අනන්ත් අම්බානිගේ පූර්ව විවාහ උත්සවයට ඉන්දියාවට පැමිණි ලෝක ධනවත්තු කවුද?

ආසියාවේ ධනවත් ම පුද්ගලයා විසින් පවත්වනු ලබූ මංගල සාදයකට සහභාගි වීම සඳහා ලොව බලවත් ම පුද්ගලයෝ රැසක් ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තය වෙත පැමිණියහ.

ඡායාරූප මූලාශ්‍රය, REUTERS

    • Author, සෝයා මටීන්
    • Role, බීබීසී, දිල්ලි

ආසියාවේ ධනවත් ම පුද්ගලයා විසින් පවත්වනු ලබූ මංගල සාදයකට සහභාගි වීම සඳහා ලොව බලවත් ම පුද්ගලයෝ රැසක් ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තය වෙත පැමිණියහ.

සිය පුත්‍රයා වෙනුවෙන් රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් සමාගමේ සභාපති මුකේෂ් අම්බානි විසින් පවත්වනු ලැබූ පූර්ව විවාහ උත්සවයේ අමුත්තන් අතර මාර්ක් සකර්බර්ග්, රිහානා සහ බිල් ගේට්ස් ද වූහ.

28 හැවිරිදි අනන්ත් අම්බානි, ජූලි මාසයේදී රාධිකා මර්චන්ට් සමග විවාහ වීමට සැලසුම් කර තිබේ.

ජම්නගර් නගරයේ පැවැති තුන් දින උත්සවය සඳහා ෂා රුක් ඛාන් සහ අමිතාභ් බච්චන් ඇතුළු බොලිවුඩ් තරු රැසක් ද සහභාගි වූහ.

ඇමෙරිකානු ඩොලර් බිලියන 115ක වත්කමකට හිමිකම් කියන 66 හැවිරිදි මුකේෂ් අම්බානි, ෆෝබ්ස් සඟරාවට අනුව ලෝකයේ ධනවතුන් අතර 10 වන ස්ථානයේ පසුවෙයි. 1966 වසරේදී ඔහුගේ පියා විසින් ආරම්භ කරන ලද රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් යනු පිරිපහදු කිරීමේ සහ සිල්ලර වෙළඳාමේ සිට මූල්‍ය සේවා සහ ටෙලිකොම් සේවා දක්වා අංශවල ක්‍රියාත්මක වන දැවැන්ත සමූහ ව්‍යාපාරයකි.

අනන්ත් අම්බානි යනු රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන ඔහුගේ දරුවන් තිදෙනාගෙන් බාල ම දරුවා ය. 28 හැවිරිදි ඔහු රිලයන්ස් බලශක්ති නිපැයුම් ව්‍යාපාර සමග සම්බන්ධ වී සිටින අතර රිලයන්ස් පදනමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ද වේ.

මාර්තු 1- 3 අතර පැවති මෙම දැවැන්ත පූර්ව විවාහ උත්සවය අම්බානි පවුලේ උත්කර්ෂවත් මංගල සාද පැවැත්වීමේ වාර්තාගත සම්ප්‍රදායට අනුකූල වේ.

ආසියාවේ ධනවත් ම පුද්ගලයා විසින් පවත්වනු ලබූ මංගල සාදයකට සහභාගි වීම සඳහා ලොව බලවත් ම පුද්ගලයෝ රැසක් ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තය වෙත පැමිණියහ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2023 ජනවාරි මස පැවති රාධිකා මර්චන්ට් (වමේ සිට තෙවැන්නා) සහ අනන්ත් අම්බානිගේ (වමේ සිට සිව් වැන්නා) විවාහ ගිවිසුම් උත්සවයේදී අම්බානි පවුල පෙනී සිටි ඡායාරූපයක්
(වමේ සිට) නීටා අම්බානි, රිහානා සහ අනන්ට් අම්බානි

ඡායාරූප මූලාශ්‍රය, ANI

ඡායාරූප ශීර්ෂ වැකිය, (වමේ සිට) නීටා අම්බානි, රිහානා සහ අනන්ත් අම්බානි
(වමේ සිට) මාර්ක් සකර්බර්ග්, පෝලා හර්ඩ් සහ බිල් ගේට්ස්

ඡායාරූප මූලාශ්‍රය, RELIANCE INDUSTRIES VIA REUTERS

ඡායාරූප ශීර්ෂ වැකිය, (වමේ සිට) මාර්ක් සකර්බර්ග්, පෝලා හර්ඩ් සහ බිල් ගේට්ස්
ඉවන්කා ට්‍රම්ප්, සැමියා ජැරඩ් කුෂ්නර් සහ ඔවුන්ගේ දියණිය ඇරබෙලා මුකේෂ් අම්බානි සමඟ

ඡායාරූප මූලාශ්‍රය, REUTERS

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉවන්කා ට්‍රම්ප්, සැමියා ජැරඩ් කුෂ්නර් සහ ඔවුන්ගේ දියණිය ඇරබෙලා මුකේෂ් අම්බානි සමඟ

2018 වසරේදී, උදයිපූර් නගරයේ පැවති අම්බානිගේ දියණිය වන ඊෂා අම්බානිගේ පූර්ව විවාහ උත්සවයේදී පොප් ගායිකා බියොන්සේ ගී ගැයුවා ය. ඇමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම්වරුන් වූ හිලරි ක්ලින්ටන් සහ ජෝන් කෙරී එම උත්සවයේ ආරාධිතයින් අතර වූහ.

එකල පළ වූ බ්ලූම්බර්ග් වාර්තාවක් නිවේදනය කළේ, ඊෂා අම්බානිගේ විවාහ උත්සවය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක මුදලක් වැය කළ බව ය. කෙසේ වෙතත්, "පවුලේ සමීපතමයෙකු" එය ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ, විවාහ උත්සවයේ වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක් බව ය.

වත්මන් සැණකෙළිය මෙම සතිය මුලදී ආරම්භ වූයේ, අම්බානි පවුල ජම්නගර්හි ප්‍රදේශ වාසීන්ට ආහාර පිරිනැමීමේ උත්සවයක් සමගිනි.

ජම්නගර්හි නගර සීමාවේ පිහිටි රිලයන්ස් සමාගමේ ප්‍රධාන ඉන්ධන පිරිපහදුව ආසන්න ස්ථානයක පැවති මෙම පූර්ව විවාහ උත්සවයට ආරාධිතයින් 1200 දෙනෙකු පමණ සහභාගි වූහ.
ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රදේශවාසීන් සඳහා සංවිධානය කරන ලද රාත්‍රී භෝජන සංග්‍රහයේදී අනන්ත් අම්බානි සහ රාධිකා මර්චන්ට්
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ජම්නගර්හි නගර සීමාවේ පිහිටි රිලයන්ස් සමාගමේ ප්‍රධාන ඉන්ධන පිරිපහදුව ආසන්න ස්ථානයක පැවති මෙම පූර්ව විවාහ උත්සවයට ආරාධිතයින් 1200 දෙනෙකු පමණ සහභාගි වූහ.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ, ආරාධිතයින්ගේ ලැයිස්තුවට ඉන්දීය බිලියනපතියන් වන ගෞතම් අදානි සහ කුමාර් මංගලම් බර්ලා ද ඇතුළත්ව සිටි බව ය. ඩිස්නි ප්‍රධාන විධායක නිලධාරී බොබ් අයිගර් ද සාදයට එක්වනු ඇතැයි අපේක්ෂා කළ අතර, මෙය සිදුවන්නේ, ඔහුගේ සමාගම එහි ඉන්දියානු වත්කම් රිලයන්ස් සමාගම සමග ඒකාබද්ධ කරන බව නිවේදනය කිරීමෙන් දින කිහිපයකට පසුව ය.

කාර්ය බහුල ආසියානු සංචාරයක් අතරතුර සකර්බර්ග්, පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ ජම්නගර් වෙත ළඟා විය. මීට දින කිහිපයකට පෙර ඉන්දියාවට පැමිණි බිල් ගේට්ස්, දේශීය වෙළෙන්දෙකු විසින් සාදන ලද තේ කෝප්පයක් පානය කරන වීඩියෝවක් මීට පෙර පළ කර තිබිණි. - එය පසුව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන්නට විය.

සිකුරාදා දිනයේදී ජම්නගර් වෙත පැමිණි පුද්ගලයින් අතර මහේන්ද්‍ර සිං දෝනි සහ ඩ්වේන් බ්‍රාවෝ යන ක්‍රිකට් ක්‍රීඩකයින් සහ බ්‍රිටිෂ් පෙට්‍රොලියම් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මරේ ඔචින්ක්ලොස් වූහ.

සෙසු ආරාධිතයින් අතර, බ්ලැක්රොක් සම නිර්මාතෘ ලැරී ෆින්ක්, ඇල්ෆබට් සමාගමේ ප්‍රධාන විධායක සුන්දර් පිචායි, කැනඩාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර්, ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය කෙවින් රඩ් සහ ඉවන්කා ට්‍රම්ප් ද වෙති.

මාර්ක් සකර්බර්ග් සහ ඔහුගේ බිරිඳ ප්‍රිසිලා ජම්නගර් වෙත පැමිණි පසු

ඡායාරූප මූලාශ්‍රය, ANI NEWS AGENCY

ඡායාරූප ශීර්ෂ වැකිය, මාර්ක් සකර්බර්ග් සහ ඔහුගේ බිරිඳ ප්‍රිසිලා ජම්නගර් වෙත පැමිණි පසු

"ආරාධිත ලැයිස්තුවේ 2018 සහ 2019 වසරේදී අම්බානිගේ වැඩිමහල් දරුවන් දෙදෙනාගේ විවාහ උත්සවවලට වඩා ගෝලීය ආයතනික දැවැන්තයින් වැඩි පිරිසකට ආරාධනා කර ඇති බව පෙනී යන අතර, ඒ මගින් ගෝලීය තාක්‍ෂණය, මාධ්‍ය සහ බලශක්ති දැවැන්තයින් ඉන්දියානු ආර්ථිකයට සම්බන්ධ කරන්නෙකු ලෙස රිලයන්ස් සමාගමේ වර්ධනය වන බලපෑම සහ භූමිකාව අවධාරණය කරයි." යනුවෙන් බ්ලූම්බර්ග් සඳහන් කර ඇත.

මෙම උත්සවයේදී විනෝදාස්වාදය සැපයීම සඳහා රිහානාගේ සහ මැජික් ශිල්පී ඩේවිඩ් බ්ලේන්ගේ ඉදිරිපත් කිරීම් ද ඇතුළත් විය.

සතුන් 2,000කට වැඩි සංඛ්‍යාවක් සිටින බව වාර්තා වන ජම්නගර්හි සත්ව ආරක්ෂණ මධ්‍යස්ථානයක් වෙත ද ආරාධිතයින් රැගෙන යනු ලැබුණි.

රොයිටර්ස් පුවත් සේවය විසින් දකින ලද සැලසුම් ලිපිගොනුවකට අනුව මෙම සංචාරය සඳහා නියම කර තිබූ ඇඳුමෙහි තේමාව වූයේ, "වනයට ඇති කැමැත්ත" යන්න ය.