ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඊශ්‍රායලය ඝාතනය කළ බව කියන ගාසාහි හමාස් නායක මොහොමඩ් සින්වාර් කවුද?
- Author, යහ්යා කැනක්‍රියා
- Role, බීබීසී අරාබි
- වාර්තාකරණය, ජෝර්දානයේ සිට
තම හමුදාව හමාස් ගාසා තීරයේ ප්‍රධානී මොහොමඩ් සින්වාර් මරා දැමූ බවත්, "ඊශ්‍රායලයට වඩාත් ම අවශ්‍ය පුද්ගලයින්ගෙන් කෙනෙකු" බවත්, ඔහු හමාස් සංවිධානයේ හිටපු නායක යහ්යා සින්වාර්ගේ බාල සහෝදරයා බවත් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු බදාදා නිවේදනය කළේ ය.
හමාස් සංවිධානය මෙතෙක් සින්වර් මරණයට පත්වූ බව තහවුරු කර හෝ ප්‍රතික්ෂේප කර නැත.
මොහොමඩ් සින්වාර් යනු කවුද?
ඊශ්‍රායල්-ගාසා යුද්ධය ආරම්භයට බලපෑ 2023 ඔක්තෝබර් 7 ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරු වූ, පසුගිය ඔක්තෝබර් මාසයේදී ඊශ්‍රායල් හමුදා විසින් ඝාතනය කරන ලද යහ්යා සින්වාර් ඝාතනයෙන් පසු ගාසාහි තීරණ ගන්නන් අතර ප්‍රධානියෙකු ලෙස මොහොමඩ් සින්වාර් ප්‍රසිද්ධියට පත්ව තිබේ.
යහ්යාට අමතරව, ඊශ්‍රායලය හමාස් සංවිධානයේ හමුදා අංශය වන ඉසදීන් අල්-කසාම් බළඇණියේ අණදෙන නිලධාරී මොහොමඩ් ඩයිෆ් ද ඝාතනය කර තිබේ.
මෙය සිදුව ඇත්තේ, ගාසාහි මාස 19කට වැඩි කාලයක් පැවති යුද්ධයෙන් පසුව, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ප්‍රාණ ඇපකරුවන්, සිරකරුවන් සහ රැඳවියන් හුවමාරු කර ගැනීම සඳහා එකඟතාවකට පැමිණීම සම්බන්ධයෙන් වන අඛණ්ඩ සාකච්ඡා වට කිහිපයකින් පසුවය.
මොහොමඩ් සින්වාර් ඉසදීන් අල්-කසාම් බළඇණියේ වඩාත් කැපී පෙනෙන හමුදා නායකයෙකු ලෙස සලකනු ලැබූ අතර, ඔහු ගාසාහි පුළුල් බලපෑමක් ඇති කළ හැකි අයෙකු බවට පත්ව සිටියේ ය.
මීට පෙර ආරක්ෂක ප්‍රධානී තනතුරු දැරූ ඔහු, ඔහුගේ සහෝදරයා වන යහ්යා සමග සමීප සබඳතාවක් පැවැත්වූ අතර, එමගින් ඔහුගේ නම යහ්යාට අනුප්‍රාප්තිකයෙකු ලෙස ඉදිරිපත් වීමේ සම්භාවිතාව වැඩි විය.
වසර ගණනාවක් පුරා, ඊශ්‍රායලය අවම වශයෙන් පස් වතාවක් ඔහු ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට උත්සහ කර ඇති නමුත් ඒ සියලු උත්සහයන් අසාර්ථක වූ බව වාර්තා වේ. ඔහුගේ නම ඊශ්‍රායල් සොල්දාදුවෙකු වන ගිලාඩ් ෂාලිට් පැහැර ගැනීම සහ වත්මන් ගාසා යුද්ධයේ හමුදා භූමිකාවන් සමග ද සම්බන්ධ වී තිබේ.
මොහොමඩ් සින්වාර් පිළිබඳ අරාබි සහ පලස්තීන මූලාශ්‍රවලින් ලැබී ඇති තොරතුරු ඉතා අල්ප ය. මෙයට හේතුව ඔහුගේ හමුදා ස්ථාවරය සහ නිරාවරණය නොවී සිටීමට ඔහු තුළ ඇති කැමැත්ත බව බීබීසීයට කතා කළ පලස්තීන මාධ්‍යවේදියෙක් පැවසීය.
මේ ඔහු පිළිබඳව අප දන්නා කරුණු ය.
යහ්යා සින්වාර්ගේ සොහොයුරා
මොහොමඩ් සින්වාර් 1975 වසරේදී ඛාන් යුනිස් නගරයේ උපත ලැබී ය. ඒ වන විට ඔහුගේ සහෝදරයා වන යහ්යාට වයස අවුරුදු 13කි. ඔවුන්ගේ පවුල 1948 දී අෂ්කෙලොන් අසල ගමක පදිංචිව සිටි සමයේ අවතැන් වී දකුණු ගාසාහි පදිංචි විය.
1991 වසරේදී, මොහොමඩ් සින්වාර් "ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සැකයක් මත" ඊශ්‍රායලයේ කෙට්සියොට් බන්ධනාගාරයේ මාස නවයක් සිරගත කර තබන ලදී.
ජෙරුසලම් පෝස්ට් පුවත් සේවයට අනුව, 2000 වසරේ සිට ඊශ්‍රායලය වෙත හමාස් සංවිධානයේ ප්‍රහාර උත්සන්න වීමත් සමග මොහොමඩ්ගේ විශ්වාසය සහ ස්ථාවරය වර්ධනය විය. 'යහ්යාගේ සහෝදරයා' ලෙස, යහ්යා ඊශ්‍රායල් බන්ධනාගාරයේ සිටි කාලය තුළ මොහොමඩ්ගේ කීර්ති නාමය තවදුරටත් ශක්තිමත් විය.
සංවිධානයේ ප්‍රධාන චරිත බවට පත්වූ ක්ෂේත්‍ර අණ දෙන නිලධාරීන් සමග ඔහු සමීප සබඳතා ගොඩනගා ගත් අතර පසුව ඔවුන් සමඟ උරෙනුර ගැටී කටයුතු කළේ ය. මෙයට මොහොමඩ් ඩයිෆ්, සාද් අල්-අරාබිඩ් සහ හමාස්හි හමුදා හැකියාවන් වර්ධනය කිරීමට සම්බන්ධ වූ තවත් අය ඇතුළත් වූ බව ජෙරුසලම් පෝස්ට් වාර්තා කරයි.
2006 දී ඊශ්‍රායල් සොල්දාදුවෙකු වන ගිලාඩ් ෂාලිට් පැහැර ගැනීමට වගකිව යුතු අය අතර මොහොමඩ් සින්වාර් ද සිටි බව ඊශ්‍රායල නිලධාරීහු පවසති. එහි ප්‍රතිඵලයක් ලෙස අවසානයේ ඔහුගේ සහෝදරයා වන යහ්යා නිදහස් කරන ලද අතර, පලස්තීන සිරකරුවන් 1,027 දෙනෙකු වෙනුවට ෂාලිට් නිදහස් කරන ලදී.
ඊශ්‍රායල ආරක්ෂක හමුදාවට හසු නොවී ඝාතනය වීම වළක්වා ගැනීම සඳහා මොහොමඩ් සින්වාර් දශක ගණනාවක් තිස්සේ සැඟවී සිටියේ ය.
'සෙවනැලි මිනිසා'
ඔහු දිගු කලක් රහසිගතව කටයුතු කළ අතර, ඔහුට "සෙවනැලි මිනිසා" යන අන්වර්ථ නාමය ලැබිණි. මෙහෙයුම් අත්දැකීම් ලබා ගත් ඔහු හමාස් සංවිධානයේ හමුදා උපාය මාර්ගයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේ ය.
2023 දී ඊශ්‍රායල් හමුදාව විසින් ගාසා තීරයේ හමාස් සංවිධානයට අයත් භූගත උමගක් හරහා මොහොමඩ් මෝටර් රථයකින් ගමන් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් නිකුත් කරන තෙක් බොහෝ දෙනෙකුට මොහොමඩ් සින්වාර් ගැන දැන සිටියේ නැත.
'යහ්යාට වඩා කෲර යි'
ජෙරුසලම් පෝස්ට් විසින් උපුටා දක්වන ලද ඊශ්‍රායල් හමුදා මූලාශ්‍රවලට අනුව, මොහොමඩ් සින්වාර් ඔහුගේ සහෝදර යහ්යාට වඩා "කෲර" අයෙකු ලෙස විස්තර කරන ලදී.
"පසුගිය වසර 25 තුළ හමාස් සංවිධානයේ හමුදා ගොඩනැගීමේදී මොහොමඩ් සින්වාර් සහභාගී නොවූ ප්‍රධාන සිදුවීමක් ඔබට සොයාගත නොහැකි වනු ඇත. ඔහු ඉහළ තනතුරක් වූ ඛාන් යුනිස්හි අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ අතර ඔහුගෙන් පසුව පත්වූ අණදෙන නිලධාරීන් පවා ඔහුගේ බලපෑමට යටත් විය."
"ඔහු මොහොමඩ් ඩයිෆ්ගේ බිම් මට්ටමේ නියෝජිතයා වූ බවත්, සටන්කරුවන් සහ බළසේනා සහ බළඇණි අණදෙන නිලධාරීන් සමග කතා කළ බවත්, ඉන් ඔහුගේ බලපෑම වැඩි වූ බවත් වටහා ගැනීම වැදගත් ය."
ප්‍රාණ ඇපකරුවන් සහ සිරකරුවන් පිළිබඳ සාකච්ඡා
ගාසාහි සටන් විරාමයකට එළඹීම අරමුණු කර ගත් මෑතකාලීන සාකච්ඡා "සම්පූර්ණයෙන් ම අසාර්ථක නොවූ" බව අරාබි සහ ඊශ්‍රායල් මාධ්‍ය වාර්තා කළ නමුත්, "මෙම සාකච්ඡාවලට මැදිහත් වන මොහොමඩ් සින්වාර්, ඔහුගේ අභාවප්‍රාප්ත සහෝදරයා වූ යහ්යා සින්වාර්ට වඩා දැඩි ස්ථාවරයන් පෙන්වා ඇති," බව වාර්තා විය.
"ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් සහ පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය සමග පැවති සාකච්ඡාවලට" මොහොමඩ් ද සම්බන්ධ වූ බවත්, ගාසා තීරයේ උමං මාර්ග ඉදිකිරීමේදී ඔහුට ප්‍රධාන කාර්යභාරයක් තිබූ බවත් ඔවුහු වාර්තා කළහ.
හමාස් ප්‍රතිසංවිධානය කිරීම
Wall Street Journal වාර්තා කරන පරිදි, මොහොමඩ් "ගාසා තීරයේ නව සටන්කරුවන් බඳවා ගැනීමෙන් ව්‍යාපාරය නැවත ගොඩ නගමින්, ඊශ්‍රායලය මර්දන යුද්ධයකට තල්ලු වෙමින් සිටියේ ය".
"යහ්යා සින්වාර් ඝාතනයෙන් පසු හමාස් සංවිධානය දරුණු කඩා වැටීමකට ලක්වූ නමුත්, ගාසාහි සිදුවෙමින් පවතින යුද්ධය හරහා නව සටන්කරුවන් පරම්පරාවක් ද නිර්මාණය කර ඇති අතර, ගාසා තීරය පුපුරා නොගිය බෝම්බවලින් පුරවා තිබේ. එම සංවිධානය ගාසා තීරයේ සිදුවෙමින් පවතින සටන් සඳහා භාවිත කිරීමට ඒවා ප්‍රතිචක්‍රීකරණය කරයි."
"මොහොමඩ් සින්වාර්ගේ නායකත්වය යටතේ සටන්කරුවන් බඳවා ගැනීමේ ව්‍යාපෘතිය සහ අඛණ්ඩව සිදුවන සටන් ඊශ්‍රායලයට නව අභියෝගයක්" වී ඇතැයි ඊශ්‍රායලෙය් විශ්‍රාමික මේජර් ජෙනරල් අමීර් අෆිෆි පැවසූ බව උපුටා දක්වමින් පුවත්පත වාර්තා කළේ, "හමාස් සංවිධානයේ නැවත ගොඩනැගීමේ වේගය, ඊශ්‍රායල් හමුදාව එය තුරන් කරන වේගයට වඩා වේගවත්" බව ය.
මොහොමඩ් සින්වාර් "සියල්ල මෙහෙයවන" බවත්, ඔහු "හමාස් නැවත ගොඩනැගීමේ උත්සහයන්ගේ තීරණාත්මක සාධකය" බවත් අෆිෆි ප්‍රකාශ කළේ ය. යහ්යා සින්වාර්ගේ ඝාතනයෙන් පසු, විදේශවල සිට ක්‍රියාත්මක වන හමාස් නායකයින් "නව සභාපතිවරයෙකු පත් කිරීම වෙනුවට සාමූහික නායකත්ව මණ්ඩලයක් පිහිටුවීමට තීරණය කළ නමුත් ගාසා තීරයේ හමාස් සටන්කරුවන් ඊට එකඟ නොවූ අතර දැන් තරුණ සින්වාර්ගේ නායකත්වය යටතේ ස්වාධීනව ක්‍රියාත්මක වන" බව ඔහු පැවසීය.