අනන්ත් අම්බානි: මාස ගණනක් පුරා පැවති සාදවලින් පසු ඉන්දීය ධන කුවේරයාගේ පුත්‍රයා අද විවාහ දිවියට

Anant Ambani, son of businessman Mukesh Ambani, arrives with his fiance Radhika Merchant

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, අනන්ත් අම්බානි විවාහ වන්නේ දිගු කලක් ඔහුගේ පෙම්වතියව සිටි රාධිකා මර්චන්ට් සමග ය
    • Author, සෝයා මටීන් සහ මෙරිල් සෙබස්තියන්
    • Role, බීබීසී පුවත් දිල්ලි සහ කොචි

සිකුරාදා ආසියාවේ ධනවත් ම පුද්ගලයාගේ පුත්‍රයාගේ විවාහ උත්සවය සඳහා මුම්බායි වෙත පැමිණි ජාත්‍යන්තර අමුත්තන් අතර රියැලිටි ටීවී තරුවක් වන කිම් කඩෑෂියන් සහ එක්සත් රාජධානියේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් ද සිටිති.

රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස්හි සභාපති මුකේෂ් අම්බානිගේ පුත් අනන්ත් අම්බානි ධනවත් ඖෂධ ව්‍යාපාරිකයන් වන විරේන් සහ ෂයිලා මර්චන්ට්ගේ දියණිය වන රාධිකා මර්චන්ට් සමග විවාහ දිවියට එළඹෙනු ඇත.

මාර්තු මාසයේ සිට මෙම පවුල විසින් අධික වියදමකින් පවත්වන ලද සුඛෝපභෝගී ප්‍රිය සම්භාෂණ මාලාවේ අවසානය වන්නේ, මුම්බායි නගරයේ දින හතරක් පුරා පැවැත්වෙන මහා මංගල උත්සවය යි.

සඳුදා දින උත්සව අවසන් වන තුරු නගරයේ ප්‍රධාන මාර්ග දිනකට පැය කිහිපයක් වසා තැබෙනු ඇත.

මාස ගණනාවක් පුරා පැවති උත්කර්ෂවත් සැමරුම් උත්සවවල දැනටමත් රියානා සහ ජස්ටින් බීබර් වැනි පොප් තරු ඉදිරිපත් කිරීම් සිදු කර තිබේ.

එහෙත් එය යම් විරෝධයක් එල්ල වීමට ද හේතු වී තිබේ. නගර වැසියන් මාර්ග තදබදය ගැන පැමිණිලි කර ඇති අතර තව ත් සමහරුන් කිසි දා නිම නොවන මෙම සැමරුම්, ධනය ප්‍රදර්ශනය කිරීමක් ද යන්න ප්‍රශ්න කර ඇත.

සිකුරාදා නගරයට ධාරානිපාත වර්ෂාවක් ඇද හැළුණු අතර ඇතැම් ප්‍රදේශවල ජල ගැලීම් ද වාර්තා විය.

ෆෝබ්ස් සඟරාවට අනුව 66 හැවිරිදි මුකේෂ් අම්බානි මේ වන විට ඩොලර් බිලියන 115ක ශුද්ධ වටිනාකමක් ඇති ලොව 10 වන ධනවත් ම පුද්ගලයා වේ. 1966දී ඔහුගේ පියා විසින් ආරම්භ කරන ලද රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් යනු ඛනිජ තෙල් සහ සිල්ලර වෙළෙඳාමේ සිට මූල්‍ය සේවා සහ විදුලි සංදේශ ඇතුළු ක්ෂේත්‍රවල ක්‍රියාත්මක දැවැන්ත සමූහ ව්‍යාපාරයකි.

අනන්ත් අම්බානි ඔහුගේ දරුවන් තිදෙනාගෙන් බාලයා වන අතර, ඔවුන් සියල්ලෝ ම රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස්හි අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටිති. 29 හැවිරිදි ඔහු රිලයන්ස්හි බලශක්ති ව්‍යාපාරවලට සම්බන්ධ වන අතර රිලයන්ස් පදනමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ද සිටී.

Kim Kardashian

ඡායාරූප මූලාශ්‍රය, Instagram

ඡායාරූප ශීර්ෂ වැකිය, මුම්බායි හි ප්‍රධාන විවාහ මංගල්‍යයට සහභාගී වන අමුත්තන් අතර කිම් කඩෑෂියන් ද සිටී
Kim and Khloe Kardashian

ඡායාරූප මූලාශ්‍රය, Instagram

ඡායාරූප ශීර්ෂ වැකිය, කිම් කඩෑෂියන්, ඇගේ සහෝදරිය සමග, නගරයේ tuk-tuk සවාරියක් ගිය අතරතුර
Mukesh Ambani, the Chairman of Reliance Industries, his wife Nita Ambani and their son Anant Ambani pose during the pre-wedding celebrations

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, අනන්ත් (මැද) යනු, මුකේෂ් සහ නීතා අම්බානිගේ බාල පුත්‍රයා ය
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

සිකුරාදා, මෙම යුවළ ජියෝ ජගත් සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ (Jio World Convention Centre) සාම්ප්‍රදායික හින්දු චාරිත්‍රවලට අනුකූලව විවාහ වීමට නියමිත ය.

සඳුදා ඔවුන්ගේ ගෘහ කාර්ය මණ්ඩලය සඳහා පවත්වන සාදයට පෙර සති අන්තයේදී මෙම පවුල මහා පරිමාණයේ උත්සවයක් පවත් වනු ඇති බවට වාර්තාවල දැක්වේ.

ජනප්‍රිය ගායිකාවක වන ඇඩෙල් මෙම විවාහ මංගල්‍ය උත්සවයේදී ඉදිරිපත් කිරීමක් සිදු කරනු ඇති බවට ඉන්ටර්නෙට්හි විවිධ අදහස් පළ වුව ද අම්බානි පවුල මේ බව තහවුරු කර නොමැත.

ජාත්‍යන්තර සහ ඉන්දියානු ප්‍රභූවරුන් කිහිප දෙනෙකු සහභාගී වන බැවින් මුම්බායි පොලිසිය මෙම විවාහ මංගල උත්සවය "පොදු උත්සවයක්" ලෙස නම් කර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

නගර පොලිසිය එම ස්ථානය අවට රථවාහන සීමා ද පනවා ඇත.

සිකුරාදා සිට සඳුදා දක්වා, සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය අවට මාර්ග විවෘත වන්නේ, ඉන්දීය වේලාවෙන් දහවල් 1:00ත් මධ්‍යම රාත්‍රිය දක්වාත් අතර මෙම "උත්සවයට පැමිණෙන වාහන" සඳහා පමණක් බව ඔවුන් සඳහන් කර තිබේ.

ගුවන් යානා කුලියට ලබා දෙන සමාගමක් වන Club One Airහි ප්‍රධාන විධායක නිලධාරී රාජන් මෙහ්රා රොයිටර්ස් පුවත් සේවයට පැවසුවේ, මංගල උත්සවයට පැමිණෙන අමුත්තන් රැගෙන යාමට මෙම පවුල Falcon-2000 ජෙට් යානා තුනක් කුලියට ගෙන ඇති බව ය.

"හැම තැනකින් ම අමුත්තන් එනවා. හැම ගුවන් යානයක් ම වගේ රට පුරා කිහිප පාරක් එහෙට මෙහෙට යාවි," ඔහු පැවසීය.

මෙම සීමාවන් දැනටමත් මාර්ග තදබදය සහ මෝසම් ගංවතුර සමග පොරබදමින් සිටින බව පවසන නගරවාසීන්ගේ කෝපයට හේතු වී තිබේ.

Priyanka Chopra and Nick Jonas

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රියංකා චොප්රා සිය සැමියා වන ගායක නික් ජෝනාස් සමඟ මුම්බායි ගුවන් තොටුපලෙන් පිටත පෙනී සිටි අයුරු
Decorations at Antilia private residence of Industrialist Mukesh Ambani, ahead of his son Anant Ambani's wedding with Radhika Merchant at Altamount Road, Cumballa Hill on July 10, 2024

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සැමරුම් උත්සවවල අවසන් අදියර මුම්බායිහිදී පැවැත්වේ
A man playing flute leading women carrying plates of flower petals, and an elephant decoration

ඡායාරූප මූලාශ්‍රය, Instagram

ඡායාරූප ශීර්ෂ වැකිය, කඩෑෂියන් සහෝදරියන් ඔවුන්ගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ උත්සවවල දසුන් පළ කළහ. ඔවුන් දෙදෙනා නවාතැන් ගෙන සිටින්නේ නගරයේ ටාජ් හෝටලයේය

විවාහ මංගල්‍ය සාද මාර්තු මාසයේදී ආරම්භය සනිටුහන් කළේ, අම්බානි පවුල ඔවුන්ගේ උපන් ප්‍රාන්තය වන ගුජරාටයේ දින තුනක පූර්ව විවාහ උත්සවයක් පැවැත්වූ අවස්ථාවේදී ය.

එම උත්සවයට සහභාගී වීමට පැමිණි අමුත්තන් 1,200 අතර ජාත්‍යන්තර කීර්තිමත් පුද්ගලයින්, දේශපාලනඥයන් සහ මෙටාහි මාර්ක් සකර්බර්ග් සහ මයික්‍රොසොෆ්ට්හි බිල් ගේට්ස් ඇතුළුව ව්‍යාපාරික ලෝකයේ සාමාජිකයෝ ද සිටියහ.

සාදය ආරම්භ වූයේ පළමු රාත්‍රියේ රියානාගේ ඉදිරිපත් කිරීමකිනි. කෝචෙලාහි ඉදිරිපත් කිරීමක් සිදු කළ පළමු පන්ජාබි ගායකයා වන දිල්ජිත් දෝසාන්ජ් දෙවන රාත්‍රියේ වේදිකාව හැඩ කළ අතර රැප් ගායක ඒකොන්ගේ ඉදිරිපත් කිරීමකින් උත්සවයේ අවසාන දිනය නිමා විය.

Bill Gates and Paula Hurd pose during the pre-wedding celebrations of Anant Ambani

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, බිල් ගේට්ස් සහ පෝලා හර්ඩ් මාර්තු මාසයේ පැවති පූර්ව-විවාහ උත්සව අතරතුර ඡායාරූපයකට පෙනී සිටිමින්
Rihanna performs in Jamnagar for the Ambani pre-wedding party

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, පූර්ව-විවාහ සාදයේදී රියානා ප්‍රසාංගික ඉදිරිපත් කිරීමක් කළා ය

ජූනි මාසයේදී, අම්බානි පවුල තවත් පූර්ව-විවාහ උත්සවයක් සංවිධානය කළේ ය. එය ඉතාලියේ සිට ප්‍රංශය දක්වා ගමන් කළ සුඛෝපභෝගී නෞකාවක පැවැත්විණි. ද බැක්ස්ට්‍රීට් බෝයිස්, කේටි පෙරී සහ පිට්බුල් විසින් බොලිවුඩ් තරු සහ ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු අමුත්තන් 800ක් එහිදී සිය ඉදිරිපත් කිරීම්වලින් පිනවන ලදහ.

අනතුරුව බීබර් මුම්බායි වෙත පැමිණීමෙන් පසු මෙම සතිය මුලදී සාද මාලාවේ අවසන් අදියර ආරම්භ විය.

ඔහු, ප්‍රමෝදයට පත් ප්‍රේක්ෂකයින් ඉදිරියේ ගායනා කරන ඡායාරූප සහ වීඩියෝවලින් සමාජ මාධ්‍ය පිරී ඉතිරී ගොස් තිබේ.

ඉන්දියාවේ සංස්කෘතික උරුමයන් ප්‍රදර්ශනය කිරීමට සහ විවාහ මංගල්‍යය සඳහා දර්ශනීය පසුතලයක් සැපයීම සඳහා ජම්නගර්හි පිහිටි පුළුල් සංකීර්ණයක් තුළ කෝවිල් 14ක් ඉදිකිරීමට ද නොමසුරුව මුදල් වැය කෙරිණි. සැමරුම් උත්සවවල කොටසක් ලෙස, අම්බානි පවුල අඩු වරප්‍රසාද ලත් යුවළ 50ක් සඳහා සමූහ විවාහ මංගල්‍යයක් ද පැවැත්වීය.

බදාදා, ඔවුහු අඩු වරප්‍රසාද ලත් පුද්ගලයින් සඳහා ප්‍රජා භෝජන සංග්‍රහයක් පැවැත් වූහ.

මෙම විවාහ මංගල්‍යය සඳහා කොපමණ මුදලක් වැය වේ ද යන්න අම්බානි පවුල හෙළි කර නොමැති නමුත් විවාහ උත්සවයේ සැලසුම්කරුවන් ඔවුන් දැනටමත් ඉන්දියානු රුපියල් බිලියන 11ත් 13ත් අතර මුදලක් වැය කර ඇති බවට ගණන් බලා ඇත. රියානාට ඇයගේ ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 7ක් ගෙවා ඇති බවට කටකතා පැතිර ගිය අතර බීබර් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක් ගෙවා ඇති බවට පැවසිණි.