මැතිවරණය අභිමුව පවතින ක්‍රමයට අභියෝග කරන ඉරාන කාන්තාවෝ

    • Author, කැරොලයින් හව්ලි
    • Role, රාජ්‍යතාන්ත්‍රික වාර්තාකරු

අසාද්, ඩොන්යා සහ බහාරේ එකිනෙකා හඳුනන්නේ නැත.

නමුත් මෙම කාන්තාවන් තිදෙනා [අප ඔවුන්ගේ ආරක්ෂාව සඳහා නම් වෙනස් කර ඇත] ඉරාන පූජකතන්ත්‍ර [පූජකයන්, දෙවියන්ගේ හෝ දෙවියන්ගේ නාමයෙන් පාලනය කරන ආණ්ඩු] රාජ්‍යයට සහ පාලකයින් විසින් වසර 45ක් තිස්සේ කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට පනවනු ලැබ ඇති ඇඳුම් පැළඳුම් නීතිවලට එරෙහි සටන් කිරීමට දැඩි අධිෂ්ඨානයකින් පසුවෙති.

ඒ හේතුවෙන්, සෑම දිනක ම, ඔවුන් තම හිස කෙස් ආවරණය කර ගැනීමෙන් වැළකී ටෙහෙරාන් අගනුවර පිහිටි සිය නිවෙස්වලින් පිටව යන්නේ, ඇති විය හැකි අවදානම පවා නොතකමිනි.

"ඒක හ‍රි ම භයානකයි," 20 හැවිරිදි සංගීත ශිෂ්‍යාවක වන ඩොන්යා වෙනත් පාර්ශව වෙත ප්‍රවේශ විය නොහැකි යෙදුමක් (encrypted app) හරහා මා හා පවසයි. "මොක ද එක විනාඩියකින් එයාලට ඔයාව අත්අඩංගුවට අරගෙන දඩගහන්න පුළුවන් නිසා. එහෙම නැත්නම් කස පාරවල් දීලා වධ හිංසා පමුණුවන්න පුළුවන් නිසා. මේකට අත්අඩංගුවට ගත්තොත් සාමාන්‍ය දඬුවම කස පහර 74ක්."

පසුගිය මාසයේදී 33 හැවිරිදි කුර්දි-ඉරාන ක්‍රියාකාරිනියක වන රෝයා හෙෂ්මති ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ, තමන් හිස නිරාවරණය කරගෙන සිටි ඡායාරූපයක් පළ කිරීම හෙළිවීමෙන් පසු තමන්ට කස පහර 74ක් ලබා දුන් බව ය.

නමුත් ඩොන්යා, අසාද් සහ බහාරේ පවසන්නේ, ඔවුන්ට ආපසු හැරීමක් නොමැති බව ය.

"ඒක සංකේතාත්මකයි," ඩොන්යා පවසයි. "මොක ද ඉරාන කාන්තාවන් මර්දනය කරන්න මේ රෙජීමය පාවිච්චි කරන අවිය තමයි ඒක. මට විරෝධය පාන්න සහ මගේ නිදහස වෙනුවෙන් පියවරක් ගන්න තියෙන එක ම මාර්ගය මේක නම්, මම ඒක කරනවා."

2022 සැප්තැම්බරයේදී අත්අඩංගුවේ පසු වූ 22 හැවිරිදි මහ්සා අමිනීගේ මරණයෙන් පසුව කාන්තා නායකත්වයෙන් ඇති වූ නැගිටීම බලධාරීන් විසින් කුරිරු ලෙස මර්දනය කරනු ලැබීමෙන් පසු එරට පැවැත්වෙන පළමු පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී, මෙම කාන්තාවන් තිදෙනා මෙම සතිය අගදී ද විරෝධතා දක්වනු ඇත.

තම හිස් ආවරණය නිසියාකාරව නොපැළඳීමේ චෝදනාව මත ඇය සදාචාරාත්මක පොලිසිය විසින් රඳවා ගනු ලැබ තිබිණි. ප්‍රසිද්ධියේ හිජාබය පැළඳීම ප්‍රතික්ෂේප කිරීම සිරගත කිරීම් හා වධ හිංසාවලට ලක්වීමට හේතු විය හැකි නමුත් බොහෝ කාන්තාවෝ එය පැළඳීමෙන් කෙසේ හෝ වැළකී සිටිති.

මානව සම්පත් කළමනාකාරිනියක වන 34 හැවිරිදි අසාද් මා හා පවසන්නේ, "තවදුරටත් මිනිසුන් වීදිවල විශාල වශයෙන් දකින්න බැහැ කියන එක සත්‍යයක්," යනුවෙනි.

"නමුත් අපේ හදවත්වල, මේ රෙජීමය සම්පූර්ණයෙන් ම විනාශ වෙලා තියෙන්නේ. මේ පාලකයෝ කරන කිසි දෙයක් ජනතාව අනුමත කරන්නේ නැහැ. ඒ නිසා ඒ අය තමන්ගේ අකමැත්ත පෙන්වන්න ක්‍රමය තමයි ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීම."

'හිතන්න පුළුවන් නරක ම දේ තමයි හුදෙකලා මැදිරියක සිරගත කරලා ඉන්න එක'

අසාද් 2022 ඔක්තෝබර් මාසයේදී අත්අඩංගුවට ගත් අතර මාසයක කාලයක් සිරගත කර තැබිණි.

රජය විවේචනය කරමින් සමාජ මාධ්‍යවල තැබූ සටහන් හේතුවෙන් ඇය පසුගිය වසරේ ජූලි මාසයේදී නැවත අත්අඩංගුවට ගෙන දින 120ක් සිරගත කළ අතර ඉන් දින 21ක් ම ගත කළේ හුදෙකලා සිර මැදිරියක ය.

"හිතන්න පුළුවන් නරක ම දේ තමයි හුදෙකලා මැදිරියක සිරගත කරලා ඉන්න එක," ඇය පවසයි. "සිර මැදිරියේ දොර හැම වෙලාවක ම වහලා තියෙන්නේ. මැදිරිය මීටර් එකක් (අඩි 3.3) දිග මීටර් 1.5ක් (අඩි 4.9) පළල එකක්. එළියෙන් එළියක් එන්නේ නැහැ. ඒ වුණාට කෘත්‍රිම ලැබෙන එළියක් දිවා රෑ දෙකේ ම තිබුණා. වැසිකිළියට යද්දී අපිව එක්කන් ගියේ ඇස් බැඳලා."

අසාද් කෙතරම් කම්පනයට පත් වූවා ද කිවහොත් ඇය සිර මැදිරියේ බිත්තියේ තම හිස ගසා ගත්තා ය. ඇය තවමත් සිටින්නේ කම්පනයෙනි.

"සමහර වෙලාවට මම කිසි ම හේතුවක් නැතිව අඬන්න පටන් ගන්නවා," ඇය පවසයි. "සමහර වෙලාවට මට ඇස් අරින්නවත් ඕන කමක් නැහැ. මොක ද මට හිතෙන්නේ මම තාමත් ඉන්නේ එතන කියලා. හිරගෙදර මතකය හැම මොහොතක ම මගේ ළඟ තියෙනවා."

උදෑසන 08:00 සිට රාත්‍රී කාලය දක්වා සිදුවුණු ප්‍රශ්න කිරීම් ගැන ඇය විස්තර කළා ය.

"ඒකට කියන්නේ 'වයිට් ටෝචර්' කියලා. දහස් වතාවක් ගහනවාට වඩා ඒක දරුණුයි. ඔවුන් මට තර්ජනය කළා. නින්දා කළා. ඒත් මම ඔවුන්ට සමච්චල් කළා."

තමන් මේ වන විටත් විඳ දරා ගත් සියල්ල තිබියදීත්, හිජාබ් නොමැතිව පිටතට යාමෙන් අසාද් තවමත් සිරගත වීමේ අවදානමට ලක් වීමට කැමැත්තෙන් සිටී.

"අපට මහ්සා අමිනී අහිමි වුණාට පස්සේ මම මට පොරොන්දුවක් වුණා, ආයෙත් හිජාබය අඳින්නේ නැහැ, වෙන එකක් මට හෝ වෙනත් කෙනෙකුට මිලටවත් අර ගන්නේ නැහැ කියලා," ඇය පවසයි. "සෑම වෙනස්කමකට ම මිලක් තියෙනවා. ඒක ගෙවන්න අපි සූදානම්."

ඉරානයේ බොහෝ කාන්තාවෝ දැන් හිස් ආවරණයක් නොමැතිව පිටතට යති. නමුත් සමහරෙක් සදාචාරාත්මක පොලිසිය විසින් ඔවුන්ව නතර කරනු ලැබුවහොත් යන සැකයෙන් ඔවුන්ගේ ගෙළ වටා එකක් පැළඳ යති.

නමුත් මා හා පවසා ඇත්තේ, සෑම කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු දෛනිකව තමන් නිර්භීත බව පෙන්වීමට, එම නීතියට අවනත නොවන බව පෙනිවීමට සහ ප්‍රතිපත්තිගරුක බව පෙන්වීමට කිසි විටෙකත් හිස් ආවරණයක් නොපළඳින බව ය.

"මම මේක අතාරින්නෙ නෑ," අසාද් මා වෙත එවූ කෙටි පණිවිඩයට පසු හදවතක ඉමෝජියක් සහ ජයග්‍රහණය සංකේතවත් කරන සලකුණක් ද විය.

'හිජාබය නැතුව මට වැඩට යන්න අවසර නැහැ'

නමුත් මාත් සමග සංවාදයට එක් වුණ ටෙහෙරානයේ තවත් කාන්තාවක තමන් පිළිබඳව විස්තර කරමින් සඳහන් කළේ, පාලන තන්ත්‍රයට එරෙහි අරගලයෙන් තමන් "වෙහෙසට පත්ව සිටින බව" ය.

39 හැවිරිදි වාර්තාකාරිනියක සහ සහ චිත්‍රපට විචාරිකාවක වන බහාරේ, නිවසේ සිට වැඩ කිරීම සඳහා තම වැටුපෙන් විශාල කොටසක් අහිමි කර ගත්තේ, කාර්යාලය තුළදී ඇයට හිස් ආවරණය පැළඳීමට බල කෙරෙන නිසා ය.

"මට හරි මහන්සියි. කලකිරිලා ඉන්නේ," ඇය මා හා පවසයි. "හිජාබය නැතුව මට වැඩට යන්න අවසර නෑ සහ මම ඒක අඳින්න කැමති නැහැ."

ඇයට දැන් තම සැමියාගේ වැටුපෙන් යැපීමට සිදුව ඇත.

පසුගිය දා ඇය හිස් ආවරණයක් නොමැතිව රිය ධාවනය කරමින් සිටියදී පොලිසිය විසින් ඇයව නවතා ඇයගේ මෝටර් රථය පොලිස් භාරයට ගනු ලැබ තිබිණි.

ඇය ද පසුගිය වසරේ අගභාගයේදී අත්අඩංගුවට ගෙන තිබුණේ, හිජාබය නොමැතිව ඇය තම ඡායාරූප ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කිරීමත් එය කිරීමට අන් අයව දිරිමත් කිරීමත් හේතුවෙනි. විප්ලවීය අධිකරණයක් ඇයට මාස හයක අත්හිටවූ සිරදඬුවමක් සහ දඩයක් නියම කළේ ය.

"මට නින්දා අපහාස කළා, තර්ජනය කළා, මම වැරදියි කිව්වා, මිනිසුන් විප්ලව කරන්න සහ නිරුවතට පොළඹවන බවට චෝදනා කළා."

තමන් සිතන පරිදි සිරගත නොකිරීමට හේතුව කුමක් දැයි මම අයගෙන් ඇසුවෙමි.

"මොක ද හිර ගෙවල් මිනිස්සුන්ගෙන් පිරිලා තියෙන්නේ. ඒ නිසා එයාලා කරන්නේ මම වගේ අයව බිය ගන්වන එක," ඇය පිළිතුරු දුන්නා ය.

"මම තාමත් එළියට යනවා, නමුත් හිජාබය නැතුව මට ඇතුළු වෙන්න ඉඩ දෙන එකෙන් අවන්හල්, කැෆේ සහ පොත් සාප්පු වසා දමන්න පුළුවන් නිසා ඒක කරන්න අපහසුයි," ඇය පවසයි. "ඒක හරි ම නීරසයි."

අපගේ සංවාදය අවසන් වූ විගස එය මකා දැමීමට අප එකඟ වූයේ, මා සමග කතා කිරීමෙන් ඇය හසුවෙනු ඇතැයි වූ බිය නිසා ය. "ඊට පස්සේ මම ඔයාව බ්ලොක් කරලා දාන්නම්," ඇය තවත් පණිවිඩයක් එවුවා ය. "මට වෙන කරන්න දෙයක් නැහැ. මාව අත්අඩංගුවට ගත්තොත් කාටවත් මට උදව් කරන්න බැහැ. ඔත්තු දුන්නා කියලා මට චෝදනා කරලා මට මරණ දඬුවම දේවි."

පවතින පාලන තන්ත්‍රයට අවනත නොවී කටයුතු කිරීමේ අපේක්ෂාවෙන් සිටින කාන්තාවන් තුළ භීෂණයත්, ධෛර්යයත් එකකට එකක් නොදෙවෙනි ලෙස පවතින්නේ කෝපය සහ බලාපොරොත්තුව ද සමග ය.

'මම කලබල වුණා, මගේ තාත්තාත් බය වුණා'

ඩොන්යා තම පියා සමග ටෙහෙරාන් නගර මධ්‍යයේ පිහිටි රඟහලක් වෙත ගිය ගමන විස්තර කරන්නී ය.

ඇය උණුසුම සඳහා තොප්පියක් පැළඳ සිටි අතර මෙට්‍රෝවේදී එය ගලවා දැමීය. එම අවස්ථාවේදී පිරිමින් සහ කළු පැහැති වස්ත්‍රවලින් සැරසී සිටි [සම්පූර්ණ ලෙස ශරීරය වැසෙන පරිදි කාන්තා සදාචාර පොලිසිය විසින් අඳිනු ලබන ඇඳුමක්] ගැහැනුන් පිරිසක් ඇගේ හිස් වැස්ම පළඳින ලෙස ඇයට කෑ ගැසූහ.

"මගේ ගාව එකක් තිබුණේ නෑ. තොප්පිය විතරයි තිබුණේ. මගේ මුරණ්ඩුකම ඒක පැළඳීමෙන් මාව වැළැක් වූවා," ඇය පවසයි. "මම ගොඩක් බය වෙලා හිටියේ. මම ඉස්සරහට ඇවිදන් ගියේ ඒ අයව ගණන් ගන්නේ නැතුව. ඒ වගේ ගොඩක් අය හිටියා. ස්ටේෂන් එකේ වැඩි හරියක් හිටියේ ඒ අය."

ඇය යළි කල්පනා කිරීමට පෙළඹුණේ, "අනේ මේ කෙල්ලව අර වෑන් එකට අරන් යන්න," යැයි එක් අයෙකු අනෙකාට පවසන අයුරු ඇසුණු මොහොතේදී ය.

"මාව සීතල වෙලා ගියා. මම කලබල වුණා, මගේ තාත්තාත් බය වුණා. ඒ නිසා මම තොප්පිය දා ගත්තා!"

ඇය තම හිස වසා ගන්නා අනෙක් එක ම අවස්ථාව වන්නේ, සිය විශ්වවිද්‍යාලය තුළට ඇතුළු වන විට ය. මන්ද එය නොමැතිව ඇයට ඊට ඇතුළු වීමට ඉඩ නොදෙන බැවිනි. කෙසේ වෙතත්, ඇය පවසන්නේ, ඇය සහ අනෙක් අය පසුව එය පන්ති කාමරවලදී ගලවා දමන බව ය.

"වෙනත් රටවල්වල වගේ විශ්වවිද්‍යාලයේදී අපට ලස්සන කොණ්ඩා මෝස්තර කරලා ලස්සන ඇඳුම ඇඳලා යන්න පුළුවන් නම්, මාත් මගේ යාළුවනුත් කැමතියි.

"මහ්සාගේ මරණයට කලින් මිනිස්සු හිටියේ නිදාගෙන - රූපකාත්මකව කිව්වොත් - හැබැයි දැන් ඔවුන් වෙන දාට වඩා දැනුවත්," ඇය සඳහන් කළා ය.

"මෙතරම් කාන්තාවන් පිරිසක් වීදිවල යද්දී හිස් ආවරණයක් ඇඳීම ප්‍රතික්ෂේප කරන්න හේතුව විරෝධතා. නමුත් ඔවුන් පීඩනයෙන් වගේ ම මරණ දණ්ඩනය ගැන පළ වන ප්‍රවෘත්තිවලින් වෙහෙසට පත් වෙලා ඉන්නේ. ඒක දුෂ්කර හා වෙහෙසකර මාර්ගයක්."

නමුත් මිනිසුන් තවමත් පොදු ස්ථානවල ඇති බිත්තිවල සිතුවම් [ග්‍රැෆිටි] අඳිනවා, රාජ්‍ය රූපවාහිනිය වර්ජනය කරනවා," ඇය පවසයි.

"වෙනසක් වෙනුවෙන් මිනිස්සු දවස ගාණේ සටන් කරනවා මම දකිනවා," ඇය පවසයි. "මම මගේ පරම්පරාව විශ්වාස කරනවා, Z පරම්පරාව. අපට මේ පීඩා කිරීම් දරා ගන්න බැහැ. මිනිසුන් වීදිවල නටන එක, ප්‍රීති වෙන එක හෝ ගායනා කරන එක හැකි සෑම අවස්ථාවක ම කරනවා, මොක ද නටන එක නීති විරෝධී නිසා."

අසාද් ද ආගන්තුකයන්ගේ සහයෝගීතාවයෙන් සහ පාලන තන්ත්‍රයට එරෙහි නව එකමුතු හැඟීමකින් උද්දාමයට පත්ව සිටී.

ඇය පවසන්නේ, හිජාබ් පැළඳ සිටින කාන්තාවන් පවා තම හිසකෙස් වැසීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් තමන් දිරිමත් කරන බව ය. වසර 45ක බලයේ සිටීමෙන් පසු ඉස්ලාමීය ජනරජය දැන් එහි අවසානයට ළඟා වී ඇතැයි ඇය විශ්වාස කරයි.

"විප්ලවය සිද්ධ වෙනවා," ඇය පවසයි. "නමුත් කවුරුවත් හරියට ම දන්නේ නැහැ ඒ කවදද කියලා."