අවම වශයෙන් පුද්ගලයින් 132 දෙනෙකුට මරු කැඳවූ බ්‍රසීල පොලිසියේ මාරාන්තික වැටලීම

TOPSHOT - Police officers escort a suspect arrested during the Operacao Contencao (Operation Containment) out of the Vila Cruzeiro favela, in the Penha complex, in Rio de Janeiro, Brazil, on October 28, 2025. At least 2,500 security forces agents took part in an operation to arrest drug traffickers from the Comando Vermelho (CV), which resulted in 18 suspects and several police officers dead.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, වැනේසා බුෂ්ලූටර්

බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරයේ අඟහරුවාදා (ඔක්: 29) සිදුවූ මාරාන්තික පොලිස් වැටලීමකදී මිය ගිය බවට හඳුනා ගත් පුද්ගලයින් සංඛ්‍යාව 132ක් දක්වා ඉහළ ගොස් ඇති බව නිලධාරීහු පවසති.

එම සංඛ්‍යාව අඟහරුවාදා රියෝ ද ජැනයිරෝහි අලිමඕ සහ පේනාහි දිළිඳු ජනතාව වෙසෙන ප්‍රදේශවල (බ්‍රසීලයේ මුඩුක්කු වැනි ප්‍රදේශ) කරන ලද පොලිස් මෙහෙයුමෙන් පසුව පවසන ලද සංඛ්‍යාවට වඩා දෙගුණයකටත් වඩා වැඩි ය.

ප්‍රදේශ වාසීන් විසින් ජීවිතක්ෂයට පත්වූවන්ගේ මළ සිරුරු එම ප්‍රදේශයේ ඇති චතුරශ්‍රයක තැන්පත් කරනු ලැබීමෙන් පසු දිළින්දන්ට නීති ආධාර සපයන මහජන ආරක්ෂක කාර්යාලය මෙම නව මරණ සංඛ්‍යාව ප්‍රසිද්ධියට පත් කළේ ය.

නගරයේ සිදුවූ මාරාන්තික ම වැටලීම මෙය වූ අතර, බලධාරීන් දශක ගණනාවක් තිස්සේ එහි දිළින්දන් වෙසෙන ප්‍රදේශ බොහොමයක් පාලනය කරන කල්ලි මර්දනය කිරීමට එමගින් උත්සහ දරා ඇත.

Rio de Janeiro Police officers transfer a group of people detained during an operation in Rio de Janeiro, Brazil, 28 October 2025. The officer is holding a weapon and is wearing a balaclava. The suspects are stripped down to their waist. They both have tattoos.

ඡායාරූප මූලාශ්‍රය, ANTONIO LACERDA/EPA/Shutterstock

ඡායාරූප ශීර්ෂ වැකිය, අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර රෙඩ් කමාන්ඩ් කල්ලියේ ප්‍රධාන සාමාජිකයින් ද වන බව පොලිසිය පැවසීය

මහජන ආරක්ෂක කාර්යාලය විසින් නිකුත් කරන ලද මරණ සංඛ්‍යාව පිළිබඳව විමසූ විට, රියෝ ප්‍රාන්ත ආණ්ඩුකාර ක්ලෝඩියෝ කැස්ත්‍රෝ පැවසුවේ, අධිකරණ වෛද්‍ය කටයුතු තවමත් සිදුවෙමින් පවතින අතර එය අවසන් වන තුරු ඔහුට ලබා දී තිබූ නිල සංඛ්‍යාව 58ක් බවත්, නමුත් එය "වෙනස් වනු ඇති" බවත් ය.

මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් ශෝකය පළ කළ තැනැත්තන් අතර ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ද විය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පැවසුවේ, පොලිස් මෙහෙයුම සම්බන්ධයෙන් "අතිශය කම්පනයට පත්" වූ බව ය.

බදාදා අලුයම, ප්‍රදේශ වාසීන් මියගිය අයගේ සිරුරු පෙනාහි චතුරශ්‍රයකට ගෙන ගිය අතර, වැටලීමේ මාරාන්තික ස්වභාවය පෙන්වීම සඳහා ඔවුන් ඒවා එක පෙළට තබා තිබිණි.

බ්‍රසීල මාධ්‍යවලට අනුව, ඇස්තමේන්තු කළ මරණ සංඛ්‍යාව අවම වශයෙන් 50ත් 70ත් අතර පැවතිණි.

බොහෝ මළ සිරුරු අසල ඇති කඳු බෑවුමකින් සොයාගෙන ඇති බව වාර්තා වන අතර, මාරාන්තික ගැටුම් රැසක් සිදුවී ඇත්තේ, එම ස්ථානයේ බව පොලිසිය පැවසීය.

ඝාතනයට ලක් වූවන් "අපරාධකරුවන්" ලෙස විස්තර කරමින් කළ ප්‍රකාශ මාධ්‍යවේදීන් විසින් අභියෝග කරන ලද විට, ආණ්ඩුකාර කැස්ත්‍රෝ මෙසේ පිළිතුරු දුන්නේ ය: "ඇත්තට ම ඔබට කියන්න ඕනේ, ගැටුම තිබුණේ නාගරික ප්‍රදේශයක නෙවෙයි, ඒ ඔක්කො ම සිද්ධ වුණේ වනාන්තරයේ. ඉතින් ගැටුම් පැවති දවසක කවුරුහරි වනාන්තරයේ නිකරුණේ ඇවිදිමින් හිටියා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි අපිට ඔවුන්ව පහසුවෙන් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් වුණේ."

Two women shield their eyes as they cry. One is holding an unlit cigarette. They are sitting on the kerb in a street in the Penha favela in Rio de Janeiro.

ඡායාරූප මූලාශ්‍රය, REUTERS/Aline Massuca

ඡායාරූප ශීර්ෂ වැකිය, අවම වශයෙන් පුද්ගලයින් 64 දෙනෙකුට මරු කැඳවූ වැටලීමෙන් පසු ප්‍රදේශ වාසීහු කම්පනයට පත්ව සිටියහ
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

අඟහරුවාදා සිදුවීම "යුද්ධයක් මෙන්" වූ බව ප්‍රදේශවාසීහු විස්තර කළහ. එහිදී නිලධාරීන් සහ සන්නද්ධ පුද්ගලයින් අතර වෙඩි හුවමාරුවක් ඇති වූ අතර බාධක සඳහා යොදා තිබුණු බස් රථ පවා ගිනි තබා තිබිණි.

පොලිසිය පවසන පරිදි, රෙඩ් කමාන්ඩ් (Red Command) කල්ලියේ බළකොටු ලෙස ක්‍රියාත්මක අසල්වැසි ප්‍රදේශ හරහා නිලධාරීන් ගමන් කරන විට, කල්ලි සාමාජිකයෝ ඩ්‍රෝන යානා යොදාගෙන ප්‍රහාර එල්ල කළහ.

"අපරාධකරුවන් රියෝ පොලිසියට සලකන්නේ මෙහෙම යි: ඩ්‍රෝන යානා මගින් බෝම්බ හෙළීමෙන්. අප මුහුණ දෙන අභියෝගයේ පරිමාණය මෙය යි. මේක සාමාන්‍ය අපරාධයක් නෙවෙයි, මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදයක්," ආණ්ඩුකාර කැස්ත්‍රෝ පැවසීය.

වැටලීම සැලසුම් කිරීමට මාස දෙකක් ගත වූ බවත්, එය ගැඹුරු විමර්ශනයක් මත පදනම් වූ බවත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේ ය.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර රෙඩ් කමාන්ඩ් කල්ලියේ ප්‍රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස චෝදනා ලැබූ පුද්ගලයෙකු ද සිටී.

මෙහෙයුමේදී මිය ගිය පොලිස් නිලධාරීන් සිව් දෙනාගේ ඡායාරූප ආණ්ඩුකාරවරයා සමාජ මාධ්‍යවල පළ කළේ ය.

"සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සටන් කළ" බව හඳුන්වමින් ඔහු එය "ඓතිහාසික දිනයක්" ලෙස හැඳින්වූ අතර, මියගිය නිලධාරීන් පැසසුමට ලක් කළේ ය.

රියෝහි අපරාධ පිළිබඳව වාර්තා කරන බ්‍රසීලියානු මාධ්‍යවේදියෙකු වන රෆායෙල් සෝරස් බීබීසී බ්‍රසීල සේවයට පැවසුවේ, රෙඩ් කමාන්ඩ් කල්ලිය මෑත වසරවලදී රියෝහි ආක්‍රමණයක නිරත වී සිටි බවත්, එම කල්ලියේ ප්‍රතිවාදීන් වන ෆස්ට් කැපිටල් කමාන්ඩ් (පීසීසී) කල්ලිය විසින් අත්පත් කර ගනු ලැබූ ප්‍රදේශ නැවත ලබා ගත් බවත් ය.

ලබන වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණයට පෙර නගරයේ අපරාධවලට තීරණාත්මක පහරක් එල්ල කිරීමට ආණ්ඩුකාර කැස්ත්‍රෝ දරන උත්සහයේ කොටසක් ලෙස මෙම පොලිස් මෙහෙයුම සිදු වූ බව සෝරස් තවදුරටත් පැවසීය.

ලොව ප්‍රමුඛ පෙළේ නගරවල නගරාධිපතිවරුන් 100ට ආසන්න සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන C40 ලෝක නගරාධිපතිවරුන්ගේ සමුළුව සහ නොවැම්බර් 5 වන දින විලියම් කුමරු විසින් ප්‍රදානය කරනු ලබන පාරිසරික සම්මානය වන Earthshot ත්‍යාගය පිරිනැමීමේ උත්සවය පැවැත්වීමට නියමිතව ඇති පසුබිමක මෙම පොලිස් වැටලීම සිදුවිය.

රියෝහි දැවැන්ත පොලිස් වැටලීම් අසාමාන්‍ය දෙයක් නොවන නමුත් අඟහරුවාදා මෙහෙයුමේදී සිදු වූ මරණ සංඛ්‍යාව අසාමාන්‍ය ය.

සෝරස්ට අනුව, බ්‍රසීලය පුරා පුද්ගලයින් 20කට වඩා මිය යන පොලිස් මෙහෙයුම් "ඉතා දුර්ලභ" වන අතර එවැනි වැටලීම් ප්‍රධාන වශයෙන් සිදුවී ඇත්තේ රියෝහිදී ය.

රියෝ ද ජැනයිරෝහි මහජන ආරක්ෂක අමාත්‍ය වික්ටර් සැන්ටොස් පැවසුවේ, වැටලීම් සිදුවූ ප්‍රදේශවල 280,000ක ජනතාවක් ජීවත් වූ බව ය.

පොලිස් වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ, සන්නද්ධ නිලධාරීන් ජනාකීර්ණ කඳුකර දිළින්දන් වෙසෙන පටු, බෑවුම් සහිත මංතීරුවල මුර සංචාරයේ යෙදෙන ආකාරය යි.

"මේක රියෝ ද ජැනයිරෝහි අප දකින යුද්ධයක්. නාගරික, ප්‍රාන්ත සහ ෆෙඩරල් යන සියලු ම ආයතන දශක ගණනාවක් තිස්සේ අක්‍රියව සිටීම නිසා අපගේ භූමිය තුළ අපරාධ ව්‍යාප්ත වීමට ඉඩ සැලසී තිබෙනවා," සැන්ටොස් පැවසීය.

අතිරේක වාර්තාකරණය සාඕ පවුලෝහි බීබීසී බ්‍රසීල සේවයේ මරීනා රොසි සහ මරියානා අල්විම්