ආදිවාසී ජන සංහාරයක් සම්බන්ධයෙන් බ්‍රසීලයේ බොල්සොනාරෝ විමර්ශනය කෙරෙන්නේ ඇයි?

Mal-nourished Yanomami children

ඡායාරූප මූලාශ්‍රය, URIHI – Associação Yanomami

ඡායාරූප ශීර්ෂ වැකිය, ආදිවාසී අයිතිවාසිකම් කණ්ඩායම් සහ බ්‍රසීලයේ සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ 2019 වසරේ සිට යානෝමාමි දරුවන් 500කට වැඩි ප්‍රමාණයක් වැළැක්විය හැකි රෝගවලින් මියගොස් ඇතිබව යි
    • Author, ඔන්ඩ්‍රේ බියර්නොට්
    • Role, බීබීසී පුවත් බ්‍රසීලය

බ්‍රසීලයේ ප්‍රමුඛ සෞඛ්‍ය ඒජන්සියක් වන ඔස්වල්ඩෝ කෲස් පදනමේ (Fiocruz) වෛද්‍යවරයෙකු වන අන්ද්‍රේ සිකේරා, කිව යුතු දේ ඍජුව පවසන්නෙකි. ඇමසන් වනයේ පිහිටා ඇති යානෝමාමි ආදිවාසී රක්ෂිතයේ පෑන්-අමෙරිකානු සෞඛ්‍ය සංවිධානයේ විශේෂ නියෝජිතයෙකු ලෙස දින කිහිපයක් පමණක් ගත කළ ද, ඔහු මෑතක දී ජාතික වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රධාන පුවත් බවට පත්වූ අර්බුදය ප්‍රමාණවත් තරම් දුටුවේ ය.

"සෞඛ්‍ය අතින් ගත්තාම අපි දැක්කේ උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන රෝගීන්, ශ්වසන ආසාදන, මැලේරියා සහ පාචන රෝගීන් බොහෝමයක් සිටින ඉතා අස්ථිර තත්ත්වයක්. ඒත් එක්කම කණ්ඩායම්වල සහ ගොඩනැගිලිවල හිඟයක්," සිකේරා බීබීසීයට පැවසීය.

"මෙම මට්ටමින් දුක් විඳිනවා ප්‍රායෝගිකව දකින්න ලැබීම ඉතා භයානක යි."

නව වසරේ ජනවාරි 15 වන දායින් ඇරඹි සතියේ සිය ධූරයේ රාජකාරි ආරම්භ කළ ජනාධිපති ලුවීස් ඉනාසියෝ ලූලා ද සිල්වා, පසුගිය සිව් වසර තුළ මන්දපෝෂණයෙන් යානෝමාමි දරුවන් සිය ගණනක් මියගොස් ඇති බව පෙනී යාමෙන් පසු එම භූමි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ ය.

බ්‍රසීලියානු ෆෙඩරල් පොලිසිය ද යානෝමාමි ජනතාවට එරෙහිව සිදු වූ "ජන සංහාරයක්" සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව අධිකරණ අමාත්‍යංශය පසුගිය සතියේ නිවේදනය කළේ ය.

'සැලසුම් කරන ලද අපරාධයක්'

ආහාර අනාරක්ෂිතභාවය, බහුලව පවතින ඝන වනාන්තර ප්‍රදේශයේ සිදුවන පතල් කැණීම් සහ ගස් කැපීම් හේතුවෙන් සිදුවන ජල දූෂණය හා මෙම මරණ අතර සම්බන්ධතාවක් පවතියි.

ජනාධිපති ලූලා විසින් ම ජනවාරි 21 වන දින එම කලාපය දැක බලා ගන්නා ලද අතර, තත්ත්වය "අමානුෂික" ලෙස හැඳින්වූයේ වැසි වනාන්තරයේ සිටින මෙම ගෝත්‍රයට එරෙහිව ජන සංහාරයක් සිදුකළේයැ යි ඔහුට පෙර ධූරය දැරූ ජයීර් බොල්සොනාරෝට චෝදනා කිරීමට පෙර ය.

Brazil President Lula speaks to an Yanomami child during a visit to Roraima on 21 January

ඡායාරූප මූලාශ්‍රය, Ricardo Stuckert/PR

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති ලූලා ඔහුගේ පූර්වගාමියා වූ බොල්සොනාරෝ, යානොමාමි රක්ෂිතයේ "ජන සංහාරයක්" සිදු කළබවට චෝදනා කළේ ය

"මානුෂීය අර්බුදයකට වඩා, රොරෛයිමාවල මම දැක්කේ ජන සංහාරයක්: දුකට සංවේදී නොවන රජයක් විසින් සිදුකරන ලද, යානෝමාමි ජනයාට එරෙහිව සැලසුම් කළ අපරාධයක්," ඔහු පැවසීය.

"මම මෙතනට ආවේ අපි අපේ ආදිවාසීන්ට මිනිස්සු විධියට සලකන බව කියන්න."

පණිවිඩ හුවමාරුකර ගන්නා ටෙලිග්‍රෑම් යෙදුමේ නාලිකාවක, බොල්සොනාරෝ, ලූලාගේ කතාව "වාමාංශික විහිළුවක්" ලෙස හුවා දැක්වූ අතර, "2020 සිට 2022 දක්වා ගත් සෞඛ්‍ය ක්‍රියාමාර්ග විස්සකින් ආදිවාසී ප්‍රදේශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ" බව පැවසීය.

නෙදර්ලන්තයේ හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ දී බොල්සොනාරෝට තවත් චෝදනා එල්ල වී තිබේ. ඉන් එකක, බ්‍රසීලයේ ආදිවාසී ජනතාවගේ සංගමය, හිටපු බ්‍රසීල නායකයා ඔහුගේ සිව් වසරක ධූර කාලය පුරාවට ම "ආදිවාසී ගෝත්‍රිකයන්ට එරෙහිව ජන සංහාරයක් සිදු කළ" බවට චෝදනා කර ඇත.

ළමා මරණ සිය ගණනක්

යානෝමාමි රක්ෂිතයේ ආදිවාසී ජනතාව 28 000ක් පමණ ජීවත් වෙති. ඔවුහු දඩයම් කිරීම, කුඩා පරිමාණයේ කෘෂිකාර්මික කටයුතුවල නිරත වන අතර කුඩා, විසිරුණු, අර්ධ ස්ථීර ගම්මානවල ජීවත් වෙති.

මෙම ගෝත්‍රික ජනතාව බරපතළ අවදානමකට මුහුණ දී ඇති බවත්, ඔවුන්ගේ ජීවිත සහ සෞඛ්‍ය ආරක්ෂා කරන ලෙසත් පසුගිය වසරේ ජූලි මාසයේ දී ජාත්‍යන්තර මානව හිමිකම් පිළිබඳ අධිකරණය වාර්තා කර තිබුණු අතර, ඔවුන් සඳහා ආහාර සහ පිරිසිදු ජලය සඳහා ප්‍රවේශය සහතික කරන ලෙස බ්‍රසීලයෙන් ඉල්ලා සිටියේ ය. එහෙත්, අධිකරණයට අනුව, ඔවුන්ගේ ඉල්ලීම නොසලකා හැර ඇත.

බලයේ සිටි සිව් වසර තුළ (2019-22) බොල්සොනාරෝ ආදිවාසී රක්ෂිතවල ඉඩ ප්‍රමාණය නිතර විවේචනය කළ අතර, ඒවායින් සමහරක් කෘෂිකර්මාන්තයට සහ පතල් කැණීමට ලබාදෙන බවට පොරොන්දු විය. ඔහුගේ රජය පාරිසරික ආරක්ෂාව දුර්වල කළ අතර, විචාරකයින් පැවසුවේ ඔහුගේ වචනවලින් කලාපයේ නීති විරෝධී ක්‍රියාකාරකම් ධෛර්යමත් කෙරුණු බව ය.

අද වන විට, රන්, දියමන්ති සහ ඛනිජවලින් පොහොසත් යානෝමාමි රක්ෂිතය තුළ නීති විරෝධී පතල්කරුවන් 20 000ක් පමණ සිටිනු ඇතැ යි ගණන් බලා ඇත. 2021 දී ප්‍රදේශයේ පතල්කරුවෝ ස්වයංක්‍රීය ආයුධ භාවිතයෙන් යානෝමාමි ගෝත්‍රිකයින් වෙත වෙඩි තැබූහ.

Illegal mining in the Amazon

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, යානෝමාමි බල ප්‍රදේශයේ නීති විරෝධී පතල් කම්කරුවන් 20 000ක් පමණ ක්‍රියාත්මක වනබවට ගණන් බලා ඇත

නව ලූලා රජය පවසන්නේ, වළක්වාගත හැකි රෝග හේතුවෙන් 2019 සිට පසුගිය වසර කිහිපය තුළ ආදිවාසී දරුවන් 500කට වැඩි පිරිසක් මියගොස් ඇති බව ය.

"උතුරු බ්‍රසීලයේ යානෝමාමි ජනතාව ගිලගෙන ඇති මෙම පෙර නොවූ විරූ සහ ව්‍යසනකාරී සෞඛ්‍ය අර්බුදය වසර ගණනාවක් තිස්සේ සිදුවෙමින් පවතින ජන සංහාරයක්," මානව හිමිකම් පිළිබඳ රාජ්‍ය නොවන සංවිධානයක් වන සර්වයිවල් ඉන්ටර්නැෂනල්හි (Survival International) ආදිවාසී විශේෂඥවරියක වන සාරා ෂෙන්කර් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියා ය.

"හිටපු ජනාධිපති බොල්සොනාරෝ හිතාමතාම මෙම භූමි ප්‍රදේශයට ඇතුළු වෙන්න අවසර දුන් අතර, දහස් ගණන් රන් පතල්කරුවන්ව භූමි ප්‍රදේශයට ඇතුළු වෙන්න දිරිමත් කළා. ඔහු ආදිවාසී සෞඛ්‍ය සේවය බිඳ දැමූ අතර, අර්බුදයේ පරිමාණය පැහැදිලි වූ විට ආදිවාසී සංවිධාන, සර්වයිවල් සහ තවත් බොහෝ අයගෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස සිදුකළ ප්‍රබල ඉල්ලීම් නොසලකා හැරියා."

බ්‍රසීලයේ විශාලතම ආදිවාසී රක්ෂිතය

බ්‍රසීලයේ ආදිවාසීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන ප්‍රධාන සංවිධානයක් වන එන්ජීඅයි ඉන්ස්ටිටියුටෝ සෝෂියෝඇම්බියන්ටල් [NGI Instituto Socioambiental (ISA)] සංවිධානයට අනුව, දකුණු කොරියාවේ විශාලත්වයට සමාන ප්‍රදේශයක් වන යානෝමාමි ආදිවාසී රක්ෂිතය හෙක්ටයාර මිලියන 9.6ක භූමි ප්‍රමාණයකින් සමන්විත වන අතර ආදිවාසී ගෝත්‍ර අටක් එහි වෙසෙයි.

බ්‍රසීලයේ සහ වෙනිසුවෙලාවේ මායිම අසල ඇමසෝනාස් සහ රොරෛමා ප්‍රාන්ත අතර පිහිටා ඇති මෙම භූමි ප්‍රදේශය, 1992 දී එවකට ජනාධිපති ප්‍රනාන්දු කොලර් විසින් අත්සන් කරන ලද නියෝගයක් මගින් බ්‍රසීල රජය විසින් අනුමත කර පිළිගනු ලැබීය.

ISA සංවිධානය විසින් යානෝමාමි ආදිවාසී භූමියේ "ඇතිවිය හැකි අවදානම් සහ පවතින ගැටලු" හතරක් ඉස්මතු කරනු ලබයි: නීති විරෝධී පතල්කරුවන්, ධීවරයින්, දඩයම්කරුවන් සහ ගොවීන්. මෙම තර්ජන අතර රත්‍රන් කැණීම කලාපයේ වැසියන්ගේ සහ විශේෂඥයින්ගේ දැඩි සැලකිල්ලට භාජන වෙයි.

Yanomami people

ඡායාරූප මූලාශ්‍රය, Fiona Watson/Survival International

ඡායාරූප ශීර්ෂ වැකිය, යානෝමාමි ගෝත්‍රය ඔවුන්ගේ රක්ෂිතයේ වෙසෙන්නේ වෙනත් ගෝත්‍ර හතක් සමග ය

ISA සංවිධානයේ තාක්ෂණික සහය ඇතිව පසුගිය අප්‍රේල් මාසයේ දී ප්‍රකාශයට පත් කරන ලද 'යානෝමාමි අන්ඩර් ඇටෑක්' (Yanomami Under Attack) වාර්තාව මගින් එම කලාපයේ නීති විරෝධී ලෙස රත්‍රන් සහ අනෙකුත් ඛනිජ නිස්සාරණය කිරීම පිළිබඳව අවධානයට ලක් කර ඇත. 2016 වසරේ සිට පතල් කැණීම් හේතුවෙන් සිදුවන, වන විනාශය "සීඝ්‍ර ලෙස වර්ධනය වී ඇති" බව එම ලේඛනයේ විශේෂඥයින් පෙන්වා දී තිබේ.

"2016 සිට 2020 දක්වා, පතල් කැණීම 3,350%ට නොඅඩු ප්‍රමාණයකින් වර්ධනය වෙලා," එහි සඳහන් වේ.

ප්‍රචණ්ඩත්වය, සෞඛ්‍ය සහ සමාජ සහයෝගය නරක අතට හැරෙන දර්ශක සමග, ආදිවාසී රක්ෂිතයේ කැණීම් ඉහළ යාම, එම කලාපයේ පදිංචිකරුවන්ගේ ජීවන තත්ත්වයෙහි ගුණාත්මකභාවය "සැලකිය යුතු ලෙස අඩුවීමට" සම්බන්ධ බව එම වාර්තාව පෙන්වා දෙයි.

ව්‍යවහාරික ආර්ථික පර්යේෂණ සඳහා වූ ආයතනය (Institute for Applied Economic Research)] විසින් 2021දී නිකුත් කරන ලද ඇට්ලස් ඔෆ් වයලන්ස්හි (Atlas of Violence) නවතම සංස්කරණයට අනුව, යානෝමාමි රක්ෂිතයේ කොටසක් පිහිටා ඇති ප්‍රාන්තය වන රොරෛමා, බ්‍රසීලයේ ආදිවාසීන්ට එරෙහි මාරාන්තික ප්‍රචණ්ඩත්වයේ ඉහළම අනුපාතවලින් එකක් පෙන්නුම් කර තිබේ.

සෞඛ්‍ය ගැටලු

ආදිවාසී ප්‍රජා අතර, විශේෂයෙන් මැලේරියාව වැනි බෝවන රෝග ඇතිවීමේ ප්‍රවණතාව වැඩිවීම හා නීති විරෝධී පතල් කැණීම අතර සම්බන්ධතාවක් පවතියි.

බොහෝ ප්‍රදේශ හරහා සංසරණය වන පතල්කරුවන් බොහෝවිට මැලේරියා රෝග ලක්ෂණ අවම කරන නීතිවිරෝධී ඖෂධ භාවිත කළ ද, ඔවුන්ගේ ශරීරයෙන් පරපෝෂිතයා ඉවත් නොවන බව වෛද්‍ය සිකේරා පැහැදිලි කරයි.

"තත්ත්වය පාලනය කර ඇති ප්‍රදේශවලට රෝගය ගෙන යන නිසා ඔවුන් [රෝගකාරකය] පතුරුවා හැරීමේ ප්‍රභවයක් බවට පත් වෙනවා," ඔහු පැවසීය.

ජලය සහ ආහාර ප්‍රභව දූෂණය කරන විෂ සහිත සංයෝගයක් වන රසදිය භාවිතය මත මෙම කලාපයේ ඛනිජ ගවේශනය රඳා පවතියි. මෙම ද්‍රව්‍යයට [රසදිය] නිරාවරණය වීම අලුත උපන් බිළිඳුන්ට ස්නායු රෝග ඇතිවීම වැනි සෞඛ්‍ය ගැටලු මාලාවකට හේතු වේ.

A malnourished Yanomami woman

ඡායාරූප මූලාශ්‍රය, URIHI – Associação Yanomami

ඡායාරූප ශීර්ෂ වැකිය, සෞඛ්‍ය ගැටලු වැඩිහිටි යානෝමාමිවරුන්ට ද බලපායි

ආදිවාසී ජනගහනය වෙනුවෙන් ඇති සෞඛ්‍ය සේවා කඩාකප්පල් කර ඇති බව පවසන, "එම භූමි ප්‍රදේශයේ විවිධ කලාපවල ආයුධ සන්නද්ධව ඛනිජ නිධි සොයා යන පුද්ගලයින්ගේ සංසරණය වැඩිවීම මගින් ඇති කරන ලද සාමාන්‍යකරණය වූ අනාරක්ෂිතභාවය" මගින් ද තත්ත්වය නරක අතට හරවා ඇති බව ආදිවාසී අයිතිවාසිකම් කණ්ඩායම් වාර්තා කරයි.

"ආදිවාසීන් සඳහා වෙන් කර ඇති ඖෂධ, පතල්කරුවෝ අත්පත් කරගෙන කියලා පැමිණිලි ලැබිලා තිබෙනවා" වෛද්‍ය සිකේරා සඳහන් කළේ ය.

රෝග ලක්ෂණ මතු වී පැය 48ක් ඇතුළත මැලේරියාව හඳුනාගෙන ප්‍රතිකාර කළහොත් වෙනත් පුද්ගලයින්ට සම්ප්‍රේෂණය වීම අවම කළ හැකි බව වෛද්‍ය විශේෂඥයා පැහැදිලි කරයි.

"නමුත් නීතිවිරෝධී පතල් කැණීම් සෞඛ්‍ය වෘත්තික කණ්ඩායම් ඉවත් කරන නිසා ඔවුන්ට තවදුරටත් ආසාදිත රෝගීන් සොයා ප්‍රතිකාර කරන්න බැරි වේවි."

මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන්, බරපතළ සෞඛ්‍ය තත්ත්වවල සිටින වැඩිහිටියන් සහ වයෝවෘද්ධ පුද්ගලයින් ගෙනහැර පාන මෑත දිනවල ලොව පුරා හුවමාරු වුණු පින්තූර පැහැදිලි කිරීමට මෙම සාධක එකතුව උපකාරී වේ.

ඊළඟ පියවර

ජනාධිපති ලූලා රක්ෂිතයේ නීති විරෝධී පතල් කැණීම්වලට එරෙහිව සටන් කිරීමට පොරොන්දු වූ අතර රොරෛමා ප්‍රාන්තයේ අගනුවර වන බෝවා විස්ටාහි ක්ෂේත්‍ර රෝහලක් පිහිටුවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය කාර්ය සාධක බලකායක් ජනවාරි 23 වන දින කලාපයට යවන ලදී. එදිනම අවම වශයෙන් යානෝමාමි ගෝත්‍රිකයින් 16 දෙනෙකු රක්ෂිතයේ සිට ගුවන් මගින් රැගෙන යන ලදී.

Medics and nurses from Brazil's Universal Health System (SUS) boarding a plane to Roraima

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එම කලාපයට වෛද්‍ය කාර්ය සාධක බලකායක් යවා ඇත

පුද්ගලයින් අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යනෝමාමි ප්‍රදේශයේ කොටසක් වන සුරුකුකු කලාපයට ගෙන යන බව සෞඛ්‍ය බලධාරීන් ද නිවේදනය කළේ ය.

"මේක මහජන සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ හදිසි තත්ත්වයක්, අපි ඊට අවශ්‍ය පියවර ගන්නවා," සෞඛ්‍ය අමාත්‍ය නීසියා ට්‍රින්ඩේඩ් ජනවාරි 21 වන දින රක්ෂිතයේ සිදුකළ සංචාරයේ දී පැවසුවා ය.

"ඒත් මෙහෙ වෙන්නේ මොනවා ද කියලා සමාජය දැනුවත් වෙන්න ඕනේ."

බ්‍රසීල රජය ද ආහාර පාර්සල් බෙදා හැරීම ආරම්භ කළේ ය.

විමර්ශනයක්

අධිකරණ අමාත්‍ය ෆ්ලේවියෝ ඩිනෝ, යානෝමාමි ගෝත්‍රයට එරෙහිව සිදුවී ඇතැ යි විශ්වාස කෙරෙන අපරාධ පිළිබඳ විමර්ශනය කරන බව නිවේදනය කළේ ය.

A clandestine airstrip at the Yanomami reserve

ඡායාරූප මූලාශ්‍රය, Mary Evans Picture Library

ඡායාරූප ශීර්ෂ වැකිය, නීතිවිරෝධී පතල්කරුවන් රක්ෂිතයේ ගුවන් පථ පවා ඉදිකර ඇත

"ජන සංහාරයක් පිළිබඳ ප්‍රබල සලකුණු තිබෙනවා. ඒවා ෆෙඩරල් පොලිසිය විමර්ශනය කරයි," ඩිනෝ පැවසීය.

නමුත් යානෝමාමි ගෝත්‍රිකයින්ගේ ගැටලු ඇමසෝන් කලාපයේ අනෙකුත් ආදිවාසී භූමි ප්‍රදේශවල ද දැකගත හැකි බව වෛද්‍ය සිකේරා අනතුරු අඟවයි.

"උදාහරණයක් ලෙස රියෝ නීග්‍රෝ සහ ඇල්ටෝ සොලිමෝස්හි ගැටලු ඇති බව අපි දන්නවා. මම පසුගිය අවුරුද්දේ එහේ හිටපු කාලයේ දැක්කා ආධාර සහ රැකවරණය නැති ඊට සමාන තත්ත්වය," ඔහු පැවසීය.

"අපේ මනුෂ්‍යත්වය මේක මත රඳා පවතින නිසා, මේක වහාම අවධානය යොමු කළ යුතු දෙයක්."