ඇෆ්ඝනිස්ථානය: තාලිබාන් සංවිධානය කාන්තාවන්ට විශ්වවිද්‍යාල තහනම් කරයි

තාලිබාන් සංවිධානය ඇෆ්ඝනිස්ථානයේ කාන්තාවන්ට විශ්වවිද්‍යාල තහනම්කර තිබේ. මේ තීරණය එරට තරුණ ප්‍රජාවේ ඉමහත් කළකිරීමට හේතුවී ඇති අතර,

ජාත්‍යන්තරය විසින් ද දැඩි ලෙස හෙළා දැක තිබේ.

එරට අධ්‍යාපන අමාත්‍යවරයා පසුගිය අඟහරුවාදා නිකුත් කළ නිවේදනයක් මඟින් කියා සිටියේ මෙම නීතිය වහාම ක්‍රියාත්මක වන බව යි.

පසුගිය වසරේ දී තාලිබාන්වරුන් ඇෆ්ඝනිස්තානයේ බලය යළි තහවුරුකර ගැනීමෙන් පසු ගැහැණු ළමයින්ට ද්විතීයික පාසල්වලට පැමිණීම තහනම් කළ අතර, මේ නව නීතිය මඟින් කාන්තාවන්ගේ අධ්‍යාපනය තවදුරටත් සීමාකර ඇත.

මෙයට විරෝධය පාමින් ඇතැම් කාන්තාවන් කාබුල් අගනුවර දී බදාදා විරෝධතා පැවැත්වීමට කටයුතු කර තිබුණි.

"අපි කාබුල් නගරයේ වීදිවල මේ විරෝධතාවයේ යෙදෙන්නේ බාලිකා විශ්වවිද්‍යාල වසා දැමීමට එරෙහිව යි, ඇෆ්ඝනිස්ථාන කාන්තා සහයෝගිතා කණ්ඩායමේ විරෝධතාකරුවෝ පවසා සිටියහ.

තාලිබාන් බලධාරීහු මෙම කුඩා විරෝධතාවයන් ඉක්මනින්ම විසිරුවා හැරීමට කටයුතු කළ හ.

තාලිබාන් පාලනයේ පළමු යුගයේ දී ද ඇෆ්ඝනිස්ථාන ගැහැනු ළමුන්ට විධිමත් අධ්‍යාපනයක් ලබා ගැනීමේ අවස්ථාව අහිමිවූ අතර, නැවතත් එවන් යුගයකට එරට ඇද දමන බව පවසමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ රටවල් කිහිපයක්ම මෙම නියෝගය හෙළා දැක තිබේ.

"මේක සම-අධ්‍යාපනය සඳහා ඇති අයිතිය තවදුරටත් උල්ලංඝණය කිරීමක් වගේම ඇෆ්ඝනිස්ථාන සමාජය කාන්තාවන්ට සළකන ආකාරය තවදුරටත් පහත හෙළීමක්,"එක්සත් ජාතීන්ගේ ඇෆ්ඝනිස්ථාන විශේෂ වාර්තාකරු පැවසුවේ ය.

එක්සත් ජනපදය පැවසුවේ මෙම තීරණයේ ප්‍රතිවිපාක විඳීමට තාලිබාන් සංවිධානයට සිදුවනු ඇති බව යි.

"ඇෆ්ඝනිස්ථානයේ වෙසෙන සියලුම දෙනාගේ අයිතිවාසිකම්වලට සමානව ගරු නොකරන තාක් තාලිබාන් සංවිධානයට ජාත්‍යන්තර ප්‍රජාවේ නීත්‍යානුකූල සාමාජිකයෙකුවීමට කිසිදු ඉඩක් නැහැ," රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ප්‍රකාශකර සිටියේ ය.

"එහි ජනගහණයෙන් අඩකගේ හිමිකම් කප්පාදුකර තබාගන්නා කිසිදු රටකට සංවර්ධනයවීමට නොහැකියි."

මෙම තීරණ හමුවේ තමන් තුළ ඇතිවී ඇති කලකිරීම ශිෂ්‍යාවෝ බීබීසීය සමග බෙදාගත්හ. "මගේ අනාගතය සාර්ථක කරගත හැකි එකම ක්‍රමය ඔවුන් විනාශ කළා," එක් කාබුල් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් පැවසුවා ය.

"මම ප්‍රතිචාර දක්වන්න ඕන කොහොමද? ඉගෙනීමෙන් මගේ අනාගතය වෙනස්කර ගැනීමට හෝ මගේ ජීවිතය ආලෝකවත්කර ගැනීමට මම බලාපොරොත්තු වුණා. එහෙත් ඔවුන් එය විනාශකර දැමුවා."

තවත් සිසුවියක් බීබීසීයට පැවසුවේ ඇය "සියල්ල අහිමිවූ" කාන්තාවක්බවට පත්ව ඇති බව යි.

ෂරියා ඉස්ලාමීය නීතිය හදාරමින් සිටි ඇය, තාලිබාන් සංවිධානයේ මෙම නියෝගය ඉස්ලාමය සහ අල්ලාහ් දෙවියන් විසින් ඔවුනට ලබා දී ඇති අයිතිවාසිකම් කප්පාදු කිරීමක්බවත් කියා සිටියා ය.

"ඔවුන් වෙනත් ඉස්ලාමීය රටවලට ගිහින් බලලා, ඔවුන්ගේ මෙම නියෝග ඉස්ලාමීය නොවනබව වටහාගන්න ඕන," ඇය බීබීසීය හමුවේ වැඩිදුරටත් පැවසුවා ය.

තාලිබාන් සංවිධානය ඇෆ්ඝනිස්ථානයේ රජය ලෙස නිල වශයෙන් පිළිගැනීමට නම් ඔවුන් කාන්තා අධ්‍යාපනය වැඩිදියුණු කළ යුතුබවට බටහිර රටවල් පසුගිය කාලය පුරාම ඉල්ලා සිටියහ.

මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් අසල්වැසි පාකිස්ථානයේ විදේශ අමාත්‍යවරයා පැවසුවේ, තාලිබාන් සංවිධානයේ මෙම තීරණයෙන් තමා කලකිරීමට පත්වූ නමුත්, එරට සමග දිගටම සබඳතා පැවැත්වීම ධෛර්යයමත් කරන වග පැවසීය.

"කාන්තා අධ්‍යාපනය සහ වෙනත් බොහෝ දේ සම්බන්ධයෙන් පසුබෑම් ඇතිවුවත්, අපට අපේ ඉලක්ක කරා යා හැකි පහසුම මාවත ඇෆ්ඝනිස්ථානයේ අන්තර්වාර රජය හරහාබව මම විශ්වාස කරනවා," බිලාවල් භූතෝ සර්දාරි පැවසුවේ ය.

'ඔවුන්ට කළ හැකි අවසාන දෙය'

එක්සත් ජනපදය ඇෆ්ඝනිස්තානයෙන් ඉවත්වීමෙන් පසු තාලිබාන් සංවිධානය පසුගිය වසරේ එරට බලය යළි අල්ලාගත් අතර, දැඩි නොවන පාලනයක් ගෙනයනබවට පොරොන්දු විය. කෙසේ වෙතත්, දැඩි මතධාරී ඉස්ලාම් පාලකයෝ එම පොරොන්දුවට පටහැනිව යමින් රට තුළ කාන්තා අයිතිවාසිකම් සහ නිදහස අඛණ්ඩව කප්පාදු කරමින් සිටිති.

විශේෂයෙන්ම තාලිබාන් නායක හිබතුල්ලා අකුන්සාදා සහ ඔහුගේ අභ්‍යන්තර කවයේ සාමාජිකයන් නවීන අධ්‍යාපනයට, විශේෂයෙන්ම එය ගැහැනු ළමයින්ට සහ කාන්තාවන්ට ලබාදීමට දිගටම විරුද්ධව සිටියේ ය.

වඩා මධ්‍යස්ථ නිලධාරීන් මෙම තීරණවලට විරෝධය පළකර ඇති අතර, විශ්ලේෂකයින්ට අනුව මෙවන් තීරණ නිසා දැඩි මතධාරීන් සහ ඔවුන් අතර බෙදීම් ඇතිවී තිබේ.

එහෙත් අධ්‍යාපන අමාත්‍යාංශය අඟහරුවාදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, තම එහි විද්වතුන් විසින් විශ්වවිද්‍යාල විෂය මාලාව සහ පරිසරය ඇගයීමට ලක්කර ඇති අතර, ගැහැනු ළමුන්ට අධ්‍යාපනය ලැබීමට 'සුදුසු පරිසරයක්' ලබාදෙන තුරු ඔවුන්ගේ පැමිණීම අත්හිටුවනබව යි.

හිතකර පරිසරයක් ඉක්මනින්ම ලබාදීමට අපේක්ෂා කරන බැවින් "පුරවැසියන් ඒ පිළිබඳව කරදර නොවිය යුතු" බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්විය.

කෙසේ වෙතත්, මාර්තු මාසයේ දී තාලිබාන්වරු ගැහැණු ළමයින් සඳහාවූ ඇතැම් උසස් පාසල් නැවත විවෘත කිරීමට පොරොන්දු වී තිබුණු නමුත්, දැරියන් පාසල්වලට නැවත පැමිණීමට නියමිත දිනයේ දී එම පියවර අවලංගු කිරීමට කටයුතු කළහ.

මෑත මාසවල දී නව සීමා පැනවීම් රැසක් මඟින් කාන්තාවන් මර්දනය කිරීමට තලිබන්වරු පියවර ගත් අතර, පසුගිය නොවැම්බර් මාසයේ දී කාබුල්හි උද්‍යාන, ව්‍යායාම මධ්‍යස්ථාන සහ පොදු නාන තටාක ද කාන්තාවන්ට තහනම් කරන ලදී.

එක්සත් ජනපදයේ වෙසෙන විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක සහ ඇෆ්ඝනිස්ථාන ක්‍රියාකාරිනියක ද වන්නියක පැවසුවේ, කාන්තාවන් සඳහා විශ්වවිද්‍යාල තහනම් කිරීමෙන් තාලිබාන්වරු විසින් කාන්තාවන්ව පූර්ණ වශයෙන් හුදකලාකර ඇතිබව යි.

"තාලිබාන්වරුන්ට කළ හැකි අවසාන දෙය තමයි මේ. ඇෆ්ගනිස්තානය කාන්තාවන්ට ජීවත්වීමට සුදුසු රටක් නොව කාන්තාවන්ට සිර කුටියක්," හුමෙයිරා කදේරි බීබීසී වෙත පැවසුවා ය.

තාලිබාන් සංවිධානය මීට තෙමසකට පෙර රට පුරා බොහෝ පළාත්වල ගැහැනු ළමුන් සහ කාන්තාවන් දහස් ගණනකට විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගවලට පෙනී සිටීමට අවසර දී තිබුණි.

නමුත් ඔවුන්ට අයදුම් කළ හැකි විෂයයන් සීමාකර තිබුණේ ඉංජිනේරු, ආර්ථික විද්‍යාව, පශු වෛද්‍ය විද්‍යාව, පුවත්පත් කලාව සහ කෘෂිකර්මාන්තය වැනි විෂයයන්ට පෙනී සිටීමට ඉඩ ලබා නොදීමෙනි.

නිවේදනයට පෙර ද, 2021 දී තාලිබාන් සංවිධානය විසින් ඇෆ්ඝනිස්තානය අත්පත්කර ගැනීමෙන් පසු විශ්වවිද්‍යාල ක්‍රියාත්මකවූයේ කාන්තාවන්ට වෙනස්කොට සැලකීමේ නීති යටතේ ය.

ස්ත්‍රී-පුරුෂබව මත පදනම්ව වෙන්වූ ප්‍රවේශ දොරටු සහ පන්ති කාමර තිබූ අතර, ශිෂ්‍යාවන්ට ඉගැන්වීමේ අවසර හිමිව තිබුණේ මහාචාර්යවරියන්ට හෝ මහලු පුරුෂයන්ට පමණි.

ඒ සියලු බාධක හමුවේවුව ද කාන්තාවෝ උසස් අධ්‍යාපනය ලබමින් සිටියහ. තාලිබාන් පාලනය කාල දෙකක් අතර මැදවූ 2001 සිට 2018 දක්වා කාලය තුළ උසස් අධ්‍යාපනය සඳහා කාන්තාවන් යොමුවීමේ අනුපාතය 20 ගුණයකින් වැඩිවී ඇතිබව යුනෙස්කෝ අඟහරුවාදා සඳහන් කළේ ය.

තාලිබාන්වරු නැවත පාලනය ලබාගැනීමෙන් පසු ඇතිවූ "බොහෝ දුෂ්කරතා" හේතුවෙන් තමන් අධ්‍යාපනය අත්හැර දැමූබව කාන්තාවෝ කිහිපදෙනෙක්ම බීබීසීයට පවසා සිටියහ.

තාලිබාන් දෙකඩ කළ ප්‍රශ්නය

BBC දකුණු ආසියානු වාර්තාකරු යෝගිතා ලිමායේගේ විශ්ලේෂණය

තාලිබාන් රජය කාන්තාවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය තහනම් කරනු ඇතිබවට අදහසක් මාසයකට වැඩි කාලයක් තිස්සේ පැවතුණි.

එක් සිසුවියක් සති කිහිපයකට පෙර පැවසුවේ, "අපි දවසක් අවදිවෙද්දී, ගැහැනු ළමයින්ට විශ්වවිද්‍යාල තහනම්කර තිබෙනවා කියලා ඔවුන් පවසන්න ඉඩ තිබෙනවා," යනුවෙනි.

එබැවින්, තාලිබාන්වරු විසින් ඉක්මනින් හෝ පසුව මෙම තීරණය ගනු ඇතැ යි බොහෝ ඇෆ්ඝනිස්ථානුවන් අපේක්ෂා කළ නමුත්, මෙම නියෝගය ඔවුන් කම්පනයට පත්කර තිබේ.

පසුගිය මාසයේ දී කාන්තාවන්ට උද්‍යාන, ජිම් සහ පිහිනුම් තටාක තහනම් කෙරුණු අතර, මෙම වසරේ මාර්තු මාසයේ දී තාලිබාන් රජය ගැහැනු ළමුන් සඳහා ද්විතීයික පාසල් යළි විවෘත කිරීමේ පොරොන්දුව ඉටු කිරීමට ද කටයුතු කළේ නැත.

පසුගිය වසරක කාලය පුරා තාලිබාන් නායකයන් සමග කළ සංවාදවලින් පෙනීගියේ, ගැහැනු ළමයින්ගේ අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් සංවිධානය තුළ මතභේදයක් පවතිනබව යි.

ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකළත්, ඇතැම් තාලිබාන් සාමාජිකයින් නැවත නැවතත් පවසා තිබුණේ ගැහැනු ළමුන්ට අධ්‍යාපනය ලැබීමේ හිමිකම සහතික කිරීමට තමන් උත්සාහ කරනබව යි.

ඇෆ්ඝනිස්ථානයේ පළාත් 34න් 31කම ගැහැනු ළමුන්ට, වසරකට වැඩි කාලයක් පාසල් යාම තහනම්වී තිබුණ ද, සති දෙකකට පෙර ද්විතීයික පාසලෙන් සමත්වීමේ විභාගය සඳහා පෙනී සිටීමට ඔවුනට අවසර ලැබිණි.

එය ඔවුන් තුළ බලාපොරොත්තුවේ ආලෝකය යම් පමණකට දැල්වූ අතර, දැන් එය ද නිවීගොස් තිබේ.