මතභේදයට තුඩු දී ඇති විදුලිබල පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන්නේ කෙසේද ?

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලි බල පනත් කෙටුම්පතේ වගන්ති බොහොමයක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වී තිබේ.

ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රන්ජන් ජයලාල්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව, ජාතික ජන බලවේගයේ බලශක්ති කමිටුවේ සාමාජිකයින් වූ පුණ්‍යා ශ්‍රී කුමාර ජයකොඩි සහ මයුර චානක නෙත්ති කුමාර යන අය විසින් මේ වනවිට අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් ඉදිරිපත් කර ඇත.

යෝජිත පනත් කෙටුම්පතින් සිදුවන්නේ කුමක්ද?

යෝජිත පනත් කෙටුම්පත හරහා සිදුවන පරිවර්තනයන් කුමක් දැයි පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ මෙසේ සඳහන් කර තිබේ.

"යෝජිත පනත් කෙටුම්පත තුළින් ලංකා විදුලි බල මණ්ඩල වත්මන් පනත අහෝසි කෙරෙනවා. ලංකා විදුලි බල මණ්ඩල පනත යටතේ විදුලි බලය නිෂ්පාදනය, බෙදාහැරීම , විකිණීම පිළිබඳ අනන්‍ය බලය ලංකා විදුලි බල මණ්ඩලය වෙත පැවරී තිබෙනවා. ජල විදුලියෙන් මෙගාවොට් 1383 ක් ද ඉන්ධන භාවිතයෙන් මෙගා වොට් 654ක් ද ගල් අඟුරු භාවිතයෙන් මෙගාවොට් 900 ක්ද යනාදී වශයෙන් ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලිය නිෂ්පාදනය කරනු ලබනවා. නමුත් යෝජිත පනත සම්මත වීමෙන් පසුව ලංකා විදුලි බල මණ්ඩලය අහෝසි කොට එහි කටයුතු පරිපාලනය කිරීම සමාගම් පනත යටතේ ස්ථාපිත කරනු ලබන පෞද්ගලික සමාගම් කිහිපයකට පැවරීමටත් අදාළ පනත් කෙටුම්පතින් යෝජනා කර තිබෙනවා." යනුවෙන් පෙත්සම් වල සඳහන් වෙයි.

පළාත් සභාවල අනුමැතිය ලබාගෙන නෑ...

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ විදුලිය පළාත් සභාවලට ද අදාළ වන විෂයක් වශයෙන් සඳහන් කළ යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වන ව්‍යවස්ථාව යටතේ පළාත් සභා වලට අයත් වන විෂයක් සම්බන්ධයෙන් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ඒ පිළිබඳව පළාත් සභා වලින්ද අනුමැතිය ලබාගත යුතුයි. එහෙත් මෙම විදුලි බල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට පෙර එලෙස පළාත් සභාවල අනුමැතිය ලබාගෙන නැහැ. "ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

‘විෂය භාර අමාත්‍යවරයාට අත්තනෝමතික බලයක් පැවරෙනවා’

යෝජිත පනත් කෙටුම්පත තුළින් විෂය භාර අමාත්‍යවරයාට අත්තනෝමතික බලයක් පැවරෙන බව පෙත්සමේ සඳහන් කර තිබේ.

"යෝජිත පනත් කෙටුම්පත තුළින් ජාතික විදුලිබල උපදේශන සභාව පත්කිරීමේ බලය, ජාතික විදුලි බල ප්‍රතිපත්තිය තීන්දු කිරීමේ අභිමතය, ප්‍රසම්පාදන කටයුතු, විදුලි බලය බෙදා හැරීම පිළිබඳ බලපත්‍ර නිකුත් කිරීමේ බලය, ඇතුළු අතනෝමතික බලතල රාශියක් විෂය භාර අමාත්‍යවරයාට පවරා තිබෙනවා." යනුවෙන් සඳහන් කරන පෙත්සම්කරුවන් මේ තුළින් විෂය භාර අමාත්‍යවරයාට අත්තනෝමතික ආකාරයෙන් යුතු කිරීමට අවස්ථාව සැලසෙන බවත් ඒ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් සිදුවන බවටත් අනතුරු අඟවා තිබේ.

සේවකයින්ගේ වෘත්තීය සුරක්ෂිතභාවය අනතුරේ හෙළීම...

යෝජිත පනත් කෙටුම්පත තුළින් මේ වන විට ලංකා විදුලි බල මණ්ඩලයේ සේවය කරන සේවකයින්ගේ වෘත්තීය සුරක්ෂිතභාවය අනතුරේ හෙළා තිබෙන බවත් චෝදනා කර තිබෙන කරුණකි.

"යෝජිත පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසුව ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් මාස දෙකක් තුළ අදාළ පනත් කෙටුම්පත යටතේ ස්ථාපිත කෙරෙන පෞද්ගලික සමාගම්වල සේවය කිරීම සඳහා සිය අභිලාෂය ප්‍රකාශ කළ යුතුයි. එහෙත් එම සේවකයින් බඳවා ගන්නා ආකාරය පිළිබඳව පනත් කෙටුම්පත තුළ කිසිදු මාර්ගෝපදේශයක් සපයා නෑ. එමෙන්ම සේවකයින්ගේ වැටුප් හා දීමනා, සෞඛ්‍ය දීමනා, විශ්‍රාම දීමනා, වැටුප් වර්ධක හා ප්‍රසාද දීමනා යනාදී කරුණු සම්බන්ධයෙන් යෝජිත පනත් කෙටුම්පතේ කිසිවක් සඳහන් කර නෑ" යනුවෙන් සඳහන් කරන පෙත්සන්කරුවන් මේ තුළින් ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින්ට තමන් කැමති වෘත්තියක නිරත වීමට තිබෙන මූලික මිනිස් අයිතිය උල්ලංඝණය කිරීමක් සිදුවන බවත් සඳහන් කර තිබේ.

අත්තනෝමතික ලෙස විදුලි ගාස්තු වැඩි කිරීමට ඇති හැකියාව....

යෝජිත පනත් කෙටුම්පත සම්මත වුවහොත් මේ යටතේ ස්ථාපිත කෙරෙන සමාගම්වලට අත්තනෝමතික ලෙස විදුලි ගාස්තු වැඩි කිරීමට අවකාශ සැලසෙන බව පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

"වත්මන් විදුලිබල පනත යටතේ විදුලි ගාස්තු වැඩි කිරීම පිළිබඳව තීරණ පිළිබඳව සුපරීක්ෂණය කිරීමේ බලය මහජන උපයෝගීතා කොමිසමට පැවරී තිබෙනවා. එහෙත් ම යෝජිත සමාගම් ස්ථාපිත කිරීමෙන් පසුව එම අධීක්ෂණ බලය අවම වන අතර ඒ හරහා එම සමාගම් වලට අත්තනෝමතික ලෙස විදුලි ගාස්තු ඉහළ නැංවීමට අවස්ථාව සැලසෙන බව සඳහන් කළ යුතුයි. මෙය සෘජුවම ජනතාවගේ පරමාධිපත්‍යය උල්ලංඝණය කිරීමක්." යනුවෙන් සඳහන් කරන පෙත්සම්කරුවන් අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් අදාළ පෙත්සම් වලින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.