දුම්රිය සේවයට කාන්තාවන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය: 'ඉන්දියාවේ කාන්තාවන් විතරක් ම සේවය කරන ස්ටේෂන් එකක් තියෙනවා'

    • Author, බීබීසී සිංහල

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එන්ජින් රියැදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු සඳහා කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව ආරම්භයේ සිට මේ දක්වා ම එන්ජින් රියැදුරු, දුම්රිය නියාමක සහ දුම්රිය ස්ථානාධිපති යන තනතුරු සඳහා පිරිමි නිලධාරින් පමණක් බඳවාගෙන ඇති අතර, අධීක්ෂණ කළමනාකරු තනතුරු සඳහා 2012 සහ 2015 වසරවල පමණක් කාන්තා නිලධාරිනියන් බඳවාගෙන තිබේ.

ඒ අනුව, වැඩබලන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, දැනට අනුමත බඳවාගැනීම් පටිපාටිය තුළ කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට ප්‍රතිපාදන සැලසී නොමැති බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55 ව්‍යවස්ථාවේ (1) අනුව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි අමාත්‍ය මණ්ඩලය වෙත පැවරී ඇති බලතල අනුව, දුම්රිය එන්ජින් රියැදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරුවලට කාන්තා නිලධාරින් බඳවා ගැනීම පිණිස ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ස්ථානාධිපති තනතුරු සඳහා පිරිමි පුද්ගලයින්ට පමණක් අයැදුම් කළ හැකි බවට ගෙන ඇති තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් සිදුවන බවට තීන්දුවක් ලබා දෙන ලෙස අයේෂානි ජයවර්ධන සහ සුරේෂ් විදූෂා යන කාන්තාවන් දෙදෙනා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතී.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම වෙනුවෙන් පෙනී සිටින කනිෂ්ඨ නීතිඥවරිය වන නීතිඥ දිනූෂා ලක්මාලි තිරාණගම පැවසුවේ මෙලෙස දුම්රිය සේවයට කාන්තාවන් බඳවා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දීම පුද්ගල සමාජභාවය සලකා වෙනස්කොට සැලකීමට එරෙහිව ලබා ගත් විශාල ජයග්‍රහණයක් බව ය.

'මේ තනතුරුවලට යන්න සුදුසුකම් තියෙන කාන්තාවන් ගොඩක් එළියේ ඉන්නවා'

මෙම වසරේ ජූනි මස 13 වන දා දුම්රිය දෙපාර්තමේන්තුවේ මේ වන විට පුරප්පාඩුව පවතින දුම්රිය ස්ථානාධිපති පුරප්පාඩු 106ක් පිරවීම සඳහා එම දෙපාර්තමේන්තුව මගින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබිණි.

"මේ ගැසට් එකේ අයැදුම් කරන්න තියෙන සුදුසුකම් ඔක්කොම දක්වලා අමතර සුදුසුකම් කියන කොටසක පිරිමි කෙනෙක් වෙන්න ඕනේ කියලා දක්වලා තිබුණා. මේ සුදුසුකම් සියල්ල තිබුණත් වැඩක් නෑ පිරිමි කෙනෙක් නෙවෙයි නම් අයැදුම් කරන්න බෑ. එහෙම අයැදුම් කරන්න බැරි වෙලා අයිතිවාසිකම් කඩ වෙලා ඉන්න කාන්තාවන් වෙනුවෙන් තමයි අපි මේ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළේ," නීතිඥ දිනූෂා පැවසුවා ය.

"මේ තනතුරුවලට යන්න සුදුසුකම් තියෙන කාන්තාවන් ගොඩක් එළියේ ඉන්නවා. එහෙම තියෙද්දිත් රැකියාවකදී ස්ත්‍රී පුරුෂ භේදය සලකන එකෙන් ඒ අයගේ මූලික අයිතිවාසිකම් කඩවෙනවා කියලා අපි කරුණු දැක්වූවා. ඒ අනුව තමයි පෙත්සම විභාගයට අවසර දුන්නේ," ඇය පැවසුවා ය.

'ඉන්දියාවේ කාන්තාවන් විතරක් ම සේවය කරන ස්ටේෂන් එකක් තියෙනවා'

මෙම පෙත්සම සඳහා අවශ්‍ය කරුණු ගොනු කිරීමේදී සිදු කළ අධ්‍යනයන්වලදී ඉන්දියාවේ එක් ප්‍රාන්තයක කාන්තාවන් පමණක් සේවය කරන දුම්රිය ස්ථානයක් සම්බන්ධයෙන් තොරතුරු ද හමුවූ බව ඇය පැවසුවා ය.

"මේ පෙත්සමේ කරුණු දැක්වීමේදී අපි ඒ ගැන ගොඩක් තොරතුරු හෙවුවා. එතකොට අපිට තොරතුරු හම්බවුණා ඉන්දියාවේ තියෙන කාන්තාවන් විතරක් සේවය කරන ස්ටේෂන් එකක් ගැන විස්තර. ඒ වගේ ම ඉන්දියාවේ නඩු තීන්දු තියෙනවා මේ වගේ රැකියාවලදී ස්ත්‍රී පුරුෂ භාවය සලකලා වෙනස්කොට සැලකීම සම්බන්ධයෙන් ලබා දුන්න ඒවා," නීතිඥ දිනූශා පවසයි.

ඉන්දියාවේ යුද හමුදාවේ එක නිලයකින් පසු කාන්තාවන්ට උසස් වීමට නොහැකි වීම සම්බන්ධයෙන් යුද හමුදාවේ සේවය කළ කාන්තාවන් විසින් ගොනු කළ පෙත්සමකදී රැකියාවලදී කාන්තාවක් ද පිරිමියෙකුට යන්න නොසලකා ඔවුන්ට සුදුසුකම් ඇති නම් උසස් වීමට අයිතිය ලබා දිය යුතු බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවක් ද ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

'රැකියාවේදී වෙනස්කොට සැලකීමට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම මේක වෙන්න පුළුවන්'

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ මේ වනතෙක් රැකියාවේදී ස්ත්‍රී පුරුෂ භාවය සැලකීම සම්බන්ධයෙන් නඩු තීන්දුවක් ලබා දී නොමැති බව නීතිඥ දිනූෂා ලක්මාලි තිරාණගම පෙන්වා දෙයි.

"අවසන් වරට නඩුව කැඳවුණු දිනයේදී නීතිපති දෙපාර්තමේන්තුවෙන් දැනුම් දුන්නා කාන්තාවන් බඳවා ගැනීමට අදාළ සංශෝධන කිරීමට කැබිනට් අනුමැතියට දාලා තියෙනවා කියලා. මීළඟ නඩු වාරයේදී බොහෝ දුරට මේ සම්බන්ධ අවශ්‍ය කටයුතු සිදු කරලා තියෙනවා කියලා දැනුම් දුන්නොත් අපි තවදුරටත් නඩුව පවත්වාගෙන යන්නේ නෑ," ඇය පැවසුවා ය.

"රැකියාවේදී වෙනස්කොට සැලකීම සම්බන්ධයෙන් මීට කලින් ශ්‍රී ලංකාවේ ලබා දුන්න නඩු තීන්දු නෑ. මේක ඒ සම්බන්ධයෙන් ගොනු වෙච්ච පළමු පෙත්සම වෙන්න පුළුවන්. ඒ වගේ ම මගේ නීතිඥ ජීවිතයේ මේක මතක හිටින නඩුවක්."

"අපි දැක්කා මේ නඩුව ගැන වාර්තා කරලා තිබුණ ෆේස්බුක් පොස්ට්වලට ගොඩක් අය දාලා තිබුණේ හරි ම පසුගාමී අදහස්. ස්ටේෂන් එකේ වළල්ල දෙද්දී විසිවෙලා යයි වගේ කතා කමෙන්ට්වල දාලා තියෙනවා. ඒ වගේ පසුබිමක මේ වගේ ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි වීම ලොකු දෙයක්," නීතිඥවරිය පවසයි.

ශ්‍රී ලංකාවේ පවතින බොහෝ පනත්වල ද එම පනතට අදාළ පුද්ගලයන් "ඔහු" ලෙස හඳුන්වා ඇති බවත් එවැනි දේවල් ද වෙනස් විය යුතු බවත් ඇය පෙන්වා දුන්නා ය.

"ගොඩක් පනත් වල "ඔහුට හෝ ඇයට" කියලා අපි පාවිච්චි කරන එක වෙනුවෙට "ඔහු" කියලා යොදලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති පවා තියෙනවා ඒ විදිහට තියෙන."

එමෙන් ම දුම්රිය ස්ථානාධිපති වැනි පුරුෂ ලිංග නාමයකින් හඳුන්වන රැකියා නාමයන් ද වෙනස් විය යුතු බව ඇය පෙන්වා දුන්නා ය.

"ඩොක්ටර් කෙනෙක් ලෝයර් කෙනෙක් කිව්වම ඒකෙන් කාන්තාවක් ද පුරුෂයෙක් ද කියලා හැඟවෙන්නේ නෑ. ඒ විදිහට රැකියා නාමයන් වෙනස් වෙන එකත් විය යුතු දෙයක්."