වසන්ත මුදලිගේට ලබා දුන් නඩු තීන්දුව:ශ්‍රී ලංකා නඩු තීන්දු ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ද?

Wasantha Mudalige,Convener of Inter University Students' Federation was released by the Colombo Chief Magistrate's Court in connection with the case that was filed against him for allegedly committing offences under Prevention of Terrorism Act (PTA) in Chief Magistrate's Court, Colombo on January31, 2023.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ ගොනුකරන ලද චෝදනා හේතුවෙන්, දින 167ක කාලයක් රැඳවුම් භාරයේ සහ රක්ෂිත බන්ධනාගාරගතව සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට, පසුගිය පෙබරවාරි 01වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියම කළේය.

මහේස්ත්‍රාත් නියෝගයට පදනම් වුයේ කුමක්ද?

මේ ඓතිහාසික නියෝගය ලබාදීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණය පදනම් කරගනු ලැබුවේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඇතුළු නීතිඥ කණ්ඩායමක් විසින් ගොනුකරන ලද මුලික විරෝධතාවයි.

වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් ගොනුකර ඇති 'බී' වාර්තා සහ සාක්ෂි සම්පිණ්ඩනයන් අනුව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ ඇති කිසිදු වරදක් අනාවරණය නොවන බව එම මුලික විරෝධතාවේ සඳහන් කර තිබිණි. ඒ මත පදනම්ව වසන්ත මුදලිගේට නිදහස හෝ ඇප ලබාදෙන ලෙස ඔහුගේ නීතිඥයින් විසින් අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදෙනු ලැබුවේ ඊට අදාළ නියෝගයයි. කෙසේවෙතත් මෙම 'නියෝගය' ඇපෑලකට යටත් කළහැකි මහේස්ත්‍රාත් අධිකරණයක තීන්දුවක් මිස, අවසානාත්මක අධිකරණ තීන්දුවක් නොවන බවද පෙන්වා දිය යුතුය.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කිරීම

ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ 'වරදවල්' සඳහන් වන්නේ දෙවැනි වගන්තියේය.

අධිකරණය විසින් එම වරදවල් එකින් එක විශ්ලේෂණය කරමින්, ඉදිරිපත් කර ඇති සාක්ෂි සම්පිණ්ඩන සහ බී වාර්තා අනුව, එම පනත යටතේ වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් කිසිදු වරදක් සංස්ථාපනය නොවන බව මෙහිදී තීරණ කළේය.

එසේම ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අධිකරණය හමුවේ ගොනුකරන ලද සාක්ෂි සම්පිණ්ඩන ගණනාවක් සමාලෝචනය කරනු ලැබූ අධිකරණය, එම සියලු සාක්ෂි, සැබෑ ලෙස හෙළිනොවන වැරදි, අලුතින් නිර්මාණය කිරීම සඳහා ගොනුකර ඇති බවද පෙන්වා දුන්නේය.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත තුළ 'ත්‍රස්තවාදියා' යන්නට පැහැදිලි නිර්වචනයක් තිබේද?

ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ 'ත්‍රස්තවාදියා' යන්න සම්බන්ධයෙන් පැහැදිලි නිර්වචනයක් නොමැති බවද, දේශීයව සහ අන්තර්ජාතිකව පවතින 'ත්‍රස්තවාදියා' යන නිර්වචන කිසිවකට වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් ගොනුකර ඇති 'බී' වාර්තාවල චෝදනා කර ඇති කරුණු අදාළ නොවන බවද අධිකරණය සඳහන් කළේය.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා විසින් වසන්ත මුදලිගේ මෙම නඩුවෙන් නිදහස් කිරීමට නියෝග කරනු ලබන්නේ මෙම සියලු කරුණු සැළකිල්ලට ගැනීමෙන් අනතුරුවය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය

ශ්‍රී ලංකා නඩු තීන්දු ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක්

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින් ලබාදුන් වසන්ත මුදලිගේ සම්බන්ධ මෙම නඩු තීන්දුව ශ්‍රී ලංකා නඩු තීන්දු ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කොට තිබේ.

ඊට හේතුව මෙරට මහේස්ත්‍රාත් අධිකරණයක් විසින් මීට පෙර කිසිදු අවස්ථාවක, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයකු නිදහස් කිරීම සම්බන්ධයෙන් නියෝගයක් ලබාදී නොතිබීමයි.

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතතේ චෝදනා යටතේ ගොනුකර ඇති නඩුවකදී, සාමාන්‍යයෙන් මහේස්ත්‍රාත් අධිකරණයකට ලබාදී ඇති එකම බලය වන්නේ, පනත යටතේ රඳවා ඇති රැඳවියකුගේ සුභසාධනයට අදාළව නියෝග නිකුත් කිරීමයි. එවැනි රැඳවියකු රඳවා ඇති ස්ථානය, ඔහුට හෝ ඇයට පහරදීම් හෝ කෘර වධහිංසාවන්ට ලක්කර ඇතිද යන්න පිළිබඳව වාර්තා කෙරෙන කරුණු සළකා බැලීමයි. එතනින් ඔබ්බට එවැනි රැඳවියකුට ඇප ලබාදීමේ බලයක් හෝ මහේස්ත්‍රාවරයකුට ලබා දී නැත.

එනම් පරීක්ෂණ සඳහා මැදිහත්වීමට මහේස්ත්‍රාත්වරයකුට බලයක් නොමැත යන්නයි.

එසේම, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ නඩු පවරා මහේස්ත්‍රාත්වරයකුට කරුණු වාර්තා කිරීමෙන් පසුව, අවම තරමින් 'බී' වාර්තා හෝ වැඩිදුර වාර්තා ඉදිරිපත් කරමින් අධිකරණයට වැඩිදුර කරුණු දැක්විය යුතු බව හෝ පනතේ සඳහන් වන්නේ නැත.

කෙසේවෙතත් ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ පවතින මෙම ඌණතා 'හිජාස් හිස්බුල්ලා නඩුවේදී' වැඩිදියුණු වූ බව, වසන්ත මුදලිගේ වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ කණ්ඩායමේ සාමාජික නීතිඥ නුවන් බෝපගේ බීබීසී සිංහල සේවය සමග පැවැසීය. (ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන මාස 22ක් රැඳවුම් භාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා අභියාචනාධිකරණ නියෝගයකට අනුව ඇප මත මුදාහැරුණේ 2022 පෙබරවාරි 07 වැනිදාය).

"මහේස්ත්‍රාත්වරයාට ඇප දෙන්න බලයක් නැති උණාට, බී වාර්තා සහ අනෙකුත් වාර්තා අනිවාර්යයෙන්ම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට අවසර ලබාදෙන ලෙස අපි හිජාස් හිස්බුල්ලා නඩුවේදී ඉල්ලීමක් කළා. එතැනදී ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ මහේස්ත්‍රාත් අධිකරණයට පවතින බලය යම් ප්‍රමාණයකට වර්ධනය වුණා. මේ නඩුවේදී එහි දෙවැනි අදියර විදිහට, අපි එම වාර්තා ඉදිරිපත් කරන ලෙස ඉල්ලුවා. ඒ අනුව තමයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සාක්ෂි සම්පිණ්ඩන ඉදිරිපත් කරන්නේ. සාමන්‍ය නීතිය යටතේ සාක්ෂි සම්පිණ්ඩනයකින් හෝ වාර්තාවකින්, අදාළ තැනැත්තාට එරෙහිව සාක්ෂි පවතින බව තහවුරු නොවුණොත්, එම තැනැත්තාව අධිකරණය විසින් නිදහස් කරන්න පුළුවන්. නමුත් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ එහෙම ප්‍රතිපාදනයක් නැහැ. හැබැයි එහෙම නිදහස් කරන්න බැහැ කියලත් නැහැ."

'අධිකරණ බලය' පැහැදිලි වෙනසකට ලක්වීමක්

සාමාන්‍ය ශ්‍රී ලාංකික සමාජයේ පැවති අදහස වන්නේ මහාධිකරණය වෙත ගොස් අධිචෝදනා ගොනු කරන තුරු, මහේස්ත්‍රාත්වරයකුට කිසිදු පියවරක් ගත නොහැකි බවයි. ඇප ලබාදීම සම්බන්ධ කාරණයේදී එය අසත්‍යයක් නොවේ.මන්ද ඒ බව පැහැදිලිවම පනතේ සඳහන් වන බැවිනි. එහෙත් යම් පුද්ගලයකුට එරෙහිව සාක්ෂි නොමැති අවස්ථාවකදී, අදාළ පුද්ගලයාව නිදහස් කළ නොහැකි යැයි පනතේ සඳහන් නොවේ.

ඒ අනුව, ඇප ලබාදීමේ බලයක් නොමැති වුවද, නිදහස් කිරීමට නොහැකි බව පනතේ සඳහන් නොවීම පිළිබඳව සළකා බලමින්, පවතින සාක්ෂි මත ත්‍රස්තවාදී ක්‍රියාවක් අනාවරණය නොවන බැවින්, වසන්ත මුදලිගේ නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා මෙහිදී තීරණය කළේය.

මෙය ඓතිහාසික නඩු තීන්දුවක් වන්නේ ඒ අර්ථයෙන්ය. මෙම නියෝගය හේතුවෙන් එතෙක් මහේස්ත්‍රාත් අධිකරණය සතුව පැවති 'අධිකරණ බලය' (Jurisdiction) පැහැදිලි වෙනසකට ලක්විය.

එසේම මෙම නියෝගයත් සමග ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අභියෝගයට ලක්විමක් ද සිදුවූ බව නීතිඥ නුවන් බෝපගේ පෙන්වාදෙයි.

"මෙච්චර කල් තිබුණු පිළිගනිම තමයි, 'ඇප දෙන්න බැරිනම් නිදහස් කරන්නත් බැහැ' කියන එක. නමුත් මේ තීන්දුවට අනුව, ඇප දෙන්න බැරි උණාට, සාක්ෂි නැත්නම් නිදහස් කරන්න පුළුවන් කියන තැනට මේ තීන්දුව ඔස්සේ අධිකරණ බලය වර්ධනය වෙලා තියෙනවා. එක තමයි මේ නඩු තීන්දුව ඓතිහාසිකයි කියල කියන්න පුළුවන් වෙන්නේ."

ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට එරෙහිව රට පුරා දිගින් දිගටම සිදු වූ විරෝධතා

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට එරෙහිව රට පුරා දිගින් දිගටම සිදු වූ විරෝධතා

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අභියෝගයට

බී.80303/01/22 යන නඩු අංකයට අදාලව ප්‍රසන්න අල්විස් මහේස්ත්‍රාත්වරයා විසින් ලබාදුන් මෙම නියෝගයේ, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අභියෝගයට ලක්කෙරෙන කරුණු කිහිපයක්ම සඳහන්ව ඇත.

ඒ අතරින්, එහි අන්තර්ගත වඩාත්ම වැදගත් කරුණ වන්නේ, 'ත්‍රස්තවාදියා' සහ 'ත්‍රස්තවාදය' යන්න සම්බන්ධයෙන් කෙරෙන පැහැදලි කිරීමයි. මෙතෙක් කලක් මහේස්ත්‍රාත් අධිකරණයකදී නොකෙරුණු ආකාරයට මහේස්ත්‍රාත්වරයා මෙහිදී ත්‍රස්තවාදය වැළක්වීමේ පනත වසන්ත මුදලිගේ නමැති සැකකරුට අදාළ වන්නේ කෙසේදැයි විමසා බලනු ලැබීය.

"මුලින්ම මා විසින් සලකා බලනු ලබන්නේ ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනන හඳුන්වාදීමේ අරමුණ, එය හඳුන්වා දීමේ දී ව්‍යවස්ථාදායකය බලාපොරොත්තු වූ කරුණු, එහි පනත කුමන අවස්ථාවල කුමන පුද්ගලයන්ට අදාළ කරගන යුතුද යන්න පිළිබඳවයි. 'ත්‍රස්තවාදය' යන්නට ලබා දී ඇති අර්ථ නිරූපණයෙන් ද සමඟ සසඳා බලමින් පළවන සැකකරුට එරෙහිව මෙතෙක් ඉදිරිපත් වී ඇති කරුණු අනුව පළවන සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළක්වීමේ (තාවකාලික ධිවිධාන) පනත අදාළ කරගත හැකිද යන්න පිළිබඳව මම නියෝගයේදී සළකා බැලිය යුතුව ඇත." යැයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කරයි.

ඒ අනුව කෙරෙන විමසා බැලීමේදී ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ කිසිදු ස්ථානයක 'ත්‍රස්තවාදියා' හෝ 'ත්‍රස්තවාදය' යන්න අර්ථනිරුපණය කර නොමැති බව සඳහන් කරන මහේස්ත්‍රාත්වරයා, එවැනි අර්ථනිරුපණයක් ලබාදී ඇති නඩු තීන්දුවක් සොයාගැනීමද අපහසු බවද පෙන්වාදෙයි.

මෙම හිස්තැන පිරවීම සඳහා අවසානයේ මහේස්ත්‍රාත්වරයා උපයෝගී කරගන්නේ, ත්‍රස්තවාදය යන්න මෙරට නිර්වචනය කර ඇති එකම ලියවිල්ල වන '2019/04/22 දින මහජන ආරක්ෂක පනත යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලද 2019 අංක 1 දරන හදිසි අවස්ථා (විධිවිධාන හා බලතල) දැක්වෙන නියෝගයයි.

එහි "ත්‍රස්තවාදය" යන්නෙන්,

(1) ජනගහණයක් බිය ගැන්වීමේ අරමුණින් යුතුව,

(11) යම් ක්‍රියාවක් සිදු කිරීමට හෝ සිදු කිරීම වැළැක්වීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව හෝ වෙනත් යම් ආණ්ඩුවක් හෝ ජාත්‍යන්තර සංවිධානයක් සාවද්‍ය ලෙස හෝ නීතිවිරෝධි ලෙස පෙළඹවීමේ අරමුණින් යුතුව,

(111) එවැනි යම් ආණ්ඩුවක් ක්‍රියා කිරීම වැළැක්වීමේ අරමුණින් යුතුව, හෝ

(1V) ශ්‍රී ලංකාවේ හෝ වෙනත් යම් ස්වෛරී රටක භෞමික අඛණ්ඩතාවයට හෝ ස්වෛරීබවට හානි සිදු කිරීමේ අරමුණින් යුතුව." (............ සිදු කරනු ලබන වැරදි එහි දක්වා ඇත.) යන පැහැදිලි කිරීම සඳහන් කර ඇති බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කරයි.

එම නිර්වචනය ප්‍රධාන කරගනිමින් තවත් කරුණු කිහිපයක්ම සළකා බලන මහේස්ත්‍රාත්වරයා, සිය තීරණයේ සඳහන් කරන්නේ, වසන්ත මුදලිගේ නමැති මෙම සැකකරු සම්බන්ධයෙන් "...ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත යටතේ එකී පනත පැනවීමේදී අරමුණු කරනු ලැබූ ත්‍රස්තවාදියකු යන්නට හෝ ත්‍රස්තවාදී ක්‍රියාවත් යන්නට අර්ථ නිරූපණය කිරීම සඳහා කරුණු මේ දක්වා ඉදිරිපත් වී නොමැති බව..." පෙනී යන බවයි.

ඉන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා සළකා බලනු ලැබූ ප්‍රධාන කාරණයක් වන්නේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ දෙවන වගන්තිය යටතේ සකකරුට එරෙහිව ගොනුකර ඇති චෝදනා සම්බන්ධයෙනි.

එහිදී පනතේ 2(1)(අ), 2(1)(ආ), 2(1)(ඇ), 2(1)(ඉ), 2(1)(උ), 2(1)(ඌ) හෝ 2(1)(එ) යටතේ ගොනුකර ඇති 'අපහරණය' හෝ 'දේපළකට සිදුකරන අනර්ථයක්' වැනි වැරදි කිසිවක්, මෙම සැකකරු සම්බන්ධයෙන් අදාළ කරගැනීම සඳහා, ඉදිරිපත් කර ඇති සාක්ෂි, අධිකරණය හමුවේ ඇති සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවල නොමැති බව මහේස්ත්‍රාත්වරයා පෙන්වාදෙයි. එසේම පනතේ 3(1)(අ) සහ 3(1)(ආ) යන වගන්ති යටතේ සැකකරුට එරෙහිව ගොනුකර ඇති 'අනුබලදීම' හෝ කුමන්ත්‍රණය කිරීම' යන චෝදනා සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂිද, අදාළ සම්පිණ්ඩන වාර්තාවල අන්තර්ගත නොවන බව මහේස්ත්‍රාත්වරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වාදෙයි.

නඩු තීන්දුවේ එය සඳහන් වන්නේ මෙසේය.

"මෙම පළමු සැකකරු මාස ගණනාවක් තිස්සේ රදවා තබා ගනිමින් කරන ලද විමර්ශනවල ප්‍රතිඵලයක් වශයෙන් කුමන්ත්‍රණය කිරීම, අනුශාසනා කිරීම සහ අනුබල දීම සිදු කළ වෙනත් කිසිදු තැනැත්තකු අනාවරණය කර ගත් බවට කිසිදු කරුණක් මෙම වාර්තාවල අන්තර්ගත නොවේ" යනුවෙනි.

කොළඹ අධිකරණ සංකීර්ණය අසල

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කොළඹ අධිකරණ සංකීර්ණය අසල

පොලිස් නිලධාරීන්ගේ සාක්ෂි

මෙම නඩු තීන්දුවේ පවතින තවත් වැදගත් කරුණක් වන්නේ වසන්ත මුදලිගේට එරෙහිව චෝදනා ගොනුකිරිමේදී පොලිස් නිලධාරීන් ලබාදී ඇති සාක්ෂි ය. පොලිස් නිලධාරීන් විසින් ලබාදී ඇතැයි චෝදනාවල සටහන් සාක්ෂි, අදාළ සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවල නොමැතිවීම, ප්‍රමාද වී සාක්ෂි ලබාදීම, සමීපව සිටි අනෙකුත් නිලධාරීන් ආදළ සිදුවීම් දැක නොතිබීම සහ ලබාදී ඇති සාක්ෂි තහවුරු නොවීම යන තත්ත්වයන් මෙහිදී පෙන්වාදෙන මහේස්ත්‍රාත්වරයා, එම සාක්ෂි අනුව යමින් සැකකරුට එරෙහිව ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ 2 හෝ 3 වගන්ති යටතේ ගොනුකර ඇති චෝදනා කිසිවක් තහවුරු කළ නොහැකි බව පෙන්වාදෙයි.

මෙහි සඳහන් කළයුතු තවත් කරුණක් වන්නේ පොලිසිය විසින් සිය 'බී' වාර්තා මගින් ඉදිරිපත් කර ඇති සියලුම කරුණු සම්බන්ධයෙන් වසන්ත මුදලිගේට එරෙහිව පොලිසිය රටේ සාමාන්‍ය නීතිය යටතේත් නඩු පවරා තිබීමයි. නඩු තීන්දුවේදී එම කරුණද සළකා බලා ඇති බව නීතිඥ නුවන් බෝපගේ සඳහන් කරයි.

"එකම පුද්ගලයාට එකම කාරණය සම්බන්ධයෙන් සාමාන්‍ය නීතිය යටතේ වගේම ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේත් නඩු පවරලා තියෙනවා.එහෙම වෙන්න බැහැනේ. අපි ඊට අදාළ 'බී' වාර්තා අධිකරණයට ඉදිරිපත් කළා. එතැනදී මහේස්ත්‍රාත්තුමා ඒ නඩුවල සාක්ෂියි, මේ නඩුවේ සාක්ෂියි සංසන්දනය කරලා බලල තියෙනවා. නඩු තීන්දුවේ තැන් කීපෙකම සඳහන් වෙනවා, සමාන කරුණුවලට සාමන්‍ය නිතිය යටතේත් නඩු දාලා තියෙනවා කියලා."

ඉන් අනතුරුව, මෙලෙස 'බී' වාර්තාවක් හෝ අනෙකුත් වාර්තාවක් මගින් ගොනුකර ඇති ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ පවතින වරදවල් අනාවරණය නොවන අවස්ථාවකදී තමා කටයුතු කර ඇත්තේ කෙසේද යන්නද මහේස්ත්‍රාත්වරයා සිය තීරණයේ සටහන් කර ඇත.

අධිකරණ පුර්වාදර්ශ

එහිදී, මෑතකදී තීරණය වූ 'උදය ගම්මන්පිල එරෙහිව ගුණතිලක සහ තවත් අය' යන නඩුවේදී ශ්‍රී පවන් අගවිනිසුරුවරයා විසින් පෙන්වාදී ඇති මහේස්ත්‍රාත්වරයකු කටයුතු කළයුතු ආකාරය පිළිබඳව මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් පෙන්වාදී ඇත. මෙම පෙන්වාදීමේ ඇති විශේෂත්වය වන්නේ, මෙවැනි අවස්ථාවකදී මහේස්ත්‍රාත්වරයකු පොලිසියේ 'බී' වාර්තාව අනුව පමණක් යමින් 'යාන්ත්‍රිකව කටයුතු නොකළ යුතුය' යන කාරණය අවධාරණය කර තිබීමයි.

"ඒ අනුව බී වාර්තාවක් ඉදිරිපත් වී ඇති අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයකු සිය අධිකරණ මනස භාවිතා කරමින් එම බී වාර්තාවේ ඇති කරුණු සම්බන්ධයෙන් නියමිත මගපෙන්වීම සිදු කරමින් කටයුතු කළ යුතු බවත්, යාන්ත්‍රිකව ක්‍රියාකරමින් අධිකරණමය මනස භාවිතා නොකර කටයුතු නොකළ යුතු බවයි.

ඒ අනුව මෙම ගම්මන්පිල නඩු තීන්දුව මගින් ද බී වාර්තාවක ඇති කරුණු පිළිබඳව අධිකරණය මනස භාවිතා කරමින් අධිකරණමය ක්‍රියාවක නිරත වීම මහේස්ත්‍රාත්වරයෙකු විසින් සිදුකළ යුතු බව පැහැදිලිවම ශ්‍රේෂ්ඨාධිකරණය ද දක්වා ඇත." මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මාර්ගෝපදේශය ලබාගත් ආකාරය සඳහන් කර ඇත්තේ එලෙසය.

ඊට අමතරව, මේනකා විජේසුන්දර සහ ශිරාණි බණ්ඩාරනායක යන ඉහළ අධිකරණවල විනිසුරුවන් ලබාදුන් තීන්දු සහ තවත් නඩු ඇසුරින් සිය තීන්දුවට මාර්ගෝපදේශ ලබාගත් බවද මහේස්ත්‍රාත්වරයා මෙහිදී පෙන්වාදෙයි.

අධිකරණ තීන්දුව

මෙම සියලු කරුණු මත පදනම්ව මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් සිය තීන්දුවේ සාරාංශය ප්‍රකාශ කරන්නේ මේ ආකාරයෙනි.

"ඒ අනුව මෙම අවස්ථාවේදී මෙම පළමු සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත අදාළ වන තැනැත්තෙකු බවට ප්‍රමාණවත් කරුණු (සාක්ෂි) ඉදිරිපත් වී නොතිබීමත් සහ ඔහු විසින් එම පනත යටත් වරදක් සිදු කර ඇති බව අනාවරණය නොවීමත් මත ඔහුව තවදුරටත් බන්ධනාගාරයේ තැබීම සදහා වන කිසිදු කරුණක් මා වෙත ඉදිරිපත් වී නොමැති බවත් පෙනී යයි. ඒ අනුව මෙම පළමු සැකකරු වන මුදලිගේ වසන්ත කුමාර මුදලිගේ යන අය මෙම නඩුවෙන් නිදහස් කිරීමට තීරණය කරමි."

තීන්දුවට එරෙහිව මහාධිකරණය වෙත පොලිසියෙන් ඇපෑලක්

කෙසේවෙතත්,ශ්‍රී ලංකා නඩු තීන්දු ඉතිහාසය වෙනස් කළ සහ දශක ගණනාවක් තිස්සේ දේශීයව සහ අන්තර්ජාතිකව දැඩි සේ විවේචනයට ලක්ව ඇති ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අභියෝගයට ලක්කරමින්,ප්‍රසන්න අල්විස් මහේස්ත්‍රාත්වරයා විසින් වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් ලබාදුන් මෙම ඓතිහාසික නියෝගය, නැතිනම් තීන්දුව අභියෝගයට ලක්කරමින් මහාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කරන බව පොලීසිය ප්‍රකාශ කරයි.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ලබාදුන් එම නියෝගය සම්බන්ධයෙන් පවතින නෛතික විධිවිධාන ප්‍රකාරව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා පොලිස් මුලස්ථානය ඊයේ (02) නීතිපතිවරයා වෙත ඉල්ලීමක් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් නීතිඥ නුවන් බෝපගේ පවසන්නේ මෙවැනි අදහසකි.

"මහාධිකරණයට ඒ ආකාරයේ ප්‍රතිශෝධනයක් ඉදිරිපත් කළා කියලා නඩු පොත්වල තියෙන කරුණු වෙනස් වෙන්නේ නැහැනේ. ප්‍රතිශෝධනයක් දැම්මත් සාක්කි නැත්නම් නෑ තමයි." ඔහු කියා සිටියේය.