ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මෙවර මහ මැතිවරණයට තරග කරන ජනප්‍රිය මුහුණු
මහ මැතිවරණය සඳහා තරග කරන ජනප්‍රිය චරිත පිළිබඳව පසුගිය වකවානුවේදී මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇතිවිය. ඒ අතර රංගන ශිල්පීන්, ක්‍රීඩකයින් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් ද ඇතුළත්ව සිටිනු දකින්නට ලැබුණි.
තවත් මාසයකින් පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තරග කරනු ලබන සියලුම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සිය නාම යෝජනා භාර දී අවසන්ව තිබේ.
ඒ අනුව මෙවර මහ මැතිවරණය සඳහා තරග කරනු ලබන අපේක්ෂකයින් අතර සිටින ජනප්‍රිය පිරිස් කවුරුන්ද? යන්න පිළිබඳව අපි සොයා බැලීමක් කළෙමු.
කමල් අද්දරආරච්චි:
රංගන ශිල්පියෙකු සහ ගායන ශිල්පියෙකු මෙන්ම නිවේදකයෙකු ද වන කමල් අද්දරආරච්චි මෙවර මහ මැතිවරණය සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට නියමිතයි.
ඔහු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීරගේ පුත්‍රයා වන උවිඳු විජේවීර නායකත්වය ලබා දෙන 'දෙවෙනි පරපුර' පක්ෂය යටතේ තරග කරයි.
ජගත් මනුවර්ණ:
රංගන ශිල්පියෙකු මෙන්ම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු ද වන ජගත් මනුවර්ණ ජාතික ජනබලවේගය පක්ෂයෙන් මෙවර මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තරග කිරීමට නියමිතයි.
රුවන්ති මංගලා:
රංගන ශිල්පිනියක් වන රුවන්ති මංගලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තරග වදිනු ලැබේ. ඇය ගායන ශිල්පී නාමල් උඩුගමගේ ගේ බිරිඳයි.
ඇය මීට පෙර 2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණය සඳහා කඩුවෙල මැතිවරණ කොට්ඨාසය යටතේ තරග කරනු ලැබිය.
ජෙහාන් අප්පුහාමි:
දක්ෂ රංගන ශිල්පියෙකු වන ජෙහාන් අප්පුහාමි, පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් පුත්තලම දිස්ත්‍රික්කය සඳහා තරග වැදීමට නියමිතයි. 2022 වසරේ දී 'අරගලය' ජනතා විරෝධයේදී ජෙහාන් අප්පුහාමි ප්‍රබල ලෙස එවකට ආණ්ඩුව විවේචනය කරනු ලැබූ අයෙකු ලෙස ප්‍රසිද්ධ විය.
විරෝධතා අතර වාරයේදී කොටුව ජනාධිපති මන්දිරයට බලාත්කාරයෙන් ඇතුළු වූ බවට ඔහුට චෝදනා එල්ල වූ අතර පසුව අධිකරණයට භාරවීමෙන් අනතුරුව ඇප මත මුදාහරින ලදී.
අනුෂා දමයන්ති:
රංගන සහ නර්තන ශිල්පිනියක් වන අනුෂා දමයන්ති මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවට ඇතුළත්ව සිටියි. ඇය 2019 වසරේදී පැවති ජනාධිපතිවරණය සඳහා තරග කළ ගෝඨාභය රාජපක්ෂගේ මෙන්ම මෙවර ජනාධිපතිවරණයේදී නාමල් රාජපක්ෂ වෙනුවෙන් දේශපාලන වේදිකාවේ අදහස් දැක්වූ කාන්තාවක් ලෙස ප්‍රසිද්ධ වී සිටියි.
චමිලා කුමුදු පීරිස්:
ටෙලි නාට්‍ය මෙන්ම වේදිකාවේ ද ප්‍රවීණ රංගන ශිල්පිනීයක් වන චමිලා කුමුදු පීරිස්, මෙවර මහ මැතිවරණය සඳහා ජාතික ජනබල වේගය පක්ෂය නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවට නම් කර සිටියි.
සුදත් රෝහණ:
ටෙලි නාට්‍ය සහ සිනමා අධ්‍යක්ෂකවරයෙකු වන සුදත් රෝහණ මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවට නම් කර සිටියි.
කීර්ති වැලිසරගේ:
සම්මානිත සාහිත්‍යවේදීයෙකු වන කීර්ති වැලිසරගේ ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජිකයෙකු වන අතර ඔහු මෙවර එම පක්ෂයේ ජාතික ලැයිස්තුවට ඇතුළත්ව සිටියි.
හිනිඳුම සුනිල් සෙනවි:
මහාචාර්යවරයෙකු මෙන්ම ලේඛකයෙකු ලෙස ප්‍රසිද්ධ හිනිඳුම සුනිල් සෙනෙවි මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය පක්ෂයෙන් තරග කරනු ලබන්නේ රත්නපුර දිස්ත්‍රික්කයටයි.
නිමල්කා ප්‍රනාන්දු:
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවට නම් කර ඇති නිමල්කා ප්‍රනාන්දු නීතිඥවරියක් මෙන්ම ප්‍රමුඛ පෙළේ මානව හිමිකම් ක්‍රියාකාරිණියක් ද වෙයි.
සුගත් තිලකරත්න:
කෙටි දුර ධාවන ශුරයෙකු වන සුගත් තිලකරත්න ද මෙවර ජාතික ජනබලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තුවට නම් කර ඇත.
තිලකරත්න ඩිල්ෂාන්:
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන් 'එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඩ' පක්ෂයෙන් කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග වැදීමට නියමිතයි.
ඉකුත් ජනාධිපතිවරණයේදී සමගි ජනබල වේගය පක්ෂයෙන් තරග කළ සජිත් ප්‍රේමදාස වෙනුවෙන් සහය දැක්වූ තිලකරත්න ඩිල්ෂාන් ඊට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් සහය දැක්විය.