ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජෝ බයිඩන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් - ජයග්‍රහණය කරන්නේ කවුරුන් ද යන්න තීරණය කළ හැකි කරුණු හතරක්
- Author, ඇන්තනි සර්කර්
- Role, උතුරු ඇමෙරිකාවේ වාර්තාකරු
ඉදිරි වසර හතර සඳහා ධවල මන්දිරයේ බලය හොබවන්නේ කවුරුන් ද යන්න තීරණය කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බයිඩන් නොවැම්බර් මාසයේදී තරග කරනු ඇත.
මෙම තරගය නූතන ඉතිහාසයේ සුවිශේෂී තරගයක් ලෙස සනිටුහන් වන්නේ, එය වත්මන් ජනාධිපතිවරයෙකු අතර සහ ඔහුගේ ආසන්නතම පූර්වගාමියා අතර නැවත පැවැත්වෙන තරගයක් හේතුවෙනි.
ට්‍රම්ප්ගේ පළමු මාධ්‍ය ලේකම්වරයා ලෙස සේවය කළ සහ ඊට පෙර රිපබ්ලිකන් ජාතික කමිටුවේ සේවය කළ ෂෝන් ස්පයිසර්ට අනුව, වෙනස සරල ය.
"ට්‍රම්ප්ගේ කාලයේදී, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති මගේ ජීවිතය වඩා හොඳ තැනට ගෙනාවා, වැඩි ආරක්ෂිත බවක් ඇති කළා, ආර්ථිකය සහ අපේ ප්‍රජාවන් වඩා හොඳ තැනකට ගෙනාවා කියලා කියන අයට, ඒක ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි."
ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය ඔවුන්ගේ අපේක්ෂකයාගේ දුර්වලතා එනම්, ඔහු මුහුණ දී සිටින නීතිමය ගැටලු, ඔහුගේ බෙදුම්වාදී කතා සහ 2021 වසරේ එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ල අසල කෝලාහල ඇති වීමට දායක වුණු 2020 මැතිවරණ ප්‍රතිඵල වළක්වාලීමට ඔහු ගත් උත්සහය ආදියෙන් මිනිසුන්ගේ අවධානය වෙනතකට යොමු කිරීමට කටයුතු කරනු ඇත.
නමුත් බයිඩන්ට ද සැලකිල්ලට භාජනය කළ යුතු දුර්වලතා තිබේ. තම පළමු ධූර කාලයේ ළඟා කර ගත් සාර්ථකත්වය පිළිබඳව ජනතාවට ඵලදායී ලෙස සන්නිවේදනය කිරීමට අපොහොසත් වීම සහ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල යෙදීමට හා දෙවන ධූර කාලයක් සඳහා තමන්ට ශක්තිය ඇති බවට මහ ජනතාවට ඒත්තු ගැන්වීමට උත්සහ කිරීම ඒ අතර වේ.
ඔහු තම පූර්වගාමියා පාලනයෙන් තොර සහ ඇමෙරිකාවට සහ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් ලෙස චිත්‍රයක් මවයි.
"මෙන්න, ඔබ ඉතා හොඳින් දන්නා කෙනෙක් ඉන්නවා, ඔබ ඔහු විශාල අවදානමක් බව ඔප්පු කිරීමට උත්සහ කරනවා," 1988 වසරේදී මයිකල් ඩුකාකිස්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය කළමනාකරණය කළ ඩිමොක්‍රටික් කතුවරියක සහ විශ්ලේෂිකාවක වන සූසන් එස්ට්‍රිච් පවසයි.
එය ඇමෙරිකානුවන් කිහිප දෙනෙකුට පමණක් අවශ්‍ය යැයි පවසන නැවත සිදුවන තරගයක් වන නමුත් මෙම අවස්ථාවේදී එය මීළඟ ජනාධිපතිවරයා කවුරුන් ද යන්න තෝරා ගන්නා, ඔවුන්ට බොහෝ දුරට නියත වශයෙන් ම දක්නට ලැබෙන තරගයක් වනු ඇත.
ඉහළට පැමිණෙන්නේ කවුරුන් ද යන්න තීරණය කරන සාධක හතර මෙසේ ය.
කුඩා භූමි ප්‍රදේශයක තියුණු තරගයක්
බයිඩන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති ප්‍රසාදය පහළ වැටීම මැතිවරණ වර්ෂයකට ඇතුළු වන වත්මන් ජනාධිපතිවරයෙකුට එතරම් සුබදායක නොවනු ඇත. කෙසේ වෙතත්, ට්‍රම්ප් සම්බන්ධයෙන් පවතින මහජන අදහස් ද ඍණාත්මක ය.
පවතින සියලු තොරතුරු සැලකිල්ලට ගැනීමේදී, නොවැම්බර් මස පැවැත්වෙන මහ මැතිවරණය තියුණු තරගයක් බවට පත් වනු ඇත. ජාතික මත විමසුම් අනුව, කරට කර තරගයක් පවතින බව හෝ ට්‍රම්ප්ට කුඩා වාසියක් ඇති බව පෙන්නුම් කරයි.
නමුත් එක්සත් ජනපද දේශපාලන සිතියමේ ස්වභාවය අනුව, මෙම තරගයේ මුල් අවධියේදී ඔවුන්ට යම් සීමිත ප්‍රයෝජනයක් පවතී. රට පුරා සිටින ඇමෙරිකානුවන් ඡන්දය ප්‍රකාශ කිරීමට ගිය ද මෙම තරගයේ අවසාන ප්‍රතිඵලය නැවතත් තීරණය වනුයේ ප්‍රාන්ත අතලොස්සකින් පමණි.
එයට හේතුව ඡන්ද විද්‍යාලය, එනම් එක්සත් ජනපදයට එහි ජනාධිපතිවරයා තෝරා ගැනීමට ඇති ක්‍රමය, එක් එක් ප්‍රාන්තය ජයග්‍රහණය කරන අපේක්ෂකයින් මත රඳා පවතින අතර බොහෝ ප්‍රාන්ත දැඩි ලෙස ඩිමොක්‍රටික් හෝ රිපබ්ලිකන් වන බැවිනි.
මෙම වසරේ වඩා ත් තීරණාත්මක, ප්‍රතිඵලය අවිනිශ්චිත ප්‍රාන්ත අතරට ‘රස්ට් බෙල්ට්’ ලෙස ව්‍යවහාර වන කලාපයේ පිහිටා ඇති විස්කොන්සින්, පෙන්සිල්වේනියා හා මිචිගන් යන ප්‍රාන්ත සහ 2020 වසරේදී බයිඩන්ගේ ඩිමොක්‍රටික් පක්ෂය ජයග්‍රහණය කළ ඇරිසෝනා සහ ජෝර්ජියා යන ප්‍රාත්න දෙක ද ඇතුළත් වේ.
නෙවාඩා ද ප්‍රතිඵලය අවිනිශ්චිත ප්‍රාන්තයක් ලෙස සැලකෙන නමුත් එහි සිටින කුඩා ජනගහනය අවසන් මැතිවරණය ප්‍රතිඵලයට එතරම් බලපෑමක් සිදු නොකරනු ඇත.
පසුගිය මැතිවරණවලදී යුද්ධ පිටි බවට පත් වූ ප්‍රාන්ත කිහිපයක් මෙම සිතියමෙන් ඉවත්ව ගොස් තිබේ. ෆ්ලොරීඩා සහ උතුරු කැරොලිනා ප්‍රාන්ත රිපබ්ලිකන් පක්ෂය දෙසට බරව ඇත්තේ, වර්ජිනියා සහ කොලරාඩෝ ප්‍රාන්ත වඩා ත් ප්‍රබල ලෙස ඩිමොක්‍රටික් පක්ෂයට සහය දක්වන බව පෙනෙන පසුබිමක ය.
එබැවින් ජාතික මත විමසුම් දේශපාලන විචාරකයන්ට සංවාදයේ දීමට මාතෘකා සැපයුව ද අවසානයේ වැදගත් වනු ඇත්තේ, ඡන්ද දායකයින්ගෙන් කුඩා උපකුලකයක් පමණි.
මත විමසුම් අනුව, ට්‍රම්ප් මෙම ප්‍රධාන ප්‍රාන්තවල තරමක් ඉදිරියෙන් සිටීම ඩිමොක්‍රටික් පාක්ෂිකයින් අතර කනස්සල්ලට තුඩු දී තිබේ. නමුත් එම පරතරය සංඛ්‍යානමය වශයෙන් වැදගත් නොවේ.
ආර්ථිකය (නැවතත්)
ජාතික මැතිවරණවලදී ආර්ථික සාධක මත ඇමෙරිකානුවෝ ඡන්දය ප්‍රකාශ කිරීමට නැඹුරු වන වෙති. එනම්, ආර්ථික වශයෙන් යහපත් කාලවලදී ආණ්ඩු පක්ෂයටත් අයපහත් කාලවලදී විපක්ෂයටත් ඔවුහු ඡන්දය ලබා දෙති.
1992 සාර්ථකත්වයට පත් වුණු බිල් ක්ලින්ටන්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ මන්ත්‍රය වූයේ "ඒක තමයි ආර්ථිකය, මෝඩයෝ" යන්නයි, එතැන් පටන් එම වැකිය දශක ගණනාවක් දක්වා දේශපාලන මූලධර්මයක් බවට පත් විය.
2024 මැතිවරණ ප්‍රතිඵලය පුරෝකථනය කිරීමට අභියෝග කරන එක් සාධකයක් නම්, සමස්තයක් ලෙස ආර්ථික දර්ශක ධනාත්මක වීම ය.
ආර්ථිකය ස්ථාවර ලෙස වර්ධනය වෙමින් පවතී. විරැකියා අනුපාතය වාර්තාගත ලෙස අවම මට්ටමකට ආසන්න වී තිබේ. කොටස් වෙළෙඳපොළ වාර්තාගත ඉහළ මට්ටම් කරා ළඟා වෙමින් තිබේ. එහෙත් ඇමෙරිකානු ඡන්ද දායකයින්ට ඔවුන්ගේ ආර්ථික තත්ත්වය පිළිබඳව ඇති ඍණාත්මක දැක්මේ වෙනසක් සිදුව නොමැත.
මේවායින් සමහරක් සඳහා වසර කිහිපයක් පුරා පවතින ඉහළ උද්ධමනය සහ එක්සත් ජනපදයේ බොහෝ ප්‍රදේශවල අඛණ්ඩව පවතින ඉහළ නිවාස පිරිවැය හේතු විය හැක. ගත වුණු වසර 30කට ආසන්න කාලයේදී එක්සත් ජනපදයේ නිවාස අලෙවිය අඩු ම මට්ටමකට වැටී ඇත.
අයෝවාහි පැවති ට්‍රම්ප්ගේ ජයග්‍රාහී සාදයේදී, විශාල වීඩියෝ තිර දෙකක් හරහා බයිඩන් පරිපාලනය තුළ නිවාස උකස් පොළී අනුපාත ඉහළ යාමත් සමග නිවාස සඳහා මාසිකව ගෙවිය යුතු මුදල ඉහළ ගිය ආකාරය දැක්වෙන රූප සටහන් ප්‍රදර්ශනය කෙරිණි.
කෙසේ වෙතත්, බයිඩන්ට ද බලාපොරෝත්තු තබා ගත හැකි සලකුණු කිහිපයක් මෑතකදී මතුවී තිබේ.
මිචිගන් විශ්වවිද්‍යාලයේ සමීක්ෂණයකට අනුව, මාර්තු මාසයේදී පාරිභෝගික විශ්වාසය 2021 ජූලි මාසයේ සිට එහි ඉහළ ම මට්ටමට ළඟා විය. උද්ධමනය සහ ගෑස් මිල මෑත කාලයේ පැවති ඉහළ මට්ටමට වඩා බෙහෙවින් පහත වැටී ඇත. ඇමෙරිකානු ආර්ථිකයේ තත්ත්වය පිළිබඳව ඡන්ද දායකයින්ට ඔවුන්ගේ මනස වෙනස් කර ගැනීමට තවමත් ඕනෑ තරම් කාලය තිබේ.
තමා බලයේ සිටි අවධියේ තත්ත්වය වඩා යහපත් වූ බවට ට්‍රම්ප් තර්ක කරනු ඇත.
ස්පයිසර් අනුව, අපරාධයක් වැනි ආර්ථිකය "දැඩි චිත්තවේගීය ප්‍රතික්‍රියා ඇති කරන" ගැටලුවක් වන අතර බොහෝ ඇමෙරිකානුවෝ තවමත් ඔවුන්ගේ එදිනෙදා ජීවන තත්ත්වය වැඩිදියුණු වී ඇති බව විශ්වාස නොකරති.
"ඔබ පෞද්ගලිකව අත්විඳලා ඒක දැඩි ලෙස දැනෙන තෙක්, මොන සංඛ්‍යාලේඛන ඔබට පෙන්නුවත් වැඩක් නැහැ," යනුවෙන් ඔහු පවසයි.
කොවිඩ්-19 වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අභියෝගවලට අනෙකුත් බොහෝ රටවලට වඩා හොඳින් මුහුණ දීමට එක්සත් ජනපදයට හැකි වූ බවට බයිඩන් තර්ක කරනු ඇත. එමෙන් ම යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීම, බදු කප්පාදු සහ සමාජ වැඩසටහන් වියදම් කිරීම ඉහළ දැමීම ආදියෙන් සම්මිශ්‍රණය වූ ඔහුගේ ආර්ථික ප්‍රවේශය වන 'Bidenomic' හරහා වැඩ කරන ඇමෙරිකානුවන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවූ බවට ද ඔහු තර්ක කරනු ඇත.
ගබ්සාව ද? සංක්‍රමණික අර්බුදය ද?
හිටපු ජනාධිපති ට්‍රම්ප් ගබ්සා ගැටලුව සම්බන්ධයෙන් මැදිහත්ව දැකීමට උත්සහ කළ ද ගබ්සාව නීති විරෝධී වීමටත්, ප්‍රාන්ත රැසක එය තහනම් වීමටත් වගකිව යුත්තා ඔහු [ට්‍රම්ප්] බවට බයිඩන්ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය හරහා ඡන්ද දායකයින්ට ඒත්තු ගැන්වීමට උත්සහ කරනු ඇත.
එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය, ට්‍රම්ප් විසින් පත් කරන ලද විනිසුරුවරුන් තිදෙනෙකුගේ ද සහය ඇතිව, ගබ්සා කිරීමේ ව්‍යවස්ථාපිත ආරක්ෂාවන් ලබා දුන් වසර 50ක පුරා පැවති නීතිය ඉවත දැමූ දා සිට, ඩිමොක්‍රටික් පක්ෂය ගබ්සාව සම්බන්ධයෙන් දක්වන අදහස් සඳහා සහය පළ කරන පිරිස ඉහළ ගොස් ඇති අතර එය ඔවුන්ට මැතිවරණවලදී බලාපොරොත්තු වූවාට වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට හේතු වී තිබේ.
ලිබරල් ඡන්ද දායකයින් නොවැම්බර් මාසයේ මැතිවරණයට සහභාගී වීම දිරිගැන්වීම සඳහා ෆ්ලොරිඩා සහ ඇරිසෝනාහි දැඩි නව ගබ්සා සීමා කිරීම් අනුමත කරන ප්‍රාන්ත අධිකරණ තීන්දු සහ මේ සම්බන්ධයෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනමත විචාරණයන් ගැන බයිඩන් පෙන්වා දී තිබේ. උපජනාධිපති කමලා හැරිස් ද කාන්තාවන්ගේ ප්‍රජනන අයිතීන් පිළිබඳව අවධානය යොමු කරමින් රට පුරා රැලි පවත්වා තිබේ.
"බොහෝ අය සිතුවාට වඩා ගබ්සාව ප්‍රබල ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙන්නේ," එස්ට්‍රිච් පවසයි. "මේ ගැන මත විමසීම් කරපු හැම තැනකදී ම දිනුවේ, ගබ්සාවක් කළ යුතු ද නැද්ද යන්න තෝරා ගැනීමට ඇති අයිතියට සහය දෙන පැත්ත."
ගබ්සාව මැතිවරණයට සම්බන්ධ කර ගන්නේ නම් ඩිමොක්‍රටික් පක්ෂය එය ඡන්ද දායකයින්ගේ සිත් තුළ ඔසවා තැබීමට උත්සහ කරනු ඇති අතර ට්‍රම්ප් සහ කන්සර්වේටිව් දේශපාලනඥයින් ද සංක්‍රමණික අර්බුදය සම්බන්ධයෙන් ද එම පියවර ම අනුගමනය කරනු ඇත.
නීතිවිරෝධීව දේශසීමා තරණය කිරීමට උත්සහ කිරීමේ සිදුවීම් දෙසැම්බර් මාසයේදී මීට පෙර කිසි කලක වාර්තා නොවුණු ඉහළ ම මට්ටමකට ළඟා වූ අතර මෙක්සිකෝ දේශසීමාවේදී එවැනි අත්අඩංගුවට ගැනීම් 249,785ක් සිදුවිය. එනම් දෙසැම්බර් මාසයේ, දේශසීමා තරණය කිරීමට උත්සහ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ සංඛ්‍යාව නොවැම්බර් මාසයට වඩා 31%කින් වැඩි වූ අතර එය මීට පෙර වැඩි ම ගණනක් වාර්තා වූ මාසය වන 2022 දෙසැම්බර් මාසයට වඩා 13%කින් වැඩි විය.
නීත්‍යනුකූල ලියකියවිලි නොමැතිව රට තුළට විශාල පිරිසක් ඇතුළු වීම සහ සරණාගතභාවය අපේක්ෂා කරන පිරිස් ඇතැම් අවස්ථාවලදී රජයේ පහසුකම්වලට දැරිය නොහැකි තරම් ඉහළ ගොස් ඇත. එමෙන් ම එය සැතපුම් දහස් ගණනක් ඈතින් පිහිටි ප්‍රධාන නගරවල සිදු කෙරෙන සමාජ සේවා වැඩසටහන් ද අඩාල කර ඇත.
මත විමසීම්වලට අනුව, ට්‍රම්ප්ට සහය දක්වන බොහෝ දෙනෙකුට ඇති වැදගත් ම ගැටලුව සංක්‍රමණික ගැටලුව වන අතර එය ජනාධිපතිවරයාගේ දුර්වලතාව ඉස්මතු කරන සහ ඩිමොක්‍රටික් පාක්ෂිකයින් අතර බෙදීම් ඇති කරවන ප්‍රභවයක් වනු ඇත.
කොංග්‍රසයේදී මෙම ගැටලුව විසඳීමට දරන උත්සහයන් අසාර්ථක වූයේ, මැතිවරණය අවසන් වන තුරු කිසිදු සම්මුතිවාදී විසඳුමකට එකඟ නොවන ලෙස ට්‍රම්ප් රිපබ්ලිකන් දේශපාලනඥයින්ට බලපෑම් කළ නිසා ය.
"බයිඩන් පරිපාලනයට හැකියාවක් ලැබිලා නැහැ අපේ දකුණු දේශ සීමාවේ ආරක්ෂාව ගැන සහතික වෙන්න," ස්පයිසර් පවසයි. "ඒ ගැන විවාදය ඉවරයි."
දන්නා නමුත් නොදන්නා දේ
මහ මැතිවරණ ප්‍රචාරක කටයුතු දිගු කාලයක් පවතින බැවින් බලාපොරොත්තු නොවූ දේවල් සිදුවීමට බොහෝ කාලයක් තිබේ.
බයිඩන් (81) සහ ට්‍රම්ප් (77) යන දෙදෙනා ම වයස්ගත බැවින්, ඔවුන්ගේ සෞඛ්‍යය සහ යෝග්‍යතාවය ප්‍රශ්න කරන සිදුවීමක් ඕනෑ ම වේලාවක සිදුවිය හැකි ය.
සරත් සෘතුවේ සිදුවන පීඩනයකින් යුක්ත ජනාධිපතිවරණ විවාදවලදී, ඔවුන්ගේ ශක්තිය සහ සන්සුන්භාවය විශේෂයෙන් ම පරීක්ෂාවට ලක්වනු ඇත.
"වයස කියන දේ දැන් බයිඩන්ට අභියෝගයක්. හැමෝම හිතන්නේ බයිඩන් වයසයි කියලා," එස්ට්‍රිච් පවසයි. "ප්‍රශ්නය තමයි ට්‍රම්ප් තමන්ගේ වයස පෙන්නාවි ද කියන එක?"
ඇමෙරිකානුවන්ගෙන් බහුතරයක් ඔවුන්ගේ ප්‍රධාන පක්ෂ විකල්ප දෙක ගැන සෑහීමකට පත් නොවන බව මත විමසුම් පෙන්නුම් කරන හෙයින්, තුන්වන පාර්ශවයක් හෝ ස්වාධීන අපේක්ෂකයෙකු මතුවීමට අවශ්‍ය පරිසරය සැකසී තිබේ.
ඡන්ද පත්‍රිකා කිහිපයක පමණක් නම සටහන් වුව ද එන්නත් විරෝධී ක්‍රියාකාරිකයෙකු වන රොබට් කෙනඩි ජූනියර් වෙත ජාතික ඡන්ද විමසීම්වලදී සැලකිය යුතු ප්‍රතිශතයකගේ සහය ලැබේ. වාමාංශික ශාස්ත්‍රාලිකයෙකු වන කෝනල් වෙස්ට් ද තරඟ වදින අතර ලිබර්ටේරියන් සහ හරිත පක්ෂ ඔවුන්ගේ ම අපේක්ෂකයන් ඉදිරිපත් කරනු ඇත.
ට්‍රම්ප්ට ඇති නීතිමය ගැටලු ද තරගයට බලපානු ඇත. ඔහුට එරෙහිව අපරාධ නඩු 4ක් ක්‍රියාත්මක අතර චෝදනා 91කට ඔහු මුහුණ දෙයි. එම අධිචෝදනා රිපබ්ලිකන් පාක්ෂිකයින් අතර ඔහුට ඇති ප්‍රසාදය ඉහළ දැමීමට තුඩු දී ඇති නමුත් ඔහු වරදකරුවෙකු බවට ඔප්පු වුවහොත් එය වෙන ම කාරණයක් බවට පත්වනු ඇත.
නිව් හැම්ප්ෂයර් රිපබ්ලිකන් අපේක්ෂකයා කවුරුන් ද යන්න තෝරා ගැනීමට පැවති ඡන්ද විමසීම අවසානයේ සිදු කළ මත විමසුමකට අනුව, 42% දෙනෙකු කියා සිටියේ ට්‍රම්ප් වැරදිකරු වුවහොත් ඔහු තනතුරට සුදුසු නොවන බව ය.
ට්‍රම්ප්ට එරහි ප්‍රධාන නඩු කිහිපයක් ම නැවත නැවතත් ප්‍රමාද වුව ද ඔහු විත්ති කූඩුවේ සිටිනු දැකීම සහ ඔහු සිදු කළ බව කියන අපරාධ සම්බන්ධයෙන් ඔහුට එරෙහි චෝදනා පත්‍ර සවිස්තර කියවා දෙනු දැකීම හුදෙක් ඔහුට එරෙහි අධිචෝදනා පිළිබඳව අසනවාට වඩා මහජන මතයේ වෙනසක් සිදු කළ හැකි ය.
2021 ජනවාරි මාසයේදී එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ල වෙත ඔහුගේ ආධාරකරුවන් විසින් එල්ල කරන ලද ප්‍රහාරය, ට්‍රම්ප් මහතා ඔවුන් දිරි ගැන්වූ බවට එල්ල වන චෝදනා, ඇමෙරිකානු ජනතාවගේ මනස් තුළ නොමැකෙන කැළලක් ඇති කළේ ය.
රිපබ්ලිකන් ඡන්ද දායකයින් එය අමතක කර දැමීමට කැමැත්තෙන් සිටින බව පෙනෙන්නට තිබුණ ද, ඩිමොක්‍රටික් සහ ඇතැම් විට, මෙම මැතිවරණයේ අවාසාන ප්‍රතිඵලය තීරණය කිරීමට උර දෙන ස්වාධීන ඡන්දදායකයින්ට එය තවමත් මතකයේ ඇති සිදුවීමකි.
බයිඩන් සහ ඩිමොක්‍රටික් පාක්ෂිකයින් හරහා හෝ නඩුහබ හරහා හෝ එම කම්පනය සහ ට්‍රම්ප්ගේ ජනාධිපති ධූරය කාලය අවසන් වුණු ආකාරය නැවත නැවතත් මතකයට නැගීමෙන් සිදුවන්නේ ට්‍රම්ප්ගේ පෙර ක්‍රියාවන් අවසානයේ ඔහු පසුපස නැවත නැවතත් හඹා ඒම ය.