ට තැළීමට භාවිත කරන කසවලින් පහර දුන් බව ත්, නිතිපතා ඔවුන්ට නින්ද අහිමි කළ බව ත් ය.
ඔහුගේ අභාවය සිදු වූ 2021 ජූනි මාසයේදී, ටීබී ජෝෂුවා අප්‍රිකානු ඉතිහාසයේ වඩාත් ම බලගතු දේවගැතිවරයෙකු ලෙස ප්‍රශංසාවට ලක් විය. දරිද්‍රතාවෙන් නැගී සිටි ඔහු එවැන්ජලික අධිරාජ්‍යයක් ගොඩනගාගත් අතර දේශපාලන නායකයින්, ප්‍රසිද්ධ පුද්ගලයින් සහ ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩකයින් විශාල ගණනක් එහි හවුල්කරුවන් විය.
කෙසේ වෙතත්, ඔහුගේ ජීවිත කාලය තුළ යම් මතභේදාත්මක තත්ත්වයක් ඇති වූ සිදුවීමක් වූයේ 2014 වසරේ දී දේවස්ථානය වන්දනා කිරීම සඳහා පැමිණි පිරිස් රැඳී සිටි නවාතැන්පොළක් කඩා වැටී අවම වශයෙන් පුද්ගලයන් 116 දෙනෙකු මියයාම ය.
ජාත්‍යන්තර මාධ්‍ය වේදිකාවක් වන openDemocracy සමග සිදු කරන ලද බීබීසීයේ විමර්ශනය, එම දේව සභාවේ අභ්‍යන්තරයේ සිටි පුද්ගලයන් කිහිප දෙනෙකු ඒ පිළිබඳව ප්‍රසිද්ධියේ කතා කිරීමට ඉදිරිපත් වූ පළමු අවස්ථාව ය. ඔවුන් පවසන්නේ, වසර ගණනාවක් තිස්සේ ඒ පිළිබඳව අනතුරු ඇඟවීමට ඔවුන් උත්සහ ගත්ත ද එය සාර්ථක ලෙස මැඩපැවැත් වූ බව ය.
නයිජීරියාවේ සිටින අපගේ සාක්ෂිකරුවන් ගණනාවක් පවසන්නේ, මීට පෙර අපයෝජනවලට එරෙහිව හඬ නැගීමෙන් පසු සහ එම චෝදනා ඇතුළත් වීඩියෝ යූටියුබ්හි පළ කිරීමෙන් පසු ඔවුන් ශාරීරික පහරදීම්වලට ලක් වුණු බව ත්, එක් අවස්ථාවකදී වෙඩි ප්‍රහාරයකට පවා ලක්වුණු බව ත් ය.
2022 මාර්තු මාසයේ දී පොදු මාර්ගයක සිට දේවස්ථානයේ ලේගොස් අංගනයේ දර්ශන පටිගත කිරීමට උත්සහ කළ බීබීසී කාර්ය මණ්ඩලය දෙසට ද එහි ආරක්ෂකයින් විසින් වෙඩි ප්‍රහාර එල්ල කර පැය ගණනාවක් රඳවා තබා ගැනිණි.
අපගේ විමර්ශනයේ දී බීබීසීය චෝදනා අතැතිව සියලු ජාතීන්ගේ සිනෙගොග් දේව සභාව සම්බන්ධ කර ගැනීමට උත්සහ කළේ ය. ඊට ඔවුහු ප්‍රතිචාර නොදැක්වූ නමුත් ටීබී ජෝෂුවාට එරෙහි පෙර ප්‍රකාශ ප්‍රතික්ෂේප කළහ.
"දේවගැති ටීබී ජෝෂුවාට එරෙහිව පදනම් විරහිත චෝදනා එල්ල කිරීම අලුත් සිදුවීමක් නොවේ... ඒ කිසි ම චෝදනාවක් කිසිවිටෙකත් සනාථ වී නැත" යනුවෙන් ඔවුහු සඳහන් කළහ.
බීබීසීය වෙත අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය පුරවැසියන් හතර දෙනෙකු පවසන්නේ, දේවස්ථානයෙන් පැනවිත් ඔවුන් එක්සත් රාජධානියේ බලධාරීන්ට අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි කළ බව ය. නමුත් ඒ පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ගයක් නොගත් බව ඔවුහු පවසති.
ඊට අමතරව, බ්‍රිතාන්‍ය පුද්ගලයෙක් සහ ඔහුගේ බිරිඳ දේවස්ථානයෙන් පළාවිත් 2010 මාර්තු මාසයේ දී ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ කටුක අත්දැකීම් සහ වීඩියෝ සාක්ෂි (SCOANහි සාමාජිකයින් ද වන පොලිසිය ලෙස හඳුන්වන පිරිසක් ගිනිඅවි අතේ තබාගෙන සිටින දර්ශන ද ඇතුළුව) නයිජීරියාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වෙත ඊමේල් කළහ. එම ඊමේල් පණිවිඩයේ ඔහු සඳහන් කර තිබුණේ, ඔහුගේ බිරිඳ ජෝෂුවා විසින් නැවත නැවතත් ලිංගික අතවරයට ලක් කර දූෂණය කරනු ලැබ ඇති බව ය.
එක්සත් රාජධානියේ විදේශ කාර්යාලය මෙම ප්‍රකාශයන්ට ප්‍රතිචාර නොදැක්වූ නමුත්, ලිංගික අතවර සහ විදේශයන්හි බ්‍රිතාන්‍ය ජාතිකයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඇතුළු අපරාධ පිළිබඳ සියලු ම වාර්තා ඉතා බැරෑරුම් ලෙස සැලකිල්ලට ගන්නා බව බීබීසීයට පැවසුවේ ය.
ජෝෂුවාගේ වැන්දඹුව වන එව්ලින්ගේ නායකත්වය යටතේ, SCOAN අද වනවිටත් දියුණු වෙමින් පවතියි. 2023 ජූලි මාසයේ දී ඇය ස්පාඤ්ඤයේ සංචාරයකට නායකත්වය දුන්නා ය.
වයස අවුරුදු 17දී SCOAN හා සම්බන්ධ වීමට එක්සත් රාජධානියේ ඩර්බි නගරය හැර ගිය අනේකා බීබීසීය වෙත පැවසුවේ, තවමත් හඬ නැගීමට නොහැකි වූ තවත් බොහෝ වින්දිතයින් සිටින බව ඇගේ විශ්වාසය බව ය. ජෝෂුවාගේ ක්‍රියා හෙළි කිරීමට ඉදිරි පියවර ගනු ඇතැ යි ඇය බලාපොරොත්තුවෙන් පසුවෙයි.
"මේ මනුස්සයාට මේ තරම් කාලයක් මේ විධියට ක්‍රියා කරන්න හැකි වුණේ කොහොම ද කියලා දැන ගන්න සියලු ජාතීන්ගේ සිනෙගොග් දේව සභාව ගැන ගැඹුරු විමර්ශනයක් කරන්න අවශ්‍යයි කියන එකයි මගේ විශ්වාසය," ඇය පැවසුවා ය.