'මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. මම ඒ හැමෝම මැරුවා': කැනඩාවේදී දරුවන් සිව් දෙනෙකු ඇතුළු 6 දෙනෙකු ඝාතනය කළ ලාංකික සැකකරු වරද පිළිගනී

ඡායාරූප මූලාශ්‍රය, Court Sketch / Lauren Foster-MacLeod
*අවවාදයයි: මෙම ලිපියේ ඇතැම් පාඨකයින් කම්පනයට පත් කරවනසුලු තොරතුරු අන්තර්ගත වේ.
පසුගිය වසරේ කැනඩාවේ ඔටාවාහිදී ශ්‍රී ලාංකික දරුවන් සිව් දෙනෙකු, ඔවුන්ගේ මව සහ තවත් එම පවුලේ හිතවතෙකු ඇතුළු හය දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි 20 හැවිරිදි සැකකරු වරද පිළිගෙන තිබේ.
ෆෙබ්‍රියෝ ද සොයිසා නමැති සැකකරු එම දරුවන්ගේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහට පහර දී ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ද වරද පිළිගෙන ඇතැයි සීබීසී වාර්තා කොට තිබේ.
2024 මාර්තු 6 වන දින මෙම පිහි ඇනුම් සිදුවන විට, ඔහු 19 හැවිරිදි ජාත්‍යන්තර ශිෂ්‍යයෙකු වූ අතර ඔහු වික්‍රමසිංහ පවුල සමග ඔටාවාහි බාර්හේවන් තදාසන්න ප්‍රදේශයේ ඔවුන්ගේ නිවසේ බිම් මහලේ ජීවත් විය.
කිසිදු කලබලකාරී සිදුවීමකින් තොරව ඔහු එම ස්ථානයේදී ම අත්අඩංගුවට ගන්නා ලද අතර පසු දා පළමු මට්ටමේ මනුෂ්‍ය ඝාතන චෝදනා හයක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල විය.
2025 නොවැම්බර් 6 ( බ්‍රහස්පතින්දා) උදෑසන ඔටාවාහි ඉහළ අධිකරණයේදී සොයිසා ඔහුගේ නීතිඥ යූවන් ලිට්ල් සමග පෙනී සිටිමින් සිව් දෙනෙකු චේතාන්විතව ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාවලට වරද පිළිගත්තේ ය:
- රනායා වික්‍රමසිංහ, පවුලේ තුන් හැවිරිදි දියණිය
- අශ්විනී වික්‍රමසිංහ, ඔවුන්ගේ සිව් හැවිරිදි දියණිය
- ඉනුක වික්‍රමසිංහ, ඔවුන්ගේ හත් හැවිරිදි පුතු
- ගාමිණී අමරකෝන්, වයස අවුරුදු 40, පවුලේ සමීප මිතුරෙකු සහ පවුලේ කුලී නිවැසියන් දෙදෙනාගෙන් කෙනෙකි.
මෙම ඝාතන සඳහා වන දඬුවම නීතියෙන් නිශ්චය කර ඇති අතර එය වෙනස් කළ නොහැකි එකකි: ජීවිතාන්තය දක්වා වන සිර දඬුවමකට ඔහු නියම වූ අතර, වසර 25ක් ගතවෙන තුරු සමාව සඳහා අයැදුම් කිරීමට හැකියාවක් නැත.
ඉතිරි වින්දිතයන් දෙදෙනා වන මව දර්ශනී ඒකනායක (35) සහ ඇගේ මාස දෙකක් වයසැති බිළිඳිය වූ කෙලී වික්‍රමසිංහ ඝාතනය සම්බන්ධයෙන් ද සැකකරු දෙවන මට්ටමේ මනුෂ්‍ය ඝාතනවලට වරදකරු විය. [දෙවන මට්ටමේ මිනීමැරුමක් සාමාන්‍යයෙන් ද්වේෂ සහගත චේතනාවෙන් කරන ලද නමුත් කලින් සැලසුම් නොකළ ඝාතනයකි.]
කැනඩාවේ අගනුවර තුළ මෙතෙක් දැක ඇති වඩාත් ම කම්පනසහගත ප්‍රචණ්ඩක්‍රියාවක් ලෙස ඔටාවා නගරාධිපති විසින් විස්තර කරන ලද මෙම ඝාතන එරට මෙන් ම ශ්‍රී ලංකාවේ ද සිරස්තල මැවූ පුවතක් විය.
බිළිඳිය හැරුණු විට, වික්‍රමසිංහ පවුල ශ්‍රී ලංකාවෙන් කැනඩාවට මෑතකදී සංක්‍රමණය වූවෝ වූහ. තම පවුල නඩත්තු කිරීම සඳහා රැකියාවක නිරතව සිටි අමරකෝන් ද එසේ සංක්‍රමණය වූවෙකි.
වරදරකරු වූ ෆෙබ්‍රියෝ ද සොයිසා ශ්‍රී ලාංකියෙකි.
අධිකරණයේදී හෙළි වූයේ මොනවා ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
අත්අඩංගුවට ගැනීමෙන් පසු විමර්ශන නිලධාරියෙකු සමග කළ ප්‍රශ්න කිරීමවලදී සොයිසා ප්‍රකාශ කර ඇත්තේ, වික්‍රමසිංහ පවුල සැමවිට ම තමාට "කරුණාවන්තව සිටිය ද", තමා සතුව මුදල් නොමැති නිසාත්, වීසා බලපත්‍රයේ වලංගු කාලයේ අවසන් වූ විට නැවත ශ්‍රී ලංකාවට යාමට අකමැති වූ නිසාත්, "සියදිවි නසා ගැනීමට ධෛර්යයක් නොතිබූ නිසාත්" ඔහු ඔවුන් මරා දැමූ බව ය.
"මට මේ නීතිරීති සහ මිනිස්සු ඔක්කොම එපා වෙලා ඉන්නේ, ඒක පිස්සුවක් මුළු ලෝකේ ම වගේ," සොයිසා ඔටාවා පොලිසියේ විමර්ශන නිලධාරියා වෙත පැවසීය.
ඝාතනයට දින පහකට පෙර එනම් මාර්තු 1 වන දින, ඔහු එය කිරීමට තීරණය කළ බව, රාජකීය නීතිඥ ඩලස් මැක් බ්‍රහස්පතින්දා අධිකරණයට පැවසීය. පසුව, ඔහුගේ සැලැස්ම වී ඇත්තේ අත්අඩංගුවට ගන්නා තෙක් දින කිහිපයක් එම නිවසේ ම ජීවත් වීම ය.
2024 ජනවාරි 31 වන දින, සොයිසා සියදිවි නසා ගැනීමට යොදා ගැනීමට සැලසුම් කරමින් සෙන්ටිමීටර 38ක පිහියක් (hunting knife) අන්තර්ජාලය හරහා ඇණවුම් කළ බව ඔහු විමර්ශන නිලධාරියා වෙත පවසා තිබේ.
එම කාලයේදී ම ඔහු අධ්‍යයන කටයුතු සඳහා සහභාගී වීම සහ ඒවායේ නිරත වීම නැවැත්වූ අතර, වීඩියෝ ක්‍රීඩා කිරීමට (video games) සහ පිටතින් ආහාර ඇණවුම් කිරීම සඳහා විශාල මුදලක් වැය කිරීමට පටන් ගත් බව නීතිඥවරයා සඳහන් කළේ ය.
විභාග ආදියෙන් අසමත් වීම නිසා ඔහුගේ ශිෂ්‍ය වීසා බලපත්‍රය අවලංගු වනු ඇතැයි ද එමගින් ශ්‍රී ලංකාවේ ඔහුගේ පවුලෙන් ඔහුට ලැබෙන මූල්‍ය උපකාර ද අවසන් වනු ඇතැයි ද ඔහු සිතා තිබේ.
ඝාතනය සිදු වූයේ කෙසේ ද?
2024 මාර්තු 6 වන දින, ධනුෂ්ක වික්‍රමසිංහ රැකියා දෙකක නිරත විය.: ඔහුගේ පිරිසිදු කිරීමේ ව්‍යාපාරය, අලුයම 3:30ට ආරම්භ වන අතර, ඉතිරි කාලය ඔහු කුලී රථ රියදුරෙකු ලෙස කටයුතු කළේ ය.
ඔහු තම වැඩිමහල් දරුවන් දෙදෙනා පාසලට ඇරලවීමටත්, තම බිරිඳ සහ බාල දරුවන් දෙදෙනා සමග උදෑසන ආහාරය ගැනීමටත් යම් විවේකයක් ගත්තේ ය. පසුව, ඔහු තම දරුවන් පාසලෙන් රැගෙන ඒම සඳහා තවත් විවේකයක් ගත් අතර, ඔවුන් නිවසට යන අතරමගදී ඩෝනට්ස් පෙට්ටියක් මිලට ගැනීම සඳහා නතර විය. සීබීසී වාර්තා කරන පරිදි, වික්‍රමසිංහ ඔවුන්ව නිවසට ඇරලවා නැවත රැකියාවට ගොස් තිබේ.
එදින ම සවස, වරද පිළිගත් සොයිසා පවුලේ අනෙක් කුලී නිවැසියාට චිත්‍රපටයක් නැරඹීම සඳහා ඔහුගේ බිම් මහලේ නිදන කාමරයට ආරාධනා කළේ ය.
ගාමිණී අමරකෝන් සොයිසා වෙත ඇවිද එන විට ඔහුට කිහිප වතාවක් පිහියෙන් ඇන, තත්පර කිහිපයක් ඇතුළත හෝ උපරිම වශයෙන් "මිනිත්තු කිහිපයක් ඇතුළත" ඔහුව මරා දැමූ බව නීතිඥවරයා අධිකරණයට කරුණු දැක්වූයේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකුගේ සොයාගැනීම් සාරාංශ ගත කරමිනි.
අමරකෝන් කෑ ගසන හඬ ඇසුණු උඩුමහලේ සිටි හත් හැවිරිදි ඉනුක බිළිඳිය සමග සිටි ඔහුගේ මවට ඒ බව පවසා තිබේ.
පසුව දර්ශනී ඒකනායක තම සැමියාට අමතා ඇති අතර ඔහු ඒ වන විටත් සිටියේ නිවසින් බැහැරව ය. තම බිරිඳ සමග කතා කිරීමෙන් පසු ධනුෂ්ක වික්‍රමසිංහ ද සොයිසාට කතා කර සිදුවන්නේ කුමක්දැයි විමසා ඇත.
තමා වික්‍රමසිංහට සහ ඔහුගේ බිරිඳට බොරු කී බවත්, කෑගැසීම් ඇසුනේ අමරකෝන් සමග බිම් මහලේ නරඹමින් සිටි චිත්‍රපටයෙන් බව පවසා සියල්ල හොඳින් ඇති බව යුවළට ඒත්තු ගැන්වීමට සොයිසා සමත් වූ පසු, ඔහු උඩුමහලට ගොස් තිබේ.
නිවසේ ප්‍රධාන මහලේ සහ ඉහළ මහලේදී, ඔහු දරුවන් සිව් දෙනා සහ දර්ශනී ඒකනායක පිහියෙන් ඇන මරා දමා ඇති අතර ඝාතනය සිදු වූ අයුරු ඔහු සවිස්තරාත්මකව පොලිසිය වෙත පැවසුව ද එය වාර්තා කළ නොහැකි තරම් කම්පනසගත බව සීබීසී වාර්තා කොට තිබේ.
දර්ශනී ඒකනායක සහ දරුවන් ප්‍රහාරයට ලක්ව තත්පර කිහිපයක් ඇතුළත මිය ගොස් ඇති බව අධිකරණ වෛද්‍ය විශේෂඥයෙකු විසින් සොයා ගැනිණි.
සොයිසා විමර්ශන නිලධාරියාට පවසා තිබුණේ, එදින සවස 5:20ට පමණ තමා ධනුෂ්ක වික්‍රමසිංහට කතා කර ඔහු යළි පැමිණෙන වේලාව විමසූ බවත්, ඒ අනුව ඔහු එනතුරු බලා සිටි බවත්ය.
"මම කාලය යවා ගන්න TikTok බලමින් හිටියා.... මාව ම සන්සුන් කරගන්න උත්සහ කරමින්," ඔහු පැවසීය.
වැඩ නිම කර ව්‍යායාම් ශාලාවට යාමෙන් පසු, රාත්‍රී 11ට පෙර වික්‍රමසිංහ නිවසට පැමිණි බව නීතිඥවරයා අධිකරණයට පැවසීය. ඒ වන විට නිවස තුළ විදුලි පහන් නිවා දමා තිබූ අතර, සියලු දෙනා නිදාගෙන සිටින බවට ඔහු උපකල්පනය කොට තිබේ.
මිනිත්තු 10ක් පමණ ඔහු ගරාජයේ තම මෝටර් රථයේ වාඩි වී මිතුරන් සහ පවුලේ අය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සොයා බලා පසුව වාහනයෙන් පිටතට ගොස් ගරාජයේ දොරකින් තම නිවසට ඇතුළු වී ඇත.
ඔහු ඇතුළු වූ විගස පිහිය පිටුපස සඟවාගෙන සිටගෙන සිටින සොයිසා දුටු අතර වික්‍රමසිංහ ඔහුට ආචාර කළ අතර සොයිසා වහා ම ඔහුට පහර දීමට පටන් ගත් බව නීතිඥවරයා අධිකරණයේදී පැවසීය.
අවසානයේ වික්‍රමසිංහ සොයිසාගේ අත්වලින් පිහිය උදුරා ගැනීමට සමත් වී අතර ඉන්පසු ඔහු උදව් පතා අසල්වැසි නිවසකට දිව ගොස් ඇති අතර සොයිසා කුස්සියේ තිබූ තවත් පිහියක් රැගෙන ඔහු පසුපස ලුහුබැඳ ඇත.
තම දරුවන් කවුරුන් හෝ මරා දමා ඇති බවට කෑ ගසන වික්‍රමසිංහගේ හඬ අසල්වැසියන්ට ඇසි ඇති අතර පසුව ඔවුන් 911 අමතා ඇති අතර වික්‍රමසිංහ ද 911 අමතා තිබේ.
පොලිස් නිලධාරීන් පැමිණෙන විට ඔවුන් දැක ඇත්තේ සොයිසා ඉදිරිපස පඩිපෙළේ වාඩි වී සිටින ආකාරයයි.
"මාව පිටුවහල් කරන්නයි හිටියේ; මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. මම ඒ හැමෝම මැරුවා," සොයිසා අත්අඩංගුවට ගත් නිලධාරියාට පවසා ඇත.
ඔහුගේ අයිතිවාසිකම් කියවා දුන් පසු, ඔහු ඔවුන් මරා දැමූ බව නැවත නැවතත් කියා තිබෙන අතර සියලු වින්දිතයින් නිවස තුළ ඝාතනයට ලක්ව සිටියදී පොලිස් නිලධාරීන්ට හමුවිය.
සිද්ධියෙන් ධනුෂ්ක වික්‍රමසිංහ ද බරපතළ තුවාල ලැබූ අතර ඔහු සැත්කම් කිහිපයකට ද භාජනය විණි.
'මේ පෙන්ඩන්ට් එයාලා දාගෙන හිටපු ඒවා. මම ඒවා හැම මොහොතක ම දාගෙන ඉන්නවා'
මීට පෙර සීබීසී සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී ධනුෂ්ක වික්‍රමසිංහ මෙසේ පැවසීය.
"පහු ගිය අවුරුද්ද මට හරි ම අමාරු වේදනාකාරී අවුරුද්දක් වුණා. මම දැන් දන්නවා හැම දෙයක් ම අනිත්‍යයි කියලා.
"මේ පෙන්ඩන්ට් එයාලා දාගෙන හිටපු ඒවා. මම ඒ හැම එකක් ම හැම මොහොතක ම දාගෙන ඉන්නවා.
"මේ කාලය තුළ මට බොහෝ ශ්‍රේෂ්ඨ මිනිස්සු හම්බ වුණා. මම මේ අවස්ථාවේදී එයාලට ස්තූතිවන්ත වෙනවා. මම ස්වාමීන් වහන්සේලාට සහ මගේ පවුල එක්ක කතා කරනවා. මම ඒ අයට කිව්වා, 'මම ඉස්සරහට යන්න ඕනේ මගේ පවුල වෙනුවෙන්. මම උදාහරණයක් වෙන්න ඕනේ අනෙක් අයටත්.
"මම පුංචි පුණ්‍යායතනයක් පටන් ගත්තා. ඒක මගේ පුතාගේ නමින් 'අභිසෙස් පදනම' කියලා නම් කළා. මම ඒ සල්ලි ආධාර උපකාර කරන්න යොදා ගන්නවා.
"මට හැමදේම නැති වුණා, මගේ මුළු ලෝකය ම. මට මෙහිදී ගොඩක් දේවල් ලැබුණා. මම ඔටෝවාවල මිනිස්සුන්ට ආදරෙයි. මම හිතන්නේ නැහැ මම මෙහෙන් යාවි කියලා. මට ඕනේ හොඳ මනුස්සයෙක් විදිහට මෙහේ ජීවත් වෙන්න," ඔහු වැඩිදුරටත් පැවසීය.
ෆෙබ්‍රියෝ ද සොයිසා සමාව අයැදියි
නඩු විභාගය අවසානයේදී විනිසුරුවරයා තමාට යමක් කීමට තිබේදැයි විමසූ විට, ෆෙබ්‍රියෝ ද සොයිසා පැවසුවේ තමා කළ දේ ගැන තමා දැඩි ලෙස කණගාටු වන බවත්, "මම මගේ ජීවිතයේ ඉතිරි කාලය ගත කරන්නේ මා කළ දේ පිළිබඳ යථාර්ථය තේරුම් ගැනීමට බවත්" යනුවෙනි.
ඔහු නැවතත් පැවසුවේ වින්දිත පවුලේ සාමාජිකයින් "මට හොඳින් කරුණාවන්තව සැලකුවා" සහ ඒ වන විට ඔහු "අසනීපව සිටි" බවත්ය.
ඝාතන හයට ම වසර 25ක, සමාවක් සඳහා ඉල්ලුම් කිරීමට හැකියාවක් නොමැති වෙනස් කළ නොහැකි ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් සහ මිනීමැරීමට තැත් කිරීම සඳහා වසර 25ක සිර දඬුවමක් එකවර ගෙවිය යුතු බවට නියම විය.
ඔහුගේ නීතිඥවරයා අධිකරණයේදී පැවසුවේ, සොයිසාට ඒ වන විට වයස අවුරුදු 19ක් වූ බවත්, නිවසින් බොහෝ දුරස්ව සිටි බවත් ය. එමෙන් ම ඔහුට ජීවිත අත්දැකීම් සහ කුසලතා ඉතා අල්ප බවත් ඔහු පැවසීය.
ෆෙබ්‍රියෝ ද සොයිසාගේ දෙමව්පියන් "යහපත් මිනිසුන්" බවත්, ඔවුන් තම පුතා කැනඩාවේ අධ්‍යාපනය සඳහා එවූ විට මෙවැනි දෙයක් සිදුවනු ඇතැයි ඔවුන් නොදැන සිටි බවත් ඔහු අවධාරණය කළේ ය.
මානසික සෞඛ්‍යය තත්ත්වය සලකා බලන ලෙස තමා නොපවසන නමුත් තම සේවාදායකයා මානසික රෝගවලින් පෙළෙන බවට "කිසිදු සැකයක්" නොමැති බවත් ඔහුගේ නීතිඥ ලිට්ල් පැවසීය.
"ඔහු සිදු කර තිබෙන්නේ ඇදහිය නොහැකි දෙයක්. නමුත් අද ඔහු කරන්නේ නිවැරදි දේ සහ ඔහුගෙන් අපේක්ෂා කරන දේ, ස්වාමිනී ඔබ දන්නවා ඔහුගේ තත්ත්වයේ සිටින බොහෝ දෙනෙක් එසේ නොකරන බව."
ඔබට සහයක් අවශ්‍ය ද?
මානසික සෞඛ්‍ය ගැටලුවක් සම්බන්ධයෙන් හදිසි ආධාර අවශ්‍ය නම් මහජනතාවට ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ ක්ෂණික ඇමතුම් අංකය (1926) ඇමතීමට හැකි ය.
දිවි නසා ගැනීම් වැළක්වීමේ සහ ඉන් වැළකී සිටීමට උපදේශන සේවා ලබා දෙන ශ්‍රී ලංකාවේ ආයතන:
ශ්‍රී ලංකා සුමිත්‍රයෝ - දුරකතන අංකය: 011 2696666 හෝ +94 112 682 535
ධෛර්ය, දයානුකම්පාව, කැපවීම (CCC) පදනම - දුරකතන අංකය: 1333 හෝ +94 112 692 909
සීබීසී පුවත් වාර්තාව ඇසුරින් මෙම ලිපිය සකසා ඇත.














