යුක්රේන යුද්ධය: පුටින්ගේ අභ්‍යන්තර කවයේ හිඳ යුද්ධය මෙහෙයවන්නේ කවුද?

    • Author, පෝල් කර්බි
    • Role, බීබීසී පුවත්

රුසියාවේ පූර්ණ-පරිමාණ යුක්රේන ආක්‍රමණය දිගින් දිගටම ඇදී යද්දී පුටින් හුදෙකලා චරිතයක්බවට පත්ව තිබුණ ද, වසර ගණනාවක් ගෙවුණ ද නොවෙනස්ව සිටි ඉතා පක්ෂපාතී පිරිවරක් මඟින් ඔහුගේ ස්ථාවරය ආරක්ෂාවී තිබේ.

සේනාධි නායක ලෙස ආක්‍රමණයේ අවසාන වගකීම ඔහු වෙත පැවරී ඇතත්, ඔහු ඔහුගේ අභ්‍යන්තර කවයක් මත යැපෙයි. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා රුසියානු ආරක්ෂක සේවාවන්හි දී සිය වෘත්තීය දිවිය ඇරඹු තැනැත්තන් ය.

වාග්නර් කණ්ඩායමේ නායක යෙව්ගිනි ප්‍රිගොෂින් වරක් ඔහුගේ සමීප හා බලවත් සගයෙකුවූ නමුදු කිසිදා එම අභ්‍යන්තර කවයේ සාමාජිකයෙකු නොවීය. ඉතින්, යුද්ධයේ මේ තීරණාත්මක මොහොතේ දී ජනාධිපතිවරයා සවන්දෙනු ඇත්තේ කාට ද?

සෙර්ගෙයි ෂොයිගු - ආරක්ෂක අමාත්‍ය

මාස ගණනාවක සිට ප්‍රිගොෂින්ගේ ප්‍රහාරයන්ට මැදිවූ දෙදෙනෙකි - ඒ, ආරක්ෂක අමාත්‍ය සෙර්ගෙයි ෂොයිගු හා සන්නද්ධ හමුදාවන්හි ප්‍රධානී වලේරි ගෙරාසිමොෆ් ය.

යුක්රේන යුද්ධයේ දී මියගිය දස දහස් ගණනක් රුසියානුවන්ගේ මරණවල වගකීම සම්බන්ධයෙන් ප්‍රිගොෂින් චෝදනා කරන්නේ ඔවුනට ය. දිගුකාලීන කටුක ආරවුල, ජාතික අර්බුදයක්බවට හැරී තිබේ.

ජනපතිවරයා කිසිවෙකුට සවන් දෙන්නේ නම්, ඒ ඔහුගේ ආරක්ෂක අමාත්‍යවරයාට ය. ඔහු, පුටින් සමග අතීතයේ දී සයිබීරියාවේ දඩයම් සහ මසුන් ඇල්ලීමේ චාරිකාවන්හි යෙදී ඇති, වරෙක, වියහැකි අනාගත අනුප්‍රාප්තිකයෙකු ලෙස ද සැලකුණු තැනැත්තෙකි.

ප්‍රථමයෙන්, රුසියාව විසින් යුක්රේනයේ හමුදාකරණය ඉවත්කරන වගත්, අනතුරුව, යුද්ධය ආරම්භ කළේ රුසියාව නොව "බටහිර එක්ව" බවත් ප්‍රකාශ කරමින්, ඔහු පුටින්ගේ ක්‍රියාවන්ට පූර්ණ යටහත් අනුකූලත්වය දක්වා තිබේ.

පුටින් ඔහුට කොපමණ දුරකට ඇහුම්කන් දෙනවාදැ යි ඇතැම්විට ඔබට සිතෙයි. මෙම අසාමාන්‍ය ඡායාරූපය ගනු ලැබුණේ 2022 පෙබරවාරියේ දී ආක්‍රමණය ඇරඹී තෙදිනකට පසු ය.

එවිට රුසියානු යුද ව්‍යාපාරය ඇරඹී තිබුණේ යන්තමින් වන අතර, එය බලාපොරොත්තු රහිත ලෙස යුක්රේනයෙන් එල්ලවූ ප්‍රතිරෝධය හා රුසියානු හමුදාවන්ගේ චිත්ත ධෛර්යය මඳකම නිසා දුෂ්කරත්වයට පත්ව තිබුණි.

"ෂොයිගු කියෙව් වෙත හමුදා මෙහෙයවීමට නියමිතව තිබුණා; ආරක්ෂක අමාත්‍යවරයා වුණේ ඔහු යි, යුද්ධය දිනිය යුතුව තිබුණේ ඔහු යි," සන්නද්ධ ගැටුම් පිළිබඳ විශේෂඥ වේරා මිරනෝවා පැවසුවා ය.

එනමුදු ඔහු තවමත් යුද්ධයේ වැදගත් කාර්යයභාරයක් ඉටුකරයි. ඒ, ඔහු යුක්රේනයේ භූමියේ යථාර්ථය පිළිබඳව ජනපතිවරයාට අසත්‍ය ප්‍රකාශ කරන්නේයැ යි ප්‍රිගොෂින්ගෙන් එල්ලවන චෝදනා මධ්‍යයේ ය.

2014 දී හමුදාව ක්‍රිමියාව අත්පත්කර ගැනීම සම්බන්ධ ගෞරවය හිමිවූයේ ඔහුට ය. එසේම, 2018 වසරේ එක්සත් රාජධානියේ සැලිස්බරිහි දී එල්ලවූ විෂ ප්‍රහාරය හා, 2020 වසරේ සයිබීරියාවේ දී විපක්ෂ නායක අලෙක්සේයි නවාල්නිට මාරාන්තික විෂ ප්‍රහාරයක් එල්ල කිරීම ඇතුළු ස්නායුක විෂ යොදා ප්‍රහාරයන් ද්විත්වයක් එල්ල කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති GRU හමුදා බුද්ධි කාර්යාංශය ද භාරව හිටියේ ඔහු ය.

ඉහළ ඡායාරූපයේ සමීප දර්ශනය වඩාත් නරකට දිස්වෙයි. "ඒක හරියට මළගෙයක් වගේ," මිරනෝවා පවසයි.

එය නොගැළපෙන ස්වරූපයක් දැරුව ද, රුසියානු ආරක්ෂක විශේෂඥ සහ කතෘ අන්ද්‍රෙයි සොල්දාතෆ් පෙන්වා දෙන පරිදි ජනපති ඇහුම්කන් දෙන වඩාත්ම බලපෑම්සහගත හඬ මේ අමාත්‍යවරයා ය.

"ෂොයිගු භාරව ඉන්නේ හමුදාව විතරක් නෙවෙයි, ඔහු [රුසියානු] මතවාදය සඳහාත් යම් තරමකට භාරකාරත්වය දරනවා - රුසියාවෙ දී මේ මතවාදයට බොහෝ කොටම ඉතිහාසය සම්බන්ධ යි. ඒ ආඛ්‍යානය පාලනය කරන්නේ ඔහු යි."

වලේරි ගෙරාසිමොෆ් - රුසියානු සන්නද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී

මාණ්ඩලික ප්‍රධානියා වශයෙන්, යුක්රේනය ආක්‍රමණයකර එම කටයුත්ත ඉක්මණින් නිමා කිරීමේ වගකීමවූයේ ඔහු වෙත ය - එම ප්‍රමිතීන්ට අනුව ඔහු අසාර්ථකබව පෙනෙයි.

නමුත් ඔහු සෝවියට් සමයේ සිට දිගුම කාලයක් මෙම තනතුරෙහි රැඳී සිටි තැනැත්තාවීමට ද හේතුවක් තිබේ. ව්ලැදිමීර් පුටින් ඔහු වෙත සිය විශ්වාසය තබා තිබේ.

1999 වසරේ චෙචන් යුද්ධයේ දී හමුදාවකට අණදීමෙන් පසු ඔහු රුසියානු හමුදා ව්‍යාපාරයන්හි ප්‍රධාන කාර්යයභාරයක් ඉටුකර තිබේ. ඔහු යුක්රේන යුද්ධයට පෙර බෙලරුසියාවේ දී පැවැත්වුණු හමුදා පුහුණුවීම් අධීක්ෂණය කරමින්, යුක්රේන යුද්ධයේ හමුදාමය සැලසුම්කරණයෙහි මූලිකත්වය ගත්තෙකු ද විය.

රුසියාව පිළිබඳ විශේෂඥ මාක් ගැලියාටි, "සිනා නොවෙන, රළුපරළු මැරයෙක්" ලෙස විස්තර කරන ජෙනරාල් ගෙරාසිමොෆ් ක්‍රිමියාව අත්පත්කර ගැනීම සඳහාවූ හමුදා ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යයභාරයක් ඉටුකළේ ය.

මුල දී, යුක්රේන යුද්ධයේ කඩින් කඩ ආරම්භය හා භට පිරිස් අතර චිත්ත ධෛර්යය පහත වැටීම පිළිබඳ වාර්තාවන් නිසා, ඔහු එම කටයුතුවලින් ඈත්කර තැබෙණු ඇතැ යි කතාවක් පැතිරිණි.

2022 මැයි මාසයේ දී පැවැති වාර්ෂික මොස්කව් හමුදා පෙළපාලිය සඳහා පෙනී සිටීමට ද ඔහු අපොහොසත්විය. නමුත් මෙවසරේ ජනවාරියේ දී, ඔහු (වර්තමානයේ ඔහුගේ දෙවැන්නා වන) ජෙනරාල් සෙර්ගෙයි සුරොවිකින් වෙනුවට යුක්රේන බලකායන්හි අණදෙන නිලධාරියා ලෙස පත්කරනු ලැබුණි.

"හැම පාරක්ම, හැම හමුදා ඛණ්ඩයක්ම පාලනය කරන්න පුටින්ට බැහැ. ඒක තමයි ඔහුගේ කාර්යයභාරය," අන්ද්‍රෙයි සොල්දාතෆ් පැවසීය.

නිකොලායි පතෘශෙෆ් - ආරක්ෂක මණ්ඩල ලේකම්

"බටහිර විසින් අවුරුදු ගාණක් තිස්සෙ රුසියාවට හානි කරන්න හදනවා කියලා හිතන, උකුස්සන්ගෙත් උකුස්සා තමයි පතෘශෙෆ්," ලන්ඩනයේ යුනිවර්සිටි කොලෙජ්හි රුසියානු දේශපාලනය පිළිබඳ සහකාර මහාචාර්යවරයෙකු වන බෙන් නෝබල් පවසයි (මෙහිදී ඔහු 'උකුස්සා' යනුවෙන් අදහස් කරන්නේ, විශේෂයෙන්ම විදේශ කටයුතුවල දී ආක්‍රමණශීලී හෝ යුධමය ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙකි).

ඔහු, රුසියාවේ දෙවැනි විශාලතම නගරය ලෙනින්ග්‍රාද් ලෙස හැඳින්වූ 1970 ගණන්වල සිට සාන්ත පිතර්බුර්ග්හි පුටින් සමග සේවය කළ පුටින්ට පක්ෂපාතී තැනැත්තන් තිදෙනාගෙන් අයෙකි.

පුටින්ගේ අනෙක් බලගතු ආධාරකරුවන් දෙදෙනා වන්නේ ආරක්ෂක සේවා ප්‍රධානී අලෙක්සාන්දර් බොර්ත්නිකොෆ් සහ විදේශ බුද්ධි අංශ නායක සෙර්ගෙයි නරිෂ්කින් ය. ජනපතිගේ අභ්‍යන්තර කවයේ සියල්ලන් හැඳින්වෙන්නේ 'සිලොවිකි' හෙවත් 'බලාත්මක කරන්නන්' යනුවෙන් වුව ද, මොවුන් තිදෙනා ඊට වඩා සමීප ය.

නිකොලායි පෙතෘශෙෆ් තරමට ජනපතිට බලපෑම් කළ හැකි තැනැත්තන් සිටින්නේ අල්පයකි. ඔහු සෝවියට් සමයේ දී පුටින් සමග පැරණි KGB ඔත්තු සේවය සඳහා සේවයකර ඇති අතර, ඒ වෙනුවට පැමිණි නව බුද්ධි අංශය වූ FSBහි ප්‍රධානීධුරයට පුටින්ගේ අනුප්‍රාප්තිකයා ලෙස පත්වූ ඔහු 1999 සිට 2008 දක්වා ධුරය දැරීය.

යුක්රේන ආක්‍රමණයට තෙදිනකට පෙර පැවැත්වුණු රුසියානු ආරක්ෂක කවුන්සිලයේ අරුම පුදුම රැස්වීමක දී, එක්සත් ජනපදයේ "නොබෙදුණු ඉලක්කය" වන්නේ රුසියාව බිඳ දැමීමය යන ඔහුගේ දෘෂ්ටිය පතෘශෙෆ් විසින් ඉදිරිපත් කෙරිණි.

එතැන් සිට ඔහු "ජීවවිද්‍යාත්මක යුද්ධයක්" පිළියෙළ කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයට චෝදනාකර ඇති අතර, රුසියාව පරාජය කිරීමේ අරමුණින් බටහිර මෙහෙයවීම සම්බන්ධයෙන් එක්සත් ජනපද හා එක්සත් රාජධානි රජයයන්ට චෝදනාකර තිබේ.

රුසියාව අල්ලාගෙන සිටින දකුණුදිග යුක්රේනයේ කහොව්කා වේල්ල රුසියානු පාර්ශවය එල්ල කළබවට සැක කෙරෙන ප්‍රහාරයකින් පුපුරුවාහළ විට දී, ඔහු ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල කළේ එක්සත් ජනපදය, එක්සත් රාජධානිය හා ඔවුන්ගේ නේටෝ සගයින්ගේ අනුබල ලබන යුක්රේනයට ය.

"ප්‍රධාන රණහඬ නිකුත් කරන්නේ ඔහු තමයි. පුටින් ඔහුගේ වඩාත් ආන්තික ස්ථාවරය වෙත ගමන් කරලා තියෙනවා කියලා හැඟීමක් තියෙනවා," බෙන් නෝබල් පවසයි.

අලෙක්සාන්දර් බොර්ත්නිකොෆ් - ෆෙඩරල් ආරක්ෂක සේවාවේ (FSB) අධ්‍යක්ෂක

පුටින් ඔහුගේ ආරක්ෂක සේවාවන්ගෙන් ලැබෙන තොරතුරු වෙන කිසිදු මූලාශ්‍රයයකින් ලැබෙන තොරතුරුවලට වඩා විශ්වාස කරනබවත්, අලෙක්සාන්දර් බොර්ත්නිකොෆ් පුටින්ගේ අභ්‍යන්තර කවයේ කොටස්කරුවෙකු ලෙස සැලකෙනබවත්, රුසියානු රජය අධ්‍යයනය කරන්නන් ප්‍රකාශ කරයි.

ලෙනින්ග්‍රාද් KGBහි තවත් පැරැන්නෙකු වන ඔහු, නිකොලායි පෙතෘශෙෆ් FSBහි ධුරයෙන් ඉවත්ව ගියකල ඔහුගේ අනුප්‍රාප්තිකයා වශයෙන් පත්විය.

අනෙකුත් නීතිය බලාත්මක කිරීමේ සේවාවන් කෙරෙහි FSB සතුව සැලකිය යුතු බලපෑමක් පවතින අතර, එයට එහිම විශේෂ බලකායන් ද තිබේ.

ඔහු වැදගත් තැනැත්තෙකු වන නමුත්, ඔහු එහි සිටින්නේ රුසියානු නායකයාට අභියෝග කිරීමට හෝ අන් තැනැත්තන් මෙන් ඔහුට උපදෙස්දීමට නොවනබව අන්ද්‍රෙයි සොල්දාතෆ් විශ්වාස කරයි.

සෙර්ගෙයි නරිෂ්කින් - විදේශ බුද්ධි සේවයේ (SVR) අධ්‍යක්ෂක

පැරණි ලෙනින්ග්‍රාද් අවතාරයන් ත්‍රිත්වය සම්පූර්ණ කරන සෙර්ගෙයි නරිෂ්කින්, ඔහුගේ වෘත්තීය දිවියේ වැඩි කලක් ජනපතිවරයා සමගම ගතකළ අයෙකි.

නමුත්, යුද්ධයට පෙර තත්ත්වය සම්බන්ධව ඔහුගේ ඇගැයීම විමසූ අවස්ථාවේ දී ඔහු පටලවාගනිමින් පිළිතුරු දුන් විට, රූපවාහිනී විකාශයක් අතරතුරේ දී වුව පුටින් ඔහුට තරවටු කිරීම ඉන් වැළකුණේ නැත.

එම දිගු සැසිය සංස්කරණය කළ එකක්වූයෙන්, රුසියානු රජය විශාල රූපවාහිනී ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ ඔහු අපහසුතාවට පත්වනු පෙන්වීමට පැහැදිලිවම තීරණයකර තිබුණි.

"පුටින් ඔහුගේ අභ්‍යන්තර කවයත් එක්ක 'සෙල්ලම් දාන්න', [නරිෂ්කින්] මෝඩයා කරන්න කැමතියි," අන්ද්‍රෙයි සොල්දාතෆ් පැවසීය.

සෙර්ගෙයි නරිෂ්කින් 1990 ගණන්වල සාන්ත පිතර්බුර්ග්හි දී ද, පසුව 2004 දී පුටින්ගේ කාර්යාලයයේ දී ද, අවසානයේ පාර්ලිමේන්තුවේ කථානායකවරයා වශයෙන් ද දිගුකලක් තිස්සේ ජනාධිපතිවරයාගේ සෙවනැල්ලක් මෙන් රැඳී සිටියේ ය. නමුත් ඔහු රුසියානු ඓතිහාසික සංගමයේ නායකත්වය දරන අහතර, ජනපතිවරයාගේ ක්‍රියාවන් සඳහා දෘෂ්ටිවාදීමය පදනමක් සැපයීම මඟින් ඔහුගේ වැදගත්බව පෙන්වා තිබුණි.

වරක් ඔහු බීබීසී රුසියානු සේවයේ කතෘ ස්ටීව් රොසෙන්බර්ග් සමග සිදුකළ මාධ්‍ය සාකච්ඡාවක දී, රුසියාව විෂදීම් හා සයිබර් ප්‍රහාරයන් සිදුකර ඇතිබවත්, අනෙකුත් රටවල මැතිවරණයන්ට මැදිහත්වී ඇතිබවත් යන චෝදනා ප්‍රතික්ෂේප කළේ ය.

සෙර්ගෙයි ලැව්රොව් - විදේශ කටයුතු අමාත්‍ය

වසර 19 තිස්සේ ඔහු රුසියාවේ පාර්ශවය ලොවට කියා පාමින්, රුසියාවේ වඩාත්ම ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රිකයාබවට පත්ව සිටියත්, තීරණ ගැනීමෙහිලා විශාල කාර්යයභාරයක් ඉටු නොකරන්නෙකු ලෙස සැලකෙයි.

හැත්තෑ තෙහැවිරිදි සෙර්ගෙයි ලැව්රොව්, ව්ලැදිමීර් පුටින් ඔහුගේ අතීතයේ චරිත මත දැඩි සේ යැපෙනබවට තවත් සාක්ෂියකි.

ආක්‍රමණය ඇරඹී දින කීපයකට පසු රුසියාව එම තීරණය වෙනුවෙන් පෙනී සිටීමට උත්සාහ කරන කල්හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ බොහෝමයක් දෙනා එතැනින් නැගිට ගියබව ගණන් ගත්තේ ඔහු නොවේ.

ලැව්රොව් මුල සිටම පුටින්ට පක්ෂපාතීවුව ද, යුක්රේනය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ දී ඔහු කිසිදු භූමිකාවක් රඟපෑබව සිතිය නොහැකි ය.

ඔහුගේ කර්තව්‍යයවන්නේ, අප්‍රිකාව, ලතින් ඇමරිකාව සහ වෙනත් රටවල් තුළ රුසියාවට සහයෝගය එකතුකර ගැනීම සහ, ඔහුගේ රට යටත්විජිතවාදය ඉවත් කරන්නක් ලෙස ප්‍රවර්ධනය කිරීම යි.

ඔහු යුක්රේනය "නාසි පාලන තන්ත්‍රයක්" ලෙස චිත්‍රණය කිරීමේ උත්සාහයක් ලෙස රුසියාවේ යුදමය වාගලංකාරය අන්තයටම ගෙනගොස් ඇත. යුක්රේන ජනපති යුදෙව්වෙකුවීම මෙහිදී නොසැලකෙනබව ඔහු තර්ක කළේ ය. "මම වැරදිවෙන්න පුළුවන්, නමුත් හිට්ලර්ටත් යුදෙව් ලේ තිබුණා."

ඔහු අනෙකුන්ගේ අප්‍රසාදයට පත්වන තරම් වැරදිවිය.

වැලෙන්ටිනා මත්වියෙන්කා - ෆෙඩරේෂන් කවුන්සිලයේ සභාපතිනී

පුටින්ගේ සහායක පිරිවරෙහි දුලබ කාන්තා මුහුණක් වන ඇය, ආක්‍රමණයට පාර කපමින් රුසියානු හමුදා විදේශයන් වෙත දියත් කිරීම සඳහා පැවැත්වුණු ඉහළ සෙනෙට් මණ්ඩලයේ ඡන්දය අධීක්ෂණය කළා ය.

වැලෙන්ටිනා මත්වියෙන්කා යනු 2014 දී ක්‍රිමියාව ඈඳාගැනීමේ කටයුතු සඳහා ද උපකාර කළ, සාන්ත පිතර්බුර්ග්හි තවත් පුටින් පක්ෂපාතියෙකි.

නමුත් ඇය මූලික තීරකයෙකුයැ යි නොසැලකෙයි. එනමුදු, තීරණ ගන්නේ කවුදැ යි පූර්ණ නිශ්චිතභාවයෙන් පැවසිය හැකි පුද්ගලයින් සිටින්නේ ද සුළු පිරිසකි.

වික්තර් සොලොතොෆ් - ජාතික ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂක

ජනපතිගේ හිටපු පුද්ගලික ආරක්ෂක භටයෙකු වන මොහු දැන් රුසියාවේ ජාතික ආරක්ෂක බලකාය වන 'රොස්ග්වාර්දියා' මෙහෙයවයි. එය, පැරණි රෝම අධිරාජ්‍යයේ ප්‍රිටෝරියානු ආරක්ෂක බලකාය වැනි පුද්ගලික ආරක්ෂක බලකායක් ලෙස 2016 දී ජනපති පුටින් විසින් පිහිටුවනු ලැබූවකි.

එය මෙහෙයවීම සඳහා ඔහුගේම පුද්ගලික ආරක්ෂක භටයෙකු තෝරා ගැනීමෙන්, පුටින් එහි පක්ෂපාතීත්වය තමා වෙතට සහතිකකර ගත් අතර, වික්තර් සොලොතොෆ් එහි භට සංඛ්‍යාව 400,000 දක්වා ඉහළ නැංවීය.

ඔහුට හමුදාමය පසුබිමක් නැතත්, යුක්රේනයේ රුසියානු බලය සහිත ප්‍රදේශවල යුද පෙරමුණට පිටුපස ප්‍රදේශ පාලනය කිරීම සඳහා ජාතික ආරක්ෂක බලකායට පුළුල් කර්තව්‍යයන් රැසක් ලබාදී ඇති අතර, එම බලකායට යුද්ධයෙන් විශාල පාඩු සිදුවූබව කියනු ලැබේ.

රුසියාවේ ආරක්ෂක හමුදා "සහ විශේෂයෙන්ම ජාතික ආරක්ෂක බලකාය", ප්‍රිගොෂින් අර්බුදය ඉදිරියට ක්‍රියාත්මකවන ආකාරය සඳහා වැදගත්වනු ඇතිබව එක්සත් රාජධානියේ ආරක්ෂක බුද්ධි අංශ පවසයි.

මීට අමතරව පුටින් ඇහුම්කන් දෙන්නේ කාට ද?

රුසියානු ආර්ථිකය මුදාගැනීමේ අප්‍රසන්න කර්තව්‍යය පැවරී ඇත්තේ අග්‍රාමාත්‍ය මිහායිල් මිෂුස්ටින්ට වන නමුත්, යුද්ධය සම්බන්ධයෙන් වැඩි බලපෑමක් සිදුකිරීමට ඔහුට නොහැකි ය.

මොස්කව්හි නගරාධිපති සෙර්ගෙයි සොබ්‍යනින් සහ රුසියානු රාජ්‍ය ඉන්ධන දැවැන්තයා වන රොස්නෙෆ්ට් සමාගමේ ප්‍රධානී ඉගෝර් සෙච්නින් ද ජනපතිට සමීපබව, දේශපාලන විශ්ලේෂක යෙව්ගිනි මින්චෙන්කෝ පවසයි.

ජනපතිගේ කුඩාකල මිතුරන් වූ ප්‍රකෝටිපති දෙසොයුරන් වන බොරිස් සහ අර්කාදි රොටෙන්බර්ග් ද දිගුකලක් තිස්සේ ඔහුගේ විශ්වාසය දිනා සිටියවුන් ය. 2020 දී ෆෝබ්ස් සඟරාව විසින් මොවුන් රුසියාවේ ධනවත්ම පවුල ලෙස නම්කෙරිණි.

අතිරේක වාර්තාකරණය බීබීසී රුසියානු සේවයේ ඔල්ගා ඉව්ෂිනා සහ කැතේරිනා කිංකුලෝවා විසිනි.