පාස්කු ප්‍රහාරයෙන් දෑස් අන්ධ වුවද යුක්තිය පසිඳලන විනිසුරුවරියක වීමට සිහින දකින ඩෙබී

ඡායාරූප මූලාශ්‍රය, DINUK HEWAWITHARANA| BBC
- Author, දිනුක් හේවාවිතාරණ
- Role, බීබීසී සිංහල
මෙරට ඉතිහාසයේ එක් අඳුරු දිනයක් බවට පත් වූ 2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සිදුවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවෙන් පීඩා විදින බොහෝ දෙනා අදටත් ජීවත් වන්නේ විවිධ අභියෝග හමුවේ බව නොරහසකි.
පුද්ගලයින් 260කට අධික පිරිසකට දිවි අහිමිවූ අතර තවත් පුද්ගලයින් 500 දෙනෙකුට පමණ තුවාල සිදුවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවේ එක් ඉලක්කයක් වුයේ මඩකළපුව සියොන් දේවස්ථානයයි.
එලිෂා ඩෙබී රංජිත් සුරංග, මඩකලපුවේ සියෝන් දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට ගොදුරුවන විට 06 හැවිරිදි වියේ පසුවූවාය.
'ඩෙබීගේ දෙමව්පියන් අහිමි වුණා'

ඡායාරූප මූලාශ්‍රය, Provided
ඩෙබී තම 13 හැවිරිදි වැඩිමහල් සහෝදරයා සමග ජීවත් වන්නේ සිය මවගේ සහෝදරියගේ නිවසේයි.
බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ඇගේ නැන්දණිය වන වදනී මෝසෙස් පැවසුවේ දේවස්ථානයට එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් ඩෙබීගේ මව්පියන් මියගිය බවයි.
"ඩෙබීගේ අම්මා; ඒ කියන්නේ මගේ වැඩිමහල් සහෝදරිය. එයයි එයාගේ මහත්තයයි දෙන්නම සියොන් දේවස්ථානයට එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගියා." ඇය පැවසීය.
'එදා අපි හැමෝගෙම ජීවිතය වෙනස් වුණා'
දෑස් නොපෙනන ඩෙබීගේ භාරකරු ලෙස කටයුතු කරන 38 හැවිරිදි වියේ පසුවන වදනී මෝසෙස් පැවසුවේ තම පවුලේ සියලු දෙනාගේ ජිවිත එදා සිදුවූ බෝම්බ පිපිරීමත් සමග කණපිට හැරුණු බවයි.
එම බෝම්බ ප්‍රහාරයෙන් තම පවුලේ සාමාජිකයින් තිදෙනෙකු මිය ගිය බවත්, තමන්ද ඇතුළුව තවත් පවුලේ සාමාජිකයින් තිදෙනෙකු බරපතල තුවාල ලැබූ බවත් ඇය පැවසුවාය.
"මම මගේ ස්වාමි පුරුෂයා එක්ක පල්ලිය ඇතුලට ගිහින් ටික වෙලාවක් විතරයි ගතවුනේ එකපාරටම පිපිරීමක් සිද්ධ වුණා."
"මුලින්ම අපි හිතුවේ පල්ලිය ඉස්සරහා තිබ්බ ජෙනරේටර් එක පිපිරුණා කියලා. කිසිම දෙයක් පේන්නේ නැහැ දුමෙන් පිරිලා පල්ලිය ඇතුලේ. ඒ එක්කම පල්ලිය ඉස්සරහා නතර කරලා තිබුණු බයිසිකල් ගින්නත් එක්ක පිපිරෙන්න පටන් ගත්තා."
"මගේ ළඟ හිටිය එක් තරුණයෙක් ඔහු මිය ගිහින් තිබුණා. පස්සේ තමයි මමත් දැන ගත්තේ මටත් තුවාල වෙලා කියලා." වදනී මෝසෙස් මීට පස් වසරකට පෙර සිදුවූ ඒ අමිහිරි සිදුවීම ආවර්ජනය කළාය.

ඡායාරූප මූලාශ්‍රය, DINUK HEWAWITHARANA| BBC
'එයාව බෝම්බෙට අහුවෙලා පිච්චිලා ගිහින් තිබුණා'
බෝම්බ පිපිරීමෙන් අනතුරුව තමන් සිය ස්වාමි පුරුෂයා සමග මඩකලපුව රෝහලට පැමිණි බවත් එහිදී සිය පවුලේ සාමාජිකයින්ට සිදුව ඇති හානිය පිලිබඳව දැන ගැනීමට ලැබුණු බව ද ඇය පැවසුවාය.
" අපි කලබලේ හොයලා බැලුවා මගේ අක්කයි පවුලේ අනෙක් අයයි කොහෙද කියලා. ඒත් කිසිම දෙයක් හිතා ගන්න බැරි වුන තැන අපි පල්ලිය පිටිපස්සේ තිබ්බ තාප්පෙන් පැනලා මඩකලපුව ඉස්පිරිතාලෙට ගියා."
"මගේ අම්මයි තාත්තයි රෝහලට ඇවිල්ලා අපිව හොයා හොයා ඉද්දි හම්බ වුණා. ඒ වෙලාවේ මගේ වැඩිමහල් සහෝදරයා ඇවිල්ලා කිව්වේ එයා ඩෙබීව රෝහලට ගෙනාවා කියලා."
"ඒ එක්කම මගේ අක්කා, ඒ කියන්නේ ඩෙබීගේ අම්මා මියගිහින් කියලත් අයියා කිව්වා. ඒ එක්කම මට දැනගන්න ලැබුණා මගේ අනෙක් නංගි රෙබේකා දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරලා තිබුණා කියලා."
"ඩෙබීව රෝහලට ගෙනාපු මගේ සහෝදරයාගේ පුතා ජැක්සන් බෝම්බෙට අහුවෙලා මියගිහින් තිබුණා. එයාගේ සිරුර ගිනි අරන් පිච්චිලා ගිහින් තිබුණා. එයා මිය යද්දී වයස අවුරුදු 13ක්."

ඡායාරූප මූලාශ්‍රය, Provided
'එයාගේ එක ඇහැක් හරි පෙනෙයි කියලා අපි හිතුවා'
බෝම්බ පිපිරීමෙන් පසු බරපතල තුවාල ලැබූ ඩෙබී දින 04කට පසුව තමන් රෝහලේදී දකින විට ඇයව සම්පුර්ණයෙන්ම වෙළුම් පටි වලින් වෙලා තිබු බව වදනී මෝසෙස් පැවසීය.
"ඩෙබීව මට බලන්න ලැබුණේ දවස් 04 කට පස්සේ. ඒ වෙද්දී එයාගේ මුළු ඇඟම බැන්ඩේ වලින් ඔතලා තිබ්බේ."
"කොහොම හරි මාසයකට පස්සේ එයාව බොරැල්ලේ ලේඩි රිජ්වේ රෝහලට මාරු කරලා මාස 04ක් ප්‍රතිකාර කළා."
"ඊට පස්සේ කොළඹ පෞද්ගලික රෝහලකදී එයාගේ ඔලුවේ ලොකු ඔපරේෂන් එකක් කළා. අපිට ලොකු බලාපොරොත්තුවක් තිබුණා ඩෙබීගේ එක ඇහැක් පෙනේවි කියලා. ඒත් දොස්තරලා කිව්වා එයාගේ ඇස් පේන එකක් නැති වෙයි කියලා."
"අපි පවුලේ අය තීරණයක් ගත්තා ඩෙබීව ඉන්දියාවට එක්කන් ගිහිල්ලා හරි ඇස් සනීප කර ගන්න. බැරිම වුණොත් අපේ පවුලේ අය ඉදිරිපත් වුණා එයාට ඇස් දෙන්න බද්ධ කරලා හරි සනීප කර ගන්න පුළුවන් කියලා කිව්වොත්."
"ඉන්දියාවට ගියාම එහෙදි වෛද්‍යවරු පරික්ෂා කරලා කිව්වා ආපහු කවදාවත් ඩෙබීට ඇස් පේන එකක් නැති වෙයි කියලා." වදනී මෝසෙස් පැවසුවාය.
දෑස් නොපෙනුනත් ඩෙබී අද වන විට සිය අධ්‍යාපන කටයුතු හදාරමින් සිටින්නේ නිවසේ සිටයි.

ඡායාරූප මූලාශ්‍රය, Provided
'මට ඕන විනිසුරුවරියක් වෙන්න'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
11 හැවිරිදි වියේ පසුවන ඩෙබී පැවසුවේ තමන්ගේ බලාපොරොත්තුව බ්‍රේල් ක්‍රමයට අධ්‍යාපන කටයුතු හොදින් කරගෙන යෑම බවයි.
බෝම්බ ප්‍රහාරයට ලක්වීමට පෙර මඩකලපුව පූම්බුහාර් ජාත්‍යන්තර පාසැලේ ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය හදාරමින් සිටි ඩෙබී, අද වන විට නිවසේ සිට ගුරුවරියකගේ සහයෙන් බ්‍රේල් ක්‍රමයට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරමින් සිටියි.
" බ්‍රේල් ක්‍රමයෙන් ඉගෙන ගන්න ගමන් පියානෝ වාදනය කරන්න, ඉංග්‍රීසි කතා කරන අමතර පංති වලට මම යනවා."
"ඉංග්‍රීසි භාෂාවෙන් බ්‍රේල් ක්‍රමයෙන් අධ්‍යාපනය ලබන්න හොදින් පුරුදු වුණාට පස්සේ මඩකලපුවේ තියෙන ඉංග්‍රීසි භාෂාවෙන් බ්‍රේල් ක්‍රමයට උගන්වන ජාත්‍යන්තර පාසැලකට ඇතුලත් වෙන්න බලාගෙන ඉන්නවා."
ඇයගේ අනාගත බලාපොරොත්තුව කුමක්දැයි විමසු විට ඩෙබී ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.
" මම ලොකු වුණාම විනිසුරුවරියක් වෙන්න කැමැති." ඇය පැවසුවාය.
විනිසුරුවරියක් වීමට කැමැත්තෙන් පසුවන්නේ ඇයිදැයි විමසුවිට ඇය පිළිතුරු නොදී සිටියත් ඇයගේ නැන්දණිය කියාසිටියේ "ඔයාලා අලුත් නිසා එයා කතා කරන්න ලැජ්ජා වෙනවා. එයා කියන්නේ ලොකු වෙලා ඉගෙන ගෙන විනිසුරුවරියක් වෙන්න ඕන කියලා."
"ඒ ඇයි කියලා ඇහුවම ඩෙබී කියන්නේ වැරදි කරන ගොඩක් දෙනා නීතිය හමුවේ දඬුවම් ලබන්නේ නැති නිසා වැරදිකරන අයට දඬුවම් කරන්න මම හොද විනිසුරුවරියක් වෙන්න ඕන කියලයි. "














