මිනිස් හිසක් කඳින් වෙන් කොට දේව පිළිමයක රැඳවූ ඝාතනයට සැක පිට තිදෙනෙක් අත්අඩංගුවට: 'පළිගැනීමක්' බව පොලිසිය කියයි

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3

අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ පුද්ගලයෙකු ඝාතනය කර හිස කඳින් වෙන් කර හිස නගරයේ ප්‍රතිමාවක් මත තබා යාමේ බියජනක සිදුවීමට අදාළව පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ප්‍රකාශයෙකු බීබීසී සිංහල වෙත කියා සිටියේ, අදාළ සිදුවීම වූ දිනයේම එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි.

එමෙන්ම, තවත් පුද්ගලයන් දෙදෙනෙකු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඝාතනයට අදාළ අනුබල දුන් තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

'පළිගැනීමක් තමයි මේ කරලා තියෙන්නේ'

අම්බන්තොට, මාමඩල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකු අප්‍රේල් 11වැනිදා රාත්‍රීයේ ඝාතනය කර තිබුණේ ඔහු පදිංචි නිවසට ඇතුළු වූ පුද්ගලයන් පිරිසක් විසිනි.

ඝාතකයන් විසින් මෙම පුද්ගලයා මරා දමා ඔහුගේ හිස කඳින් වෙන් කර මාමඩල ප්‍රදේශයේ පිළිරුවක් මත තබා ගොස් තිබූ අතර එම සිදුවීම මහත් අන්දෝලනාත්මක සිදුවීමක් විය.

මෙම ඝාතනය පළිගැනීමට කරන ලද්දක් බව පැවසූ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නිලධාරියා, දැනට විමර්ශනවලින් හෙළිව ඇති කරුණු බීබීසී සිංහල වෙත පැවසීය.

"මිය ගිය පුද්ගලයා 2025 අවුරුද්දේ පෙබරවාරි මාසයේ පුද්ගලයෝ තුන්දෙනෙක්ව කපා කොටා ඝාතනය කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. ඒ ඝාතනය සම්බන්ධව සැකකරුවෙක් වශයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කරලා ඇප මත මුදා හැරලා හිටියා. ඒ නඩුව තවමත් යනවා."

"දැන් මේ පුද්ගලයාව ඝාතනය කරන්න ඇවිල්ලා තියෙන්නේ, කලින් සිදුවූ ත්‍රිත්ව ඝාතනයේ සහෝදරයින් තුන්දෙනාගේ වැඩිමහල් සොහොයුරා ඇතුළු තුන්දෙනෙක්. මේ ඝාතනයට ආවේ පළිගැනීමක් විදියට. ඒ අය ඇවිල්ලා මේ පුද්ගලයාව කපලා, බෙල්ල අරන් ගිහිල්ලා මාමඩල දේව පිළිමේ අතේ තියලා හිර කරලා තියෙනවා. පළිගැනීමක් තමයි මේ කරලා තියෙන්නේ. කලින් සහෝදරයෝ තුන්දෙනා මරා දැමීමට. එකේ වැඩිමහල් සහෝදරයා තමයි දෙන්නෙක් අරන් ඇවිල්ලා මෙම ඝාතනය සිදු කර තිබෙන්නේ." යැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ප්‍රකාශකයා සඳහන් කළේය.

සිද්ධියට මැදි වූ තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහලේ

මෙම සිදුවීම වන අවස්ථාවේ දී ඊට මැදිහත්ව ඇති මිය ගිය පුද්ගලයාගේ බිරිඳගේ පියාද තුවාල ලබා ඇති අතර ඔහු දැනට ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ.

මිය ගිය පුද්ගලයාගේ බිරිඳ සහ බිරිඳගේ මව ද ඝාතනය සිදුවන අවස්ථාවේ දී අදාළ නිවසේ සිට ඇති අතර ඔවුන් මෙම සිදුවීම දැක ඇති බව පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.

සිද්ධිය වූ ස්ථානයේ තිබී ගිනිඅවියක් ද (ෂොට් ගන් එකක්) සොයා ගෙන ඇති අතර ඔහුව ඝාතනය කිරීමෙන් අනතුරුව පුද්ගලයාගේ හිස කඳින් වෙන්කර ගෙන යන්නට ඇති බවට පොලිසිය සැක පළ කරන අතර අම්බලන්තොට පොලිසිය විසින් ඝාතනය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක කරමින් සිටියි.