ඊශ්‍රායල ප්‍රහාර අතරතුර එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ප්‍රධානියා යේමන් ගුවන් තොටුපළේ

    • Author, රාෆී බර්ග් සහ ලානා ලාම්
    • Role, බීබීසී පුවත්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධානියා සහ අනෙකුත් එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලය බ්‍රහස්පතින්දා යේමනයේ සානා හි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිටියදී ඊශ්‍රායලය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකුවත් මිය ගිය බව වාර්තා වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් අද්නොම් ගෙබ්‍රෙයිසස් පැවසුවේ ප්‍රහාර ආරම්භ වන විට ඔවුන් ගුවන් යානයකට ගොඩවීමට සූදානම්ව සිටි බවයි.

හූති විසින් පවත්වාගෙන යනු ලබන Saba ප්‍රවෘත්ති ඒජන්සිය පැවසුවේ ගුවන් තොටුපලේදී තිදෙනෙකු මිය ගොස් 30 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. බටහිර හොඩෙයිඩා පළාතේ තවත් තිදෙනෙකු මිය ගොස් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව එහි සඳහන් වේ.

බලාගාරවලට සහ වරායන්ට ද පහර දුන් ප්‍රහාරය "ම්ලේච්ඡ" එකක් ලෙස ඉරානයේ පිටුබලය ලබන කැරලිකාර කණ්ඩායම විස්තර කළේය. ඊශ්‍රායල හමුදාව කියා සිටියේ තමන් "හමුදා ඉලක්ක වෙත බුද්ධි තොරතුරු මත පදනම්ව ප්‍රහාර" එල්ල කළ බව ය.

මියගිය අය සිවිල් වැසියන් ද නැතහොත් හූති කැරලිකරුවන් ද යන්න පැහැදිලි නැත.

X ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් ආචාර්ය ටෙඩ්‍රොස් කියා සිටියේ තමා යේමනයේ "එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩල රැඳවියන් නිදහස් කිරීම සඳහා සාකච්ඡා කිරීමට සහ රටේ සෞඛ්‍ය හා මානුෂීය තත්ත්වය තක්සේරු කිරීමට" එහි ගොස් සිටිය බවයි. එක්සත් ජාතීන්ගේ රැඳවියන් කවුරුන්ද යන්න පිළිබඳව ඔහු වැඩිදුර තොරතුරු ලබා දුන්නේ නැත.

සානා ගුවන් තොටුපළේදී එල්ල වූ ප්‍රහාරය ගැන සඳහන් කරමින් ඔහු මෙසේ පැවසීය: "ගුවන් ගමන් පාලන කුළුණ, පිටත්වීමේ විවේකාගාරය, අප සිටි ස්ථානයට මීටර කිහිපයක් දුරින් තිබ්බේ. ගුවන් ධාවන පථයට හානි වෙලා තියෙනවා"

"අපිට පිටත්ව යන්න ගුවන් තොටුපළේ හානිය අලුත්වැඩියා කරනකං බලන් ඉන්න සිද්ධවෙනවා," ආචාර්ය ටෙඩ්‍රෝස් වැඩිදුරටත් පැවසීය.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරෙස් මෙම ප්‍රහාරය හැඳින්වූයේ "විශේෂයෙන් තැතිගන්වනසුලු" ප්‍රහාරයක් බවයි.

"යේමනය සහ ඊශ්‍රායලය අතර මෑත කාලීන ගැටුම් උත්සන්න වීම ගැන මම කනගාටු වන අතර කලාපය තුළ තවදුරටත් ගැටුම් උත්සන්න වීමේ අවදානම ගැන දැඩි අවධානයෙන් සිටිමි." ඔහු X ඔස්සේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.

ප්‍රකාශයක් නිකුත් කරමින් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) කියා සිටියේ, සිය ප්‍රහාරක ජෙට් යානා බටහිර වෙරළ තීරයේ සහ යේමනයේ අභ්‍යන්තරයේ පිහිටි හූති ත්‍රස්තවාදී පාලනයට අයත් හමුදා ඉලක්ක වෙත බුද්ධි තොරතුරු මත පදනම්ව ප්‍රහාර එල්ල කළ බවයි.

සානා ගුවන් තොටුපලේ "හමුදා යටිතල පහසුකම්" මෙන්ම හෙස්යාස් සහ රාස් ඛාන්ටිබ් විදුලි බලාගාර සහ බටහිර වෙරළ තීරයේ අල්-හොඩෙයිඩා, සාලිෆ් සහ රාස් ඛාන්ටිබ් වරායන්හි ස්ථාන ඉලක්ක කර ගත් බව ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව පවසයි.

ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියේ තම කාර්යය අවසන් කරන තුරු ඊශ්‍රායලය, ඉරානයේ "ත්‍රස්තවාදී හස්තය" ඉලක්ක කරන බවයි. "අපි හූතිවරුන් සමඟ දැන් ආරම්භ කළා පමණයි" යනුවෙන් ඔහු පැවසීය.

සිකුරාදා අලුයම ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව වාර්තා කළේ යේමනයේ සිට එල්ල කරන ලද එක් මිසයිලයක් ඊශ්‍රායල භූමියට ඇතුළු වීමට පෙර ප්‍රහාර එල්ල කොට විනාශ කළ බවයි.

හූති උත්තරීතර විප්ලවවාදී කමිටුවේ ප්‍රධානියා වන මොහොමඩ් අලි අල්-හූති, බ්‍රහස්පතින්දා යේමනයට එල්ල කළ ප්‍රහාර "ම්ලේච්ඡ" සහ "ආක්‍රමණශීලී" ලෙස හැඳින්වීය.

ගාසා තීරයේ ගැටුම් නතර කරනතුරු "ඇමෙරිකානු සහ ඊශ්‍රායල උද්දච්චකම සමඟ ගැටුම" දිගටම පවතිනු ඇතැයි ඔහු පැවසීය.

සානා ගුවන් තොටුපළට එල්ලවූ ප්‍රහාර වලින් තුවාල ලැබූ කිහිප දෙනෙක් හූති විසින් පවත්වාගෙන යනු ලබන අල් මසිරා ගුවන්විදුලියට පැවසුවේ ගුවන්ධාවන පථයට අවස්ථා තුනකදී පහර දුන් බවත්, පසුව ගුවන් තොටුපළේ පාලන කුළුණට ප්‍රහාරයක් එල්ල වූ බවත්ය.

තමා වෛද්‍ය අබ්බාස් රාජේ ලෙස හඳුන්වා දුන් පුද්ගලයෙක් පැවසුවේ ප්‍රහාරයෙන් පසු ඔහු සේවය කරන පොලිස් රෝහලේදී රෝගීන් 10 දෙනෙකුට ප්‍රතිකාර කළ බවය. එක් අයෙක් ඒ වන විටත් මියගොස් ඇති අතර තවත් අයෙකු බරපතල තත්ත්වයේ පසුවන අතර අනෙක් අයට සුළු තුවාල හෝ අස්ථි බිඳීම් සිදුව ඇති බවයි.

ඉරානය මෙම ප්‍රහාර විස්තර කළේ "ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව පැහැදිලිවම උල්ලංඝණය කිරීමක්" ලෙසය.

2023 ඔක්තෝම්බර් මාසයේදී ආරම්භ වූ ගාසා යුද්ධයේ මුල් මාසවල සිට හූති කැරලිකරුවන් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කර ඇත.

පසුගිය සතියේ හූති මිසයිල ප්‍රහාරයකින් ඊශ්‍රායලයේ 12 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

ඊශ්‍රායලය ඊට ප්‍රතිචාර වශයෙන් හූතිවරුන්ට එරෙහිව විටින් විට ප්‍රහාර එල්ල කර තිබේ.

මෙම සතිය මුලදී, ඊශ්‍රායලයේ ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටියේ, හූතිවරුන්ට එරෙහිව "දැඩි ප්‍රහාරයක්" එල්ල කිරීමට සූදානම් වන අතර, කණ්ඩායමේ නායකත්වයේ "හිස බිඳ දමන" බවට අනතුරු ඇඟවීය.

හූති යනු ඉරානයේ සහාය ලබන සන්නද්ධ දේශපාලන සහ ආගමික කණ්ඩායමකි. 2015 දී ජාත්‍යන්තරව පිළිගත් රජය නෙරපා හැරීමෙන් පසු මෙම කණ්ඩායම සානා අගනුවර ඇතුළු බටහිර යේමනයේ විශාල කොටසක් පාලනය කර තිබේ.