ඩොනල්ඩ් ට්‍රම්ප් 2024: මෙවර ජනාධිපති තරගය දුෂ්කර විය හැකි හේතූ 6 ක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සිය තුන්වන සෘජු ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රකාශයට පත්කරනු ඇතැ යි මේ වනවිට අපේක්ෂා පළවී ඇති අතර, එසේ වුවහොත් එය මැතිවරණයකින් පරාජය වූ එක්සත් ජනපද ජනාධිපතිවරයෙකු නැවත වරක් ධවල මන්දිරය අත්පත්කර ගැනීමට දැරූ අතිශය දුර්ලභ උත්සාහයක් බවට පත්වනු ඇත.

හිටපු ජනාධිපතිවරයාගේ සහායකයින් පවසන්නේ මෙවර ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය 2020ට වඩා 2016ට සමාන වනු ඇති බව යි. නිල බලතල රහිතව සිටින ට්‍රම්ප්, තමා බාහිර පාර්ශවයක් ලෙසට පෙන්වනු ඇති අතර, ඔහුගේ ප්‍රතිවාදීන් වන වමේ සහ දකුණේ දේශපාලන සංස්ථාපිත විනාශ කිරීමට ද උත්සාහ දරනු ඇත.

2016 දී ජයග්‍රහණය කිරීමට අඩු ඉඩක් ඇතැ යි පෙනුනැත, ට්‍රම්ප් ප්‍රථමයෙන් ඔහුගේ රිපබ්ලිකන් ප්‍රතිවාදීන් පරාජය කළ අතර, සිය පක්ෂය සඳහා තෙවන වතාවටත් ධවල මන්දිරයේ අවස්ථාව දිනාගැනීමට උත්සාහ කළ ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් දැඩි සටනකින් අනතුරුව පරාජය කළේ ය.

එය ඉතා අසීරු ජයග්‍රහණයක් වූ නමුත්, අපේක්ෂකයෙකු ලෙස ට්‍රම්ප්ගේ ඇදහිය නොහැකි ශක්තිය ප්‍රදර්ශනය කළ අවස්ථාවක් ද විය.

ගතානුගතික ඇමරිකානු ඡන්ද දායකයාගේ සිතුම් පැතුම් ගැන හොඳ අවබෝධයක් ඇති ට්‍රම්ප්ගේ ඇදහිය නොහැකි සහ විවාදාත්මක ස්වභාවය පුවත් මැවීමෙහි සමත්කම් දක්වන අතර, තරගකරුවන්ට යොමුවන අවධානය පැහැරගනියි. ඔහුට පක්ෂපාතී ආධාරකරුවන් පදනමක් ඇති අතර, සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික ලෙස පක්ෂයක් අනුගමනය නොකරන ඇමරිකානුවන් ද තමන් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට පෙළඹවීමට ඔහුට හැකි ය. දැන්, වසර හතරක අවෑමෙන්, එම ආධාරකරුවෝ බොහෝදෙනෙකු රිපබ්ලිකන් පක්ෂයේ තනතුරු දරමින් සිටිති.

එසේ වුව ද, ඔහු ඉදිරියේ ඇති කාර්යය පහසු කාර්යයක් නොවීමට හේතු තිබේ.

1. ඔහු සම්බන්ධ පෙර වාර්තා

මීට වසර අටකට පෙර ට්‍රම්ප්ට දේශපාලන ඉතිහාසයක් නොතිබුණි. දේශපාලඥයෙකු ලෙස වාර්තාවක් නොතිබූ ඔහු වෙත තම බලාපොරොත්තු රැඳවීම ඡන්දදායකයින්ට පහසුවිය. සුවිශාල ජයග්‍රහණ පිළිබඳ පොරොන්දු රැසක් ලබාදීමේ හැකියාව ඔහුට තිබිණි. අනෙක් අතට, ඔහු වෙත ඇඟිලි දිගුකිරීම සඳහා විවේචකයින්ට ගෙනහැර පෑමට හැකි අන්දමේ අතීත අඩුපාඩු හා අසාර්ථකත්වයන් ද ඔහු වෙත තිබුණේ නැත.

එහෙත් මේ වනවිට එය වෙනස්වී තිබේ. මේ වනවිට ට්‍රම්ප් යනු, ඔහුගේ සිව් වසරක පාලන කාලය තුළ බදු කප්පාදු සහ අපරාධ යුක්ති ප්‍රතිසංස්කරණ ඇතුළුව කැපී පෙනෙන ප්‍රතිපත්තිමය ජයග්‍රහණ කිහිපයක් ලබා ඇත්තෙකු වුව ද, කැපී පෙනෙන ලෙස අසාර්ථක වී ඇත්තෙකු ද වේ.

ඩිමොක්‍රටික් සෞඛ්‍ය ප්‍රතිසංස්කරණ අවලංගු කිරීමට ඔහුට තිබූ නොහැකියාව මෙන්ම, කිසිදා සඵල නොවූ යටිතල පහසුකම් ආයෝජන පිළිබඳ ඔහුගේ පොරොන්දු ද රිපබ්ලිකන් පාක්ෂිකයින්ට අමතක නොවනු ඇත. එමෙන්ම, කොරෝනා වසංගත සමයේ ඔහුගේ අතපෙවීම්, කිහිප අතකින්ම ප්‍රහාර එල්ලවීමට හේතුවිය හැකි ය.

ඔහුගේ ප්‍රතිචාර දැක්වීම ප්‍රමාණවත් තරම් ප්‍රබල නොවෙතැ යි ඩිමොක්‍රටික් පාක්ෂිකයන් දිගුකලක් තිස්සේ විවේචනය කළ නමුත්, රජය විසින් නියම කරන ලද අවම කිරීමේ ප්‍රයත්නයන්ට සහායදීම සඳහා බොහෝ වෙහෙසවූ බව විශ්වාස කරන දක්ෂිණාංශිකයන් ද සිටියි.

2. ජනවාරි 6 මතකය

ට්‍රම්ප්ට එරෙහිව ඇත්තේ ජනාධිපති ලෙස ගතකළ කාලයේ වාර්තාව පමණක් නොවේ. ජනාධිපතිධුරය අවසාන කාලයේ ඔහුගේ හැසිරීම මෙන්ම, ජනවාරි හය වැනිදා එක්සත් ජනපදයේ කැපිටල් ගොඩනැගිල්ලට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුගේ හැසිරීම පිළිබඳව වගවීමට ද ඔහුට සිදුවනු ඇත.

සාමකාමී බල සංක්‍රාන්තියකට ඇති ඉඩ තාවකාලිකව අවහිර කරමින්, කැපිටල් ගොඩනැගිල්ලට ඇතුළුවී විනාශයක් සිදුකරමින්, කඳුළු ගෑස් මධ්‍යයේ ට්‍රම්ප් නම සඳහන් බැනර් ලෙලදවමින් සිටින ආධාරකරුවන්ගේ ඡායාරූප ද පහසුවෙන් අමතකවී යාමේ ඉඩක් නැත.

මධ්‍යවාර මැතිවරණයෙන් පෙන්නුම් කළේ, එදින සිදුවූ සිදුවීම මෙන්ම ඊට පෙර සති කිහිපයක සිටම ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශ සහ ක්‍රියාවන් ඔහුගේ ඡන්දදායකයින්ගේ හැසිරීමට බලපෑ බව යි.

2020 මැතිවරණයේ ප්‍රතිඵල පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීමට ට්‍රම්ප්ට සහාය දුන් රිපබ්ලිකන් අපේක්ෂකයන් සියල්ලන්ම පාහේ 2020 මැතිවරණයේ දී පරාජයට පත්විය. මැතිවරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් විවෘතව කතා නොකළ අනෙකුත් රිපබ්ලිකන් අපේක්ෂකයින්ට වඩා ඔවුන්ගේ ප්‍රාන්තවලදී රිපබ්ලිකන් බලය දැඩිසේ දුර්වල වී තිබුණි.

3. නීතිමය වියවුල්

ට්‍රම්ප් තවත් වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා මෙතරම් උනන්දුවීමට එක් හේතුවක් නම්, ඔහුගේ අපරාධ සහ සිවිල් විමර්ශන රාශිය විශාල දේශපාලන පළිගැනීමක කොටසක් ලෙස පෙන්වීමට ද එයින් ඔහුට ඉඩ සැලසෙන බැවිනි.

එය මහජන සම්බන්ධතා වර්ධනය කරගැනීමෙහිලා සාර්ථක විය හැකි නමුත්, මෙම නඩුවල දී ට්‍රම්ප්ගේ නීතිමය නිරාවරණය ඉහළ ය.

හිටපු ජනාධිපතිවරයාට එරෙහිව මේ වන විට ජෝර්ජියාවේ සාපරාධී මැතිවරණ විකෘති කිරීමේ පරීක්ෂණයක්, නිව්යෝර්ක්හි ඔහුගේ මහා පරිමාණ ව්‍යාපාරය සම්බන්ධ සිවිල් වංචා නඩුවක්, ලිංගික අතවර චෝදනාවක් හා බැඳුණු අපහාස නඩුවක් මෙන්ම කැපිටල් ප්‍රහාරයේ දී ඔහුගේ භූමිකාව පිළිබඳ ෆෙඩරල් විමර්ශන ද ආරම්භවී තිබේ.

මෙම ඕනෑම විමර්ශනයක් නඩු විභාගයක්බවට හැරී පුවත් සිරස්තල මවනු ඇති අතර, ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක සැලසුම් තාවකාලිකව කඩාකප්පල් කරනු ඇත.

මෙය ට්‍රම්ප්ට වාසිදායක වුවහොත් එය ඔහුට මිළ අධික විනෝදයක් වනු ඇති අතර, අවාසිදායක වුවහොත් දැවැන්ත දඩයන් හෝ සිරගතකිරීම් ගෙන ආ හැකි ය.

4. ප්‍රබල ප්‍රතිවාදියෙක්

වසර අටකට පෙර රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක තරගය ආරම්භ වූ විට, පක්ෂයේ ප්‍රියතමයා ලෙස සැලකෙන ෆ්ලොරිඩා ආණ්ඩුකාරවරයෙකුට එරෙහිව මුහුණදීමට ට්‍රම්ප්ට සිදුවිය. කෙසේ වෙතත්, ජෙබ් බුෂ් කඩදාසියෙන් තැනූ කොටියෙකු විනා ප්‍රබලයෙකු නොවනබව ඔප්පු කිරීමට ට්‍රම්ප් සමත්විය.

සුප්‍රසිද්ධ වාසගම සහ දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපාරයක් සඳහා මුදල් තිබුණ ද එය ප්‍රමාණවත් නොවීය. ආගමන හා අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ රිපබ්ලිකන් පදනමෙන් ඔහු බැහැරව සිටියේ ය. බුෂ්ගේ නමට පක්ෂය තුළ කලින් තිබූ බලය ඉතිරිව තිබුණේ නැත.

ට්‍රම්ප්ට 2024 දී නැවතත් නාමයෝජනාව අවශ්‍ය නම්, ඔහුට නැවත වරක් ෆ්ලොරිඩා ආණ්ඩුකාරවරයකු හරහා එය කිරීමට සිදුවනු ඇත.

කෙසේ වෙතත්, බුෂ් මෙන් නොව, රොන් ඩිසැන්ටිස් පක්ෂයේ ආධාරකරුවන් සමග ඉතා හොඳ සබඳතාවක් ඇතිබව පෙන්වමින් අතිවිශාල ඡන්ද ප්‍රමාණයකින් නැවත මැතිවරණය ජය ගැනීමට සමත්විය. ඔහු තවමත් ජාතික තලයේ දී පරීක්ෂාවට ලක්වී නොමැති අතර, ඔහුගේ දේශපාලන ජීවිතය දිදුලමින් ඉදිරියට පැමිණෙමින් තිබේ.

මේ මොහොතේ රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට තරග කරන්නේ ඩීසැන්ටිස් ද වෙන අයෙකු ද යන්න තවමත් පැහැදිළි නැත.

ට්‍රම්ප්ට නැවත අවස්ථාවක්දීමට ෆ්ලොරිඩා ආණ්ඩුකාරවරයා උනන්දු නොවිය හැකි අතර, එය එසේ වේ නම්, රිපබ්ලිකන් ඡන්දදායකයින්ට තෝරා ගැනීමට අපේක්ෂකයන් දෙදෙනකු සිටීමේ ඉඩක් මතු වේ. එමෙන්ම එය ට්‍රම්ප්ගේ නාමයෝජනා සහතික කිරීමට ප්‍රථම සිදුවුවහොත් ට්‍රම්ප් වළක්වාලීමට ඇති හැකියාව ද වැඩි වේ.

5. ජනප්‍රියත්වයේ අවාසි

ට්‍රම්ප් තමන් ජනාධිපතිවරණය සඳහා තරග වදිනබව නිවේදනය කළ දින සන්ධ්‍යාවේම කොන්සර්වේටිව් කණ්ඩායමක් විසින් පූර්ව ඡන්ද විමසීම් ප්‍රතිඵල මාලාවක් නිකුත්කළ අතර, එයින් අයෝවා සහ නිව් හැම්ප්ෂයර්හි රිපබ්ලිකන් ඡන්දදායකයින් අතර ට්‍රම්ප් සිටින්නේ රොන් ඩීසැන්ටිස්ට වඩා ඉලක්කම් දෙකක සංඛ්‍යාවක් පසුපසින් බව පෙනිණි.

එම ප්‍රාන්ත ඡන්ද පවත්වන්නේ රිපබ්ලිකන් නාමයෝජනා ක්‍රියාවලියේ මුල් කාලයේ දී ය.

ඩිසැන්ටිස් ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දී ලකුණු 26කින් ද, දෙසැම්බර් මාසයේ දී සෙනෙට් සභා මැතිවරණය පැවැත්වෙන ජෝර්ජියා ප්‍රාන්තයේ දී ලකුණු 20කින් ද ඉදිරියෙන් සිටියේ ය. මෙම සියලු ප්‍රාන්තවල, ට්‍රම්ප්ගේ මනාප සංඛ්‍යාව පෙර කරන ලද සමීක්ෂණවලදී හෙළි වූ සංඛ්‍යාවට වඩා බෙහෙවින් අඩු විය.

මෑතක දී අවසන් වූ මධ්‍යවාර මැතිවරණයේ මත විමසුම්වලට අනුව, මහ මැතිවරණයක දී ජනාධිපතිධුරය තහවුරුකර ගැනීමට ඔහු ජයග්‍රහණය කළ යුතු ප්‍රධාන ප්‍රාන්තවල ද ඇතුළුව සමස්ථ ප්‍රාන්තවලම ට්‍රම්ප් සිටින්නේ ඉතා ජනප්‍රිය තත්ත්වයක නොවේ.

ට්‍රම්ප් නැවත ජනපතිධුරයට තරග කරනවාට කැමැත්තක් දක්වා තිබුණේ නිව් හැම්ප්ෂයර්හි ඡන්දදායකයින්ගෙන් 30%ක් පමණි. ෆ්ලොරිඩාවේ පවා එම සංඛ්‍යාව සටහන්ව තිබුණේ 33%ක් ලෙස ය.

2015 දී ද ඔහුගේ අපේක්ෂකත්වය පිළිබඳ වූ ඍණාත්මක අදහස් ජය ගැනීමට ට්‍රම්ප් සමත්විය. එහෙත් ජාතික තලයේ දේශපාලන චරිතයක් ලෙස, වසර අටක් අවෑමෙන් එම අදහස් මෙවර වෙනස්වීමේ ඉඩකඩ බෙහෙවින්ම අඩුවිය හැකි ය.

6. වියපත් බව

ට්‍රම්ප් මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත් දිවුරුම් දෙන විට ඔහුගේ වයස අවුරුදු 78ක් වනු ඇත. එමෙන්ම, එම වයසේ දීම ධවල මන්දිරයට ගිය ජෝ බයිඩන්ට පසු, එක්සත් ජනපද ඉතිහාසයේ දෙවන වයස්ගතම ජනාධිපතිවරයා බවට ද ඔහු පත්වනු ඇත.

කාලය ගතවීම විවිධ පුද්ගලයන්ට බලපාන්නේ විවිධ ආකාරයෙන් නමුත් වයස්ගතබවේ 'බර' පැමිණීම වැළැක්විය නොහැකි ය.

ට්‍රම්ප්ට රිපබ්ලිකන් නාමයෝජනා දිනාගැනීම සඳහා අවශ්‍ය ආකාරයේ දැඩි මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයක් ඇති බවට ද සහතිකයක් නොමැත. විශේෂයෙන් ඔහුට බොහෝවිට තරග කරන්නට සිදුවන්නේ තරුණ අපේක්ෂකයින්ට එරෙහිව වීමේ දැඩි ඉඩක් ද තිබේ.

ට්‍රම්ප්, අතීතයේ දී දැඩි විඳදරාගැනීමේ හැකියාවක් ඇතිබව පෙන්නුම් කළේ ය. නමුත් සෑම මිනිසෙකුටම මෙන්ම ඔහුට ද සීමාවන් තිබෙනු ඇත.