ට්‍රම්ප් සහ සෙලෙන්ස්කි අතර දුර්වල වන සම්බන්ධතාවය අද ඊයේ සිදු වූවක් ද?

    • Author, ඇලෙක්ස් ෆිලිප්ස්
    • Role, බීබීසී පුවත්

ඉකුත් සිකුරාදා ධවල මන්දිරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී යුක්රේනයේ යුද්ධය අවසන් කරන්නේ කෙසේද යන්න පිළිබඳව වොලොදිමීර් සෙලෙන්ස්කි සහ ඩොනල්ඩ් ට්‍ර්ම්ප් අතර උණුසුම් කතාබහක් සිදුවිය.

නොසන්සුන් වූ ඔවුන්ගේ රැස්වීමේදී ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා විසින් යුක්රේන ජනාධිපතිවරයා "අගෞරව කර බවට" මෙන්ම "තුන්වන ලෝක යුද්ධය සමඟ සූදුවේ නියැලෙන" බවට ඔහු වෙත චෝදනා එල්ල කළේය.

ට්‍රම්ප් සහ ඔහුගේ උප ජනාධිපති ජේ ඩී වැන්ස්ගේ ප්‍රකාශවලින් කලකිරුණු සෙලෙන්ස්කි, එල්ල වූ චෝදනා වලින් තමාව ආරක්ෂා කර ගැනීමට උත්සාහ කළ අතර රුසියාවේ ව්ලැඩිමීර් පුටින් සමඟ "සම්මුතියකට" එළඹිය නොහැකි බව කියා සිටියේය.

ඕවල් කාර්යාලයේ පැවති මෙම රැස්වීම ඔවුන් දෙදෙනා පැටලුණු පළමු අවස්ථාව නොවේ.

ඔවුන් දෙදෙනා එකිනෙකා ගැන පැවසූ දේ සහ වසර ගණනාවක් පුරා ඔවුන්ගේ සම්බන්ධතාවය වෙනස් වී ඇති ආකාරය ලිපියෙන් සාකච්ඡා කෙරේ.

සෙලෙන්ස්කි තේරී පත්වීම

2019 අප්‍රේල් 21: සෙලෙන්ස්කි යුක්රේනයේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ පසු, සිය පළමු ධුර කාලයේ කටයුතු කළ ට්‍රම්ප් ඔහුට සුබ පැතීමට ඇමතීය. ඔහු මැතිවරණය "ඇදහිය නොහැකි" ලෙස ප්‍රශංසා කළ අතර, "ඔබ විශිෂ්ට කාර්යයක් කරනු ඇත" යනුවෙන් සෙලෙන්ස්කිට පැවසීය.

2019: එවකට ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වූ ජෝ බයිඩන්, ඔහුගේ පුත් හන්ටර් අධ්‍යක්ෂක මණ්ඩලයේ කටයුතු කරන බලශක්ති සමාගමක් වන බුරිස්මා පිළිබඳ සිදුකරන පරීක්ෂණයක් නැවැත්වීම සඳහා එහි ඉහළම අභිචෝදකයා සේවයෙන් පහ කරන ලෙසට යුක්‍රේනයට බලපෑම් කළ බවට ට්‍රම්ප්ගේ මිත්‍ර පාක්ෂිකයින් විසින් චෝදනා එල්ල කෙරුණි. එම චෝදනා ගොතන ලද ඒවා බව පසුව අනාවරණය වූ අතර, දූෂණ චෝදනා මත අභිචෝදකව තනතුරෙන් පහ කරන ලදී.

2019 ජූලි 25 : ට්‍රම්ප්ට එරෙහිව පළමු දෝෂාභියෝගය ගෙන ඒමට තුඩු දුන් දුරකථන ඇමතුම අතරතුර, ට්‍රම්ප් සෙලෙන්ස්කිගෙන් ඉල්ලා සිටියේ චෝදනාවල "ගැඹුරටම" යන ලෙසයි. සෙලෙන්ස්කි ප්‍රතිචාර දක්වන්නේ වසර අවසානයේදී එම සාක්ෂි සමාලෝචනය කරන බව පවසමින් ය.

2020 සැප්තැම්බර් 29 : "ඔබ උප ජනාධිපති වූ පසු, [හන්ටර්] යුක්රේනය, චීනය, මොස්කව් සහ වෙනත් ස්ථානවලදී ධනයක් උපයා ගත්තා." යැයි බයිඩන් ට්‍රම්ප් පළමු ජනාධිපති විවාදය අතරතුර දී, ට්‍රම්ප් චෝදනා ගැන සඳහන් කරමින් කියා සිටියේ ය.

යුක්‍රේන යුද්ධය ආරම්භ වීම

2022 පෙබරවාරි 24 : රුසියාව සිය පූර්ණ පරිමාණ යුක්රේනය ආක්‍රමණය ආරම්භ කල අතර, ට්‍රම්ප් එය "භයානක" ලෙස හඳුන්වයි. සෙලෙන්ස්කි කියෙව්හි රැඳී සිටීම "එඩිතර" බව කියා සිටි අතර ඔහු ඒ ගැන සෙලෙන්ස්කිට ප්‍රශංසා කරන අතර, තමන් 2020 මැතිවරණය ජයග්‍රහණය කළේ නම් එම ආක්‍රමණය "කිසිදා සිදු නොවනු ඇති" යනුවෙන් ද ඔහු පැවසීය.

5 මාර්තු 2023: "මම ඕවල් කාර්යාලයට පැමිණීමටත් පෙර, රුසියාව සහ යුක්රේනය අතර වන විනාශකාරී යුද්ධය සමථයකට පත් කරනවා," ට්‍රම්ප් කන්සර්සවේටිව් සමුළුවකදී පැවසීය. " මට ඒකට එක දිනකට වඩා ගත වන්නේ නැහැ."

2024 මැයි : සෙලෙන්ස්කිගේ ධූර කාලය අවසන් වන නමුත් යුක්‍රේනයේ පැවැත්වීමට නියමිතව තිබූ මැතිවරණ යුධ නීතිය හේතුවෙන් කල් දැමූ බැවින් ඔහු නිලයේ රැඳී සිටියි. ඔහු මීට පෙර ඔහු කියා තිබුණේ "දැන් මැතිවරණ කාලය නොවේ" යනුවෙනි.

ඇමෙරිකානු මැතිවරණ ව්‍යාපාර උණුසුම සමග බලපෑම් ඉහළට

22 සැප්තැම්බර් 2024: නිව් යෝර්කර් සඟරාවට සෙලෙන්ස්කි මෙලෙස පැවසීය: "මගේ හැඟීම නම් ට්‍රම්ප් යුද්ධය නැවැත්විය යුතු ආකාරය ගැන සැබවින්ම නොදන්නවා කියලයි, ඔහු එය දන්නේ කෙසේදැයි ඔහු සිතුවද." "බොහෝ" නායකයින් එය තමන්ට හැකි යැයි සිතූ නමුත් නොහැකි වූ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

25 සැප්තැම්බර් 2024: මැතිවරණ ප්‍රචාරක මාවතේ දී, ට්‍රම්ප් විසින් සෙලෙන්ස්කිට චෝදනා කළේ "[මම] ඔබේ ප්‍රියතම ජනාධිපතිවරයා වන මා ගැන නපුරු අපේක්ෂාවන් ඇති කරන" බව කියමින් ය. "ඕනෑම ගනුදෙනුවක, නරකම ගනුදෙනුවේදී පවා, අපට දැන් ඇති දේට වඩා හොඳ එකක් ලැබෙනු ඇත."

2024 සැප්තැම්බර් 27: සෙලෙන්ස්කි සහ ට්‍රම්ප් නිව් යෝර්ක්හිදී හමුවිය. "යුද්ධය නැවැත්විය යුතු බවට" ඔවුන්ට පොදු මතයක් ඇති බව සෙලෙන්ස්කි පවසන අතර [රුසියානු ජනාධිපති ව්ලැඩිමීර්] "පුටින්ට එය ජයග්‍රහණය කළ නොහැකි බවත්" යුද්ධය "ඉතා ඉක්මනින්" විසඳන බව ත් ට්‍රම්ප් එහිදී පැවසීය.

2024 නොවැම්බර් 6 : ට්‍රම්ප් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස නැවත තේරී පත් වේ. ට්‍රම්ප්ගේ "තීරණාත්මක නායකත්වය" යටතේ "ශක්තිමත්" ඇමෙරිකා එක්සත් ජනපදයක් අපේක්ෂා කරන බව පවසමින් ඔහුට සුබ පැතූ පළමු ලෝක නායකයන් අතර සෙලෙන්ස්කි ද විය.

ට්‍රම්ප් පරිපාලනය ඇරඹීම සහ ආතතීන් වර්ධනය වීම

2025 ජනවාරි 22 : "මෙය ගනුදෙනුවක් කිරීමට කාලයයි" ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ජාලය වන. Truth Social හි සටහනක් තබයි. "අපට එය පහසු ක්‍රමයට හෝ දුෂ්කර ආකාරයෙන් කළ හැක." ගනුදෙනුවක් සිදු නොකළහොත් රුසියාවට තවත් ආර්ථික සීමාවන් පනවන බව ඔහු වැඩිදුරටත් පවසයි.

2025 ජනවාරි 23: ට්‍රම්ප් ලෝක ආර්ථික සංසදයට පවසන්නේ "ගිවිසුමකට යාමට සෙලෙන්ස්කිට අවශ්‍ය" නමුත් පුටින්ට "අවශ්‍ය නොවීමට ඉඩ ඇති" බවයි.

2025 පෙබරවාරි 15 ​​: සෙලෙන්ස්කි ට්‍රම්ප්ගේ කණ්ඩායම සමඟ වැඩ කිරීමට පටන් ගෙන ඇති බව සඳහන් කරයි. "ලෝකය ඇමරිකාව දෙස බලන්නේ යුද්ධය නැවැත්වීමට සහ කල්පවත්නා සාමය සහතික කිරීමට උපකාරී වන බලය ලෙසයි." ඔහු එහිදී සටහන් කර තිබිණි.

2025 පෙබරවාරි 18: සෞදි අරාබියේ රියාද්හි දී යුද්ධය අවසන් කිරීම ගැන ඇමෙරිකා එක්සත් ජනපදය සහ රුසියාව අතර සාකච්ඡා ආරම්භ විය. එම සාකච්ඡා "යුක්‍රේනයට හොරා" සිදු වූ බව සෙලෙන්ස්කි වාර්තාකරුවන්ට පවසන අතර, "නැවත වරක්, යුක්‍රේනය ගැන තීරණ ගන්න හදන්නේ යුක්‍රේනය නොමැතිව" බව ද පැවසුවේය.

2025 පෙබරවාරි 18: සාකච්ඡා වලින් පසුව, ට්‍රම්ප් කියා සිටියේ තමන් යුක්‍රේනයේ ප්‍රතිචාරය ගැන "කලකිරුණු" බවයි. යුක්‍රේනය යුද්ධය ආරම්භ කළ බව ත්, රටට ඉක්මනින් "ගිවිසුමක් ඇති කර ගත හැකිව තිබූ" බවටත් ඔහු චෝදනා කළේය.

2025 පෙබරවාරි 19: ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයාට රුසියාවේ "වැරදි තොරතුරු" මත බලපෑම් එල්ල වන බව සෙලෙන්ස්කි පැවසීය. "අපි අපේ රට මත ශක්තිමත්ව සිටිනවා. මම... යුරෝපයේ එකමුතුකම සහ ඇමරිකාවේ ප්‍රායෝගිකවාදය ගැන බලා ගෙන සිටිනවා." ඔහු තවදුරටත් පැවසුවේය.

2025 පෙබරවාරි 19: ට්‍රම්ප් විසින් ඩොලර් බිලියන 350 ක් වියදම් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයට ඒත්තු ගැන්වීම වෙනුවෙන් සෙලෙන්ස්කිට චෝදනා කරන අතර එම මුදලින් අඩක් දැන් අතුරුදන් වී ඇති බව පවසයි. ට්‍රම්ප් සෙලෙන්ස්කිව හඳුන්වන්නේ "බිහිසුණු වැඩක්" කළ "ඒකාධිපතියෙකු" ලෙසයි.

උණුසුම් වූ පුද්ගලික හමුවීම

2025 පෙබරවාරි 23: සෙලෙන්ස්කි වැඩසටහනක දී පවසන්නේ ට්‍රම්ප් ඔහුව "ඒකාධිපතියෙකු" ලෙස හැඳින්වීම ගැන තමා අමනාප නොවන බවයි, "මම ඒකාධිපතියෙක් වුනා නම්, මම ඒ ගැන අමනාප වනවා ඇති. නමුත් මම ඒක භාරගන්නවා. කමක් නැහැ, හරි, කමක් නැහැ."

2025 පෙබරවාරි 25: යුක්‍රේනයේ අගමැති ඩෙනිස් ෂ්මිහාල් පවසන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ ප්‍රධාන ඛනිජ ගණුදෙනුවකට එකඟ වී ඇති බවයි. එදිනම ට්‍රම්ප් පවසන්නේ එම සතිය අවසානයේදී වොෂින්ටනයේ දී සෙලෙන්ස්කි සමග ගිවිසුම අත්සන් කිරීමට තමන් අපේක්ෂා කරන බවයි.

2025 පෙබරවාරි 26 : දුර්ලභ ඛණිජ ලෝහ කැණීම් සිදුකිරීම සහ එරට තුළ ඇමෙරිකානු කම්කරුවන් සිටීම තුළින් යුක්‍රේනයට "ස්වයංක්‍රීය ආරක්ෂාව" සපයනු ඇති බවට ට්‍රම්ප් පවසයි. සෙලෙන්ස්කි පවසන්නේ ඔහුගේ රජය විසින් නිල වශයෙන් සහය ලබන ගනුදෙනුවේ සාර්ථකත්වය රඳා පවතින්නේ ට්‍රම්ප් සමඟ ඔහු හමුවීම මත බවයි.

2025 පෙබරවාරි 27: ඔහු තවමත් සෙලෙන්ස්කිව "ඒකාධිපතියෙකු" ලෙස හඳුන්වමින් සිටින්නේ දැයි බීබීසීය විසින් ඇසූ විට, ට්‍රම්ප් ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ, "මම එහෙම කිව්වද? මට විශ්වාස කරන්න බැහැ මම එහෙම කිව්වා කියලා". ඊළඟ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ සෙලෙන්ස්කි "ඉතා නිර්භීත" අයෙකු ලෙස හඳුන්වන බවයි.

27 පෙබරවාරි 2025: ට්‍රම්ප් ධවල මන්දිරයේදී එක්සත් රාජධානියේ අගමැති ශ්‍රීමත් කීර් ස්ටාර්මර් සමඟ කළ සාකච්ඡාවෙන් පසුව, ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා වාර්තාකරුවන්ට අනාවැකියකින් පැවසුවේ සිකුරාදා සෙලෙන්ස්කි සමඟ "ඉතා හොඳ හමුවීමක්" සිදුවිය හැකි බවයි.

28 පෙබරවාරි 2025: යුක්‍රේනයේ ඛනිජ සම්පත් බෙදාගැනීම පිළිබඳ ගිවිසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සෙලෙන්ස්කි වොෂින්ටනයට පැමිණෙයි.

2025 පෙබරවාරි 28: ඕවල් කාර්යාලයේ පැවති උණුසුම් සහගත රැස්වීමක දී, ට්‍රම්ප් විසින් සෙලෙන්ස්කි ඇමෙරිකා එක්සත් ජනපදයට "අගෞරව කරන" බවට චෝදනා කරයි, එය සෙලෙන්ස්කි ප්‍රතික්ෂේප කරයි. ට්‍රම්ප් තවදුරටත් පවසන්නේ, "ඔබේ ජනතාව ඉතා නිර්භීත ය, නමුත් ඔබ දෙකෙන් එකක් තෝරා ගත යුතුයි - එක්කෝ ගනුදෙනුවකට එළඹිය යුතුයි - නැතිනම් අපි එළියට යනවා. අපි එළියට ගියහොත්, ඔබ ඊට එරෙහිව සටන් කරනවා ඇත." යනුවෙනි.

28 පෙබරවාරි 2025: "ඔයාට ලස්සන සාගරයක් දැන් තියෙනවා ඒත් ඒක දැන් දැනෙන්නේ නෑ. නමුත් අනාගතයේදී ඔයාට ඒක දැනෙයි" යුද්ධය ගැන සෙලෙන්ස්කි පැවසීය. ට්‍රම්ප් ඊට ප්‍රතිචාර දක්වමින්. "අපට දැනෙන්නේ මොනවද කියලා අපට කියන්න එපා. අපට දැනෙන දේ කියන්න ඔයාට හැකියාවක් නැහැ."

28 පෙබරවාරි 2025: ට්‍රම්ප් රැස්වීම අවසන් කළේ සෙලෙන්ස්කි " කෘතඥ නොවන බවත් "මෙය රූපවාහිනියට විශිෂ්ට වෙනු ඇති" බවත් පවසමිනි.

28 පෙබරවාරි 2025: : "හැඟීම් තුළින් එළියට එන දේ පුදුම සහගතයි, ඇමරිකාව සම්බන්ධ නම් ජනාධිපති සෙලෙන්ස්කි සාමයකට සූදානම් නැති බව මට තේරුණා,මොකද අපේ මැදිහත්වීම ඔහුට සාකච්ඡාවලදී විශාල වාසියක් ලබා දෙන බව ඔහුට හැඟෙන නිසා. මට වාසියක් අවශ්‍ය නැහැ, මට අවශ්‍යය සාමය." ට්‍රම්ප් සමාජ මාධ්‍යවල සටහනක් තබමින් සඳහන් කළේය.