'අපට හිටිය එක ම දරුවා' 'එයා එදා කතා කළේ නෑ' - බ්‍රිතාන්‍යයේදී ඝාතනය වූ නිරෝධා නිවුන්හැල්ල ගැන මව කියන කතාව

    • Author, බීබීසී සිංහල

බ්‍රිතාන්‍යයේ කාඩිෆ්හිදී ශ්‍රී ලාංකික තරුණියක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ මෙන් ම බ්‍රිතාන්‍යයේ ද අවධානය යොමු වී තිබේ.

නිරෝධා නිවුන්හැල්ල නමැති 32 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණියක එලෙස ඝාතනය කර ඇති අතර, සිද්ධිය වාර්තා වී සුළු වේලාවක් තුළ 37 හැවිරිදි තිසර වේරගලගේ නමැති සැකකරුවෙකු ස්ප්ලොට්හි සීවෝල් මාර්ගයේදී මනුෂ්‍ය ඝාතන චෝදනා මත අත්අඩංගුවට ගැනිණි.

ඔහු ඝාතනයට ලක්වූ තරුණිය දැන හඳුනන බවත් ඉකුත් සෙනසුරාදා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු බවත් පොලිසිය පැවසීය.

සිද්ධිය කුමක් ද?

ඉකුත් බ්‍රහස්පතින්දා (අගෝස්තු 21) බ්‍රිතාන්‍ය වේලාවෙන් රාත්‍රී 7:37ට පමණ රිවර්සයිඩ්හි සවුත් මෝගන් පෙදෙසේ බරපතළ තුවාල ලද කාන්තාවක සිටින බවට දකුණු වේල්සයේ පොලිසිය වෙත දැනුම් දීමක් සිදු කර තිබිණි.

පරිපූරක වෛද්‍ය සේවකයින් ඒ වෙත පැමිණ තිබුණු නමුත් ඔවුන් ප්‍රකාශ කර තිබුණේ මෙම කාන්තාව එම ස්ථානයේදී ම මිය ගොස් තිබූ බව ය.

ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඝාතනය සිදුවූ දා උදෑසන 7:30ත් 8:30ත් අතර දකුණු මෝගන් පෙදෙස හෝ සීවෝල් පාර අසල නවතා තිබුණු අළු පැහැති ෆෝඩ් ෆියෙස්ටා රථයක් සම්බන්ධයෙන් ද විමර්ශනය කරන බව පොලිසිය පැවසීය.

'එයා එදා කතා කළේ නැහැ' - නිරෝධාගේ මව

ඒ අනුව, බීබීසී සිංහල මෙම තරුණිය ශ්‍රී ලංකාවේ ජීවත් වූ වේයන්ගොඩ පිහිටි නිවස සොයා ගියේ මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීමේ අරමුණිනි.

එම අවස්ථාවේදී ඝාතනයට ලක්වූ තරුණියගේ පියා නිවසේ නොසිටි නමුත් ඇයගේ මව සමග සංවාදයක යෙදීමට අපට හැකි විය.

"එදා එයා කතා කළේ නැහැ. ඊට පස්සේ මම මැසේජස් දැම්මා දැම්මා. 21 වෙනි දා. පස්සේ තමයි මහත්තයා දුවගෙන ආවේ හවස. මම කිව්වා, 'උදේ ඉඳලා ළමයා කතා කළේ නැහැ,'. 12.30ට වගේ නේ කතා කරන්නේ. [ඒක] කිව්වා ම එයාට එක පාරට ඇඬුණා," ඇය අගෝස්තු 21 වන දින සිදුවීම සිහිපත් කළා ය.

නිරෝධාගේ මව පවසන පරිදි ඇය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා සමග ඇය විවාහ වී ඇත්තේ, 2017 වසරේදී ය. ඔවුන් 2022 වසරේ බ්‍රිතාන්‍යය බලා ගොස් තිබිණි.

"හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්. 2022 අවුරුද්දේ ගියේ. අවුරුදු 3ක් ගිහින්. එයා ස්ටුඩන්ට් ගියේ. දුව ඩිපෙන්ඩන්ට් ගියේ," ඇය බීබීසී සිංහල වෙත පැවසුවා ය.

මිය ගිය නිරෝධා අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා පසුව උසස් පෙළ අධ්‍යාපන කටයුතු සඳහා ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයට ඇතුළත් වී තිබේ.

"අපි අනුරාධපුරයේ හිටියේ. 2010 අපි මෙහේ ආවේ," මව තවදුරටත් පැවසුවා ය.

ඇය අප වෙත පැවසූ පරිදි නිරෝධා ඝාතනය වී ඇත්තේ, උදෑසන රැකියාව බලා පිටත්ව යන කාලය අතරතුර ය. ඒ සෑම දිනක ම ඇය සිය මවට දුරකතනයෙන් කතා කිරීමට පුරුදුව සිටියා ය.

නිරෝධා යනු, නිවුන්හැල්ල පවුලේ එක ම දරුවා ය.

"එක ම දරුවා පවුලේ. එයා ගොඩක් ලස්සන ගෑනු ළමයෙක්. යාළුවෝ තමයි කතා කරලා කිව්වේ මෙහෙමයි කියලා. එයා උදේ වැඩට යන වෙලාව තමයි ඒ. හත හමාරට තමයි ගෙදරින් එළියට බහින්නේ. එයා හරි වෙලාවට, පිළිවෙළට වැඩ කරන කෙනෙක්. ඒ යන අතරතුරදී තමයි මොකක් හරි වෙලා ඇත්තේ," ඇය විස්තර කළා ය.

කෙසේ වෙතත්, තම දුවට සිදුවූ අනතුර තවමත් "අභිරහසක්" බව ඇය බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසුවා ය.

"අපිත් හදන්නේ අගක් මුලක් හොයා ගන්න."

නිරෝධාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බ්‍රිතාන්‍යයේදී සිදු කිරීමට නියමිත ය.

ඇගේ මරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දකුණු වේල්සයේ පොලිසියේ ප්‍රධාන විමර්ශන නිලධාරී මැතිව් ඩේවිස් පැවසුවේ, නිරෝධාගේ පවුලේ සාමාජිකයින්, මිතුරන් සහ ආදරණීයයන් වෙත තම "හද පිරි ශෝකය" ප්‍රකාශ කරන බව ය.

'ඒක අපේ අන්තිම හමුවීම වෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ' - නිරෝධාගේ මිතුරන් පවසන්නේ කුමක් ද?

නිරෝධාගේ හදිසි අභාවය සම්බන්ධයෙන් "කුඩා කල සිට" ඇයගේ මිතුරියක වන ශෂිනි හේරත් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ, "වචනවලින් විස්තර කළ නොහැකි තරම් මගේ හද කම්පා වී ඇති" බව ය.

එහි තවදුරටත් මෙලෙස සඳහන් විය;

"නිරෝධා... මගේ 2 ශ්‍රේණියේ ඉඳන් හිටපු හොඳ ම යාළුවා. අවුරුදු 16කට පස්සේ, මම සති දෙකකට කලින් ඇයව ආයෙත් බලන්න සැතපුම් 1,000කට වඩා ගමන් කළා. අපි හිනා වුණා, පැය ගණන් කතා කළා, අපේ මතකයන් බෙදා ගත්තා, අපි එකට ඉගෙන ගත්ත හැටි, සෙල්ලම් කළ හැටි, හිනා වුණ හැටි, සහෝදරියන් වගේ රණ්ඩු වුණ හැටි. මට දැනුණේ කිසි ම දෙයක් වෙනස් වෙලා නැති බවක්.

ඒක අපේ අන්තිම හමුවීම වෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ."

"මේ ආකාරයෙන් ඇයව අහිමි වීමේ වේදනාව මට වචනවලින් විස්තර කළ නොහැකි දෙයක්. ජීවිතය දරාගත නොහැකි තරම් කුරිරු විය හැකි යි," ඇය සඳහන් කර තිබිණි.

"මගේ ආදරණීය නිරෝධා, සාමදානයෙන් සැතපෙන්න. මගේ ජීවිතයේ මෙතරම් සුන්දර කොටසක් වීම ගැන ඔබට ස්තූතියි. මම ඔබව සදහට ම මගේ හදවතේ තබා ගන්නම්," එහි වැඩිදුරටත් සඳහන් විය.

නිරෝධාගේ අභාවය සම්බන්ධයෙන් ඇයගේ තවත් මිතුරෙකු වන දිනිඳු රොෂාන් මදුරංග සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ, "තමාට සෑම විට ම පාහේ අවශ්‍ය වූ පන්නරය ලබා දුන් පුද්ගලයා ඇය" බව ය.

තවත් බොහෝ දෙනෙකු ඇයගේ මරණය පිළිබඳව කම්පා වෙමින් සමාජ මාධ්‍ය සටහන් තබා ඇති අයුරු නිරීක්ෂණය කළ හැකි ය.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක ය.