බන්ධනාගාරයේ නොසිට රෝහල්ගත වූ තායිලන්තයේ හිටපු අගමැති තක්සින්ට වසරක සිරදඬුවම්

ඡායාරූප මූලාශ්‍රය, EPA
- Author, ටෙසා වොන්ග්
- Role, බීබීසී පුවත්, ආසියානු ඩිජිටල් වාර්තාකරු
තායිලන්තයේ බලගතු දේශපාලන රාජවංශයට තවත් පහරක් එල්ල කරමින් එරට හිටපු අගමැති තක්ෂින් ෂිනවත්ට වසරක සිර දඬුවමක් නියම කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
මෙම තීන්දුව දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහුට වසර ගණනාවක සිර දඬුවමක් නියම වූ, නමුත් ඔහු රෝහල්ගත කිරීම හේතුවෙන් ඔහුට දිනකටත් අඩු කාලයක් බන්ධනාගාරගත වීමට සිදු වූ නඩුවකට අදාළ වේ.
අඟහරුවාදා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ මෙම මාරු කිරීම නීති විරෝධී බවත් 76 හැවිරිදි ඔහුට සිර දඬුවම විඳීමට සිදුවන බවත් ය.
2001 වසරේදී ප්‍රථම වරට අගමැති ධූරයට තේරී පත් වූ දා සිට තක්ෂින් සහ ඔහුගේ පවුලේ සාමාජිකයෝ තායි දේශපාලනය ආධිපත්‍යය දැරූහ. ඔහුගේ දියණිය වන පෙතොන්තාර්න් මීට පෙර රටේ නායිකාව ලෙස කටයුතු කළ නමුත්, ප්‍රසිද්ධියට පත් වූ දුරකතන ඇමතුමක් හේතුවෙන් පසුගිය මාසයේ ධූරයෙන් ඉවත් කෙරිණි.
තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් මද වේලාවකට පසු, තක්සින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, "මගේ භෞතික නිදහස මට අහිමි වුව ද, මගේ රටේ සහ එහි ජනතාවගේ යහපත සඳහා මට තවමත් සිතීමේ නිදහස පවතිනු ඇත" යනුවෙනි.
රාජාණ්ඩුවට, තායිලන්තයට සහ එහි ජනතාවට සේවය කිරීම සඳහා තම ශක්තිය පවත්වා ගැනීමට ද ඔහු දිවුරුම් දුන්නේ ය.
හිටපු අගමැතිවරයා 2006 වසරේදී හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කරන ලද අතර, ඩුබායිහි ස්වයං-පිටුවහල් ජීවිතයක් ගත කළේ ය.
2023 වසරේදී ඔහු තායිලන්තයට ආපසු පැමිණි විගස ඔහු නඩු විභාගයකට භාජනය වූ අතර, එහිදී ඔහුගේ ධූර කාලය තුළ දූෂණය සහ බලය අයුතු ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් වරදිකරු වී වසර අටක සිර දඬුවමක් නියම විය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
තක්ෂින් රාජකීය සමාවක් ඉල්ලා කළ ඉල්ලීමෙන් පසු, තායි රජු ඔහුගේ සිර දඬුවම වසරක් දක්වා අඩු කළේ ය.
නමුත් තක්සින් හෘදය සම්බන්ධ රෝගී තත්ත්වයක් පවතින බවට පැවසූ අතර, ඒ හේතුවෙන් ඔහුට සිර මැදිරියක ගත කිරීමට සිදු වූයේ පැය කිහිපයක් පමණි. පසුව ඔහු තායිලන්තයේ පොලිස් මහ රෝහලේ සුඛෝපභෝගී අංශයකට මාරු කෙරිණි.
ඔහු එහි මාස හයක් රැඳී සිටි අතර, පසුව සමාව ලබාගෙන බැංකොක්හි ඔහුගේ නිවස වෙත ගියේ ය.
අඟහරුවාදා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, තක්සින් "තමන් අසාධ්‍ය හෝ හදිසි තත්ත්වයක නොමැති බව දැන සිටියා හෝ ඒ බව වටහා ගත හැකි තත්ත්වයක" සිටි බව යි.
ඔහුට නිදන්ගත රෝගී තත්ත්වයන් තිබූ නමුත් ඒවාට රෝගල්ගත වීමකින් තොරව ප්‍රතිකාර ලබා ගත හැකිව තිබූ බව විනිසුරුවරයා පැවසීය.
"14 වන මහලේ නඩුව" ලෙස තායිලන්තයේ එය හඳුන්වන්නේ ඔහු නැවතී සිටි රෝහලේ මහල නිසා ය. එය අගමැතිවරයා සිරගත වනු ඇත්දැයි බලා සිටි බොහෝ තායිලන්ත ජාතිකයින්ගේ අවධානය දිනාගත් නඩු විභාගයක් විය.
නඩුව හැසිරවූ ආකාරය බොහෝ තායිලන්ත ජාතිකයින්ගේ විවේචනයට ලක්ව ඇති අතර, ඔවුන් පවසන්නේ ධනවතුන්ට සහ බලවතුන්ට බොහෝ විට වරප්‍රසාද ලත් සැලකිලි ලබා දෙන බව ය.
අඟහරුවාදා තීන්දුවට පෙර තක්සින් සිටින ස්ථානය පිළිබඳව දැඩි ලෙස අවධානයට ලක්විණි.
පසුගිය සතියේ ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා බව පවසමින් තායිලන්තයේ සිට පෞද්ගලික ජෙට් යානයකින් ඩුබායි බලා පිටත් විය. අඟහරුවාදා අධිකරණ නඩු විභාගය සඳහා නැවත පැමිණීමට අදහස් කරන බව ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ පැවසීය.
ඔහු අඟහරුවාදා උදෑසන බැංකොක්හි අධිකරණයට පෙතොන්තාර්න් සමග පැමිණ, සිනාසෙමින් මාධ්‍යයට සහ සිය ආධාරකරුවන් පිරිසකට ආචාර කළේ ය. තක්සින් කහ පැහැති ටයි පටියක් සහිත ඇඳුමක් ඇඳ සිටි අතර එය තායිලන්තයේ රාජාණ්ඩුවට සම්බන්ධ වර්ණයකි.
තීන්දුවෙන් පසු පෙතොන්තාර්න් වාර්තාකරුවන්ට පැවසුවේ, තම පියා ගැන ඇය "කණස්සල්ලට පත්ව සිටින" නමුත් ඔහු සහ සිය පවුලේ සාමාජිකයින් "යහපත් මනෝභාවයකින්" සිටින බව ය.
විරුද්ධ පක්ෂයක් ලෙස තම පවුලේ ෆුවෙ තායි පක්ෂය ඉදිරියට ගෙන යන බව ද ඇය පැවසුවා ය.
මෙම නඩුව සිදුවන්නේ තායිලන්තයේ දේශපාලන කැලඹිලි සහිත කාලයක ය.
තායි-කාම්බෝජ දේශසීමා ගැටුම සම්බන්ධයෙන් කාම්බෝජ නායක හුන් සෙන් පෙතොන්තාර්න් සමග කළ දුරකතන ඇමතුමක් ප්‍රසිද්ධියට පත් වීමෙන් පසු ඇය මතභේදයකට ලක් විය. එහිදී ඇය ඔහුව "මාමා" ලෙස අමතනු ශ්‍රවණය විය.
ඇයගේ ධූරයෙන් අපේක්ෂා කරන සදාචාරාත්මක ප්‍රමිතීන් උල්ලංඝනය කරන බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය තීරණය කිරීමෙන් පසු ඇය එම ධූරයෙන් ඉවත් කෙරිණි.
පසුගිය සතියේ තායිලන්ත පාර්ලිමේන්තුව අනුතින් චාන්විරකුල් නව අගමැති ලෙස තෝරා පත් කර ගත් අතර, ඔහු වසර දෙකකදී තෝරා ගත් තෙවැන්නා විය.













