විද්‍යාඥයින් ඇස ගසා සිටින ග්‍රහක හතරක්: පෘථිවියේ ගැටීමට ඇති අවස්ථා?

Artwork of asteroid 2024 YR4, estimated to be up to 67 meters in size

ඡායාරූප මූලාශ්‍රය, SPL

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රමාණයෙන් මීටර් 67ක් යැයි ගණන් බලා ඇති YR4 ග්‍රහකයේ රූප සටහනක්
    • Author, යෙමිසි අඩෙගෝක්
    • Role, බීබීසී ලෝක සේවය

බොහෝ විට ඔබ ග්‍රහකයක් පිළිබඳ සිතා බැලීමට යොමුවන්නේ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් නරඹන අවස්ථාවකදී හෝ එවැන්නක් පෘථිවිය සමග ගැටීමේ අවස්ථාවක් පවතින බවට ප්‍රවෘත්ති වාර්තා වුවහොත් පමණි. නමුත් ගෝලීය වශයෙන් සලකා බලන විට හේතු රැසක් මත විවිධ සංවිධාන සහ නිරීක්ෂණ ආයතන කිහිපයක් නිරන්තරයෙන් ග්‍රහක පිළිබඳ නිරීක්ෂණය කරයි.

මීට වසර බිලියන 4.6කට පමණ පෙර අපගේ සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වීමෙන් පසු ශේෂ වූ පාෂාණමය කොටස් ග්‍රහක ලෙස හැඳින්වේ. මේ වන විට හඳුනා ගෙන ඇති ග්‍රහක මිලියනයකට වඩා පවතින අතර, බොහෝ ඒවා අඟහරු සහ බ්‍රහස්පති අතර පිහිටා ඇති ප්‍රධාන ග්‍රහක වළල්ලේ රැඳෙමින් සූර්යයා වටා ගමන් කරයි.

නමුත් ඇතැම් ග්‍රහක පෘථිවිය සමීපයට ම ළඟා වන අතර ඒවා ජීවයේ මූලාරම්භය වටහා ගැනීමට අපට උපකාර වනු ඇතැයි එක්සත් රාජධානියේ විවෘත විශ්වවිද්‍යාලයේ ග්‍රහලෝක හා අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ මහාචාර්ය මොනිකා ග්‍රේඩි පැහැදිලි කරයි.

"මෙම ග්‍රහකවලින් ඇතැම් ඒවායෙහි ජීවයේ ගොඩනැගීමට බලපෑ මූලික අංග විය හැකි කාබනික සංයෝග බොහොමයක් තිබෙනවා. ඒවා පිළිබඳ පවතින එක් උපකල්පනයක් තමයි පෘථිවිය මත ජීවය ගොඩනැගුනේ ජීවයට අවශ්‍ය අමුද්‍රව්‍ය, ග්‍රහක මගින් පෘථිවියට රැගෙන ඒම හේතුවෙන් කියන එක," ඇය පවසයි.

Nasa team with probe that aims to study the Psyche Asteroid.

ඡායාරූප මූලාශ්‍රය, NASA/Ben Smegelsky

ඡායාරූප ශීර්ෂ වැකිය, සයිකී ග්‍රහකය අධ්‍යයනය කිරීමේ මෙහෙයුමක් සඳහා නාසා ආයතනය ඩොලර් මිලියන සිය ගණනක් ආයෝජනය කර ඇත

අභ්‍යවකාශයේ පවතින ග්‍රහක බොහෝමයක් හානිකර නොවන අතර ඒවා අනවශ්‍ය අවධානයකින් ඈඳා ගැනීමකින් තොරව ගමන් කරන නමුත් ඇතැම් ග්‍රහක සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටීම ප්‍රයෝජනවත් වේ.

"පෘථිවියට ළඟා වන වස්තු පිළිබඳ සොයා බැලීම සඳහා ලෝකයේ වැඩි උනන්දුවක් පවනවා. එම ග්‍රහකවලින් බලපෑම් එල්ල වීම බැහැර කිරීමට සහ ඇතැම් බලපෑම් පිළිබඳ අනාවැකි පළ කිරීම සඳහා අදාළ ග්‍රහකවල කක්ෂ හොඳින් හඳුනා ගන්නා තෙක් එම ග්‍රහක සමීපව නිරීක්ෂණය කරනවා. අපි පෘථිවියට තවත් දුරින් පවතින අසාමාන්‍ය සංයුතියකින් යුතු වස්තු සොයනවා," එක්සත් රාජධානියේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා සහ තාරකා විද්‍යා පාසලේ පර්යේෂකයෙකු වන අගාටා රොසෙක් පවසයි.

විශාලත්වය පිළිබඳ සලකා බැලීමේදී, විශාල ග්‍රහක සඳහා පවතින්නේ අඩු සැලකිල්ලකි.

"ඒවා ස්ථානගතව පවතින්නේ කොතැන ද සහ ඒවා ගමන් කරන්නේ කොතැනට ද කියන එක අපි හරියට ම දන්නවා, ඒ වගේ ම ඒවායේ චලනයන් පාලනය කරන නීති ගැන අපිට තියෙන්නේ ඉතා හොඳ අවබෝධයක්, ඒවා වඩා හොඳින් තේරුම් ගැනීමට අසාමාන්‍ය සිද්ධි අධ්‍යයනය කරනවා," රොසෙක් පැහැදිලි කරයි.

"හඳුනා නොගත් කුඩා ග්‍රහකවල කක්ෂය ගැන දැන ගන්නා තෙක් ඒවා ගැන සැලකිලිමත් වෙන එක හොඳයි."

විද්‍යාඥයින්ට අනුව, දැනට නිරීක්ෂණය කරන ප්‍රධාන ග්‍රහක තුනක් පිළිබඳව මෙහි දැක්වේ. තවත් අමතර ග්‍රහකයක් ද වන අතර එහි සුවිශේෂී වැදගත්කම හේතුවෙන් නාසා ආයතනය ඒ පිළිබඳ අධ්‍යනයන කිරීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

1. අපෝෆිස්

This animation shows the distance between the Apophis asteroid and Earth at the time of the asteroid's closest approach. The blue dots are the many man-made satellites that orbit our planet, and the pink represents the International Space Station.

ඡායාරූප මූලාශ්‍රය, NASA

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉදිරි සියවස තුළ අපෝෆිස් ග්‍රහකයෙන් පෘථිවියට තර්ජනයක් නැතැයි නාසා ආයතනය පවසයි
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

අපෝෆිස් සොයා ගනු ලැබුවේ 2004 වසරේදීයි. එය කරදර සහ විනාශයට අධිපති ඊජිප්තු දෙවියෙකු ලෙස සැලකෙන අපෝෆිස් නමින් නම් කර ඇත.

එය පෘථිවිය සමග ගැටීමට කුඩා අවස්ථාවක් පවතින බව පෙනී ගොස් තිබිණි. නමුත් නාසා ආයතනය පසුව නිවේදනය කළේ, "අපෝෆිස් අවම වශයෙන් වසර 100ක්වත් ගතවන තුරු පෘථිවියට බලපෑමක් එල්ල කිරීමේ අවදානමක් නොමැති බව විශ්වාස කරනවා," යනුවෙනි.

"අපි මේ වන විට දන්නවා ඒක 2029 අප්‍රේල් 13 වන දා වන විට ආරක්ෂිතව පෘථිවිය පසුකර යයි කියලා," රොසෙක් පවසයි.

"එය සොයා ගත් දිනයේ සිට විද්‍යාඥයින්ගේ අවධානයත් යොමු වුණේ ඒ වෙත. ඒ වගේ ම ඒක පෘථිවිය ආසන්නයට ම ඒවි. ඒ කියන්නේ භූ ස්ථාවර චන්ද්‍රිකා තියෙන මට්ටමට ම ළඟා ළඟා වේවි. අපි හිතනවා පෘථිවියට තියෙන සමීපත්වය මත ග්‍රහකය දිගු වෙලා ඒකෙ හැඩය වෙනස් වේවි කියලා අපි හිතනවා."

නාසා ආයතනයට අනුව, පෘථිවියේ පවතින ගුරුත්වාකර්ෂණ ද සූර්යයා වටා පවතින අපෝෆිස්ගේ කක්ෂය වෙනස් කරන තල්ලුවක් උත්පාදනය කරනු ඇති අතර ම එමගින් ග්‍රහකයේ කුඩා නාය යෑම් පවා ඇති විය හැක.

එහි සාමාන්‍ය විෂ්කම්භය මීටර් 340ක් පමණ වන අතර එම ප්‍රමාණය පාපන්දු පිට්ටනි තුනක් පමණ දිගට සමාන වේ. එය පෘථිවියේ මතුපිට පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 32,000ක් පමණ දුරින් ගමන් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. එම මාර්ගය මිනිසාගේ පියවි ඇසට පෙනෙන තරම් සමීපව බව පැවසේ.

2. 2024 YR4

Discovery images of asteroid 2024 YR4.

ඡායාරූප මූලාශ්‍රය, ATLAS

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම රූපයෙන් දැක්වෙන්නේ 2024 YR4 ග්‍රහකය සොයා ගැනීම ය

2024 YR4 ග්‍රහකය සොයා ගෙන ඇත්තේ 2024 වසරේදීයි. එය 2032 වසරේදී පෘථිවිය සමග ගැටීමේ සුළු අවස්ථාවක් පවතින බව ප්‍රකාශ වීමත් සමග එය ලොව පුරා සිරස්තල මැවූ පුවතක් විය. ග්‍රහකය පිළිබඳ නාසා ආයතනය ඇස්තමේන්තු කර ඇති ප්‍රමාණය අනුව එහි විශාලත්වය මීටර් 53-67ත් අතර පමණ වන අතර එය දළ වශයෙන් මහල් 15කින් යුතු ගොඩනැගිල්ලක විශාලත්වයට සමාන වේ.

පර්යේෂකයන් පවා ඇස්තමේන්තු කර ඇත්තේ, එය පෘථිවිය සමග ගැටීම සඳහා පවතින අවස්ථාවේ සම්භාවිතාව 32කින් එකක් ලෙස පවතින බවයි. නමුත් නාසා ආයතනය විසින් ඒවා පසුකාලීනව ප්‍රතික්ෂේප කෙරිණි.

"පෘථිවිය හා ගැටීමේ සම්භාවිතාවක් පවතින ගමන් මාර්ගයක් සහිත ග්‍රහකයක් නිරීක්ෂණය කිරීමේදී මුහුණ දෙන එක් අභියෝගයක් වන්නේ එය ගැටීමක් සඳහා කෙතරම් දුරට ඉඩ තිබේ ද යන්න තීරණය කිරීමයි," ග්‍රේඩි පවසයි.

"අපි එම කක්ෂය පැහැදිලි කර ගැනීමට ගමන් පථය නිරීක්ෂණය කළ යුතුයි."

2024 YR4 ග්‍රහකය සඳ සමග ගැටීමට තවමත් 3.8% සම්භාවිතාවක් පවතී. නමුත් නාසා ආයතනය පවසන්නේ එවැනි ඝට්ටනයක් සිදුවුව ද එය අපගේ චන්ද්‍රයාගේ කක්ෂයට බලපෑමක් නොකරනු ඇති බවයි.

3. ඩිඩිමොස් සහ ඩිමෝර්ෆොස්

This illustration depicts Nasa's Double Asteroid Redirection Test (DART) spacecraft prior to impact at the Didymos binary asteroid system.

ඡායාරූප මූලාශ්‍රය, NASA/Johns Hopkins APL/Steve Gribben

ඡායාරූප ශීර්ෂ වැකිය, සැලසුම් කළ ගැටීමට පෙර, නාසා අභ්‍යවකාශ යානය ඩිමෝර්ෆොස් වෙත ළඟා වන ආකාරයේ රූප සටහනක්

ඩිඩිමෝස් යනු, ග්‍රහකයක් වන අතර එම වචනය ග්‍රීක භාෂාවේදී නිවුන් යන අරුත දක්වයි. ඩිමෝෆෝස් යනු එම ග්‍රහකය වටා ගමන් කරන කුඩා චන්ද්‍රයෙකි.

මේ දෙකින් එකක්වත් පෘථිවියට තර්ජනයක් එල්ල කරනු ඇතැයි නොසලකයි. නමුත් ඒවා සාපේක්ෂව පෘථිවිය ආසන්නයෙන් ගමන් කරයි.

2022 වසරේදී ඩිඩිමෝස් සහ ඩිමෝෆෝස් යන ග්‍රහක නාසා ආයතනයේ ද්විත්ව ග්‍රහක පරීක්ෂණ (DART) මෙහෙයුමේ ඉලක්කයක් විය. එම මෙහෙයුමේදී ඩිමෝෆෝස් සමග ගැටීමට පරීක්ෂණ යානයක් යොමු කළ අතර එය එම ක්‍රියාවලියේදී විනාශ විය. එම මෙහෙයුමේ ඉලක්කය වූයේ, පෘථිවියට තර්ජනයක් විය හැකි අභ්‍යවකාශයේ පවතින ග්‍රහක කොටස් ආරක්ෂිතව ඒවා ගමන් කරන මාර්ගයෙන් ඉවතට තල්ලු කළ හැකි ද යන්න පරීක්ෂා කිරීමයි.

ඩිමෝෆෝස් සහ ඩිඩිමෝස් සූක්ෂම ලෙස තෝරා ගෙන තිබිණි. ඒවා නිරීක්ෂණයට පෙර පෘථිවිය හා ඝට්ටනය වීමේ මාර්ගයක නොසිටි අතර ඒවායේ කක්ෂීය සම්බන්ධතාවයේ කුඩා වෙනසක් ඇති වීම තුළින් පෘථිවියට ඇති අවදානම වැඩි කර නොමැත.

"මෙම මෙහෙයුම ඩිමෝෆෝස් චන්ද්‍රයාට බලපෑම් එල්ල කළ අතර ම ග්‍රහක ආරක්ෂාව පිළිබඳ පළමු ප්‍රායෝගික පරීක්ෂණයේදී ඩිඩිමෝස් වටා පිහිටි එම චන්ද්‍රයාගේ කක්ෂය ද වෙනස් කිරීමකට ලක් වුණා" රොසෙක් පවසයි.

"පෘථිවිය පාදක කරගත් නිරීක්ෂණාගාර භාවිත කරමින් එහි සිදුවූ වෙනස මූලික වශයෙන් මැනීමට ලක් කළා. ඝට්ටනයේ ප්‍රතිඵල සොයා බැලීම සඳහා ලබන වසරේ ක්‍රියාවට නැංවීමට නියමිත හේරා මෙහෙයුමට පෙර අපි මෙය අඛණ්ඩව නිරීක්ෂණය කරනවා."

4. සයිකී

This illustration, created in March 2021, depicts the 140-mile-wide (226-kilometer-wide) asteroid Psyche, which lies in the main asteroid belt between Mars and Jupiter.

ඡායාරූප මූලාශ්‍රය, NASA

ඡායාරූප ශීර්ෂ වැකිය, සයිකී ග්‍රහකයේ සංයුතිය හේතුවෙන් එය විද්‍යාඥයින්ගේ අවධානය දිනා ගත්තේ ය

සයිකී (Psyche) යනු, 1852 වසරේදී සොයා ගන්නා ලද ග්‍රහකයකි. නාසා ආයතනය එම ග්‍රහකය පිළිබඳ පැහැදිලි කර තිබුණේ "ප්‍රධාන ග්‍රහක වළල්ලේ ඇති වඩාත් ම කුතුහලය දනවන වස්තුවක්," ලෙසයි.

සයිකී යනු, ග්‍රීක භාෂාවෙන් ආත්මය යන අරුත දෙන වචනයයි. එම නමින් ග්‍රීක දෙවඟනක් ද සිටින අතර ඇය ආත්මයේ දෙවඟනයි.

බ්‍රහස්පති සහ අඟහරු ග්‍රහයන් අතර සිට සූර්යයා වටා භ්‍රමණය වන සයිකී පෘථිවියට බොහෝ දුරින් ස්ථානගතව ඇති අතර එය ලෝහ හා පාෂාණවලින් නිර්මාණය වී ඇතැයි විශ්වාස කෙරේ.

ලෝහවලින් වැඩි ප්‍රමාණයක් ග්‍රහලෝකවල නිර්මාණාත්මක ඒකකයක් වන ග්‍රහලෝකයක හර‍ය තුළින් මතුවන අතර එය අධ්‍යයනය කිරීමෙන් පෘථිවි හරය සහ අනෙකුත් ග්‍රහලෝකවල හරය සෑදී ඇති ආකාරය අනාවරණ කර ගත හැකි බව විද්‍යාඥයින් විශ්වාස කරයි.

2023 වසරේදී නාසා ආයතනය සයිකී සිතියම්ගත කිරීම සහ අධ්‍යයනය කිරීම සඳහා මෙහෙයුමක් දියත් කර තිබිණි.

නව සොයාගැනීම්

The first image revealed by the Vera Rubin telescope shows the Trifid and Lagoon nebulae in stunning detail

ඡායාරූප මූලාශ්‍රය, NSF-DOE Vera C. Rubin Observatory

ඡායාරූප ශීර්ෂ වැකිය, Vera Rubin දුරේක්ෂය මගින් හෙළිදරව් කරන ලද පළමු රූපයේ දැක්වෙන්නේ තරුවක උපත සිදුවන ට්‍රිෆිඩ් (Trifid) සහ ලගූන් (Lagoon) නිහාරිකාවල විශ්මයජනක රූපයකි

තාරකා විද්‍යාත්මක නිරීක්ෂණාගාරයක් වන Vera Rubin මෙම මස ආරම්භයේදී අනාවරණ කළේ, එහි ස්ථාපිත නව දුරේක්ෂය පැය 10ක් තුළ පෘථිවිය ආසන්නයේ පවතින නව ග්‍රහක 2,000කට වැඩි ගණනක් සහ අභ්‍යවකාශ වස්තු හතක් හඳුනා ගත් බවයි.

පෘථිවියේ සහ අභ්‍යවකාශයේ ස්ථානගත කර ඇති අනෙකුත් සියලු ම නිරීක්ෂණාගාර මගින් වාර්ෂිකව දළ වශයෙන් ග්‍රහක 20,000ක් පමණ සොයා ගැනේ.

"මුළු රාත්‍රී අහස ම සිතියම්ගත කිරීමට ඔබට අවශ්‍ය නම්, සැබවින් ම පුළුල් දර්ශන ක්ෂේත්‍රයක් තිබිය යුතුය. Vera Rubin නිරීක්ෂණාගාරයේ පවතින දුරේක්ෂයේ ඇත්තේ එයයි," මහාචාර්ය ග්‍රේඩි පවසයි.

ව්‍යාපෘතියේ පළමු වසර කිහිපය තුළ මිලියන ගණනක් නව ග්‍රහක සොයා ගැනීමට අපේක්ෂා කරන බව නිරීක්ෂණාගාරය පවසයි.

නිරීක්ෂණාගාරය පවසන්නේ. සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ තවත් හෝඩුවාවන් සොයා ගැනීම සඳහා ග්‍රහක නිරීක්ෂණයට මෙමගින් අවස්ථාව සලසා දෙන බවයි.