'කේරළ මුහුදේ ගිලුණු නෞකාවේ ප්ලාස්ටික් නර්ඩ්ල්ස්' ශ්‍රී ලංකාවේ බස්නාහිර වෙරළටත් ගොඩ ගසයි

    • Author, අමන්දිකා කුරේ
    • Role, බීබීසී සිංහල

ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ වඩාත් ජනාකීර්ණ වෙරළ තීරයන් අතරින් එකක් වන වැල්ලවත්ත වෙරළ තීරයට [ජූලි 29] උදෑසනින් ම ගිය මා හට වසර හතරකට පමණ ඉහතදී ශ්‍රී ලංකාව ඉතිහාසයේ මෙතෙක් මුහුණ දුන් දරුණුතම පරිසර හානිවලින් එකක් සිහිගන්වන දර්ශනයක් දැකීමට සිදුවිය.

මෙම ජනාකීර්ණ වෙරළ තීර පිරිසිදු කිරීමේ වැඩසටහන් විටින් විට පවත්වන නමුත් වෙරළ තීරවලට පැමිණෙන ජනතාව නිසි ලෙස කසළ බැහැර නොකිරීම සහ එකතු වන කසළ නිසි ලෙස එකතු නොකිරීම මෙන් ම, මුහුදට එකතු වන කසළ නැවත ගොඩගැසීම වැනි හේතු නිසා බොහෝ අවස්ථාවල වෙරළේ කසල එකතු වී පවතියි.

කෙසේ නමුත් මෙදින මා වැල්ලවත්ත වෙරළ තීරයට ගිය විට එලෙස එකතුවී තිබූ කසළවලට අමතරව තවත් යමක් වෙරළට ගොඩ ගසා තිබිණි.

ඒ, සුදු පැහැති කුඩා පබළු ඇටවලට සමාන නර්ඩ්ල්ස් [ප්ලාස්ටික් ඇට] ය.

2021 වසරේදී ශ්‍රී ලංකාවේ කොළඹ වරායට ආසන්න මුහුදු සීමාවේදී ගිනිගෙන මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුරින් පසු මේ ආකාරයට ම ප්ලාස්ටික් නර්ඩ්ල්ස් ශ්‍රී ලංකාවේ වෙරළ තීරයන්ට ගොඩ ගැසූ අතර, ඒවා වෙරළ තීරවලින් ඉවත් කිරීමට දීර්ඝකාලීන ක්‍රියාවලියක් සහ දැවැන්ත මිනිස් ශ්‍රමයක් වැය කිරීමට සිදුවිය.

දැන් මෙම ප්ලාස්ටික් නර්ඩ්ල්ස් බස්නාහිර වෙරළ තිරයට ගොඩ ගසමින් පවතින්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුර සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික නඩු තීන්දුවක් ලබා දී ඇති මොහොතක වීම ද විශේෂත්වයකි.

'සුදු පාට බෝල වගයක් වෙරළ තීරයේ දිගට ම ගොඩගහලා තිබුණා'

විජේරාම ප්‍රදේශයේ පදිංචි මංජු මහානාම යනු, පිහිනීම සඳහා වැල්ලවත්ත වෙරළ තීරයට සතියකට දින පහක් පමණ පැමිණෙන අයෙකි.

ජූලි 29 වන දින වැල්ලවත්ත වෙරළ තීරයේදී ඔහු මා හට හමුවූ අතර එම අවස්ථාවේදී ඔහු පැවසුවේ, සති කිහිපයක සිට මෙලෙස ප්ලාස්ටික් ඇට වැනි යමක් වෙරළ තීරයට ගොඩ ගසමින් තිබෙන බව ය.

"මේ දවස්වල සුදු පාට බෝල වගයක් වෙරළ තීරයේ දිගට ම ගොඩගහලා තිබුණා. මීට අවුරුදු කීපයකට කලින් අර නැවක් ගිනිගත්ත වෙලාවෙත් මේ වගේ ඒවා අවා. අපහු මේ ළඟදි ඉඳන් එන්න පටන් අරන් තියෙනවා," ඔහු පැවසුවේ ය.

"සති තුනකට වගේ උඩදී තමයි මෙහෙම ආපහු එන්න පටන් ගත්තේ. දැන් නම් ටිකක් අඩුවෙලත් වගේ තියෙනවා."

"ඒක අස් කරන්නත් බෑ, පොඩි ඇට තියෙන්නේ, ඒවා දිරන්නෙත් නෑ. වැලිත් එක්ක කලවම් වුණා ම අස් කරන්න අමාරුයි," ඔහු තමාට නිරීක්ෂණය වූ දේවල් ගැන විස්තර කළේ ය.

'ජූනි 11 තමයි ලංකාවට එන්න පටන් ගත්තේ'

මෙම අපද්‍රව්‍ය පැමිණෙන්නේ කෙසේ දැයි බීබීසී සිංහල විසින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති සමන්ත ගුනසේකරගෙන් විමසීමක් සිදු කරන ලදී.

"මැයි 25 ඉන්දියාවේ කේරළයේදී නැවක් ගිලුණා. ජූනි 11 ඉඳන් ලංකාවට පොලිතින් එන්න පටන් ගත්තා. මුල ඉඳන් ම පෙලට්ස් ආවා. පළවෙනි සති දෙකේ ආවේ නෑ. ජූනි 11 තමයි ලංකාවට එන්න පටන් ගත්තේ," ඔහු පැවසුවේ ය.

"එදා ඉඳන් ම අපි ඒවා ක්ලීන් කරමින් තියෙන්නේ."

දැනට උතුරු පළාතේ යාපනය, ඩෙල්ෆ් ආශ්‍රිත වෙරළ තීරවල සිට බස්නාහිර පළාතේ වෙරළ තීර සහ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ වෙරළ තීර දක්වා මෙම අපද්‍රව්‍ය ගොඩගසා ඇතැයි සභාපතිවරයා පැවසුවේ ය.

කෝචි නගරයට ආසන්න මුහුදේදී ලයිබීරියානු ධජය සහිත MSC ELSA 3 නමැති මෙම නෞකාව පෙරළී ගිය අතර, නෞකාවේ ප්ලාස්ටික් නර්ඩ්ල්ස් සහ රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබිණි.

නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් තිබේ ද?

මෙලෙස ශ්‍රී ලංකාවේ වෙරළ තීරවලට නැවත නැවතත් සිදුවෙමින් පවතින පරිසර හානිය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමේ හැකියාවක් පවතින්නේ දැයි බීබීසී සිංහල විසින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයාගෙන් විමසා සිටින ලදී.

"අපි දැන් ඒ සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා," ඔහු පැවසුවේ ය.

"නැව් සමාගම ඇවිල්ලා කතා කළා. මීටින් එකක් තිබුණා. ඒවාට අපි වාර්තා හදමින් ඉන්නවා," සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ ය.