දුෂ්කරතා මැද අධ්‍යාපනය ලබා බ්‍රිතාන්‍ය රජුගෙන් නයිට් නාමයක් ලැබූ ශ්‍රී ලාංකික මහාචාර්යවරයා

ඡායාරූප මූලාශ්‍රය, University of Leicester
- Author, කුමුදු ජයවර්ධන
ශ්‍රී ලංකාවේ උපත ලබා අධ්‍යාපනය හැදෑරූ මහාචාර්යවරයෙකුට බ්‍රිතාන්‍ය රජුගේ 2026 නව වසරේ ගෞරව දැක්වීම්වලට සමගාමීව නයිට් පදවියක් පිරිනමා තිබේ.
යාපනයේ උපත ලැබූ මහාචාර්ය නිශාන් කනගරාජා මේ වනවිට බ්‍රිතාන්‍යයේ ලයිසෙස්ටර් විශ්වවිද්‍යාලයේ සභාපති සහ උපකලපති ධූර දරයි.
ලයිසෙස්ටර් විශ්වවිද්‍යාලය පවසන්නේ, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් ඔහු දක්වා ඇති 'ඇස්තමේන්තු කළ නොහැකි' දායකත්වය සැලකිල්ලට ගනිමින් එම නයිට් පදවිය පිරිනමා ඇති බව ය.
'මගේ අනාගතය සාර්ථක කර ගන්න තිබුණ එක ම මාර්ගය අධ්‍යාපනය විතර යි'
1966 වසරේ යාපනයේදී උපත ලද සෙඩ්‍රික් නිශාන්තන් කනගරාජා, යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබී ය.
ඔහු පාසල් සමයේදී ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර දරා ඇති අතර, ක්‍රිකට්, පාපන්දු, වොලිබෝල් සහ හොකී ක්‍රීඩාවල දක්ෂතා දැක්වූ බව පැවසේ.
පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව වැඩිදුර අධ්‍යාපනය සඳහා එක්සත් රාජධානියට ගිය අතර, එහි යාමට ගත් තීරණයට බලපෑ හේතු සම්බන්ධයෙන් ඔහු පැහැදිලි කර ඇත්තේ, මෙලෙසිනි.
"(ශ්‍රී ලංකාවේදී) මම හැදුණේ වැඩුණේ ආර්ථික අපහසුතා මැද. ඒ වගේ ම වර්ගවාදී ගැටුම්වලටත් මුහුණ දුන්නා. මගේ අනාගතය කොහොම වෙයි ද කියලාවත් මම දැනගෙන හිටියේ නැහැ. මට අනාගතය සාර්ථක කර ගන්න තිබුණ එක ම බලාපොරොත්තුව, අධ්‍යාපනය විතර යි. මගේ පවුලේ අනාගතය වෙනුවෙන් මට කරන්න තිබුණ එක ම දේ ඉගෙන ගන්න එක විතර යි. මම ඉගෙන ගත්තෙ මගේ මව් භාෂාව වුණ දෙමළ භාෂාවෙන්. මම එක්සත් රාජධානියට ආවට පස්සෙ ඉගෙන ගන්න සිද්ධ වුණේ, ඉංග්‍රීසි භාෂාවෙන්. ඒක ලේසි වුණේ නෑ මට." (ලයිසෙස්ටර් විශ්වවිද්‍යාලය විසින් පළ කරන ලද මහාචාර්ය නිශාන් කනගරාජාගේ සම්මුඛ සාකච්ඡාවකින් උපුටා ගන්නා ලදී)
එක්සත් රාජධානියේ උසස් අධ්‍යාපන කටයුතු
1980 අග භාගයේදී එක්සත් රාජධානියට ගිය නිශාන් කනගරාජා කේම්බ්‍රිජ්හි ක්‍රයිස්ට් කොලේජ්හි ප්‍රථම උපාධිය සඳහා ලියාපදිංචි වූ අතර, 1989 වසරේදී ඉලෙක්ට්‍රොනික් සහ තොරතුරු විද්‍යාව සම්බන්ධයෙන් ඔහු ප්‍රථම උපාධිය හිමි කර ගත්තේ ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
1993 වසරේදී ඩිජිටල් සංඥා පිරිසැකසුම්කරණය පිළිබඳව ආචාර්ය උපාධිය හිමි කර ගත්තේ ය.
පසුව, එම වසරේදී ම ඔහු පර්යේෂණ සහකරුවෙකු ලෙස බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයට එක් විය. එහිදී ඔහු ඉංජිනේරු පර්යේෂණ පීඨයේ අධ්‍යක්ෂ, පරිගණක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී, මර්චන්ට් වෙන්චරර්ස් ඉංජිනේරු විද්‍යායතනයේ ප්‍රධානී සහ ඉංජිනේරු පීඨයේ පීඨාධිපති ආදී තනතුරු රැසක් හොබවා තිබේ.
2014 වසරේදී ඔහු පර්යේෂණ සහ ව්‍යවසායකත්වය පිළිබඳ සම - උපකුලපති ධූරයට ද පත් කෙරිණි.
සංඥා පිරිසැකසුම සහ වයනීය වර්ගීකරණය පිළිබඳ ඔහුගේ පර්යේෂණ සම්බන්ධයෙන් ඔහු ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව තිබේ. ඔහු ජාතික සහ ජාත්‍යන්තර පර්යේෂණ, අරමුදල් පාලන සහ පශ්චාත් උපාධි අධ්‍යාපන මණ්ඩලවල සේවය කළ අතර, සෝනි, බීටී, බීබීසී, ඔරේන්ජ්, තේල්ස්, ටොෂීබා සහ මෙට්‍රොපොලිටන් පොලිසිය සඳහා තාක්ෂණික උපදේශකයෙකු ලෙස කටයුතු කර ඇත.
බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලය සමානාත්මතාව, විවිධත්වය සහ සර්ව වාර්ගික සහභාගිත්වය සඳහා පෙරමුණ ගත් විට, ආචාර්ය නිශාන් බ්‍රිස්ටල් වාර්ගික සමානාත්මතා කොමසාරිස්වරයෙකු ලෙස සහ බ්‍රිස්ටල් නගර අරමුදල් පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස සමානාත්මතාව පෙරදැරිකර ගත් විශ්වවිද්‍යාල ප්‍රජාවක් නිර්මාණය කිරීම සඳහා සහය විය.
ලයිසෙස්ටර් විශ්වවිද්‍යාලයට එක්වීම
මහාචාර්ය නිශාන් කනගරාජා ලයිසෙස්ටර් විශ්වවිද්‍යාලයේ සභාපති සහ උපකුලපති ධූරයට පත්වූයේ, 2019 නොවැම්බර් මස 04 වන දා ය.
සභාපති සහ උපකුලපති ලෙස, ඔහු ලෝකයේ ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා පර්යේෂණ හා ඉගැන්වීම් ක්ෂේත්‍රයෙන් ලයිසෙස්ටර් විශ්වවිද්‍යාලයේ ලෝක මට්ටමේ කීර්තියක් ගොඩ නැගීමට කටයුතු කරමින් සිටින බව එම විශ්වවිද්‍යාලය පවසයි. ඔහු සියලු ම විශ්වවිද්‍යාල ක්‍රියාකාරකම් සඳහා වගකිව යුතු අතර සමස්ත ව්‍යාපාර සහ අධ්‍යයන උපාය මාර්ග සඳහා මග පෙන්වීම ද ලබා දෙයි.
ඔහු විශ්වවිද්‍යාලයේ විධායක මණ්ඩලයේ සහ ජ්‍යෙෂ්ඨ නායකත්ව මණ්ඩලයේ සභාපතිත්වය දරන අතර නිල බලයෙන් විශ්වවිද්‍යාල කවුන්සිලයේ සාමාජිකයෙකි.
නයිට් පදවිය
තමන්ට නයිට් පදවියක් පිරිනමන බවට ලිපිය ලැබුණු ආකාරය සහ එය දැනගත් අවස්ථාවේ ඔහුට දැනුණු හැඟීම සම්බන්ධයෙන් ඔහු මෙසේ අදහස් පළ කර තිබිණි.
"කැබිනට් ඔෆිස් එකෙන් ලැබුණු ලිපිය භාරගෙන තිබුණේ මගේ බිරිඳ. ඒක මොනව ගැන ද කියල හිතා ගන්න බැරි වුණා. ඒකේ සඳහන් වෙලා තිබුණේ, මාව නයිට් පදවියක් පිරිනමන්න තෝරගෙන තියෙනවා කියලා. ඒකෙන් තමයි මට නයිට් පදවියක් ලැබෙනවා කියල මං දැන ගත්තේ. ඒ ගැන මමත්, මගේ පවුලේ සාමාජිකයිනුත්, මේ ජයග්‍රහණය ලබන්න සහය වුණ හැමෝමත් සතුටු වෙනවා." (ලයිසෙස්ටර් විශ්වවිද්‍යාලය විසින් පළ කරන ලද මහාචාර්ය නිශාන් කනගරාජාගේ සම්මුඛ සාකච්ඡාවකින් උපුටා ගන්නා ලදී)
නයිට් පදවියක් හිමි පුද්ගලයෙකුට හිමි ප්‍රතිලාභ
බ්‍රිතාන්‍යයේ නයිට් පදවියක් හිමි පුද්ගලයෙකුට ප්‍රතිලාභ රැසක් හිමි වෙයි.
- සිය නම ඉදිරියෙන් 'Sir' (පිරිමි පුද්ගලයෙකු නම්) 'Dame' (කාන්තාවක නම්) යන ගෞරව නාමයන් භාවිත කිරීමට හැකි වීම.
- ලෝකයේ ම ගෞරවයට පාත්‍ර වීම.
- සමාජය තුළ සිවිල් පිළිගැනීමක් ඇති වීම.
- පුණ්‍යායතන ක්‍රියාකාරකම් සඳහා වැඩි අවස්ථා හිමි වීම.
- වැඩි වශයෙන් වෘත්තීයමය අවස්ථා හිමි වීම.














