කොළඹ වරායෙන් හමුවූ සමූහ මිනී වළේ කැණීම් යළිත් අරඹයි

Colombo Mass Grave

කොළඹ වරායේ අධිආරක්ෂිත කලාපයෙන් හමු වූ සමූහ මිනී වළේ තුන් වන අදියරේ කැණීම් කටයුතුවලදී තවත් මිනිස් ඇට සැකිලි ඇති බව හඳුනාගෙන තිබේ.

මේ දක්වා කරන ලද කැණීම්වලින් අවම වශයෙන් මිනිස් ඇට සැකිලි 5ක් නිවාරණය කරගෙන ඉන් ඇට සැකිලි 2ක් ගොඩගෙන අවසන් බව, කැණීම් කටයුතු භාර සමූහ සුසාන කැණීමෙහි ලා මෙරට සිටින ප්‍රවීණයෙකු වන වෝහාරික පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව බීබීසි සිංහල සේවයට පැවසීය.

"ඒක එච්චර ලේසියෙන් ඉවත් කර ගන්න බැහැ. ඒකට ගොඩාක් ලොකු කාලයක් යනවා. මොක ද ඇඟේ ඇට දෙසිය ගාණක් තියෙනවා නේ. ඉතින් ඔය හැම බෝර්න් එකක් ම රෙකෝඩ් කර ගන්න ඕනෙ," යැයි ඇට සැකිලි පාදාගෙන ගොඩ ගැනීමේ අසීරුතාව විස්තර කරමින් මහාචාර්යවරයා පැවසීය.

සමූහ සුසානයේ කැණීම් කටයුතු සිදු කරනු ලබන්නේ මහාචාර්ය රාජ් සෝමදේව ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමක් විසිනි.

කැණීම් සිදුකරන භූ⁣මියේ රැඳී සිටිමින් ගොඩ ගනු ලබන අස්ථි කොටස් සහ ඇට සැකිලි පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය බණ්ඩාර ඉලංගසිංහ විනිසුරුවරයා විසින් සිදු කරනු ලබන අතර, එහි වෛද්‍ය විද්‍යාත්මක කටයුතු භාර වී ඇත්තේ අධිකරණ වෛද්‍ය සුනිල් හේවගේට ය.

Mass grave Colombo

මුදල් නොමැති වීමෙන් නතර වී තිබූ කැණීම්

මූල්‍ය ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් සහ මැතිවරණ ඇතුළු විවිධ හේතු මත මාස හතරක පමණ කාලයක් නවතා දමා තිබූ සමූහ සුසානයේ කැණීම් කටයුතු ජනවාරි 27 වන දා යළි ආරම්භ කරන ලදී.

ඉඟුරු කඩේ මංසන්ධියේ සිට කොළඹ වරාය දක්වා කුලුනු මතින් දිවෙන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා පොළොව හාරමින් සිටින අතරතුර 2024 ජූලි මස 13 වන දා මිනිස් අස්ථි කොටස් හමුවී තිබුණේ කොළඹ වරායේ පැරණි ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් ය.

ඒ පිළිබඳව කොළඹ මහේස්ත්‍රාත් වෙත කරුණු වාර්තා කර ලබා ගත් නියෝගයක් අනුව විනිසුරු බණ්ඩාර ඉලංගසිංහ ඉදිරියේ 2024 සැප්තැම්බර් 05 වන දා මිනී වළේ කැණීම් ආරම්භ කෙරිණි.

පළමු වර කැණීම් කටයුතු දින අටක් සිදු කිරිමෙන් අනතුරුව සැප්තැම්බර් 13 වැනිදා කැණීම් කටයුතු තාවකාලිකව නතර කරනු ලැබී ය.

එහි දෙවනි අදියරේ කැණීම් කටයුතු සැප්තැම්බර් 26 වැනිදා ආරම්භ කර සැප්තැම්බර් 28 වැනිදා වැඩකටයුතු අත්හිටුවා තිබුණි.

ජනවාරි 27 වැනිදා ආරම්භ කරන ලද තුන්වන අදියරේ කැණීම් කටයුතු සඳහා දින 20ක් සිදු කිරීමට ඇස්තමේන්තු කර ඇතැයි මහාචාර්ය රාජ් සෝමදේව බීබීසි සිංහල සේවයට කියා සිටියේ ය.

අධිවේගී මාර්ගය දක්වා විහිදුණු සුසානය

කුලුනු මතින් දිවෙන අධිවේගී මාර්ගය ඉදිවන භූමියේ කොටසක් දක්වා සමූහ සුසානය විහිද ඇති බවට හඳුනාගෙන තිබේ.

එම මාර්ගයට අවශ්‍ය කොටස, ඉදිකිරීම් කටයුතු කරන්නන් සලකුණු කර දී ඇති අතර, එම කොටසේ කැණීම් කටයුතු අවසන් කර මාර්ගය ඉදිකිරීමට භාර දෙන බව මහාචාර්යවරයා පැවසී ය.

"අපි වැඩ කටයුතු ආරම්භ කළා ම අපිට තේරුණා ඒගොල්ලෝ සලකුණු කරපු කොටසෙත් ඇට සැකිලි කීපයක් තිබෙන බව."

ජනවාරි 31 වන සිකුරාදා වන විට එම සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය කොටස කැණීම කර නිදහස් කර දීම මහාචාර්යවරයාගේ බලාපොරොත්තුව යි.

අක්‍රමවත් ලෙස වළ දමා ඇති සමූහ සුසානයේ ඇට සැකිලි පාදා ගැනීමට මහාචාර්ය රාජ් සෝමදේව ප්‍රමුඛ කණ්ඩායම මහත් සේ වෙහෙස වන ආකාර මුල් අදියරේ සිට මිනී වළ පිළිබඳව වාර්තා කිරීමට ගිය බීබීසි සිංහල සේවයේ මාධ්‍යවේදීන්ට දැක ගත හැකි විය.

Colombo Mass Grave

සමූහ සුසානයක් යනු කුමක් ද?

'සමූහ මිනී වළක්' යනු කුමක් දැයි ජාත්‍යන්තර නිර්වචනයක් නැත. එනිසා, එය සමූහ සුසානයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අභියෝගයක් බවට පත්වෙයි.

බහිර් නීතික, ලඝු හෝ අත්තනෝමතික ඝාතන සාර්ථක ලෙස වළක්වාලීම සහ විමර්ශනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ අත්පොත (Minnesota Protocol) හා අතුරුදන් තැනැත්තන් පිළිබඳ ජාත්‍යන්තර කොමිසමේ (ICMP) සමූහ මිනී වළවල් ආරක්ෂා කිරීම සහ විමර්ශනය පිළිබඳ 2020 බෝර්න්මත් මූලපත්‍රය (Bournemouth Protocol) යන ලේඛනවලට අනුව සමූහ සුසානයක් යනු, "මරණය සිදු වූ ආකාරයේ සහ, හෝ සිරුරු බැහැර කිරීමේ ක්‍රමයේ නීත්‍යනුකූලභාවය සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු සිරුරු වළ දමා තිබෙන ස්ථානයකි."

නමුත් වසංගත, ස්වභාවික විපත් වැනි අවස්ථාවලදී ද ඇතැම් සිරුරු සමූහ සුසානවල මිහිදන් කිරීම සිදු කරයි.

මෙම වාර්තාවේදී සාකච්ඡා කරන සමූහ සුසානයන් යනු, අවසන් වත්පිළිවෙත් හෝ පවුලේ අයගේ අනුදැනුමකින් තොරව හා එම මිහිදන් කෙරෙන අය මිය යාම පිළිබඳ සත්‍යය හෙළි නොකර, බොහෝ දුරට හොර රහසේ සිදු කරන ලද භූමදානයන් ය.

ශ්‍රී ලංකාවේ සමූහ සුසාන ගැන වාර්තාව

දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන 5ක් එක්ව 2024 ජුනි 22 වන දා ශ්‍රී ලංකාවේ සමූහ මිනී වළවල් පිළිබඳව එළිදක්වන ලද වාර්තාවේ සඳහන් වන පරිදි, ඒ දක්වා දිස්ත්‍රික්ක 11කින් හමුවී ඇති සමූහ සුසාන ගණන 20කි.

ඒවා සම්බන්ධ නීතිමය කටයුතු සහ සිරුරු ගොඩගෙන කරනු ලබන පරීක්ෂණ මෙන් ම ඒවා පවුලේ අය වෙත භාර දීමේ ක්‍රියාවලිය ආසාර්ථක වී ඇතැයි, 'ශ්‍රී ලංකාවේ සමූහ සුසාන හා අසාර්ථක කැණීම්' යනුවෙන් නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වේ.

ගොඩගන්නා ලද සිරුරු අයත් පුද්ගලයන්ගේ අතුරුදන් කිරීමට සහ ඝාතනයට වගකිවයුත්තන් නඩු පවරා වරදකරුවන් කිරීම තබා වින්දිතයන් හඳුනා ගැනීමට හෝ මරණ සිදුවූ ආකාරය පැහැදිලි කර ගැනීමට හෝ මග පාදා තිබෙන්නේ ඉතා සුළු කැණීම් සංඛ්‍යාවක් බව එහි දැක් වේ.