ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මාස 15ක 'දරුගැබක්': ‘ප්රාතිහාර්යක්’ බව කියන අද්භූත ගැබ්ගැනීම් ගැන බීබීසී හෙළිදරව්ව
- Author, යෙමිසි ඇඩගොකෙ, චියාගෝසී න්වොන්වු සහ ලීනා ෂයිකූනී
- Role, බීබීසී ලෝක සේවය
තම ඇකයේ සිටින 'හෝප්' නමැති පිරිමි දරුවා තම පුත්‍රයා බව චියෝමා දැඩිව ප්‍රකාශ කරයි. අවුරුදු අටක අසාර්ථක ගැබ් ගැනීමේ උත්සහයන්ගෙන් පසු ඇය ඔහු දකින්නේ ප්රාතිහාර්යයක් ලෙස ය.
"මම තමයි මගේ දරුවාගේ අයිතිකාරයා," ඇය මුරණ්ඩු ස්වරයකින් පවසයි.
ඇය නයිජීරියානු රාජ්‍ය නිලධාරියෙකුගේ කාර්යාලයේ ඇගේ සැමියා වන අයික් අසල අසුන්ගෙන සිටින අතර ඒ වන විටත් එම නිලධාරියා ඔවුන්ගෙන් පැයකට ආසන්න කාලයක් ප්‍රශ්න කර තිබිණි.
ඇනම්බ්‍රා ප්‍රාන්තයේ කාන්තා කටයුතු සහ සමාජ ශුභසාධන කොමසාරිස්වරිය ලෙස කටයුතු කරන ඉෆී ඔබිනාබෝට පවුල් ආරවුල් විසඳීමේ අත්දැකීම් ඕනෑ තරම් තිබෙන නමුත් ඇයට මෙය සාමාන්‍ය ගැටලුවක් නොවේ.
කාර්යාල කාමරයේ සිටින අයික්ගේ පවුලේ සාමාජිකයින් පස් දෙනෙක් ද 'හෝප්' මෙම යුවළගේ ජීව විද්‍යාත්මක දරුවා යැයි විශ්වාස නොකරති.
මාස 15ක් පමණ දරුවා "තම කුස තුළ දරා" සිටි බව චියෝමා පවසයි. නමුත් කොමසාරිස්වරියට සහ අයික්ගේ පවුලේ සාමාජිකයින්ට ඒ ගැන ඇත්තේ අවිශ්වාසයකි.
චියෝමා පවසන්නේ, දරුවෙකු වදන ලෙස තමා වෙත අයික්ගේ පවුලේ සාමාජිකයින්ගෙන් බලපෑම් එල්ල වුණු බව ය. ඔවුහු විටෙක අයික්ට වෙනත් කාන්තාවක හා විවාහ වන ලෙස පවා පැවසූහ.
මංමුලාසහගත වීමත් සමග ඇය සාම්ප්‍රදායික නොවන "ප්‍රතිකාර" ලබා දෙන "සායනයකට" වෙත ගියා ය. එය ඇදහිය නොහැකි සහ හද කම්පාකරවනසුලු මව්වරුන් වීමේ අභිලාෂයෙන් මංමුලා වී සිටින කාන්තාවන් ගොදුරු කර ගන්නා ළදරුවන් ජාවාරම් කරන කූටෝපක්‍රමයක් විය.
සිය ප්‍රජාව තුළ පළිගැනීම්වලට ලක් වීමෙන් ආරක්ෂා කිරීම සඳහා අප මෙම ලිපියේ සඳහන් චියෝමා, අයික් සහ අනෙක් පුද්ගලයින්ගේ නම් වෙනස් කර ඇත.
'ප්රාතිහාර්යමය ප්‍රතිකාරය'
නයිජීරියාව ලෝකයේ ඉහළ ම උපත් අනුපාතිකයක් ඇති රටකි. දරුවෙකු වදන ලෙසට එරට කාන්තාවන්ට බොහෝවිට සමාජයෙන් පීඩනයක් එල්ල වන අතර ඔවුන් ඒ සඳහා අපොහොසත් වේ නම් ප්‍රජාව තුළ කොන් කිරීම හෝ අපයෝජනයට පවා ලක් වේ.
මෙම පීඩනයත් සමග ඇතැම් කාන්තාවෝ තම මාතෘත්වය පිළිබඳ සිහිනය සැබෑ කර ගැනීමට දරුණු තීරණ ගැනීමට පවා පෙළඹෙති.
වසරකටත් වැඩි කාලයක් පුරා BBC Africa Eye මෙම "අද්භූත ගැබ්ගැනීම්" ජාවාරම ගැන විමර්ශනය කළේ ය.
වෛද්‍යවරුන් හෝ හෙදියන් ලෙස පෙනී සිටින මෙම ජාවාරම්කරුවන් කාන්තාවන්ට ඒත්තු ගන්වන්නේ, ඔවුන් ගැබ් ගැන්වීම සහතික කළ හැකි "සරුබව සඳහා ප්රාතිහාර්යමය ප්‍රතිකාරයක්" තමන් සතුව ඇති බව ය. ආරම්භක "ප්‍රතිකාර" සඳහා සාමාන්‍යයෙන් ඩොලර් සිය ගණනක් වැය වන අතර එය එන්නත් කිරීම, බීමට ලබා දෙන හෝ යෝනි මාර්ගයට ඇතුළු කරන ද්‍රව්‍යයකින් සමන්විත වේ.
විමර්ශනය අතරතුර අපත් සමග කතා කළ කිසිදු කාන්තාවක හෝ නිලධාරියෙකු මෙම ඖෂධවල ඇත්තේ කුමක්දැයි නිශ්චිතව ම දැන සිටියේ නැත. නමුත් කාන්තාවන් කිහිප දෙනෙකු පැවසුවේ, ඉන් තම ශරීරයේ යම් වෙනස්කමක් සිදු වූ බව ය. එනම්, ගැබ්ගත් බව ඒත්තු ගැන්වෙන, උදරය ඉදිමීම වැනි ලක්ෂණ ඇති වූ බව ඔවුහු පැවසූහ.
මෙම "ප්‍රතිකාර" ලැබූ කාන්තාවන්ට සාම්ප්‍රදායික වෛද්‍යවරුන් හෝ රෝහල් වෙත නොයන ලෙස අනතුරු අඟවා තිබුණේ කිසිදු ස්කෑන් හෝ ගර්භණී පරීක්ෂණයකින්, ජාවාරම්කරුවන් පවසන පරිදි ගර්භාෂයෙන් පිටත වැඩෙන "දරුවා" හඳුනාගත නොහැකි බව පවසමිනි.
දරුවා "ප්‍රසූත කිරීමට" කාලය පැමිණි විට, මෙම කාන්තාවන්ට පවසා තිබුණේ, ප්‍රසූතිය ආරම්භ වන්නේ ඔවුන් "දුර්ලභ හා මිල අධික ඖෂධයක්" ලබා ගත් විට පමණක් බව ය. ඒ සඳහා තවදුරටත් මුදල් ගෙවීමට අවශ්‍ය විය.
"ප්‍රසූතිය" සිදුවුණු ආකාරය ගැන සඳහන් සාක්ෂි එකිනෙකට වෙනස් ය. නමුත් ඒ සියල්ල ම හද කම්පාකරවනසුලු වේ. ඇතැම් කාන්තාවන්ට සිහි නැති කර තිබුණේ, සිසේරියන් සැත්කමක් කළ බව ඇඟවීමට කැපුමක සලකුණක් ඇතිව අවදිවීමට ඉඩ සැලසීමට පමණි. තවත් සමහරුන් පවසන්නේ, ඔවුන්ට එන්නතක් ලබා දුන් අතර එය තමන් දරුවෙකු බිහි කරන බව ඇඟවෙන පරිදි නිදිබර, මායාකාරී තත්ත්වයකට පත් කළ බව ය.
කුමන ආකාරයකින් හෝ කාන්තාවන් ඔවුන් බිහි කළ බව කියන ළදරුවෙකු සමගින් එම ක්‍රියාවලිය අවසන් වේ.
චියෝමා, කොමසාරිස් ඉෆීට පවසන්නේ, "ප්‍රසූතිය" සඳහා තමාට කාලය පැමිණි විට, වෛද්‍යවරයෙකු බව කියන පුද්ගලයා ඇගේ ඉණ ප්‍රදේශයට එන්නතක් විද දරුවා පහළට තල්ලු කරන ලෙස [ප්‍රසූතිය සඳහා] පැවසූ බව ය. ඇය 'හෝප්' ලැබීමෙන් පසු සිය ක්‍රියාවලිය අවසන් වූයේ කෙසේ දැයි නොකියන නමුත් ප්‍රසූතිය "වේදනාකාරී" බව පවසයි.
"වෛද්‍ය රූත්" නමින් හැඳින්වෙන කාන්තාවක හා සම්බන්ධ වෙමින් වසර අටක් තිස්සේ දරුවෙකු ලැබීමේ අභිලාෂයෙන් සිටින යුවළක් ලෙස පෙනී සිටිමින් අපි මෙම රහසිගත "සායනවලින්" එකකට රිංගා ගැනීමට සමත් වූයෙමු.
වෛද්‍යවරයෙකු බව කියන මෙම "වෛද්‍ය රූත්" සෑම මසක ම දෙවන සෙනසුරාදා දින ඇනම්බ්‍රා ප්‍රාන්තයේ ඉයාලා නගරයේ ජරාවාස වූ හෝටලයක ඇයගේ සායනය පවත්වාගෙන යයි. ඇගේ කාමරයෙන් පිටත, කාන්තාවන් සැලකිය යුතු සංඛ්‍යාවක් හෝටල් කොරිඩෝවේ ඇය එනතුරු බලා සිටින අතර එතන සිටි ඇතැමෙකුගේ උදරය ඉදිරියට නෙරා තිබුණු බවක් පෙනෙන්නට විය.
මුළු පරිසරය ම ධනාත්මක බවින් පිරී ගොස් ඇත. එක් අවස්ථාවක, කාමරය තුළින් ප්‍රීති ඝෝෂා හඬක් ඇසෙන්නේ කාන්තාවක ගැබ්ගෙන ඇති බව පැවසීමෙන් පසුව ය.
ඇය හමුවීමට අපගේ රහසිගත වාර්තාකරුවන්ගේ වාරය එළඹි විට, "වෛද්‍ය රූත්" ඔවුන්ට පවසන්නේ ප්‍රතිකාරය සාර්ථක වන බවට සහතික වන බව ය.
ඇය එහි සිටින කාන්තාවට එන්නතක් ලබා දෙන්නේ, එමගින් යුවළට තම අනාගත දරුවාගේ ලිංගිකත්වය "තෝරා ගැනීමට" හැකි වන බව පවසමිනි. එය වෛද්‍යමය වශයෙන් කළ නොහැකි දෙයකි.
ඔවුන් එන්නත් කිරීම ප්‍රතික්ෂේප කළ පසු, "වෛද්‍ය රූත්" ඔවුන්ට කුඩු කරන ලද පෙති අඩංගු කුඩා පැකට්ටුවක් මෙන් ම සංසර්ගයේ යෙදිය යුතු වේලාව පිළිබඳ උපදෙස් සමග නිවසේදී ගැනීමට තවත් පෙති කිහිපයක් ද ලබා දෙයි.
මෙම මූලික ප්‍රතිකාරය සඳහා නයිරා 350,000ක් (ඇමෙරිකානු ඩොලර් 200කට වඩා වැඩි) වැය වේ.
අපගේ රහසිගත වාර්තාකරු මෙම ඖෂධ නොගෙන "වෛද්‍ය රූත්ගේ" උපදෙස් ද කිසිවක් අනුගමනය නොකරන අතර සති හතරකට පසු ඇයව බැලීමට නැවත පැමිණේ.
අපගේ වාර්තාකරුගේ උදරය හරහා අල්ට්‍රාසවුන්ඩ් ස්කෑනරයක් වැනි උපකරණයක් යැවූ පසු හෘද ස්පන්දනයක් වැනි ශබ්දයක් ඇසෙන අතර "වෛද්‍ය රූත්" ඇයට ගැබ් ගැනීම සම්බන්ධයෙන් සුබ පතයි.
ඔවුන් දෙදෙනා ම ප්‍රීතියෙන් ඔල්වරසන් දෙති.
ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙන් පසු, "වෛද්‍ය රූත්" දරුවාගේ උපත සඳහා අවශ්‍ය "හිඟ" සහ මිල අධික ඖෂධයක් සඳහා ගෙවීමට අවශ්‍ය මුදල කොපමණ දැයි පැහැදිලි කරයි. එහි මිල නයිරා මිලියන 1.5ත් 2ත් අතර (ඩොලර් 1,000) අතර වේ.
මෙම ඖෂධය නොමැතිව, දරුවෙකු බිහි කිරීම මාස නවයකට වඩා දිගු විය හැකි යැයි "වෛද්‍ය රූත්" විද්‍යාත්මක කරුණු නොසලකා හරිමින් ප්‍රකාශ පවසයි: "දරුවා හරියට හැදෙන එකක් නැහැ - අපිට ආයෙත් හදන්න වේවි."
"වෛද්‍ය රූත්" බීබීසීය විසින් ඇයට එල්ල කරන ලද චෝදනාවලට ප්‍රතිචාර දක්වා නැත.
මෙම ප්‍රකාශ ඊට සම්බන්ධ වූ කාන්තාවන් කොතෙකුත් දුරට විශ්වාස කරනවා ද යන්න අපැහැදිලි ය.
නමුත් ඔවුන් එවැනි නිර්ලජ්ජිත බොරුවලට හසු වන්නේ මන්දැයි යන්න වටහා ගත හැකි ඉඟි ගර්භණීභාවය පිළිබඳ වැරදි තොරතුරු බහුලව පැතිරී ඇති මාර්ගගත සමූහ (online groups) තුළ සොයාගත හැකි ය.
අසත්‍ය තොරතුරු ජාලයක්
අද්භූත ගැබ්ගැනීම් යනු, පිළිගත් වෛද්‍ය සංසිද්ධියක් වන අතර එහිදී ගර්භණී අවධියේ අවසානය වන තුරු ම කාන්තාවක තම ගැබ් ගැනීම ගැන නොදැන සිටියි.
නමුත් අපගේ විමර්ශනයේදී බීබීසීය විසින් ෆේස්බුක් සමූහ සහ පිටුවල මෙවැනි ගැබ් ගැනීම් පිළිබඳව පුළුල්ව පැතිරුණු වැරදි තොරතුරු සොයා ගන්නා ලදී.
ඇමෙරිකාවේ කාන්තාවක, තම "අද්භූත ගැබ්ගැනීම්" සඳහා ෆේස්බුක් පිටුවක් සකසා එහි ඒ ගැන සඳහන් කරන අතර, තමා "වසර ගණනාවක්" ගැබ්ගෙන සිටි බවත්, තම ගමන් මග විද්‍යාවෙන් පැහැදිලි කළ නොහැකි බවත් කියා සිටී.
සාමාජිකයින් සඳහා පමණක් වෙන්වුණු ෆේස්බුක් සමූහ තුළ ඇති බොහෝ පෝස්ට්වල ආගමික වචන භාවිත කරන්නේ, මෙම ව්‍යාජ "ප්‍රතිකාරය" දරු ඵල නොමැති අය සඳහා "ප්රාතිහාර්යයක්" ලෙස වර්ණනා කිරීමට ය.
මෙම සියලු වැරදි තොරතුරු මෙම වංචාව පිළිබඳ කාන්තාවන්ගේ විශ්වාසය ශක්තිමත් කිරීමට උපකාරී වේ.
මෙම කණ්ඩායම්වල නයිජීරියාවේ පමණක් නොව, දකුණු අප්‍රිකාව, කැරිබියන් සහ ඇමෙරිකාවේ පවා සමාජිකයෝ සිටිති.
පහසුවෙන් හසු කර ගත හැකි පිරිසක් ගොදුරු කර ගැනීම සඳහා ජාවාරම්කරුවන් ද භාවිත කර ඇත.
මෙම වංචා ක්‍රියාවලිය ආරම්භ කිරීමට යමෙකු සූදානම් බව ප්‍රකාශ කළ පසු, ඔවුන්ට වඩාත් ආරක්ෂිත වට්ස්ඇප් සමූහ වෙත සම්බන්ධ වන ලෙසට ආරාධනා කරනු ලැබේ.
‘'මම තාම ව්‍යාකූල වෙලා ඉන්නේ'
"ප්‍රතිකාරය" සම්පූර්ණ කිරීම සඳහා වංචාකරුවන්ට අලුත උපන් බිළිඳුන් අවශ්‍ය බවත්, ඒ සඳහා ඔවුන් ගබ්සාව නීති විරෝධී රටක අඩු වයසින් ගැබ්බර වූ, මංමුලාසහගතව සිටින සහ අවදානමට ලක්විය හැකි කාන්තාවන් සොයා යන බව බලධාරීහු අප හා පවසති.
2024 පෙබරවාරියේදී, ඇනම්බ්‍රා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යංශය චියෝමා සිය පුතු බව කියන හෝප් "ප්‍රසූත" කළ ස්ථානය වැටලීය.
බීබීසීය විසින් එම වැටලීමේ දර්ශන ලබා ගන්නා ලද අතර, එහි ගොඩනැගිලි දෙකකින් සමන්විත දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණයක් පෙන්නුම් කළේ ය.
එක් ගොඩනැගිල්ලක පෙනෙන විදිහට සේවාදායකයින් සඳහා වෙන් කෙරුණු වෛද්‍ය උපකරණ අඩංගු කාමර තිබුණු අතර, අනෙක තුළ ගැබිනි කාන්තාවන් කිහිප දෙනෙකු ඔවුන්ගේ කැමැත්තට පටහැනිව රඳවා තිබිණි. ඇතැමෙක් වයස අවුරුදු 17ක් තරම් බාල වියේ පසු වූහ.
ඉන් කිහිප දෙනෙකු අප හා පවසන්නේ, තමන් රවටා ඒ වෙත ගෙන ගිය බවත් තම බිළිඳුන් ජාවාරම්කරුවන්ගේ ගනුදෙනුකරුවන්ට විකුණනු ලබන බව නොදැන සිටි බවත් ය.
ඌජු [ඇගේ සැබෑ නම නොවේ] වැනි තවත් පිරිස්, තමන් ගැබ්ගෙන ඇති බව තම පවුලට පැවසීමට බිය වූ අතර එයින් ගැලවීමට මගක් සෙවූහ. තම දරුවා වෙනුවෙන් නයිරා 800,000 (ඩොලර් 500ක් පමණ) පිරිනැමුණු බව ඇය පැවසුවා ය.
තම දරුවා විකිණීමට ගත් තීරණය ගැන ඇය පසුතැවිලි වනවා දැයි ඇසූ විට ඇය පවසන්නේ, "මම තාමත් ව්‍යාකූල වෙලා ඉන්නේ" යනුවෙනි.
මෙම ජාවාරම මැඩලීමට ප්‍රාන්තය දරන ප්‍රයත්නවල කොටස්කාරියක වූ කොමසාරිස් ඔබිනාබෝ පවසන්නේ ජාවාරම්කරුවන් බිළිඳුන් ලබා ගැනීම සඳහා ඌජු වැනි අසරණ තත්ත්වයේ පසුවන කාන්තාවන් ගොදුරු කර ගන්නා බව ය.
උණුසුම් වූ ප්‍රශ්න කිරීම් අවසානයේ, කොමසාරිස් ඔබිනාබෝ, චියෝමාගෙන් 'හෝප්' වෙන් කරන බවට අනතුරු ඇඟවීය.
නමුත් චියෝමා තම තත්ත්වය සාධාරණීකරණය කරමින් අවධාරණය කළේ, තමා ද මෙහි ගොදුරක් බවත් සිදුවන්නේ කුමක්දැයි ඇයට නොතේරුණු බවත් ය.
කොමසාරිස්වරිය අවසානයේ ඇයගේ පැහැදිලි කිරීම පිළිගනී.
දැනට, චියෝමා සහ අයික්ට තම දරුවා තබා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ ඔහුගේ ජීව විද්‍යාත්මක දෙමාපියන් ඔහුට හිමිකම් පෑමට ඉදිරිපත් නොවන්නේ නම් පමණි.
නමුත් කාන්තාවන්, වඳභාවය, ප්‍රජනන අයිතිවාසිකම් සහ දරුකමට හදා වඩා ගැනීම පිළිබඳ ආකල්ප වෙනස් නොකරන්නේ නම් මෙවැනි වංචාවන් තවදුරටත් වර්ධනය වනු ඇතැයි විශේෂඥයෝ අනතුරු අඟවති.