ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගෝලීය උෂ්ණත්වයට අපගේ මොළයේ මතක ශක්තිය සහ චින්තන හැකියාවට බලපෑම් කළ හැකි ද?
- Author, තෙරේස් ලූති
- Role, BBC Future
ගෝලීය දේශගුණික විපර්යාස හේතුවෙන් අධික උෂ්ණත්ව තරංග තව තවත් තීව්‍ර වීමත් සමග, අධික උෂ්ණත්වය අපගේ මොළයේ ක්‍රියාකාරීත්වය වෙනස් කරන්නේ කෙසේ ද යන්න අවබෝධ කර ගැනීමට විද්‍යාඥයෝ දැඩි උත්සාහයක නිරත වෙති.
ජේක්ට මාස පහක් පමණ වන විට ඔහුට පළමු වරට ටොනික්-ක්ලෝනික් (tonic-clonic) අපස්මාරය වැළඳිණි. ඔහුගේ කුඩා සිරුර තද වී, පසුව වේගයෙන් ගැස්සීමට පටන් ගත්තේ ය. ඔහුගේ මව වන ස්ටෙෆනි ස්මිත් පවසන්නේ, "එය ඉතා උණුසුම් දවසක්. එයාව හොඳට ම රත් වෙලා තිබුණේ, අපි කවදා හරි දකීවි කියලා හිටපු භයානකම දේ අපට දැකගන්නට ලැබුණා," යනුවෙන් ය. "අවාසනාවකට, ඒක එහෙම නෙවෙයි."
උණුසුම් කාලගුණය සමග අපස්මාරය ඇතිවීම නිතර සිදු වන්නට විය. ගිම්හානයේ පීඩාකාරී, ආර්ද්‍රතාවය ඉහළ දින පැමිණි විගස, පවුලේ අය සියලු ආකාරයේ සිසිලන ක්‍රම වෙත යොමු වූ අතර, අපස්මාරය මැඩලීමට දැඩි සටනක නිරත විය.
මාස 18 දී කළ ජාන පරීක්ෂණයකින් පසු ජේක්ට ඩ්‍රාවේ සින්ඩ්‍රෝමය ඇති බව හඳුනා ගන්නා ලදී. මෙය අපස්මාරයේ එක් ආකාරයක් ඇතුළත් ස්නායු රෝගී තත්ත්වයක් වන අතර එය දරුවන් 15,000 කින් එක් අයෙකුට පමණ බලපායි. අපස්මාරය බොහෝ විට බුද්ධිමය දුර්වලතා සහ ඔටිසම් (autism), ADHD වැනි වෙනත් රෝගී තත්ත්වයන් මෙන් ම කථනය, චලනය, ආහාර ගැනීම සහ නින්ද සම්බන්ධ දුෂ්කරතා සමග ඇතිවේ. අධික උණුසුම සහ හදිසි උෂ්ණත්ව වෙනස්වීම් මගින් අපස්මාරය ඇති විය හැක.
ජේක්ට දැන් වයස අවුරුදු 13ක් වන නමුත්, කාලගුණය වෙනස් වීමත් සමග ඔහුට ගණන් කළ නොහැකි තරම් වතාවක් අපස්මාරය වැළඳී ඇති බව ඔහුගේ මව පවසයි. ස්මිත් පවසන්නේ, "වඩ වඩාත් උණුසුම් වන ගිම්හාන සහ උෂ්ණත්ව තරංග, දැනටමත් මෙම දරුණු තත්ත්වයත් සමග ජීවත් වීමේ බර වැඩි කරමින් සිටිනවා," යනුවෙන් ය.
උෂ්ණත්වය හේතුවෙන් වැඩිවන ස්නායු රෝග
ඩ්‍රාවේ සින්ඩ්‍රෝමය යනු ඉහළ උෂ්ණත්වයන් මගින් උග්‍ර වන බොහෝ ස්නායු රෝගවලින් එකක් පමණක් බව පවසන්නේ, ලන්ඩන් විශ්ව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සහ දේශගුණික විපර්යාසයන් මොළයට ඇතිකරන බලපෑම පිළිබඳ අධ්‍යයනයන්හි පුරෝගාමියෙකු වන සංජේ සිසෝඩියා ය. අපස්මාරය පිළිබඳ විශේෂඥ ස්නායු වෛද්‍යවරයෙකු වන ඔහුට, රෝගීන්ගේ පවුල්වලින් නිතර අසන්නට ලැබුණේ අධික තාප තරංගවලදී ඔවුන්ට වඩාත් කරදර ඇති වූ බව ය. "එතකොට මම ම හිතුවා, ඇත්ත වශයෙන්ම, දේශගුණික විපර්යාස මොළයටත් බලපාන්නේ නැත්තේ ඇයි කියලා. හැමදේකට ම පස්සේ, ශරීරය තාපයට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් මොළයේ බොහෝ ක්‍රියාවලීන් සම්බන්ධයි."
විද්‍යාත්මක පර්යේෂණ අධ්‍යයනය කරන විට, උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය ඉහළ යාම බොහෝ ස්නායු රෝග තත්ත්වයන් නරක අතට හැරිය හැකි බව ඔහු සොයා ගත්තේය. මේවාට අපස්මාරය, ආඝාතය, එන්සෙෆලයිටිස්, බහු ස්ක්ලේරෝසිස්, ඉරුවාරදය සහ තවත් ආබාධ කිහිපයක් ඇතුළත් වේ. දේශගුණික විපර්යාස අපගේ මොළයට ඇති කරන බලපෑම් දැනටමත් දෘශ්‍යමාන වෙමින් පවතින බව ද ඔහු සොයා ගත්තේ ය.
නිදසුනක් ලෙස, 2003 යුරෝපයේ තාප තරංග අතරතුර, අතිරික්ත මරණ වලින් 7% ක් පමණ සෘජු ස්නායු ගැටළු සමඟ සම්බන්ධ විය. 2022 දී එක්සත් රාජධානියේ තාප තරංග අතරතුර සමාන සංඛ්‍යා දක්නට ලැබුණි.
උණුසුම මොළයේ ක්‍රියාකාරිත්වයට වෙනත් ආකාරවලින්ද බලපෑ හැකි ය. එය මිනිසුන් වඩාත් ආක්‍රමණශීලී, කෝපයට පත් සහ මානසික අවපීඩනයට පත් කළ හැකි ය.
මොළයට ඇති වන බලපෑම් මොනවා ද?
දේශගුණික විපර්යාස නිසා ලෝකය උණුසුම් වන විට, මිනිස් මොළයට අපට අපේක්ෂා කළ හැකි බලපෑම් මොනවා ද?
සාමාන්‍යයෙන්, මානව මොළය අපගේ මූලික ශරීර උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 1 (ෆැරන්හයිඩ් අංශක 1.8)ට වඩා කලාතුරකින් ඉහළ යයි. එහෙත් අපගේ ශරීරයේ වැඩි ම ශක්තියක් පරිභෝජනය කරන අවයවයක් වන මොළය, අප සිතන විට, මතක තබා ගන්නා විට සහ අවට ලෝකයට ප්‍රතිචාර දක්වන විට, තමන්ගේම උණුසුමක් සාධාරණ ප්‍රමාණයකින් නිපදවයි. මෙයින් අදහස් කරන්නේ මොළය සිසිල්ව තබා ගැනීමට අපගේ ශරීරයට වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදුවන බවයි. රුධිර වාහිනී ජාලයක් හරහා සංසරණය වන රුධිරය, අතිරික්ත තාපය ඉවත් කරමින් එහි උෂ්ණත්වය පවත්වා ගැනීමට උපකාරී වේ.
මෙය අවශ්‍ය වන්නේ අපගේ මොළයේ සෛල ද අතිශයින් තාප සංවේදී බැවිනි. තව ද ඒවා අතර පණිවිඩ සම්ප්‍රේෂණය කරන සමහර අණුවල ක්‍රියාකාරීත්වය ද උෂ්ණත්වය මත රඳා පවතින බව සිතනු ලැබේ. මෙයින් අදහස් කරන්නේ අපගේ මොළය අධික ලෙස රත් වුවහොත් හෝ අධික ලෙස සිසිල් වුවහොත් ඒවා කාර්යක්ෂමව ක්‍රියා කිරීම නතර කරන බවයි.
"මෙම සංකීර්ණ තත්ත්වය විවිධ අංගවලට බලපාන්නේ කෙසේද යන්න අපට සම්පූර්ණයෙන් අවබෝධ වී නැහැ," සිසෝඩියා පවසයි. "නමුත් අපට එය ඔරලෝසුවක් ලෙස සිතන්න පුළුවන්, එහි සියලු ම කොටස් තවදුරටත් නිසි ලෙස එකට ක්‍රියා නොකරන ඔරලෝසුවක්."
අධික උණුසුම සෑම කෙනෙකුගේම මොළයේ ක්‍රියාකාරීත්වය වෙනස් කළ ද උදාහරණයක් ලෙස, එය තීරණ ගැනීමේ හැකියාවට අහිතකර ලෙස බලපාන අතර, මිනිසුන් වැඩි අවදානම් ගැනීමට යොමු කළ හැකි ය. එයින් ස්නායු රෝගී තත්ත්වයන් ඇති අය බොහෝ විට වඩාත් දරුණු ලෙස පීඩාවට පත් වේ. මෙයට හේතු කිහිපයක් තිබේ. උදාහරණයක් ලෙස, සමහර රෝග වලදී, දහඩිය දැමීම අඩු විය හැකි ය.
සිසෝඩියා පවසන්නේ, "තාප නියාමනය යනු මොළයේ ක්‍රියාකාරීත්වයක්, මොළයේ ඇතැම් කොටස් නිසි ලෙස ක්‍රියා නොකරන්නේ නම් එයට බාධා ඇති විය හැකියි," යනුවෙන් ය.
නිදසුනක් වශයෙන්, බහු ස්ක්ලෙරෝසිස් රෝගයේ ඇතැම් ආකාරවලින්, මූලික ශරීර උෂ්ණත්වය වෙනස් වී ඇති බව පෙනේ. මීට අමතරව, භින්නෝන්මාදය වැනි ස්නායු හා මානසික රෝග සඳහා ප්‍රතිකාර කරන ඇතැම් ඖෂධ, උෂ්ණත්වය නියාමනයකිරීමට බලපාන අතර, එම ඖෂධ ලබා ගන්නා අයව හයිපර්තර්මියාව ලෙස වෛද්‍ය විද්‍යාත්මකව හැඳින්වෙන තාප ආඝාතයට ගොදුරු විය හැකියාවක් පවතිනවා මෙන් ම, උෂ්ණත්වය ආශ්‍රිත මරණ අවදානම වැඩි කරයි.
තාප තරංග, විශේෂයෙන් රාත්‍රියේ ඉහළ උෂ්ණත්වයන්, මිනිසුන්ගේ නින්දට බාධා කළ හැකිය. මෙය මනෝභාවයට බලපාන අතර සමහර සෞඛ්‍ය තත්වයන්ගේ රෝග ලක්ෂණ තවත් නරක අතට හැරිය හැක. සිසෝඩියා පවසන්නේ, "බොහෝ අපස්මාර රෝගීන්ට දුර්වල නින්ද මගින් අපස්මාරය ඇතිවීමේ අවදානම වැඩි කළ හැකි," බව ය.
සාක්ෂිවලින් පෙනී යන්නේ තාප තරංග අතරතුර, ඩිමෙන්ශියා රෝගීන් රෝහල්ගතවීම් සහ මරණ අනුපාතය වැඩි වන බව යි. මෙයට එක් හේතුවක් විය හැක්කේ ඔවුන් වැඩිහිටි වීම සහ ශරීර උෂ්ණත්වය පාලනය කිරීමේ දුෂ්කරතා වැඩි වීමයි. ඔවුන්ගේ සංජානන දුර්වලතාවය නිසා අධික තාපයට මුහුණ දීම ඔවුන්ට අපහසු විය හැකි ය . උදාහරණයක් ලෙස, ඔවුන් ප්‍රමාණවත් තරම් ජලය පානය නොකළ හැකි ය. නැතහොත් ජනෙල් වැසීමට අමතක කළ හැකිය, නැතහොත් නොකළ යුතු අවස්ථාවක උණුසුම් කාලගුණයක් පවතින අතරතුර පිටතට යා හැකිය.
උෂ්ණත්වය සහ ආඝාතය හේතුවෙන් සිදුවන මරණ
ඉහළ යන උෂ්ණත්වය ආඝාත සිදුවීම් සහ මරණ වැඩි වීම සමග ද සම්බන්ධ වී ඇත. රටවල් 25ක ආඝාත මරණ දත්ත විශ්ලේෂණය කළ එක් අධ්‍යයනයකදී පර්යේෂකයන් සොයා ගත්තේ, ඉස්කිමික් ආඝාතය (ischemic stroke) හේතුවෙන් සිදුවන මරණ 1,000න්, උෂ්ණත්වය අධික දින අතිරික්ත මරණ දෙකකට දායක වූ බව යි. එක්සත් රාජධානියේ සසෙක්ස් විශ්ව විද්‍යාල රෝහලේ වෛද්‍යවරියක වන බෙතන් ඩේවිස් පවසන්නේ, "එය එතරම් විශාල සංඛ්‍යාවක් ලෙස පෙනෙන්නේ නෑ. නමුත් ලොව පුරා වසරකට ආඝාතය හේතුවෙන් මරණ මිලියන හතක් ඇති බව සලකන විට, උණුසුම වසරකට අමතර ආඝාත මරණ 10,000 කට වඩා වැඩි ප්‍රමාණයකට දායක වෙලා තියෙන්න පුළුවන්," යනුවෙන් ය. ඉදිරි වසරවලදී දේශගුණික විපර්යාස මෙය තවත් උග්‍ර කිරීමට ඉඩ ඇති බවට ඇය සහ ඇගේ සම කර්තෘවරු අනතුරු ඇඟවූහ.
උෂ්ණත්වය ආශ්‍රිත ආඝාත රෝගීන්ගෙන් විශාල ප්‍රමාණයක් මධ්‍යම හා අඩු ආදායම්ලාභී රටවලසිටිනු ඇත. මෙම රටවල් දැනටමත් දේශගුණික විපර්යාසයන්ගෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති අතර ඉහළම ආඝාත අනුපාත ඇත. ඩේවිස් පවසන්නේ, "ඉහළ යන උෂ්ණත්වය රටවල් අතර සහ රටවල් ඇතුළත සහ සමාජ කණ්ඩායම් අතර සෞඛ්‍ය අසමානතා උග්‍ර කරනු ඇති," බව ය. වැඩිහිටි පුද්ගලයින් මෙන් ම අඩු සමාජ ආර්ථික තත්ත්වයක් ඇති අය ද උෂ්ණත්වය ආශ්‍රිත මරණ සඳහා වැඩි අවදානමක් ඇති බවට වර්ධනය වන සාක්ෂි මගින් ඇඟවෙයි.
උණුසුම් වන ලෝකයක් කුඩා දරුවන්ගේ ස්නායු සංවර්ධනයට ද හානි කරයි. එක්සත් රාජධානියේ ලන්ඩන් ඉම්පීරියල් විද්‍යාලයේ ගෝලීය කාන්තා සෞඛ්‍ය පිළිබඳ මහාචාර්යවරියක වන ජේන් හර්ස්ට් පවසන්නේ, "අධික උණුසුම සහ නොමේරූ දරුඋපත් වැනි අහිතකර ගැබ්ගැනීම් ප්‍රතිඵල අතර සම්බන්ධයක් පවතින," බව ය.
විද්‍යාත්මක පර්යේෂණ පිළිබඳ මෑත කාලීන ක්‍රමානුකුල සමාලෝචනයකින් සොයා ගත්තේ, තාප තරංග නොමේරූ දරු උපත් 26% කින් වැඩි වීම සමග සම්බන්ධ වන අතර, එමගින් ස්නායු සංවර්ධන ප්‍රමාදයන් සහ සංජානන දුර්වලතා ඇති කළ හැකි බව ය.
"කෙසේ වෙතත්, අප නොදන්නා බොහෝ දේ තියෙනවා," හර්ස්ට් වැඩිදුරටත් පවසයි." වඩාත් ම අවදානමට ලක්විය හැක්කේ කවුද? ඒ ඇයි? මොකද පැහැදිලිව ම, සෑම වසරකම දරුවන් බිහි කරන කාන්තාවන් මිලියන 130ක් ඉන්නවා, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් උණුසුම් රටවල ඉන්නේ, මේක ඔවුන්ට වෙන්නේ නෑ."
උෂ්ණත්වය නිසා දුර්වල වෙන මොළය
දේශගුණික විපර්යාස නිසා ඇතිවන අධික තාපය මොළයට අමතර ආතතියක් ඇති කළ හැකිය. මෙය මොළය ස්නායු විකෘතිතා රෝග වලට තුඩු දිය හැකි හානිවලට ගොදුරු වීමේ අවදානම වැඩි කරයි. මොළය ආරක්ෂා කරන බාධකය දුර්වල කිරීමට ද තාපයට හැකි අතර එමගින් විෂ ද්‍රව්‍ය, බැක්ටීරියා සහ වෛරස් මොළයේ පටක වලට ඇතුළු වීම පහසු කරයි.
උෂ්ණත්වය ඉහළ යන විට මෙම ගැටළුව වඩාත් බරපතල විය හැකිය. උණුසුම් තත්වයන් ද මදුරුවන් වඩාත් පහසුවෙන් පැතිරීමට ඉඩ සලසයි. මෙම මදුරුවන්ට සිකා, චිකුන්ගුන්යා සහ ඩෙංගු වැනි වෛරස් රැගෙන යා හැකි අතර එමඟින් ස්නායු රෝග ඇති විය හැක. ස්විස් නිවර්තන සහ මහජන සෞඛ්‍ය ආයතනයේ කීට වෛද්‍ය විද්‍යාඥයෙකු වන ටෝබියස් සුටර් පවසන්නේ, "සිකා වෛරසය කලල රූපයට බලපානවා, මයික්‍රොසෙෆලි ඇති කරන්න පුළුවන්," යනුවෙන් ය."ඉහළ යන උෂ්ණත්වය හේතුවෙන් මදුරු බෝවන සමය වසරේ කලින් ආරම්භ වී පසුව අවසන් වෙනවා."
තාප තරංග බොහෝ දේට බලපෑ හැකි ය. ඒවා ස්නායු සෛල සංඥා යවන ආකාරය වෙනස් කළ හැකි ය. ඒවා සියදිවි නසාගැනීමේ අවදානම, දේශගුණය ආශ්‍රිත කාංසාව වැඩි කළ හැකි අතර ස්නායු රෝග තත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන ඖෂධවල ස්ථායිතාවයට ද බලපායි.
විද්‍යාඥයෝ තවමත් උෂ්ණත්වය ඉහළ යාම මොළයට බලපාන්නේ කෙසේ ද යන්න අධ්‍යයනය කරමින් සිටිති. තාපය මිනිසුන්ට විවිධ ආකාරවලින් බලපායි. සමහර අය උණුසුම් කාලගුණයට හොඳින් මුහුණ දෙන අතර අනෙක් අයට එය ඉතා අපහසු වේ."මෙම එකිනෙකට වෙනස් සංවේදීතාව සඳහා විවිධ සාධක අදාළ වෙන්න පුළුවන්, ඒවායින් එකක් ජානමය සංවේදීතාව වෙන්න පුළුවන්," සිසෝඩියා පවසයි. ජානමය ප්‍රභේදයන් මගින් ප්‍රෝටීනවල ව්‍යුහයන්ට බලපෑම් කළ හැකි අතර, එමගින් සමහර පුද්ගලයින් දේශගුණික විපර්යාසවල බලපෑම්වලට වඩාත් ගොදුරු විය හැකි ය.
"සමහර තාප-ගුප්ත ලක්ෂණ දෘශ්‍යමාන වෙන්න පුළුවන් එවැනි පාරිසරික පීඩනයන් ඒවා අවුලුවාලීමට තරම් ශක්තිමත් වූ විට පමණයි," ඔහු පවසයි. "ස්නායු ආබාධ ඇති පුද්ගලයින් තුළ අප අද දකින දේ, දේශගුණික විපර්යාස ඉදිරියට යන විට ස්නායු ආබාධ නොමැති පුද්ගලයින්ට ද අදාළ වෙන්න පුළුවන්," යැයි සිසෝඩියා අනතුරු අඟවයි.
තවත් බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු ලැබිය යුතු ය. උදාහරණයක් ලෙස, උපරිම උෂ්ණත්වය, තාප තරංගයක කාලසීමාව හෝ රාත්‍රී කාලයේ ඉහළ උෂ්ණත්වයන් විශාලතම බලපෑමක් ඇති කරන්නේ ද යන්න විද්‍යාඥයෝ අධ්‍යයනය කරමින් සිටිති. මෙම බලපෑම පුද්ගලයාගෙන් පුද්ගලයාට සහ විවිධ ස්නායු තත්ත්වයන් අතර වෙනස් විය හැකි ය.
වඩාත් ම අවදානමට ලක්විය හැකි පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා අවදානමට ලක්ව ඇත්තේ කවුරුන් ද සහ ඇයි යන්න හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වේ. ගත හැකි පියවර අතරට පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සහ අධික තාපය හේතුවෙන් අහිමි වන ආදායම සඳහා දහවල් කාලයේ සේවය කරන සේවකයින්ට වන්දි ගෙවීම සඳහා රක්ෂණය ද ඇතුළත් වේ.
"ගෝලීය උණුසුම ඉහළ යාමේ යුගය අවසන්වෙලා ගෝලීය තාපාංක යුගය පැමිණිලා තියෙනවා," යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් පැවසුවේ 2023 ජූලි මාසය වාර්තාගත ලෙස උණුසුම් ම මාසය ලෙස තහවුරු වූ විට ය. දේශගුණික විපර්යාස දැනටමත් සිදුවෙමින් පවතින අතර එය වඩාත් දරුණු වෙමින් පවතියි. උණුසුම් මොළයේ යුගය දැන් ආරම්භ වෙමින් පවතියි.