ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'අද්භූත ගැබ්ගැනීම්: 'මම කිසි දෙයක් දැනගෙන හිටියෙ නෑ'
වයස අවුරුදු 21 වන විට දරුවෙකු බිහි කිරීම තවානාගේ සැලසුම් අතර නොවී ය.
ඇය, ඇයගේ වචනයෙන් ම හැඳිවුවහොත්, මිතුරන් සමග සාද පවත්වමින් කෙළි දෙළෙන් කාලය ගත කළ "දඩබ්බර, පිස්සු ජීවිතයක්" ගත කළ අයෙකි.
එම ජීවිතය පැවතියේ, ඇය සිහි මුර්ජා වී රෝහලක නතර වන තෙක් ය.
ඊට බලපෑ හේතුව පිළිබඳව ඇයට අදහසක් නොවී ය. පසුව, ඇය තවත් සති හතරකින් දරුවෙකු ප්‍රසූත කරන බව ඇයට පවසා තිබිණි.
"මට මහ බයක් දැනෙන්න ගත්තා," තවානා බීබීසී Reliable Sauce පොඩ්කාස්ට් වැඩසටහනට පැවසුවා ය.
එම ප්රවෘත්යෙන් ඇය තැති ගත්තා ය.
"මොක ද, කවුරුහරි කිව්වොත්, ඔයාගේ ජීවිතේට තව කෙනෙක් එකතු වෙන්න සති හතරයි තියෙන්නේ කියලා."
රෝහලට ඇතුළත් වීමෙන් පසු MRI ස්කෑන් පරීක්ෂණයකට පෙර ගර්භණී පරීක්ෂාවක් කර ගන්නා ලෙස වෛද්‍යවරුන් තවානාට පවසා තිබිණි.
ඇය එම අදහස උපහාසයෙන් යුතුව දැමුවා ය. ඇය ගැබ් ගැනීම් පාලන ඖෂධයක් ශරීරගත කරගෙන සිටි අතර, ගර්භණී බවට කිසිදු ලක්ෂණයක් දක්නට නොතිබිණි.
ගර්භණී පරීක්ෂණයෙන් ඇය ගැබිගෙන නොසිටි බව තහවුරු වී තිබූ හෙයින්, තමන් නිවැරදි බව අයට තවත් තහවුරු විය.
එහෙත්, තවානා ගර්භණී තත්ත්වයේ සිටින බව තවදුරටත් විශ්වාස කළ හෙදියක්, තවානාට අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් කළ යුතු බවට වෛද්‍යවරයාට ඒත්තු ගැන්වීමට උත්සහ කළා ය.
රිවර්ගේ පියා වන එම්මානුවෙල් පවසන්නේ, තමන් දරුවෙකු ප්‍රසූත කිරීමට නියමිත බව තවානා පැවසූ අවස්ථාවේ, තමන් ඇය විශ්වාස නොකළ බව ය.
"මට කිසි ම දෙයක් දැනිලා තිබුණේ නැහැ," ඔහු පැවසීය. "ඒක අද්භූතජනක දෙයක් වගේ මට පෙනුණෙ."
වමනය වැනි පොදු ලක්ෂණ හෝ උදරය පැහැදිලි ලෙස ඉදිරියට නෙරා ඒමක් නොමැතිව දරුවෙකු පිළිසිඳ ගැනීම අද්භූත ගැබ්ගැනීම් (cryptic pregnancy) ලෙස හඳුන්වයි. (මෙම තත්ත්වයට සිංහල බසින් නිශ්චිත වචනයක් නැතැයි වෛද්‍යවරු පවසති)
එය දුර්ලභ සිදුවීමක් වුව ද, "කළු ප්‍රජාව තුළ බහුල තත්ත්වයක්" බව වෛද්‍යවරුන් පැවසූ බව තවානා පවසයි.
"(මට කිව්වා) එහෙම වෙන්නෙ අපේ උකුල යි අස්ථි පිහිටීම යි නිසා කියලා. ඒ නිසා දරුවා කුස තුළ පිටත දෙසට වැඩෙන්නේ නැති බවත් ඇතුළට වැඩෙන බවත් කිව්වා. ඒ වගේ ම, ගොඩක් වෙලාවට අපේ දරුවන් ගර්භාෂයේ කකුල් හරි තට්ටම් හරි එළියට එන විදිහට පිහිටන බවත් කිව්වා," ඇය පැවසීය.
"ඉතින්, දරුවා ප්‍රසූත කරන්න වෙලාව ආවා ම, මට තිබුණු ලොකු ම ප්රශ්නය තමයි, දරුවා උඩයට මාරු වෙලා ඉඳියි ද කියන එක."
අද්භූත ගැබ්ගැනීම් පිළිබඳ දත්ත පහසුවෙන් ලබා ගත නොහැකි වුව ද, ලන්ඩන් සවුත් බෑන්ක් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය සේවා පිළිබඳ මහාචාර්ය ඇලිසන් ලියරි පවසන්නේ, වාර්ගික සුළුතර කාන්තාවන් විසින් අත්විඳින ලද මාතෘ රැකවරණයේ විෂමතා ඇති බව යෝජනා කරන පුළුල් දත්ත ඇති බව ය.
"කාන්තාවන්ට, විශේෂයෙන් ම කළු ජාතික කාන්තාවන්ට ගැබ්ගැනීම් සහ දරු ප්‍රසූතිය සම්බන්ධයෙන් දුර්වල ප්‍රතිඵල ඇති බව පෙන්වන පර්යේෂණ ගොඩක් තියෙනවා," ඇය BBC Newsbeat වෙත පැවසීය.
එමෙන් ම, අද්භූත ගැබ්ගැනීම් සම්බන්ධයෙන් විශේෂ වූ පර්යේෂණ තවතවත් සිදු කළ යුතු බව ඇය විශ්වාස කරයි.
"ඒක සුළු පිරිසකට බලපෑවත් [එය] ඉතා වැදගත් ප්‍රශ්නයක් වන්නේ, ඒ නිස යි, මන්ද ඔබට හොඳ මාතෘ සත්කාර, හොඳ ප්‍රසව ප්‍රතිකාර සඳහා ඉක්මන් ප්‍රවේශයක් නොලැබුණොත්, ඔබට දුර්වල ප්‍රතිඵල අත්විඳීමට ඇති ඉඩකඩ වැඩි යි."
ඇය ගර්භණී මවක බව පැවසූ දිනයේ දිට සති 4කින් සහ දවස් 4කින් තවානා රිවර් දැරිය ප්‍රසූත කළා ය.
පසුව, ඇය පශ්චාත් ප්‍රසව මානසික අවපීඩනය සමග පොරබදමින් සිටි බවත්, එවැනි කෙටි දැනුම්දීමකින් තරුණ මවක වීම සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට ටික්ටොක් වෙත යොමු වූ බවත් ඇය පවසයි.
එහෙත්, ඇමෙරිකාවේ එවැනි ම වූ එක් කාන්තාවක හැර වෙනත් කිසිවෙකු තමාට හමු නොවූ බව ඇය පවසයි.
"කිසි කෙනෙක් මට උපදෙසක් නොදෙන බව දැනුණා ම, මට ලොකු මානසික පීඩනක් ඇති වුණා.
"කවුරුත් මේ ගැන කතා කරන්නේ නැහැ. ඒක මොන වගේ දෙයක් ද කියලවත්? ඊට පස්සේ මම හිතන්නේ මම එක වීඩියෝවක් දැක්කා, ඒ ගැන කතා කරන ඇමෙරිකාවේ ගැහැනු ළමයෙක්ව. ඒ වීඩියෝ එක සිය දෙනෙක් වගේ බලලා තිබුණේ.
"ඇත්තට ම මට උපදෙස් දුන්න එක ම කෙනා එයා වගේ තමයි මට හිතුණෙ."
තමන්ට අනන්‍ය වූ අත්දැකීම ඔන්ලයින් ඔස්සේ වීඩියෝවක් හරහා බෙදා ගැනීමට තවානා තීරණය කළා ය. එම වීඩියෝවට මේ වන විට likes 400,000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබේ.
සෙසු මව්වරුන්ට කතා කිරීම සදහා ඇය පොඩ්කාස්ට් වැඩසටහනක් ද ආරම්භ කළා ය.
තවානා පවසන්නේ, ඇය තම කතාව බෙදාගත් බවත්, අවසන් මොහොතේ ගැබ්ගෙන ඇති බව දැනගන්නා තරුණ මව්වරුන්ට ඉන් වැඩි සහයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත්ය.
ඇයට සිය මවගෙන් මූල්‍ය සහයක් ලැබීම වාසනාවක් බව ඇය සිතයි, එහෙත්, සෙසු කාන්තාවන් එතරම් වාසනාවන්ත නොවන බව ඇය දනී.
මේ සම්බන්ධයෙන් පුණ්‍යායතනයක් පිහිටුවනු දැකීමට ඇය තුළ කැමැත්තක් තිබේ.
"කිසි ම උපකාරයක් නෑ. ඒ වගේ දෙයක් වෙන කෙනෙකුට වුණොත්, කොහොම ද ඒකට මුහුණ දෙන්නේ?"
අද්භූත ගැබ්ගැනීම් යනු කුමක් ද?
- කාන්තාවක් ගැබ්ගෙන ඇති බව නොදන්නා විට අද්භූත ගැබ්ගැනීම් යන්න භාවිත කරයි - ඇතැම් කාන්තාවෝ ප්‍රසූතිය සිදු කරන තුරු ගැබිනියක බව නොදැන සිටි බව දැනුම් දෙති.
- උපත් 2,500කට එකක් පමණ ‘අද්භූත උපතකි.’
- එක්සත් රාජධානිය තුළ වසරකදී එම සංඛ්‍යාව 300කි.
- ඇතැම් අවස්ථාවලදී කාන්තාවකට ගර්භණීභාවය පිළිබඳ සාමාන්‍ය ලක්ෂණ ඇති නොවන විට හෝ එවැනි තත්ත්වයක් නොදැනෙන විට ආතතියෙන් යුතු කාල පරිච්ඡේදයක් ගත කිරීමට සිදු වෙයි.
- අක්‍රමවත් ඔසප් වීම හෝ ඔසප්වීම සිදු නොවන කාන්තාවන් පවා වෙනත් ගර්භණී රෝග ලක්ෂණ අත්විඳිය හැකි ය.
විශේෂඥ අදහස්: ස්ටර්ලිං විශ්වවිද්‍යාලයේ වින්නඹුභාවය පිළිබඳ මහාචාර්ය හෙලන් චෙයින්.