සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ට දස්කම් පෑ ගාල්ලේ තුන් නිවුන් සොහොයුරෝ

ඡායාරූප මූලාශ්‍රය, Sujeewa Priyalal
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය යනු පාසල් අධ්‍යාපනයේ වැදගත් විභාග අතරින් එකකි.
උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තීරණාත්මක විභාගයක් ලෙස ද සාමාන්‍ය පෙළ විභාගය සැලකේ.
එහෙයින්, සාමාන්‍ය පෙළ විභාගය තරගකාරී විභාගයක් නොවුණ ද, සිය දරුවන් එය ඉහළින් ම සමත් වනු දැකීම බොහෝ මව්පියන්ගේ අපේක්ෂාවකි.
ශ්‍රී ලංකාවේ අගහිඟකම් මැද ජීවිත ගත කරන බොහෝ දරුවන්ට ඔවුන්ගේ ජීවිත ගොඩනගා ගැනීමට බොහෝවිට ඇති එක ම මාර්ගය නිදහස් අධ්‍යාපනය යි.
මේ කතාව එවැනි අගහිඟකම් මැද සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ට අයුරින් සමත් වූ නිවුන් සොහොයුරන් තිදෙනෙකු පිළිබඳව ය.
එම සුවිශේෂී නිවුන් සොහොයුරන් පිළිබඳව වාර්තා වූයේ ගාල්ල මාපලගම ප්‍රදේශයෙනි.
ඔවුන් තිදෙනා නමින්, අනුද ගජනායක, අකිඳු ගජනායක සහ අමිරු ගජනායක ය.
A සාමාර්ථ 25ක්
මෙම නිවුන් දරුවන් අතරින් මද්දුමයා ලෙස සැලකෙන අනුද ගජනායක විෂයයන් 9ට ම A සාමාර්ථ ලබා ඇති අතර, අකිඳු සහ අමිරු A සාමාර්ථ 8 බැගින් සහ B සාමාර්ථය බැගින් ලබාගෙන තිබේ.
ඒ අනුව, ඔවුන් තිදෙනා A සාමාර්ථ 25ක් හිමිකර ගෙන ඇත.
මොවුන් තිදෙනා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ද සමත්වී තිබූ අතර, A සාමාර්ථ 9ක් හිමිකර ගත් අනුද ගාල්ල ඇලවීෂියස් විද්‍යාලයයේත්, සෙසු සහෝදරයින් දෙදෙනා නාගොඩ රාජකීය විද්‍යාලයයේත් ඉගෙනුම ලැබූහ.

ඡායාරූප මූලාශ්‍රය, Sujeewa Priyalal
‘ඉගෙනගත්තෙ නැත්නම් අපට අනාගතයක් නෑ’
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"අපේ අම්ම යි තාත්ත යි ගොඩක් අමාරුවෙන් අපට උගන්වන්නේ. අපට තව අක්කලා දෙන්නෙකුත් ඉන්නවා. ඒගොල්ලොත් තාම උසස් පෙළ කරනවා. පවුලේ කාටවත් ස්ථිර රැකියාවක් නෑ. තාත්තා අපට අයිති පොඩි තේ ඉඩමකින් තමයි මේ ඔක්කොම කරන්නේ. නෑදෑයෝ පුළුවන් විදිහට උදව් කරනවා," අනුද ගජනායක බීබීසී සිංහල සේවයට පැවසීය.
ඔවුන් සියලු දෙනා ම ඉගෙනීම වෙනුවෙන් කැපවීමට බලපෑ හේතුව අනුද පැහැදිලි කළේ මෙලෙසිනි.
"ඉගෙනගත්තෙ නැත්නම් අපට අනාගතයක් නැති බව අපි තේරුම් අරගෙන ඉන්නෙ. මොක ද, අපේ තාත්තාට ස්ථිර රැකියාවක් නැති නිසා සහ වත් පොහොසත්කම් නැති නිසා අපට වෙනත් මාර්ගයක් නෑ දියුණු වෙන්න. ඒ නිසා අපි හොඳට ඉගෙන ගන්න ඕන කියන අරමුණ අපට තියෙනවා."
ඔවුන් තිදෙනා සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වීම සඳහා පාඩම් කටයුතුවල නිරත වී ඇත්තේ ද තිදෙනා එක්වය.
දෙමාපියන් අප සමග පැවසූ පරිදි අකිඳු සහ අමිරු චිත්‍ර කලාවට දක්ෂතාවක් දක්වන අතර ඔවුන් දෙදෙනා පාසලේ මලල ක්‍රීඩාවන්හි ද නිරතවී තිබේ. අනුද බටනලා වාදනයට දස්කම් දක්වයි.
මව සහ පියා සමගින් සාමාජිකයන් හත් දෙනෙකුගෙන් සමන්විත මෙම පවුල තුන් නිවුන් සහෝදරයන්ට අමතරව වැඩිමල් සහෝදරියන් දෙදෙනෙකුගෙන් ද සමන්විත වන අතර, ඔවුන් දෙදෙනා මේ වන විට ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරමින් සිටියි.
නිවුන් සහෝදරයන් තිදෙනාගේ ම ඉදිරි බලාපොරොත්තුව වී ඇත්තේ ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරීම ය.
ඒ සඳහා සුදුසු පාසලකට ඇතුළත් වීමේ අපේක්ෂාවෙන් පසුවන බව ද අනුද ගජනායක පැවසීය.
අනාගත අපේක්ෂා
"අපි තුන් දෙනාට ම ඕන ඉන්ජිනේරුවන් වෙන්න යි. ඒක නිසා අපි තුන්දෙනා ම ගණිතය අංශයෙන් උසස් පෙළ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ," අනුද පැවසීය.
කුමන ක්ෂේත්‍රයක ඉන්ජිනේරුවරුන් වීමට අපේක්ෂා කරන්නේ ද යනුවෙන් අප ඇසූ ප්‍රශ්නයට ඔහු දුන්නේ මෙවන් පිළිතුරකි: "අපට තාම ඒ ගැන ලොකු වැටහීමක් නෑ. අපි කොහොම හරි එකතු වෙලා පාඩම් කරලා ඉන්ජිනේරු පීඨයකට ඇතුළත් වෙනවා තුන් දෙනා ම. ඊට පස්සේ අපි කල්පනා කරනවා අනාගතයේ දී මොනවා ද කරන්නේ කියලා."
2022 වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය මේ වසරේ මැයි මස 29 වන දා සිට ජූනි මස අටවන දා දක්වා පැවැත්විණි.
ඊට විභාග මධ්‍යස්ථාන 3568ක දී අපේක්ෂකයින් 472,553 දෙනෙක් පෙනී සිටියහ.












