යේමන් යුද්ධය: සෞදි "බ්‍රිගේඩියර්වරුන් තුන්දෙනෙක් සහ භටයන් දහස් ගණනක් අත්අඩංගුවේ"

ඉරාන-සෞදි අරාබි දේශසීමාව අසල එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාරයකින් සෞදි අරාබි යුද හමුදා භටයන් රාශියක් අල්ලා ගත් බව යේමනයේ 'හූති' ගරිල්ලෝ පවසති.

"නිජ්රාන්' (Najran) නගරය අසල දී සෞදි හමුදාවේ බ්‍රිගේඩියර්වරුන් තුන්දෙනෙක් තමන්ට යටත් වුණා" යැයි 'හූති' ප්‍රකාශකයෙක් බීබීසි සමග පැවසීය.

සෞදි භටයන් දහස් ගණනක් යටත් කරගත් බවත්, තවත් භටයන් විශාල සංඛ්‍යාවක් මරා දමන ලද බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

එහෙත් එම ප්‍රකාශ සෞදි අරාබි නිලධාරීන් විසින් තවමත් තහවුරු කරනු ලැබ නැත.

එම මෙහෙයුම සිය කැරැල්ල ආරම්භ කරනු ලැබීමෙන් අනතුරුව එල්ල කෙරුණු දැවැන්තම ප්‍රහාරය වන බවත් 'හූති' ප්‍රකාශකයා පවසයි.

කර්නල් යහියා සරියා (Yahiya Sarea) නම් එම 'හූති' ප්‍රකාශකයා කියා සිටින පරිදි "සෞදි අරාබි හමුදාව ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමිවීමකට මෙන්ම යුද අවි යාන්ත්‍රණයේ විනාශයකට මුහුණ දී" ඇත.

අත්අඩංගුවේ සිටින සෞදි භටයන්, තමන් විසින් විකාශනය කරනු ලබන 'අල් මසිරා' (Al Masirah TV) රූපවාහිනිය ඔස්සේ ඉරිදා (සැප්තැම්බර් 29) ප්‍රදර්ශනය කරන බවත් 'හූති' ගරිල්ලා ව්‍යාපාරයේ ප්‍රකාශක කර්නල් යහියා සරියා පවසයි.

පසුගිය දාහතර (සැප්තැම්බර් 14) වෙනිදා සෞදි අරාබි ඛනිජ තෙල් මධ්‍යස්ථාන දෙක ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද ප්‍රහාරයේ වගකීමත් 'හූති' ගරිල්ලන් විසින් භාරගනු ලැබිණි.

එම ප්‍රහාරය ලෝක වෙළෙඳපොලේ ඛනිජ තෙල් මිල විශාල මට්ටමින් ඉහළ යාමකට හේතු විය.

එහෙත් සෞදි අරාබියට සහය දෙන ඇමෙරිකා එක්සත් ජනපදය,එක්සත් රාජධානිය,ප්‍රංශය සහ ජර්මනිය එම ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානයට චෝදනා කළහ.

එහෙත් ඉරානය එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරයි.

හූති -සෞදි ගැටුමේ සුලමුල

හූති කැරලිකරුවන් විසින් ජනාධිපති අබ්ද්රාබුද් මන්සූර් හාදි (Abdrabbuh Mansour Hadi) සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය බලයෙන් නෙරපා හරිනු ලැබීමෙන් අනතුරුව ඔවුන් 'සානා' අගනුවරින් පළා ගිය අතර ඒ සමග 'යේමන් යුද්ධය' ආරම්භ විය.

යේමනයේ උතුරු පලාතෙන් වැඩි කොටස 'හූති' කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතී.

සෞදි අරාබිය, බලයෙන් පහ කෙරුණු ජනාධිපති 'මන්සූර් හාදි' වෙනුවෙන් සහයෝගය දෙයි.

මේ අතර ඉරානයේ සහයෝගය 'හූති' ගරිල්ලන්ට ලැබෙන අතර, සෞදි අරාබියේ නායකත්වයෙන් ගොඩ නැගුන යුද සන්ධානය කැරලිකරුවන්ට ගුවනින් පහර එල්ල කරමින් සිටිති.

එම සෞදි යුද සන්ධානය දිනපතාම පාහේ හූති කැරලිකරුවන් ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කරන අතර, හූති කැරලිකරුවෝ සෞදි භූමියට මිසයිල් මගින් දිගින් දිගටම පහර දෙති.

යේමනයේ සිවිල් යුද්ධය ලෝකයේ බිහිසුණුම මානවීය ආපදාව සහ විනාශයට හේතු වී ඇත.

යේමනයේ ජනගහනයෙන් 80% ක්ම අනාරක්ෂිත මෙන්ම මානවීය ආධාර මත යැපෙන තත්ත්වයකට හෙලනු ලැබ සිටිති.

කෝටියක් පමණ ජනතාව ජීවිත පවත්වා ගනු ලබන්නේ ආහාර සහනාධාරයෙනි.

යේමනයේ ජනගහනයෙන් දෙකෝටි හතළිස් ලක්ෂයකට අධික ජනතාව (මිලියන 24) එවැනි අසීරු අඩියක සිටින බව ඇස්තමේන්තු කරනු ලැබ ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇස්තමේන්තු කිරීම අනුව,යේමන් අර්බුදය නිසා 2016 වසරේ පටන් මේවනවිට මරා දැමුණු මිනිස් ජීවිත සංඛ්‍යාව හැත්තෑ දහසකට අධික වේ.

කියවන්න;