වියළි සලාක බලාපොරොත්තුවෙන් සිටි පලස්තීන වැසියන් 51 දෙනෙක් ඊශ්‍රායල හමුදා විසින් ඝාතනය කෙරෙති

    • Author, සෙබස්තියන් අෂර්, මැද පෙරදිග කලාපීය සංස්කාරක, ජෙරුසලමේ සිට සහ රෂ්ඩි අබුඅලුෆ්, ගාසා වාර්තාකරු

දකුණු ගාසා තීරයේ ආධාර බෙදා හැරීමේ ස්ථානයක් අසල ඊශ්‍රායල හමුදා සිදු කළ වෙඩි තැබීමකින් පලස්තීන ජාතිකයින් 51කට වැඩි පිරිසක් මිය ගොස් තවත් බොහෝ දෙනෙකුට තුවාල සිදුවී ඇති බව ඇසින් දුටුවෝ සහ ජිවිත බේරා ගත් පිරිස පවසති.

හමාස් සංවිධානය විසින් පවත්වා ගෙන යනු ලබන සිවිල් ආරක්ෂක ඒජන්සිය පැවසුවේ, ඊශ්‍රායල හමුදා ඛාන් යුනිස්හි ආධාර බෙදා හැරීමේ ස්ථානය අසල සිටි පිරිසට වෙඩි තැබූ බවයි. 200 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ඊශ්‍රායල හමුදාව බීබීසීයට පවසා ඇත්තේ මෙම වාර්තා පිළිබඳව සොයා බලමින් සිටින බවයි.

ගාසා තීරයේ ආධාර බෙදා හැරීමේ ස්ථාන අසල දිනපතා ම පාහේ සිදුවන වෙඩි තැබීම්වලින් මෑතකදී සිදු වූ නවතම සහ මාරාන්තික ම සිදුවීම මෙයයි.

මෑත දිනවල ගාසා තීරයෙන් වාර්තා වුණු සෑම ජීවිත හානියක් ම පාහේ සම්බන්ධ වී ඇත්තේ හමාස් ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලට නොව ආධාර සැපයුම් ස්ථානවලට ය.

ලෝක ආහාර වැඩසටහනට (WFP) අයත් ස්ථානයකින් ආහාර ලබා ගැනීමේ අපේක්ෂාවෙන් දහස් ගණනක් පලස්තීන ජාතිකයන් එක්රැස් වෙමින් සිටි ඛාන් යුනිස්හි නැගෙනහිරින් පිහිටි මංසන්ධියක් අසල ප්‍රදේශයකට ඊශ්‍රායල හමුදා වෙඩි තබා ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ බව ඇසින් දුටුවෝ පවසති. ඒ අසල ප්‍රජා මුළුතැන්ගෙයක් ද පිහිටා තිබේ.

ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු සහ ඇසින් දුටු සාක්ෂිකරුවෙකු පැවසුවේ, ඊශ්‍රායල ඩ්‍රෝන යානා මිසයිල දෙකක් එල්ල කළ බවත්, ඉන් මද වේලාවකට පසු රැස්ව සිටි පිරිසෙන් මීටර් 400ත් 500ත් අතර දුරකින් ස්ථානගත කර තිබුණු ඊශ්‍රායල යුද්ධ ටැංකියකින් ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බව ත් ය. එම පිපිරීම් හේතුවෙන් බොහෝ ජීවිත හානි සිදුවිය.

සති ගණනාවක් තිස්සේ ඊශ්‍රායල හමුදා මෙහෙයුම් සිදුවෙමින් පවතින ප්‍රදේශයක් වන බානි සුහෙයිලා නගරයට යන ප්‍රධාන මාර්ගයක් අසල මෙම පිරිස රැස්ව සිටියහ.

ප්‍රදේශයේ ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වෛද්‍ය පහසුකම වන නසාර් රෝහල, තුවාල ලැබූවන්ගෙන් පිරී ගොස් තිබේ. එහි කොතරම් තදබදයක් ඇති ද යත්, වෛද්‍ය කාර්ය මණ්ඩලය තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කළේ ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් බිම වැතිර සිටින අතරතුර ය.

සිද්ධිය වූ සැණින් ඉන් සිදු වූ හානිය පෙන්වන වීඩියෝවක් සමාජ මාධ්‍යවල හුවමාරු වන අතර BBC Verify විසින් එය ඛාන් යුනිස්හි ස්ථානයක දී රූපගත කළ වීඩියෝවක් බවට තහවුරු කරගෙන ඇත. ගාසා තීරයේ සිවිල් ආරක්ෂක ඒජන්සියේ ප්‍රකාශක මහමුද් බසාල් AFP වෙත පැවසුවේ අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකු මිය ගොස් ඇති බවයි. "ඊශ්‍රායල ඩ්‍රෝන මිනිස්සු ඉන්න පැත්තට වෙඩි තිබ්බා. මිනිත්තු කිහිපයකට පස්සේ, ඊශ්‍රායල ටැංකි ඒ මිනිස්සු හිටපු පැත්තට ෂෙල් වෙඩි කිහිපයක් එල්ල කළා. ඒකෙන් මිනිස්සු විශාල ගණනක් මිය ගියා, තවත් පිරිසක් තුවාල ලැබුවා," ඔහු පැවසීය.

"ඛාන් යුනිස් ප්‍රදේශයේ සිරවී තිබූ ආධාර බෙදා හැරීමේ ට්‍රක් රථයක් අසල සහ එම ප්‍රදේශයේ අනියුක්ත කොට ඇති IDF භට පිරිස් ආසන්නයේ එක්රැස්වීමක් හඳුනාගෙන ඇත," යනුවෙන් IDF නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

"ජනතාවගේ පැමිණීමත් සමග IDF වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් ගණනාවක් පිළිබඳ වාර්තා පිළිබඳව තමන් දැනුවත්" බව ත්, සිද්ධිය සමාලෝචනය කරමින් පවතින බව ත් ඔවුහු පැවසූහ.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පැවසුවේ සමූහ වශයෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳ වාර්තා ලැබී ඇති බවයි.

"මේක නැවතත් තවත් ආහාර බෙදා හැරීමේ වැඩසටහනක ප්‍රතිඵලයක්," WHO කම්පන ශල්‍ය වෛද්‍ය සහ හදිසි අවස්ථා නිලධාරී තෑනෝස් ගර්ගවානිස් පැවසීය.

"මේ කියන ආහාර බෙදා හැරීමේ ස්ථාන හතරේ පිහිටීම් සහ සමූහ ජීවිත හානි සිදුවීම් අතර නිරන්තර සහසම්බන්ධයක් පවතිනවා," යැයි ඔහු තවදුරටත් පැවසුවේ, මෑත දිනවල සිදු වූ බරපතළ තුවාල බොහෝ දුරට වෙඩි තැබීමේ තුවාල" යැයි ද පවසමිනි.

සති ගණනාවක් තිස්සේ වෛද්‍ය කාර්ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, තුවාලකරුවන් බොහොමයක් පැමිණියහොත්, වෛද්‍ය සැපයුම් නොමැතිකම සහ අවට ප්‍රදේශයේ ඊශ්‍රායල ඉවත් කිරීමේ නියෝග හේතුවෙන් නසාර් රෝහල යටපත් වී ක්‍රියාත්මක වීමට නොහැකි තත්ත්වයක් උදා වනු ඇති බවට යි.

මෑත දිනවල, දකුණු සහ මධ්‍යම ගාසා තීරයේ ඊශ්‍රායල සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සහය ලබන ගාසා මානුෂීය පදනම (GHF) විසින් පවත්වාගෙන යනු ලබන ආධාර බෙදා හැරීමේ ස්ථාන අසල වෙඩි තැබීම් හේතුවෙන් රෝහලට දිනපතා ම තුවාලකරුවන් රැසක් පැමිණීම සිදු විය.

ඒ සෑම සිදුවීමකදී ම පාහේ, ඇසින් දුටුවන් පවසා ඇත්තේ, ඊශ්‍රායල හමුදා වෙඩි තැබූ බවයි. නමුත් ප්‍රාදේශීය සන්නද්ධ තුවක්කුකරුවන් මිනිසුන්ට වෙඩි තැබූ බවට වාර්තා ද තිබේ.

IDFහි ප්‍රතිචාරයෙන් සුපුරුදු පරිදි පවසා ඇත්තේ තම හමුදා ජනතාවට තමන් වෙත ළඟා නොවන ලෙස අනතුරු ඇඟවූ බව ත්, පසුව IDF "සැකකරුවන්" ලෙස හඳුන්වන අය තර්ජනයක් වන ආකාරයෙන් ක්‍රියා කළ විට අනතුරු ඇඟවීමේ වෙඩි තැබූ බව ත් ය. ඊශ්‍රායල හමුදාව මෙයින් ඔබ්බට ඉතා සුළු විස්තරයක් හෝ කිසිදු තොරතුරක් සපයා නැත.

ඊශ්‍රායලය බීබීසී ඇතුළු ජාත්‍යන්තර ප්‍රවෘත්ති සංවිධානවලට ගාසා තීරයට ඇතුළුවීමට ඉඩ නොදෙන බැවින් එහි සිදුවන්නේ කුමක් ද යන්න නිශ්චිතව පැවසීම දුෂ්කර වේ.

වෙඩි තැබීම් සම්බන්ධයෙන් GHF ද ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ, සිදුවීම් සිදුවන්නේ ඔවුන්ගේ ස්ථානවලින් බැහැරව බැවින්, ඔවුන්ගේ මෙහෙයුම් සම්බන්ධයෙන් ඒවා ගැන සඳහන් නොකළ යුතු බවයි.

නමුත් නව ආහාර බෙදා හැරීමේ ක්‍රමය වඩා හොඳින් සැලසුම් කර තිබුණේ නම්, ආහාර සොයමින් දහස් ගණනක් පලස්තීනුවන් මංමුලාසහගත ලෙස එක්රැස් නොවනු ඇති බවට සැකයක් නැත.

එරට වේලාවෙන් සවස 6:00ත් උදෑසන 6:00ත් අතර ආධාර බෙදාහැරීමේ ස්ථාන වෙත නොයන ලෙස IDF පලස්තීනුවන්ට දන්වා ඇත. නමුත් එම ස්ථාන කරා ළඟා වීමට සහ ආහාර ලබා ගැනීමට අවස්ථාවක් ලබා ගැනීමට, ජනතාවට ඇත්තේ ඉතා සුළු අවස්ථාවකි.

GHF වෙබ් අඩවිවලින් ලබාගත් සත්‍යතාව තහවුරු කරන ලද වීඩියෝවකින් පෙන්නුම් කරන්නේ, සංවිධානයේ කිසිදු පාලනයක් නොමැතිව ආහාර පාර්සල් ලබා ගැනීමට උත්සහ කරන පලස්තීනුවන් විශාල පිරිසක් වේගයෙන් පැමිණෙන බවයි. ආරක්ෂාව වැඩි කිරීමට උත්සහ කිරීම සඳහා ඔවුන් දැනටමත් අවම වශයෙන් අවස්ථා දෙකකදී එහි වෙබ් අඩවි කෙටි කාලයකට වසා දමා ඇත.

ගාසා තීරයට ආධාර ලබා ගැනීමේ අනෙක් ක්‍රමය වන්නේ ඊශ්‍රායලයේ අවසර ඇතිව ගාසා තීරයට දිනකට ට්‍රක් රථ 100කින් පමණ අධාර බෙදා හැරීම ය. එම ආධාර බෙදාහරින ස්ථානවලදී හෝ ආධාර රැගත් එම රථ ඒවා දෙසට ගමන් කරන විට ඒවා වෙත යාමට උත්සහ කරන මිනිසුන්ට වෙඩි තබන අවස්ථා ද දැන් වැඩි වැඩියෙන් නිරීක්ෂණය වී තිබේ.

එය ගාසා තීරයේ ආරක්ෂාව සහ ආධාර බෙදා හැරීමේ පද්ධතියේ ම බිඳවැටීමක ලකුණකි.

නවතම සිදුවීමට ප්‍රතිචාර දක්වමින් හමාස් සංවිධානය නැවතත් ආධාර මධ්‍යස්ථාන මර උගුල් ලෙස විස්තර කර තිබේ.

ආහාර ප්‍රමාණවත් පරිදි නොලැබීම හේතුවෙන් මංමුලාසහගත වී සිටින ජනතාව අතර කොල්ලකෑම් සිදුවන අතර වාරයේ අපරාධ කල්ලි, මිලීෂියා සහ හමාස් සංවිධානය තම අරමුණු ඉටු කර ගැනීමට කටුයතු කිරීම තත්ත්වය තවත් භයානක කර තිබේ.

ගාසා තීරයේ කුඩා ප්‍රදේශවලට දකුණින් පලස්තීනුවන් ගෙන ඒමේ ඊශ්‍රායල රජයේ සැලැස්මකට GHF ඉඩ ලබා දී ඇතැයි විචාරකයෝ පවසති. නමුත් පලස්තීනුවන්ගේ ප්‍රධාන මානුෂීය සැපයුම්කරු වන එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉවත් කිරීමට දිගු කලක් තිස්සේ උත්සහ කළ ඊශ්‍රායලය, හමාස් සංවිධානය ආධාර සොරකම් කිරීම නැවැත්වීමට විකල්ප ක්‍රමයක් අවශ්‍ය වූ බවට තර්ක කරයි.

සඳුදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී වොල්කර් ටර්ක් පැවසුවේ, ඊශ්‍රායලය ආහාර ආයුධ බවට පත් කරන බව ත් වෙඩි තැබීම් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් ඉල්ලා සිටින බව ත් ය.

පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ආයතනයේ ප්‍රධානී ෆිලිප් ලට්සරීනි පවසා ඇත්තේ, ගාසා තීරයේ "ඛේදවාචක අඛණ්ඩව සිදුවන අතර අවධානය වෙනත් තැනකට යොමු වන" බවයි.

එහෙත් තම ජීවිත අනතුරේ හෙළමින්, ආහාර සොච්චම්ක් සොයා යන පලස්තීනුවන් දිනපතා ඝාතනය වීම වැළැක්වීමට ක්‍රමයක් සෙවීමට ඊශ්‍රායලයට, ගාසා මානුෂීය පදනමට හෝ ජාත්‍යන්තර ප්‍රජාවට කිසිදු සැලැස්මක් ඇති බව නොපෙනේ.

පුද්ගලයින් 1,200ක් පමණ මිය ගොස් තවත් 251 දෙනෙකු ප්‍රාණ ඇපයට ගත් 2023 ඔක්තෝබර් 7 වන දින ඊශ්‍රායලයට හමාස් සංවිධානය දේශසීමා හරහා එල්ල කරන ලද ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය ගාසා තීරයේ හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක කර මාස 20 ක් ගත වී ඇත.

එතැන් සිට ගාසාවේ පුද්ගලයින් 55,297කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව එහි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.