අක්ෂි දියරයක් නිසා පෙනීම අහිමි වූ රෝගීන්ගේ අද ජීවන තත්ත්වය කෙබඳු ද?: 'මගේ ඇහැට දාපු බෙහෙත කෙහෙළිය මහත්තයාගේ ඇහැටත් දාලා බලන්න'

    • Author, සම්පත් දිසානායක සහ ෂර්ලි උපුල් කුමාර
    • Role, බීබීසී සිංහල

"මගේ ඇහැට දාපු බෙහෙත කෙහෙළිය මහත්තයාගේ ඇහැටත් දාලා බලන්න. අපිට දැනුණු වේදනාව එතුමටත් දැනෙන්නේ කෙහොම ද කියලා. අපි සිල් සමාදන් වෙනවා. එහෙම කරන්න බැහැ තමයි. ඒ වුණත් හිතේ තියෙන වේදනාවට මට එහෙම කියවුණා."

"දිට්ඨධම්ම වේදනීය කර්මය හරි ඵල දෙයි එගොල්ලන්ට කවදා හරි අපිට කරපු දේට. ඵල නොදී ඉන්නේ නෑ. දැනටමත් ඵල දීලා නේ තියෙන්නේ," බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ, ගිරාඹේ පදිංචි එම්.එම්. සන්ධ්‍යා පොඩිමැණිකේ බීබීසී සිංහල වෙත පැවසුවා ය.

සැත්කමින් පසු පෙනීම අහිමි වූ සන්ධ්‍යා පොඩිමැණිකේ අද ගෙවන ජීවිතය පිළිබඳව සොයා බැලීම සඳහා බීබීසී සිංහල වැලිමඩ, ගිරාඹේ පිහිටි ඇගේ ගම්පියස බලා ගියේ ය.

64 හැවිරිදි ඇය තිදරු මවක වන අතර දැන් වකුගඩු රෝගී තත්ත්වයෙන් පෙළන තම ස්වාමි පුරුෂයා සමග දිවි ගෙවයි. විවාහ වී සිටින දරුවන් තිදෙනා වෙන්ව ජීවත් වෙති.

තම ස්වාමි පුරුෂයා සමග මේ වන විට ඉතා අසරණ තත්ත්වයකට ඇය පත්ව ඇත්තේ, ඇගේ දකුණු ඇස සම්පූර්ණයෙන් ම නොපෙනෙන හෙයිනි.

දැන් ඔවුන්ට පිළිසරණක් වී ඇත්තේ, දරු තිදෙනා පමණි.

2023 වසරේ අප්‍රේල් මාස 5 වන දා සන්ධ්‍යා පොඩිමැණිකේගේ ජීවිතය උඩුයටිකුරු වූයේ, ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කමේදී භාවිත කළ Prednisolone acetate නමැති ඖෂධයක් නිසාවෙනි.

සෞඛ්‍ය අමාත්‍යංශය බීබීසී සිංහල වෙත ලබා දුන් තොරතුරුවලට අනුව මෙම ඖෂධය නිෂ්පාදනය කර ඇත්තේ, INDIANA OPHTHALMICS නමැති ඉන්දීය සමාගම වන අතර එය මෙරටට ආනයනය කර ඇත්තේ MS ALVITA Pharma Pvt. Ltd සමාගම විසිනි.

මඩකලපුව, ත්‍රිකුණාමලය, නුවරඑළිය සහ කොළඹ ජාතික ඇස් රෝහල ආශ්‍රිතව කළ සැත්කම්වලදී මෙම ඖෂධය ලබා දුන් රෝගීන් 150කට ආසන්න පිරිසක් මේ අක්ෂි දියරය නිසා ආබාධ තත්ත්වයට පත්වූ බව වාර්තා වී ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංවිධානය සඳහන් කළේ ය.

Prednisolone acetate නමැති අක්ෂි දියරය රෝගීන්ට ලබා දීමෙන් පසු ඇසේ ඇති වන ආසාත්මික ප්‍රතික්‍රියාවලින් පසු යම් විෂසහිත ස්වභාවයක් අනාවරණය වූ බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංවිධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පැවසීය.

මෙම අක්ෂි දියර ලබා දුන් රෝගීන් කිහිප දෙනෙකු දැඩි දෘෂ්ටි ආබාධ සහ අන්ධභාවයට පත්වූ අතර, තවත් සමහර රෝගීන් තාවකාලික හා අතරමැදි අන්ධභාවයට පත්වූහ.

ඉන් යම් පිරිසක් සම්පූර්ණ සුවය ලබන අතර, තවත් පිරිසක් දිගුකාලීනව වෛද්‍ය ප්‍රතිකාර ගනිමින් සිටිති.

මේ සිදුවීම වාර්තා වීමෙන් පසු මෙම අක්ෂි දියරය සම්පූර්ණයෙන් ම මෙරට භාවිතයෙන් ඉවත් කෙරුණු බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේය.

එහෙත්, මේ දක්වා අක්ෂි දියරය ගෙන්වන ලද සමාගමට විරුද්ධව කිසිදු ආකාරයේ නීතිමය පියවරක් ගෙන නැතැයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව බීබීසී සිංහල වෙත පැවසීය.

අක්ෂි දියර ගෙන්වන ලද සමාගමෙන් සිදුවූ හානිය සම්බන්ධයෙන් වන්දි මුදලක් අය කර ගැනීමට මේ දක්වා කටයුතු කළ බවක් වාර්තා නොවන බව ද ඔහු සඳහන් කළේ ය.

මෙම ප්‍රශ්නගත අක්ෂි දියරය මෙන් ම තවත් බාල ඖෂධ නිසා රෝගී ජීවිත අහිමිවීම හා වෙනත් සංකූලතාවන්ට ලක්වීමේ සිද්ධි පසුගිය මැතිවරණ සමයේ දේශපාලන වේදිකාවල ප්‍රධාන තේමාවක් බවට පත්ව තිබිණි.

එහෙත්, මේ වන තෙක් එම රෝගීන්ට යුක්තිය හා සාධරණය ඉෂ්ට වී තිබේ ද යන්නත් ඔවුන් අද ගෙවන ජීවිතය කෙබඳු දැයි‍ යන්නත් පිළිබඳ බීබීසී සිංහල සොයා බැලීමක් කළේ ය.

ඒ අනුව, නුවරඑළිය රෝහලේදී මෙම අක්ෂි දියර ලබා දීමෙන් පසු අන්ධභාවට පත්වූ රෝගීන් සොයා අප ගිය ගමනේදී එක් ඇසක් අන්ධ වී සිටින සන්ධ්‍යා පොඩිමැණිකේ අපට හමුවිය.

දකුණු ඇස අන්ධ වූ සන්ධ්‍යා පොඩිමැණිකේ

ඖෂධ හිඟය නිසා 2022 අග භාගයේ සිට පැවති සැත්කම් ප්‍රමාදය තුරන් කිරීම සඳහා ගෙන එන ලද මෙම ඖෂධය රෝගීන් පිරිසක් අන්ධභාවයට පත් කළේ, ඔවුන්ගේ ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල කරමිනි.

2022 වසරේදී ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට මුහුණ පෑ අතර, දෛනික විදුලි කප්පාදුව මැද ඉන්ධන හා ගෑස් අර්බුදය ද උග්‍රවිය. රජයේ රෝහල්වල ඖෂධ හිඟය ද ඊට නොදෙවෙනි විය. ඊට පිළියම් ලෙස ඉන්දියාවෙන් ලද මූල්‍ය ආධාර උපයෝගී කර ගනිමින් ඉන්ධන හා ඖෂධ ගෙන්වීමට එවකට රජය පියවර ගෙන තිබිණි.ඒ අනුව ඉන්දීය ණය ආධාර උපයෝගී කර ගනමින් මෙරට රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ ඉන්දියාවෙන් ආනයනය කෙරුණේ කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය ධූරය දරූ සමයේදීය.

සන්ධ්‍යා පොඩිමැණිකේ එලෙස අන්ධභාවයට පත්වූ එක් කාන්තාවක පමණක් වන අතර නුවරඑළිය රෝහලේ රෝගීන් 17 දෙනෙකු ඇසේ සැත්කම්වලට ලක්කිරීමෙන් පසු යොදන ලද මෙම ඖෂධ දියරය නිසා පූර්ණ අන්ධභාවයට හෝ අර්ධ අන්ධභාවයට පත්ව තිබේ.

මල් වගාවෙන් ජීවිකාව ගෙන ගිය සන්ධ්‍යා පොඩිමැණිකේගේ ස්වාමි පුරුෂයා එළවළු ගොවියෙකි.

වම් ඇසෙන් මද පෙනීමක් ලබන ඇය අප පිළිගැනීමට නිවස ඉදිරිපිටට පැමිණියා ය.

"මගේ ඇස් අන්ධ වුණාට පස්සේ ඇත්තට ම මොනවත් කර ගන්න බැහැ. මොනවත් කරන්නේ නැහැ. කුඹුරකටවත් යන්නේ නැහැ. එක ඇහැක් පේන නිසා, කා එක්ක හරි යනවා. නැත්නම් කිසි දෙයක් කර ගන්න බැහැ. ඒ ඇහැ අන්ධ වුණාට පස්සේ එදා ඉඳලා පෙනීම ලැබුණේ ම නැහැ. දවස් විස්සක් හිටියා ඉස්පිරිතාලේ. හැම දා ම ඉන්ජෙක්ෂන් ගැහුවා. තියටර් එකට දෙපාරක් අරන් ගියා. ඉතිං පෙනීම ආවෙ ම නැහැ. පස්සේ ඩොක්ටර් කෙනෙක් ළඟට ගිහිල්ලා බැලුව ම කිව්වා ඇහැ LOST කියලා ගහලා තියෙන්නේ කියලා. ඔයාට ආයි රට ගිහිල්ලවත් හදා ගන්න බැහැ. ස්නායු ඔක්කො ම ඇඹරිලා කියලා ඇතුළේ."

"මහත්තයට පේනවා ඇති ඒ බෙහෙත් වැටිච්ච තැන. කළු ඉංගිරියාවට ම තමා වැටිලා තියෙන්නේ. කළු ඉංගිරියාවෙන් ම නේ අපිට හැම දේ ම පේන්නේ. ඉතිං කළු ඉංගිරියාවට බෙහෙත් වැටිලා තියෙන හින්දා තමා පේන්නේ නැත්තේ. මේ අයිනකටවත් වැටිලා තිබුණා නම්, මේ සුදු තැනකටවත් වැටිලා තිබ්බා නම් මොනවා හරි කරන්න තිබුණා. එහෙම වෙන්න ඇති කියලා මම හිතනවා ඉතින්."

"මට දැන් හිරු එළිය දකින්න බැහැ. දුම වදින්න බැහැ. ඇඳුමක් ගලේ ගහලා හෝදගන්න බැහැ. රෑට ගමන් බිමන් යන්න බැහැ. මං සමිති සමාගම්වල පොත්පත් හැදුවා. දැන් ඒවත් බැහැ. සියලු සමිති සමාගම්වල නිලධාරී භාණ්ඩාගාරීක තනතුරුවලින් ඉවත් වුණා," යැයි, සන්ධ්‍යා පොඩිමැණිකේ පැවසුවා ය.

"මට මුලින් ම පෙනීම පිළිබඳ ප්‍රශ්නයක් ආවේ 2020 අවුරුද්දෙදී. ඒත් පෙනීම තිබ්බා. පෙනීම තිබ්බා හොඳට වැඩ කළා. පෙනීම නැති වෙලා තිබ්බේ නැහැ. හොඳට වැඩපළ කර ගත්තේ ඒ නිසා නේ."

"සුද තියෙනවා කියලා 2020 නුවරඑළිය රෝහලේදී වම් ඇහැට කාචයක් දැම්මා, පෙනීම ආවා"

"ඊට පස්සේ බය නැතිව ගියා. දකුණු ඇහේ කාචය දාන්න"

දකුණු ඇසට කාචයක් දැමීම සඳහා සන්ධ්‍යා පොඩිමැණිකේ නුවරඑළිය රෝහලට ඇතුළු වූයේ, 2023 අප්‍රේල් මාස 4 වන දා ය.

"4 වෙනි දා ඉස්පිරිතාලේ ඇස් වාට්ටුවට ඇතුළත් වුණා. ඒ කරලා පස් වෙනි දා තමා කාචය දැම්මේ. ඒගොල්ලෝ තමා බෙහෙත් දැම්මේ."

"පහුවෙනි දා බලනකොට ඇහැට බෙහෙත් දාන්න අරිනවනේ. එතකොට අකුරු කියවන්න කියනවනේ බිත්තියේ. ඉලක්කම් කියවන්න කිව්වා ම අපිට කියවන්න බැහැ. වම් ඇහැ වහලා දකුණු ඇහැ ඇරලා කියන්න කිව්වා. එතකොට පෙනුණේ නැහැ මෙලෝ දෙයක්. පෙනුණේ මොකක් ද මහා කරුවලක්. ඊට පස්සේ ලයිට් එළියක් පෙනෙනවා ද කියලා මිසීලා අහනවා. ලයිට් එළියක් පෙනුණේ නැහැ. ලොකු ලයිට් එකක් දාලා ලයිට් එළියක් බලන්න කිව්වා. ඒක පේන්නෙත් නැහැ. අර ඉලක්කම් මොනවත් පේන්නෙත් නැහැ. වම් ඇහෙන් සම්පූර්ණයෙන් කඳුළු ගලනවා. මේකේ අමාරුවට. ඔළුව පුපුරන්න වගේ. ඔළුව කැක්කුම අර බෙහෙත් දැම්මට පස්සේ."

"පස්සේ ආයි පාරක් තියටර් අරන් ගියා. ආයෙත් ඒ බෙහෙත් ම දැම්මා. ඒ බෙහෙත් ම දාලා බලනකොට වේදනාව වැඩි යි. වේදනාව වැඩි වුණා. ඇහැ වටේ ම ඉන්ජක්ෂන් ගැහුවා නේ. ලොකු වේදනාවක් ආවා. සමහර අය කියනව මැරුණා වගේ කියලා. ඇත්තට ම වේදනාව වැඩි වුණා. ඊට පස්සේ ඉතින් දවස් විස්සක් ම ඉස්පිරිතාලේ තියා ගත්තා ඒගොල්ලෝ. අපි ඉතින් සතියකින් විතර තමා දන්නේ මේක වෙලා තියෙන්නේ බෙහෙත්වලින් කියලා. මං හිතන්නේ හොස්පිටල් එකේ ඔක්කොම ලොකු කලබලයක හිටියේ."

"අපිට කන්නත් බැහැ මෙලව දෙයක් ඒ වේදනාවට. කිරි ඩිංගක් විතරයි බිව්වේ. හරි ම අමාරු තත්ත්වයක තමයි හිටියේ. බෙහෙත දැම්මා ම ඉන්න බෑ. ඒතරම් වේදනාව යි. තනිකර ම රතු වෙලා තිබ්බේ ඇස්. එදායින් පස්සේ ම ඇස් පෙනුණේ නැහැ."

"සැත්කම් කරපු කට්ටිය ඔක්කොමගේ ම ඇස් පේන්නේ නැහැ… පේන්නේ නැහැ කිව්වා. කටිට්ය කෑ ගහන්න ගත්තා ඩොක්ටර්ට."

"කර ගන්න දෙයක් නැහැ අපිට. කාට කියන්න ද? ඇහැ පේන්නේ නැහැ කියලා කියන්න විතරයි පුළුවන් ඉතින්," සන්ධ්‍යා පොඩිමැණිකේ මතකාවර්ජනය කරමින් දුක්මුසුව පැවසුවා ය.

ඇය කියා සිටියේ, පෙනීම අහිමි වීමත් සමග තම ජීවිතය පවා නැති කර ගැනීමට සිතුණු බව ය.

"ජීවිතය නැති කර ගන්න හිතුණා. කවුරුත් සලකයි ද කියලා කියන්න බැහැ නේ... ළමයි මෙහෙමවත් ඉන්න නිසානේ බලන්නේ. කවුරුත් ගණන් ගන්නේ නැහැ නේ. ළමයිට උගනන්වන්න තමා මං මහන්සි වුණේ."

"අනෙක් ඇහැ දැන් දැලක් දැම්මා වගේ තියෙන්නේ. එක වෙලාවකට ඉර එළිය දැක්කා ම පෙනීම නැති වෙලා යනවා. දෙක ම පෙන්නේ නැහැ, එතකොට වැටෙන්න වගේ යනවා."

වසර දෙකකට පසු හමුවූ රු. ලක්ෂ 10ක වන්දිය

පෙනීම අහිමිවූන්ට වන්දි ලබා දෙන බව ප්‍රකාශ වූයේ, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ධූරයේ දැරූ සමයේදී ම ය.

පසුව වෛද්‍ය රමේෂ් පතිරණ සෞඛ්‍ය අමාත්‍ය ධූරය දැරූ සමයේ ඒ සඳහා කැබිනට් අනුමැතිය යටතේ මුදල් වෙන් කරන ලද බව පැවසුව ද, සන්ධ්‍යා ඇතුළු නුවරඑළිය රෝහලේ සැත්කම් කිරීමෙන් පසු පෙනීම අහිමි වූ 17 දෙනෙකුට වන්දි ලැබී තිබුණේ වත්මන් රජය බලයට පත්වීමෙන් පසු මීට මාස කිහිපයකට ඉහතදී ය.

"මාස දෙකක් වෙනවා වන්දි හිමි වෙලා. [අප විසින් සන්ධ්‍යා මුණ ගැසුණේ 2025 ජූලි මාසයේදී ය.] ඇසේ පූර්ණ අහිමිභාවයට ලක්ෂ දහයක් වන්දි හම්බ වුණා."

"මානව හිමිකම් එකට තමා අපි ඉස්සෙලා ම ලිව්වේ. ඒකෙන් තමයි අපිට මග පෙන්නලා හැම දේ ම කළේ. මම ගියා සෞඛ්‍ය අමාත්‍යංශයට. සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස හම්බ වෙන්න. මං ඉතින් දුක කිව්වා. නලින්ද ජයතිස්ස මහතාගේ ලේකම් කෙනෙක් ඉන්නවා. මට නම මතක නෑ. ඒ නෝනා හරි හොඳයි. එයාට ගිහින් කිව්වා.

"එයා කිව්වා ඔයාලට වන්දි මුදල තැන්පත් කරලා තියනවා කියලා. ඒක නුවරඑළිය රෝහලෙන් තමා ගන්න පුළුවන් කියලා. ඔයාලා ගිහිල්ලා එහෙන් ගන්න කියලා.

"මම සෞඛ්‍ය අමාත්‍යංශයට ගියේ... මේ ණය නිසා. ආර්.ඩී.බී. බැංකුවෙ ණය නිසා තමා මම ගියේ. නඩු දානවා, නඩු දානවා කියලා නිතර ම මට කරදර කරනවා."

"හරිතාගාරයක් ගහන්න ඒ ණය ගත්තේ. හරිතාගාරය ගහන්න ලක්ෂ 5ක් ගත්තා. 6%ක පොළියට. කොරෝනා කාලේ අපිට ඒක ගෙවා ගන්න බැරි වුණා. මල් ගන්න කවුරුත් ආවේ නැහැ."

"265000ක් ගෙවලා තිබ්බා ඊට පස්සේ 46500ක් ගෙවන්න කිව්වා."

"ගැමිදිරියෙනුත් මම රුපියල් 75,000ක් අරන් තිබ්බා."

"ඊට පස්සේ සමථ මණ්ඩලයට දාලා. ඇපකාරයොත් ඇවිල්ලා බනින්න ගත්තා. රජයේ සේවකයෙක් අත්සන් කරලා තිබ්බෙ. ඊට පස්සේ සෞඛ්‍ය ඇමතිතුමා කොහොම හරි හම්බ වෙනවා කියලා තමා මං කොළඹ ගියේ. එතුමා එදා හිටියා. මීටින් එකක හිටියේ. ඊට පස්සේ එයාගේ ලේකම්වරියක් තමා හම්බ වුණේ, අප්‍රේල් මාසේ දිනයක. ඊට පස්සේ එතුමිය ඔක්කොම හරි ගස්සලා. නුවරඑළිය හොස්පිට්ල් එකට අම්මා යන්න, කොළඹ එන්න ඕනේ නැහැ, අම්මගේ අනිත් කණ්ඩායමටත් එක්ක සල්ලි පාස් වෙලා තියෙනවා කියලා කිව්වා."

'මගේ ඇහැට දාපු බෙහෙත කෙහෙළිය මහත්තයාගේ ඇහැටත් දාලා බලන්න'

"අපිට ආරංචි යි බෙහෙත්වලින් කොමිස් ගත්තා කියලා. දැන් ටීවිවල ප්‍රසිද්ධියේ කියනවා නේ. දැන් රටට හංගන්න දෙයක් නෙමෙයි නේ. අපි කියන්නේ ඒ බෙහෙතෙන් ම තමා අපේ ඇස් අන්ධ වුණේ කියලා. ඇත්තට ම. නැත්නම් ඔපරේෂන් කළාට පස්සේ දවසේ ම ඇස් පේන්නෙ නැති වුණේ කොහොම ද?"

"කොහෙන් හරි පැනලා හරි මැරෙන් තත්ත්වයකට පත්වුණා. ඇහැ නැති වුණා කියන්නේ. අතක් පයක් කැඩුණා නම් ඔය එල්ලගෙන හරි ඉන්නවා. වැඩක් කරලා කන්න පුළුවන් ද? බැහැ නේ."

"මම කිව්වා මගේ ඇහැට දාපු බෙහෙත කෙහෙළිය මහත්තයාගේ ඇහටත් දාලා බලන්න. අපිට දැනුණු වේදනාව එතුමටත් දැනෙන්නෙ කෙහොම ද කියලා. අපි සිල් සමාදන් වෙනවා. එහෙම කරන්න බැහැ තමයි. ඒ වුණත් හිතේ තියෙන වේදනාවට එහෙම කියවුණා."

රජයෙන් ලද රුපියල් ලක්ෂ දහයක වන්දි මුදලෙන් ණය ගෙවූ පසු ඇගේ අත ඉතිරිව ඇත්තේ රුපියල් 15,000ක් පමණක් බව සිය බැංකු පොත අපට පෙන්වමින් කියා සිටියා ය.

"බැංකු පොතේ තව රුපියල් 15,000ක් විතර තියෙනවා. සම්පූර්ණයෙන් ණය ගෙව්වා. මල් වගාවට ගත්තු ණය ගෙව්වා."

"වගකිය යුත්තන්ට දඬුවම් කරලා මදි, ලක්ෂ 10 දුන්නා වගේ අපේ ඉතිරි වන්දි මුදල ලබා දෙන්න. එතකොට අපේ හිත සුවපත් වෙනවා."

"දිට්ඨධම්ම වේදනීය කර්මය හරි ඵල දෙයි එගොල්ලන්ට කවදාහරි අපිට කරපු දේට. ඵල නොදී ඉන්නේ නෑ. දැනටමත් ඵල දීලා නේ තියෙන්නේ. සල්ලි ලක්ෂ කෝටි ගණන් ගහලා ඇති. නමුත් අපි වගේ අසරණ මිනිස්සු දිහෑ ඒගොල්ලෝ බැලුවේ නැහැ."

"මං අතිගරු ජනාධිපතිතුමාටත්, අගමැති තුමියටත් ස්තූති කරනවා. අපිට ඒ සතිය තුළ ම ඒ මුදල ලබා දීපු එකට."

"ඒගොල්ලන්ගේ තියෙන දේවල් අරගෙන අපේ ඉතිරි මුදල දෙන්න කියලා අපි කියන්නේ. එතකොටවත් අපේ හිත සුවපත් වෙන්න. යහතින් මැරෙන්න පුළුවන්."

දැනට මෙම රෝගීන්ගෙන් කිහිප දෙනෙකු වන්දි ඉල්ලා අලුත්කඩේ දිසා අධිකරණය හමුවේ වන්දි නඩු ගොනු කර තිබේ.

"මේ දුන්නු වන්දි මුදල මදි. අපි බලාපොරොත්තු වුණේ ඇස් පෙනීම අහිමි වුණු අයට රුපියල් ලක්ෂ 50ක වන්දි මුදලක්."

"වසන්ත යපා බණ්ඩාර මහත්තයා, කාවින්ද ජයවර්ධන විතරයි ඉදිරිපත් වෙලා බැලුවේ අපි ගැන. වසන්ත මහත්තයා අපිට කන්න බොන්න අරන් දීලා. අපි ගැන පොතකුත් ලියලා තියෙනවා."

"රනිල් වික්‍රමසිංහනේ එතකොට හිටියේ. එයාලා අපි කියන දෙයක්වත්, අපි ගැන කතා කළේවත් නැහැ."

"මේ ආණ්ඩුව ආවට පස්සෙත් අපි විපක්ෂ නායක තුමාටත් ලිව්වා. එක දවසක්වත් පාර්ලිමේන්තුවේ කතා කරපු දවසක් නැහැ."

"මේ 17 දෙනා විතරක් නෙමේ ඇස් පෙනීම අහිමි වුණ අනෙක් අය වෙනුවෙනුත් වන්දි මුදල ලබා දෙන්න. සියලු දෙනා ම අහිංසක මිනිස්සු."

අන්ධභාවයට පත් පලනිවේල් ආනන්ද කුමාර්ට අත්ව ඇති ඉරණම

සන්ධ්‍යා පොඩිමැණිකේ පැවසූ පරිදි මෙම අක්ෂි දියර යෙදීමෙන් පසු අන්ධභාවයට පත්ව පෙනීම අහිමිව, කිසිදු වන්දියක් හෝ පිළිසරණක් නොමැතිව තවත් රෝගීන් කිහිප දෙනකු සිටින බව අප කළ සංචාරයෙදී අනාවරණය විය.

එවැනි එක් අයෙකු වන්නේ, පලනිවේල් ආනන්ද කුමාර් ය.

ඔහුට ද මෙම සැත්කම් සිදුකර තිබුණේ, 2023 වසරේ ප්‍රශ්නගත අක්ෂි දියරය භාවිත කළ කාලසීමාවේ ම වුවද, ඔහුගේ ඇස්වලට යොදන ලද ඖෂධය Prednisolone acetate ම දැයි අපට ස්වාධීනව තහවුරු කර ගත නොහැකි විය.

වැලිමඩ, උළුගල, අස්වැද්දුම වත්තේ පදිංචි ආනන්ද කුමාර් වයස අවුරුදු 54ක රියැදුරෙකු විය.

ඔහුගේ බිරිඳ විශ්‍රාමික රජයේ සේවිකාවක වන අතර එක ම දියණිය යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබයි.

ත්‍රිරෝද රථ සහ ලොරි රථ රියැදුරෙකු වශයෙන් ජීවිකාව ගෙන ගිය ආනන්ද කුමාර්ට අද නිවසේ කාමරයකින් කාමරයකට යාම සහ තනිව ම වැසිකිළියට යාම පවා අභියෝගයක් බවට පත්ව තිබේ.

බිත්ති අතපත ගාමින් ඔහු නිවසේ එහාමෙහා ගමන් කරන්නේ දෑතේ ඇති හුරුව නිසා වෙනි. එහෙත්, ඔහුට තනිව නිවසින් බැහැරට යාමට නොහැකි අතර ප්‍රතිකාර සඳහා රෝහල වෙත යාමට ද ඔහුට තවත් අයෙකුගේ සහය අත්‍යවශ්‍ය වී තිබේ.

"2022 ඇහේ පොඩි ඩොට් එකක් වගේ තිබ්බා. ඒක මොකක් ද කියලා බලන්න නුවරඑළිය රෝහලට එන්න කිව්වා. ගියා ම ලේසර් කළා. එතකන් මට හොඳට ම පෙනීම තිබ්බා."

"2023 ආයෙත් කරලා බෙහෙත් දැම්මට ඊට පස්සේ ඇස් දෙක ම පෙන්නේ නැතිව ගියා. දැන් පේන්නේ ම නෑ."

"පළවෙනි පාර මම තනියම බස් එකේ ගියේ වීල් එක වැලිමඩ ටවුමේ දාලා. බෙහෙත් ගන්න. බෙහෙත් දැම්මා ම ඇස් පේන්නෙ නැතිව ගියා. පස්සෙ නෝනාට කිව්වා එන්න කියලා. පස්සේ අයියා ඇවිල්ල තමා එක්කරගෙන ආවේ. පස්සේ වීල් එක ගේන්න බැරි වුණා ටවුමේ ඉඳලා මට. තව අයිය කෙනෙක්ට කියලා තමා වීල් එක ගෙනාවේ. දෙවෙනි පාර තමා මේක වුණේ."

"ලේසර් කරලා තමා බෙහෙත් දැම්මේ. දියරක් වගේ. ඇස් දෙකට ම දැම්මා. පැය දෙකක් විතර හිටියා ඉස්පිරිතාලේ. ලේසර් කරලා බෙහෙත් දැම්මට පස්සේ පෙන්නේ නැහැ. මොනවත් පෙනුණෙ නෑ. ඩොක්ටර්ස්ලා කිව්වා තව සතියකින් හරි යයි කියලා. පස්සේ මාසෙකින් ගියා. පෙනෙන්නේ නැහැ කියලා පස්සේ බෙහෙත් වගයක් ලියලා දුන්නා. පෙනීම නැති වුණා."

පසුව ඇස් දියර යොදන ලද තවත් රෝගීන්ට පෙනීම නැතිව ගොස් ඇති බව ආනන්ද කුමාර්ට ද දැන ගැනීමට ලැබී ඇත.

"පස්සේ කොළඹ ගිහිල්ලා චෙක් කළා. එගොල්ලෝ කිව්වා දැන් නහර ටික ඔක්කොම මැරිලා තියන්නේ කියලා දැන් වැඩක් නැහැ කියලා. ආයෙත් පානදුරේ ගියා සිංහල ප්‍රතිකාර ක්‍රමයකට. මාස 6ක් විතර ගියා. රුපියල් දහ දහක් යනවා බෙහෙත්වලට විතරක් මෙහෙ ඉඳලා යන්න තව දහ දාහක් විතර යනවා. දවස් 15ට තමා විසි දාහ. මාසයකට බෙහෙත් ගන්න 40,000ක් යනවා. පස්සේ පෙනීමත් නැති නිසා මං ඒක අත ඇරියා."

"නෝනා අධිකරණයේ තමා වැඩ කළේ. දැන් ජීවත් වෙන්නේ නෝනාගේ පෙන්ෂන් එකෙන්. පොඩි ගාණක් එන්නේ, එකෙන් හරි අමාරු යි ජීවත් වෙන්න. දුවටත් සල්ලි යවන්න ඕනේ. කියන්නත් කනගාටුයි. 32,400ක් විතර තමා එන්නෙන්. දුවට මාසෙට 20,000- 25,000ක් යවන්න ඕනේ. එතකොට අපේ වියදම්."

"මට මේ මාසේ තමා බෙහෙත් හම්බවුණේ. ඉස්පිරිතාලේ ගිහා ම බෙහෙත් නැහැ. පිටින් ගන්නවා නම් පන්දහක් හයදහක් විතර යනවා. මේ මාසේ නම් මට බෙහෙත් හම්බවුණා. ඇස් අමාරුවෙන් පස්සේ මගේ හාර්ට් එකත් ඔපරේෂන් කළා. ඒකට බෙහෙත් ගන්න ඕනේ."

"තව මාස දෙකකින් පස්සේ දුවට හොස්ටල් එක නැහැ. එතකොට ඒකටත් ගාණක් යවන්න ඕනේ. එයත් බෑ කියලා තමා කැම්පස් එකට ගියේ. වියදමට සල්ලි මදි නිසා. ඊට පස්සේ කට්ටිය ඔක්කොම බැන්න, කැම්පස් යන්න කියලා.

"ඒයා කෑම එකක් අරගෙන දෙන්නෙක් එක්ක කනව ලු, රුපියල් 250යි කෑම එකක්."

"මට දැන් යන්න බැහැ. ඉස්පිරිතාලේ ගියත් තව එක්කෙනෙක් යන්න ඕනේ. ගෙදර පොඩ්ක් පුරුදු යි. වැසිකිළියට යන්නේ අත තියලා අල්ලගෙන."

"අපි කාගෙන්වත් සත පහක් ඉල්ලුවේ නැහැ. දැන් ඉල්ලන්න වෙලා තියෙනවා මට. ඒක නිසා තමයි ගොඩක් අමාරු. කියන්න දෙයක් නෑ."

"මට මොනවත් ම හම්බ වුණේ නැහැ. අපි AG ඔෆිස් එකට ගියා. පස්සේ කිව්ව නෝනා වැඩ නිසා දෙන්න බැහැ කිව්වා, රජයේ රැකියාවක් කරන නිසා දෙන්න බැහැ කියලා කිව්වා. මාසයකට රුපියල් 6000කට වඩා අඩු ආදයම් තියෙන්න ඕනේ ලු සල්ලි දෙනවා නම්."

"මට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියලා තමා මං රජයෙන් ඉල්ලන්නේ."

වෙනත් රෝගීන් නඩු මගට යොමුවී ඇතත්, ආනන්ද කුමාර් පත්ව ඇති අසරණ තත්ත්වය හේතුවෙන් ඔහුට දැන් ඒ සඳහා යොමුවීමට ඇති උනන්දුව හීන වී ගොස් ඇත.

"දඬුවමක් දෙන්න ඕනේ නේ. මං වගේ තව කීදෙනෙක් මෙහෙම අසරණ වෙලා ඉන්නව ද දන්නේ නැහැ. ඒ අයට සාධාරණයක් ඉෂ්ට වෙන්න එපැයි. අතක් හරි කකුලක් හරි නැතිව නම් කෙහොම හරි ඉන්න පුළුවන්. ඇස් දෙක පේන්නෙ නැති වුණා ම මොනවත් ම කරන්න බැහැ නේ."

"බෙහෙත් ගන්න ගිය එක ගැන අපරාදේ කියලා හිතෙනවා. එක ඇහැක් පෙනුණා නේ මගේ. දැන් ඇස් දෙක ම පෙන්නේ නැහැ බෙහෙත් දැම්මට පස්සේ. එක ඇහැක් හරි පෙනුම තිබුණ නම් මං මොකක් හරි වැඩක් කර ගන්නවා.

"මට හිතෙනෙවා දෙයියෝ එයාටත් දඬුවමක් දීලා තියෙනවා කියලා. මං වගේ කීදෙනක් ඉන්නව ද මේ වගේ බෙහෙත් දාපු"

"පොඩි ගාණක් හරි රජයෙන් හම්බ වුණා නම් අපිට ජීවත් වෙන්න පුළුවන් නේ."

ආනන්ද කුමාර්ගේ බිරිඳ වන කරුපයියා කෝකිලා සරෝජනී කියා සිටියේ, තම දියණියට ශිෂ්‍යාධාර හෝ මහපොළ නොලැබෙන බව ය.

"අපි දෙන්නා හරි ම අමාරුවෙන් ජීවත් වෙන්නේ. දුවට මහපොළ හම්බ වෙන්නේ නැහැ මම රජයේ රස්සාවක් කළේ කියලා. මට පෙන්ෂන් එක හම්බ වෙන්නේ, 32,440 යි. ඒකෙන් මහත්තයට කෑම දෙන්නත් ඕනේ. ඒකෙන් විස්සක් විතර යවන්න ඕනේ දුවට. සතියකට එයාට පෑන් දෙකක් ඕනේ ලු ලියන්න. ඊට අමතරව ප්‍රින්ට් අවුට් ගන්න ඕනේ ලු. අමතර වියදමුත් කරන්න වෙලා තියෙනවා. එතකොට හරි ම අමාරුවෙන් අපි දෙන්න ජීවත් වෙන්නේ."

"එයා උදේට කන්නේ නැහැ. උදේට දවල්ට තුන් වේල කන්න බැහැ ඒ ළමයට මං යවන සල්ලිවලින්. උදේට බනිස් ගෙඩියක් කාල යන්නේ. දවල්ට යාපනේ ළමයි කෑම එකක් ගෙනල්ලා දෙනව ලු. රෑට විතර යි ඒ ළමයා කන්නේ. ඒක කිව්වා ම අපි කන එකත් අපිට දිරවන්නේ නැහැ."

බොහෝ පවුල් මෙවැනි අසරණ තත්ත්වයකට පත්ව ඇත්තේ, මෙම සිදුවීම්වලින් බෝහෝවිට වින්දිතයින් බවට පත්ව ඇත්තේ, නිවසේ ගෘහ මූලිකයා හෝ ප්‍රධාන ආදයම් උපයන්නා වීම හේතුවෙන් බව බීබීසී සිංහල කළ ගවේෂණයෙදී අනාවරණය විය.

කිසිදු වන්දියක් නොලබා මෙලෙස අසරණ වී සිටින රෝගීන්ට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව බීබීසී සිංහල, නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණිගේ අවධානයට යොමු කළෙමු.

"මේ බෙහෙත දාපූ අයට තමා දෙන්නේ. ඒක හරියට ම හඳුනගෙන තමා දීලා තියෙන්නේ. විමර්ශනයට පස්සේ. ඒ බෙහෙත දාපු නිසා ප්‍රශ්නය වෙච්ච අයට තමා දීලා තියෙන්නේ."

"නමුත් ඔය ඔපරේෂන් කරලා, සහ ඔපරේෂන් එකේ ප්‍රශ්න නිසා හෝ එහෙම නැතිව රෝගයේ ස්වභාවය නිසා ඇස් නොපෙනී යන අය ඉන්නවා නේ. එතකොට එහෙම අයත් ඉල්ලනවා. ඉල්ලන අය ප්‍රමාණය සිය ගණනක්. අර 17 දෙනාට දුන්නා කියලා ආරංචි වෙලත් ගොඩ දෙනක් එනවා ඉල්ලන්න. එහෙම දීමේ නීතිමය පදනමක් නැහැ."

"අපිට දෙන්න පුළුවන් අර ඒ බෙහෙත් නිසා ම ඇස් අන්ධ වුණ අයට. එහෙම ඔප්පු වෙච්ච 17 දෙනෙකුට තමා දුන්නේ," නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

'තවදුරටත් පැමිණිලි ඉදිරිපත් කළ හැකියි'

"කමිටි එකකින් තමා සිලෙක්ට් කලේ. තාමත් ඉල්ලීම් එනවා. ඇත්තට ම ගත්තා ම ඒ අය ඒ සිද්ධියට සම්බන්ධ නෑ. ඔය කියන කාලේ ඉස්පිරිතාලේ ඉදලාවත්, ඒ කියන බෙහෙත දාලවත් නෙමෙයි."

"විද්වතුන්ගේ කමිටුවක් මගින් නේ ඔය තීරණය ගත්තේ, නමුත් ඒ කාලේ ඇස් පෙනීම අහිමි වෙච්ච හුඟදෙනක් ඒ වන්දිය ඉල්ලනවා. නමුත් ඒ ඉල්ලීම් ප්‍රමාණය කමිටුවෙන් සලකලා නෑ."

"කමිටුවේ තීරණය පිළි ගන්නේ නැත්නම් එයාට නඩු දැමීමේ අයිතිය තියෙනවා. නමුත් එතන ඉන්න අයට නඩු දාන්න පුළුවන් මට්ටමක අය නෙමෙයි. එතන ඉන්න අයට ගෙදර තියෙන දෙවල්, කොප්පයක් පිඟානක් හොයා ගන්නවත් බැරිව ඉන්නේ."

"ඇස් පේන්නේ නැති හැමෝට ම කීයක් හරි දෙන්න පුළුවන් නම් හොඳයි. නමුත් එහෙම ක්‍රමවේදයක් නැහැ නේ අපිට."

"දැන් වුණත් කාට හරි තියෙනවා නම් එහෙම පැමිණිල්ලක් ඉදිරිපත් නොකර, උසාවි නෙමෙයි අපිට ඉදිරිපත් කරනවා නම් අපිට සලකා බලන්න පුළුවන්. නමුත් අර නිර්ණායක ඇතුළේ තියෙන්න ඕනේ."

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ ඖෂධය ගෙන්වන ලද සමාගම අසාදු ලේඛනගත කර ඇති බවයි.

ඖෂධ ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු මතු වුවහොත් ගෙවීම් නොකිරීමට හෝ මුදල් ගෙවා ඇත්නම් අධිභාරයක් අය කර ගැනීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.

"කමිටුව පත් කරල තිබ්බේ රමේෂ් පතිරණ කාලේ. ඒ කමිටුවේ නිර්දේශ අරගෙන, කැබිනට් පත්‍රිකාවක් දාලා සල්ලි වෙන් කරලා තිබේබේ අපි ආවට පස්සේ."

වෛද්‍ය හංසක විජේමුණි පැවසුවේ, සැත්කම් නිසා හෝ ඖෂධ යෙදීමෙන් පසු පෙනීම අහිමි වීමේ හැකියාව ඉතා අඩු අතර ඇතැම් රෝගී තත්ත්වයන්ගේ ස්වභාවය අනුව ද අන්ධභාවයට පත් වීමට හැකි බවයි.

"ගොඩක් අය අභියාචනා දීලා තියෙනවා. ඒත් මේ බෙහෙත දීපු කාලේ නෙමෙයි, නැත්නම් ඒ බෙහෙත නෙමෙයි දාලා තියෙන්නේ. එහෙම නැත්තම් සැත්කම නිසා තමා එහෙම වෙලා තියෙන්නේ. රිලේටඩ් නැහැ ඒ ප්‍රශ්න ටික."

"පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඒ අයට අපිට එවන්න පුළුවන්, අපිට සලකා බලන්න පුළුවන්, නමුත් අර නිර්ණායකය ඇතුළේ තියෙන්න ඕනේ."

ඖෂධයේ නිෂ්පාදකයාගේ ප්‍රතිචාරය

මේ සම්බන්ධයෙන් Prednisolone acetate ඖෂධයේ නිෂ්පාදකයා වන INDIANA OPHTHALMICS සමාගමේ ප්‍රතිචාරය ලබා ගැනීම සඳහා බීබීසී සිංහල පසුගිය ඔක්තෝබර් 1 වන දා ඊමේල් මගින් ඔවුන්ගෙන් විමසීමක් කළ අතර, අප විසින් මෙම ලිපිය පළ කරන ලද දිනය දක්වා ම එම සමාගම අප වෙත කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

මෙම ඖෂධය මෙරටට ආනයනය කර ඇති බව කියන MS ALVITA Pharma Pvt. Ltd සමාගමෙන් ප්‍රතිචාරයක් දැන ගැනීම සඳහා අප උත්සහ කළත් ඔවුන්ගේ නිල වෙබ් අඩවියක් සොයා ගැනීමට අපට නොහැකි විය.