ඇෆ්ඝනිස්ථානයේ ගර්භණී මව්වරුන් මරණ බියෙන් පසුවන්නේ ඇයි?

    • Author, සයඩ් අන්වර් සහ ස්වාමිනාදන් නටරාජන්
    • Role, බීබීසී

බොහෝ සෞඛ්‍ය පහසුකම් සහ ගර්භණී වාට්ටු වැසී යමින් පවතින හෙයින් ඇෆ්ඝනිස්ථානයේ දරුවන් අපේක්ෂාවෙන් සිටින මව්වරුන් බියට පත්ව සිටින අතර අත්හැර දැමුණු බවට වන හැඟීමකින් පසු වෙති.

සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමට ඇති ප්‍රවේශයන් අවම තත්ත්වයක පැවතීම නිසා රටේ බොහෝ කාන්තාවන්ට ගර්භණී සමයේදී අවම වශයෙන් අවස්ථා හතරකදීවත් වෛද්‍යවරයා මුණ ගැසීමට නොහැකි වී තිබේ.

"මගේ දෙවැනි බබාගේ උපත, මගේ මරණය හෝ මගේ බබාගේ මරණයට හේතු වෙයි කියලා මට බය යි," උතුරු බඩාක්ෂාන් පළාතේ සයමස් ගැබිනියක වන ෆාර්ඛුණ්ඩා පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන ඇඳන් 60කින් සමන්විත මාතෘ රෝහලක ඇගේ දරුවා බිහි කිරීමට ඇය සැලසුම් කර තිබිණි. එහෙත්, එහි මාතෘ ඒකකය ජූලි මාසයේ සිට වසා දමා ඇත.

"සිසේරියන් අංශය මට මගේ පළවෙනි දරුවා බිහිකරන්න උදවු වුණා. මේ සැරේ මොනවා වේවි ද කියලා මම දන්නේ නෑ."

"මං ගොඩක් අවුලක ඉන්නේ," ෆාර්ඛුණ්ඩා පවසයි.

රට තුළ මාතෘ රැකවරණය යටපත් වී ඇති බව හැඟවෙන ෆාර්ඛුණ්ඩා වැනි තරුණ කාන්තාවන්ගේ වාචික සාක්ෂි ගණනාවක් බීබීසී ඇෆ්ඝන් සේවය සතුව තිබේ.

දැඩි සත්කාර මාතෘ රැකවරණ පහසුකම්

දේශීය වශයෙන් බඩාක්ෂාන් හඳුන්වන්නේ, "උපතක් ලබා දීමට නරක ම තැන" ලෙස ය. කඳුකර, රළු සහ ප්‍රවේශ වීමට දුෂ්කර එම පළාත තුළ ලෝක සෞඛ්‍ය සංවිධානය කාන්තාවන් ජීවිත් වීමට අත්‍යවශ්‍ය රැකවරණයක් සැපයුවේ ය.

බරපතළ මුදල් හිඟය හේතුවෙන් රෝහලේ මාතෘ ඒකකය වසා දැමීමේ අපහසු තීරණය ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති වූ බව ඇෆ්ඝනිස්ථානයේ ක්‍රියාත්මක ලෝක සෞඛ්‍ය සංවිධානයේ කාර්යාලය බීබීසීයට පැවසීය.

එය වසා දැමීමට පෙර "පහසුකම් තිබූ කාලයේ දිනකට සිසේරියන් සැත්කම් 15කට වඩා සිදු කළ," බව මාතෘ ඒකකයේ හිටපු සේවකයෙක් බීබීසීයට පැවසුවේ ය.

එකල සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙකු අමතන තෙක් සිය වාරය පැමිණෙන තුරු කාන්තාවන් සිව් දෙනෙකු එක් ඇඳකට වී බලා සිටින තරම් රෝහල පිරී ඉතිරී තිබිණි.

"ගර්භාෂය සහ මුත්‍රාශය ඉවත් කිරීම වගේ තවත් ශල්‍යකර්ම ඒ රෝහලේ සිදු කළා," යැයි නිලධාරියෙක් පැවසීය.

බඩාක්ෂාන්හි අනෙක් සහ එක ම ක්‍රියාත්මක මට්ටමේ ඇති මාතෘ රෝහලට අරමුදල් සැපයුවේ, අගා ඛාන් පුණ්‍යායතනය යි. ඇඳන් 30කින් සමන්විත එම රෝහලේ විශේෂඥයන් දෙදෙනෙකු හා වෛද්‍යවරුන් හතර දෙනෙකු සිටින අතර, එය ඉල්ලුම වැඩි වීමත් සමග සාර්ථකව කටයුතු කරගෙන යාම දුෂ්කර වී තිබේ.

කුන්දුස්හි ආසන්නතම රෝහල පිහිටා ඇත්තේ, පැය පහකට ආසන්න ගමනක දුරකිනි. ෆාර්ඛුණ්ඩා වැනි බොහෝ දෙනෙක් කාර් රථයක් කුලියට ගත නොහැකි තරම් දිළිඳු ය. ඇය මුදල් සොයාගත්තත්, සෙනග පිරී ඉතිරී ගොස් ඇති කුන්දුස්හි රෝහලට දරුවෙකු බිහි කිරීම සඳහා ඇයට ඇතුළත් වීමට හැකි වෙතැයි සහතිකයක් නැත.

නරක අතට හැරෙන මරණ සංඛ්‍යාව

අවසන් වරට නිකුත් කර ඇති යුනිසෙෆ් දත්තවලට අනුව, 2020 වසරේ මාතෘ මරණ අනුපාතිකය උපත් 100,000ට මරණ 620ක් විය. එය ආසන්න වශයෙන් ගෝලීය සාමාන්‍යය මෙන් තුන් ගුණයකි.

'ඇෆ්ඝනිස්ථානය ළදරුවෙකු වීමට, දරුවෙකු වීමට හෝ මවක වීමට ලෝකයේ පවතින භයානක ම තැන්වලින් එකක් ලෙස පවතින අතර, රෝහලක් හෝ සෞඛ්‍ය පහසුකම් වෙත ළඟාවීම බොහෝ දෙනෙකුට දුෂ්කර ය,' යුනිසෙෆ් වාර්තාව පවසයි.

2023 දී, සෑම උපත් 1000කට ම ළදරු මරණ 37ක් වාර්තා විය.

ඇෆ්ඝනිස්ථානයේ පස් වන විශාලතම නගරය වන ජලාලාබාද්හි වෛද්‍යවරයෙකු පැවසුවේ, මාතෘ මරණ සමග සංසන්දනය කිරීමේදී ළදරු මරණ වේගවත් ලෙස වැඩිවෙමින් පවතින බව ය.

"රජයේ රෝහල් තුළ නොමේරූ ළදරුවන් තබා ගැනීමට පහසුකම් නෑ. දරු උපතක් අතරතුරදී සංකීර්ණතාවන් සමග ගනුදෙනු කිරීමට ප්‍රමාණවත් පහසුකම් නෑ," ජලාලාබාද් වෛද්‍යවරයා පැවසීය.

වින්නඹුවන්ගේ හිඟය

ආසන්නතම යුනිසෙෆ් වාර්තාවට අනුව, කාන්තාවන්ගෙන් තුනෙන් එකක් දරුවන් බිහි කරන්නේ සෞඛ්‍ය පහසුකම් නොමැති ස්ථානයක සිට ය. තාලිබාන් පනවා ඇති සමාජ සීමාවන් නිසා සෞඛ්‍ය සේවකයන් ගමන් බිමන් යාම ද සීමා කර තිබේ. එයින් අදහස් වන්නේ, බොහෝ කාන්තාවන් ඔවුන්ගේ පුහුණුවක් නැති කාන්තා ඥාතීන් හා අසල්වැසියන් මත යැපෙන බව ය.

"ප්‍රදේශයේ මාතෘ සේවාවන්වල අඩුව නිසා සමහර කාන්තාවන් නිවසේදී දරුවන් බිහි කරන අතර, දරුවන් බිහි කරන මේ ක්‍රමවේදය වෛද්‍ය සහය සහ මූලික සනීපාරක්ෂාව අතින් කිසි ම ප්‍රමිතියක් නැහැ," කන්දහාර් ප්‍රදේශයේ දූරස්ථ පෙදෙසක වින්නඹුවක් පවසයි.

"ගම්වැසියො එක වතාවක් පාන්දර දෙකට දරුවෙක් බිහි කරපු කාන්තාවක් අරගෙන ආවා. නමුත් දරු බොක්ක එළියට ආවේ නෑ," ඇය සඳහන් කළා ය.

ඇගේ පවුලේ ඥාතීන් පසු දා එළි වන තුරු බලා සිට ඉන්පසුව ඇයව රෝහලට රැගෙන ගිය හ.

"ඇය දරා ගන්න බැරි තරම් වේදනාවකින් හිටියේ. අපි අපේ උපරිමයෙන් උත්සහ කරලා ඒ කාන්තාව වේදනාවෙන් නිදහස් කළා."

වින්නඹු මාතාව සිතන්නේ, පැය කිහිපයක සුළු ප්‍රමාදයක් වුවත් මරාන්තික විය හැකි බව ය.

ශරීරය සහ ආත්මය විනාශ කිරීම

රෝහල් ගාස්තු ගෙවීමට හැකියාව ඇත්තේ, කාන්තාවන්ගෙන් සුළු ප්‍රතිශතයකට පමණි.

කාබුල්හි ශෙෆාජෝ පෞද්ගලික සායනයේ පොරොත්තු කාමරයේදී අපට ගබ්සා 7කට මුහුණ දුන් 35 හැවිරිදි මුස්‍රාසල් සහ ගබ්සා 4කට මුහුණ දුන් වයස අවුරුදු 20ක හමීඩා මුණ ගැසිණි. ඔවුහු තවමත් කම්පනයට පත්ව සිටිති.

"දරුවෙක් නැතිවෙන හැම වෙලාවෙ ම මට දැනෙන්නේ හරියට මගේ මතකයෙන් භාගයක් නැති වෙලා යනවා වගේ. මගේ කොණ්ඩෙන් භාගයක් ම ගිහිල්ලා. දරුවන් එකිනෙකා අහිමි වීමත් එක්ක මම මානසික ප්‍රශ්නවලට මුහුණ දුන්නා," යැයි ශාරීරිකව විඩාවට පත්ව සිටින හා හිතින් තැලී පොඩි පට්ටම් වූ, බුර්කාවෙන් සියල්ල වැසී ඇති මුස්‍රාසල් පවසයි.

"වෛද්‍යවරුන් මට කිව්වා, හොඳ පෝෂණයක් නැතිකම සහ බර උස්සන එක ගබ්සාවන්ට ප්‍රධාන හේතු කියලා."

බොහෝ ඇෆ්ඝන් කාන්තාවන් මෙන් නොව මුස්‍රාසල්ට තවමත් රජයේ රැකියාවක් තිබෙන අතර, ඇය පවසන්නේ, ඇය පෝෂ්‍යදායී ආහාර ගන්නා බවත් ශාරීරිකව සිදු කළ යුතු වැඩ සිදු නොකරන බවත් ය.

හමීඩා සිල්ක් අබායාවකින් සහ තද රතු නිය ආලේපන ගල්වාගෙන සායනය තුළට ඇවිද ගියා ය. ඇගේ මුහුණ ආවරණය කර නොතිබිණි.

"මගේ අන්තිම ගබ්සාව මාස හයකට විතර කලින් සිදුවුණේ. ඊට පස්සෙ මම කන්දහාර්, ක්වේටා සහ චමාන්වල වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලබා ගත්තා."

ආසන්න නගර දෙක පිහිටා ඇත්තේ පකිස්ථානයේයි. කන්දහාර් වෛද්‍යවරුන් බැක්ටීරියා ආසාදනයක් හඳුනාගෙන ඇති අතර, ඇයට එන්නතක් නිර්දේශ කර තිබේ. මුස්‍රසල් ලෙස ම හමීඩා ද ගැබ් ගැනීම පිළිබඳ බලාපොරොත්තු සුන් වී සිටියි.

වයස අවුරුදු 16 දී හමීඩාට විවාහ වීමට බල කෙරුණු අතර, දැන් සියලු දෙනා ම තවමත් දරුවෙකු නොමැති වීම ගැන ඇයට ඇණුම් පද කියති.

"සමහර මිනිස්සු මට වද දෙමින් අහනවා ඇයි මට දරුවෝ නැත්තේ කියලා. මට ඒ වචන දරාගන්න හරි අමාරුයි," ඇය පවසයි.

කාන්තාවන් දෙදෙනා බොහෝ පරීක්ෂණ කරවාගෙන ඇති අතර දැන් ප්‍රතිඵල එන තෙක් බලා සිටිති.

මුස්‍රසල් සහ හමීඩා, නාරිවේද වෛද්‍ය සහ ශෙෆාජෝ රෝහලේ නිර්මාත වෛද්‍ය නජ්මුසාමා ශෙෆාජෝගේ රෝගීන් ය.

වෛද්‍ය සේවාවන්හි ක්ෂණික කඩාවැටීම පසුපස හේතු ගණනාවක් පවතින බව වෛද්‍ය ශෙෆාජෝ පවසයි.

"ප්‍රධාන හේතු තමයි, කාන්තා වෛද්‍යවරුන් හා සාත්තු සේවකයන් හිඟය සහ විශේෂිත රෝහල් සහ බෙහෙත්වල හිඟය. මිනිසුන් අතර සාක්ෂරතාව අඩුකම සහ නොදැනුවත්කමත් ඒකට හේතු හේතු වෙනවා."

2021 දී තාලිබාන් බලය අල්ලා ගැනීමෙන් පසුව, අත්දැකීම් සහිත බොහෝ වෛද්‍යවරියෝ රට හැර ගිය හ. තත්ත්වය තවත් නරක අතට හරවමින්, මෑතකදී සුදුසුකම් ලැබූ කාන්තා උපාධිධාරිනියන්ට වෛද්‍ය බලපත්‍ර ලබා දීම නව රජය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

"කාන්තා වෛද්‍යවරියන්ගේ හිඟය වැඩිවෙනවා වගේ ම ඒක තවත් නරක අතට හැරෙන එකයි වෙන්නේ," වෛද්‍ය ශෙෆාජෝ පවසයි.

රජය පවත්වාගෙන යන රෝහල් ඉල්ලුමට මුහුණ දීමට අපොහොසත් අතර ඒවායින් අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සැපයීමක් සිදු නොවන බව ඇය පැවසීය.

"මම දැකලා තියෙනවා එක රජයේ රෝහලක එක ම ඇඳේ රුධිරය වහනය වෙන මව්වරුන් හතර දෙනෙකුට ඉන්න සලස්වලා තියෙනවා. තව තැනක ඉන්කියුබේටර් එකක් ඇතුළේ බබාලා පස් දෙනෙක්ව ඔවුන් දාලා තිබුණා."

එකිනෙකාට දොස් පැවරීමේ සෙල්ලම

තාලිබාන් රජයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයා, ගර්භණී මාතෘ රැකවරණයේ අක්‍රීයභාවය පිළිබඳ වගකීම පෙර පරිපාලනයට ආරෝපණය කරයි.

"ඇෆ්ඝනිස්ථානය තුළ තිරසර සෞඛ්‍ය ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පරිත්‍යාගශීලීන් සොයාගන්න අපි උත්සහ කරමින් ඉන්නවා," වෛද්‍ය ශරෆට් සමාන් අමාර් පවසයි.

ඔවුන්ගේ ඉලක්කය, ඇෆ්ඝන් ජනතාවට යහපත් සෞඛ්‍ය සේවයක් ලබා දිය හැකි දීර්ඝ කාලීන තිරසර ව්‍යාපෘතියක් ඇති කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම බව ඔහු සඳහන් කළේ ය.

වෛද්‍ය අමාර් පැවසුවේ, ඵල දැරීමට වසර කිහිපයක් ගත විය හැකි ක්‍රියාවලියක් වන සෞඛ්‍ය සේවය වැඩිදියුණු කිරීමට ඔවුන්, දේශීය අයවැයෙන් සහ විදේශීය ආධාරවලින් යන දෙකෙන් ම මූලාශ්‍ර සොයා ගැනීමට උත්සහ කරමින් සිටින බව ය.

ආපසු බඩාක්ෂාන් වෙත ගිය විට, ෆාර්ඛුණ්ඩා දැඩි ලෙස කණස්සල්ලට පත්ව සිටියි. ඇගේ දරුවා ලැබීමට නියමිතව ඇත්තේ, ඔක්තෝබර් මාසයේදී ය. ඇය අසරණව සහ ඉදිරි මාස ගැන බියට පත් වී සිටී.

දැනට ක්‍රියාත්මක වන එක ම ඇඳන් 30කින් සමන්විත රෝහල පිරී ඉතිරී ගොස් ඇති අතර රෝගීන් ආපසු හරවා එවයි.

ෆාර්ඛුණ්ඩා පවසන්නේ, ඇයට එම රෝහලට ඇතුළත් වීමට ඇති අවස්ථාව ඉතා අඩු බව ය.

"මට පෞද්ගලික රෝහලකට යන්න ඇෆ්ඝානි 25000ක (ඇ.ඩො. 355) ගාස්තුව ගෙවාගන්න පුළුවන් කමක් නෑ," ඇය පවසයි.

නිවස තුළ දරුවා බිහි කිරීමට සිදුවුවහොත්, තාලිබාන් විසින් පනවා ඇති සීමා නිසා වින්නඹු සහය ලබා ගැනීමට නොහැකි වන බව ෆාර්ඛුණ්ඩා දනියි.

"කාන්තාවන්ට රෝහල්වලට යන්න තියෙන හැකියාව ඉතා ම සීමිත යි. රජය ඒක ගණන් ගන්නේ නෑ," අපේක්ෂාභංගත්වයට පත්ව සිටින ෆාර්ඛුණ්ඩා පවසයි.

අනන්‍යතාව ආරක්ෂා කිරීමට සියලු ඇෆ්ඝන් රෝගීන්ගේ නම් වෙනස් කර තිබේ.