රාජපක්ෂ පවුලේ ප්‍රබලයෝ පසු බසිති; මහ මැතිවරණයට රාජපක්ෂවරුන් නොඑන්නේ ඇයි?

"ඔබ හිතනවා ද තවත් රාජපක්ෂ කෙනෙක්ට එන්න පුළුවන් ද කියලා ජනාධිපති තියා මන්ත්‍රීවරයෙක් වෙන්න." ඒ, 2022 වසරේදී අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ බීබීසී සිංහල සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී කළ ප්‍රකාශයකි.

ඔහුගේ එම ප්‍රකාශය සැබෑවක් කරමින් වසර 3ක් ගතවීමටත් පෙර රාජපක්ෂවරුන්ගේ දේශපාලන ගමන් මග විශාල පසුබෑමකට ලක් වී ඇති ව තිබේ.

කෙසේ වෙතත්, එම ප්‍රකාශය කළ රනිල් වික්‍රමසිංහට ද තම දේශපාලන ගමන් මගේ අඛණ්ඩ ජනාධිපතිවරණ පරාජයට මුහුණ දීමට පසුගිය දා සිදුවිය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘවරුන් වන රාජපක්ෂ ප්‍රබලයින් කිසිවෙකුත් මෙවර මැතිවරණය තරග ලැයිස්තුවට සහ නාම යෝජනා ලැයිස්තුවට ඇතුළත් නොවීම කැපී පෙනෙන්නකි.

2005 වසරේ සිට 2019 දක්වා මෙරට දේශපාලනයේ සිය ආධිපත්‍යය පතුරවා ගෙන සිටි රාජපක්ෂවරුන්ට මෙවැනි දේශපාලන ඉරණමක් අත්වූයේ කෙසේ ද?

මහ මැතිවරණයට තරග නොකරන රාජපක්ෂවරුන් කවුද?

වසර ගණනාවක් තිස්සේ රාජපක්ෂ පවුල ශ්‍රී ලංකාව තුළ සැලකිය යුතු බලයක් දැරූ අතර රාජපක්ෂවරුන් විසින් ජනාධිපති, අගමැති, කැබිනට් අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය, ආණ්ඩුකාර සහ මන්ත්‍රී, අධීක්ෂණ මන්ත්‍රී වැනි ධුර පමණක් නොව රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ ධුරය ද දරනු ලැබීය.

කෙසේ වෙතත්, ඉදිරි මහ මැතිවරණයට රාජපක්ෂ පවුලේ ප්‍රකට චරිත කිසිවෙක් තරග නොකරති.

'රාජපක්ෂ පවුල් බලය' ගොඩගැනීමේ මූලිකයා වූයේ දශක 5කට අධික කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ මහින්ද රාජපක්ෂ ය.

දෙවරක් ජනාධිපති ධූරය සහ අනතුරුව අගමැති ධුරය දැරූ මහින්ද රාජපක්ෂ ද මෙවර මහා මැතිවරණයට තරග නොකරයි.

අවස්ථා දෙකකදී විධායක ජනාධිපති ධුරය හොබවනු ලැබූ මහින්ද රාජපක්ෂ පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසියේ 1970 වර්ෂයේදී යි.

2020 වර්ෂයේදී පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කළ ඔහු මනාප 527,364ක් ලබා ගනිමින් ඉතිහාසයේ මන්ත්‍රීවරයෙකු ලබා ගත් වැඩි ම මනාප සංඛ්‍යාව හිමිකර ගැනීමට සමත් විය.

'මම සමුගත්තේ නෑ. පාර්ලිමේන්තුවේ 113 ලේසියෙන් ම ගන්නවා' - මහින්ද රාජපක්ෂ

මේ අතර, තමන් දේශපාලනයෙන් සමු නොගත් බවත්, මහ මැතිවරණයේදී "ආසන 113ක් දිනා ගැනීම ලේසි කටයුත්තක්" බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ (ඔක්: 15) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති උත්සවයකට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.

මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් සොහොයුරා වන චමල් රාජපක්ෂ මෙවර මහා මැතිවරණයට තරග නොකර අතර ඉකුත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ නාමල් රාජපක්ෂ ද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකරයි.

ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට ඔහු අදහස් කරන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තු අපේක්ෂකයින්ගේ ලැයිස්තුවේ පළමු තැන හිමිව ඇත්තේ නාමල් රාජපක්ෂට ය.

මේ අතර, මෙවර මහ මැතිවරණයට තරග නොකර ජාතික ලැයිස්තුවට නම ඇතුළත් කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ පැහැදිලි කිරීමක් කර තිබේ.

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට තමන් තරග නොකළේ පක්ෂයේ තීරණයකට අනුව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

නාමල්ගෙන් පැහැදිලි කිරීමක්

එළඹෙන මහ මැතිවරණයට තරග නොකර ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වීමට තීරණය කළේ ඇයි ද යන්න සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.

"මම හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වෙන්න සූදානම් වෙලා හිටියේ. නමුත් මේ පාර පක්ෂය මෙහෙයවන්න කවුරුත් නැහැ. කලින් හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ මැතිවරණ සමයේදී පක්ෂය මෙහෙයවීම කළා. ඒ නිසා පක්ෂය තීරණය කළා මෙවර මහ මැතිවරණයේ මෙහෙයවීම මට කරන්න කියලා. ඒ නිස යි මම තරග කරන්නේ නැත්තේ. ඒක පක්ෂයේ තීරණයක්." ඔහු පැවසුවේය.

වසර 88කට පසුව මෙවර කිසිදු රාජපක්ෂවරයෙක් හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහ මැතිවරණයට තරග නොකරන්නේ ඇයි ද යන්න සම්බන්ධයෙන් කළ විමසීමට නාමල් රාජපක්ෂ හිටපු මන්ත්‍රීවරයා ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.

"හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වගේ ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ ගිය මහ මැතිවරණයේදී තීරණයක් අරන් තිබුණේ, ඒ තමන් තරග කරන අවසාන මහ මැතිවරණය කියලා."

"කට්ටියට රාජපක්ෂලා වැඩි වුණත් ප්‍රශ්නයක්, අඩු වුණත් ප්‍රශ්නයක්"

"හැබැයි මම හම්බන්තොටින් දේශපාලනය කරන එක නතර කරලා නැහැ. ඒක කියන්න ඕන."

පසුගිය ජනාධිපතිවරණයට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ද යළි ඇමෙරිකාව බලා පිටත්ව ගියේ ය.

ඒ අනුව, මෙවර මහ මැතිවරණයට රජපක්ෂ පවුල නියෝජනය කරමින් තරග කරනු ලබන්නේ හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ පුත් ශෂේන්ද්‍ර රාජපක්ෂ සහ ඥාති පුත්‍රයෙකු වන නිපුණ රණවක පමණි.

රාජපක්ෂවරුන්ගේ පසුබෑමට හේතුව රට බංකොලොත් කිරීම ද?

රට තුළ මතු වූ ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පිරිස මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි ( 2022 නොවැම්බර් 14 වැනිදා) තීන්දු කළේය.

හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්.ආටිගල, හිටපු ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය යන පිරිස විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බව අග විනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු එහිදී තීන්දු කළහ.

මෙම කාල සීමාව තුළ වගඋත්තරකරුවන් රට තුළ ආර්ථික අවපාතයක් මතුවිය හැකි බවට කරුණු වටහා ගෙන සිටි බව පැහැදිලි වන්නේ යැයි සඳහන් කළ අගවිනිසුරුවරයා මෙම තත්ත්වය වැළැක්වීමට ඔවුන් නිසි පියවර නොගත් බවත් සඳහන් කර සිටියේය.

එහි ප්‍රතිඵලයක් ලෙස අත්‍යවශ්‍ය සේවාවන් වන විදුලිය, ගෑස්, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන් අඛණ්ඩව සපයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී මහජනතාව මෙන්ම රට ද දැඩි අගාධයකට ඇද වැටුණු බවත් තීන්දුවේ සඳහන් කර තිබේ.

රට තුළ ආර්ථික අර්බුදයක් මතු විය හැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ආර්ථික විශේෂඥයින් මත පළ කර තිබියදීත් වගඋත්තරකරුවන් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත්ව කටයුතු කළ ආකාරයක් පෙනී නොයන බවත් ආර්ථික අර්බුදය මැඩලීමට තමන් සියලු ක්‍රියාමාර්ග ගත් බවට වගඋත්තරකරුවන් කරනු ලබන ප්‍රකාශ පිළිගත නොහැකි බවත් නඩු තීන්දුවේ සඳහන් විය.

මේ තුළින් වගඋත්තරකරුවන් මහජන විශ්වාසය හා භාරය කඩ කරමින් කටයුතු කර ඇති බවත් ඒ තුළින් ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර තිබෙන බවත් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර වියතුන්ගේ තීන්දුවේ සඳහන් විය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් වන්දි ගෙවන ලෙස අධිකරණය විසින් නියෝග නිකුත් නොකරන බව සඳහන් කළ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් වග උත්තරකරුවන් විසින් පෙත්සම්කරුවන්ට රුපියල් 150,000/- බැගින් නඩු ගාස්තු ගෙවිය යුතු බව වැඩිදුරටත් සඳහන් කළේය.

යුද වීරයින්ට මොකද වුණේ ?

යුද්ධ ජයග්‍රහණය කිරීමේ වීරයන් ලෙස බොහෝ දෙනා විසින් හුවා දැක්වූ රාජපක්ෂ සහෝදරයෝ; දුෂණය හා වංචා හේතුවෙන් ජනතාව අතර අප්‍රසාදයට පත්වෙමින් තිබු නමුදු නායකයින් ලෙස දැඩි සමාජ අපවාදයට ලක් වුයේ ගෝඨාභය රාජපක්ෂ පාලන සමය තුළ ගනු ලැබු අසාර්ථක තීන්දු තීරණ හා ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති හේතුවෙනි.

එහිදී මතුවූ විරෝධය ගෝඨාභය රාජපක්ෂට පමණක් නොව සමස්ථ රාජපක්ෂ පවුලට ම එල්ල විය.

‘ගෝඨා ගෝ හෝම්’ සටන් පාඨයට අමතරව ‘මයිනා ගෝ හෝම්’ ලෙස ද විරෝධතා පුවරු එවකට ජනප්‍රිය වූ අතර සමස්ත රාජපක්ෂවරුන්ටම මැති අමැති ධුර වලින් ඉවත් වන ලෙසට බලපෑම් එල්ල විය.

ගාලු මුවදොරදී අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියෙන් පසු, මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වූ අතර අනතුරව පත්වු ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයට කිසිදු රාජපක්ෂවරයෙකු ඇතුළත් නොවීය.

අරගලය අතරතුර දේශපාලනඥයින්ගේ නිවාස රැසක් ගිනිබත් කෙරුණු අතර එයින් ඇතැම් දේපළ රාජපක්ෂ පවුලට අයත් විය.

අරගලය සමයේ මහින්ද රාජපක්ෂ ආරක්ෂාව සඳහා ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරක රඳවනු ලැබිණි.

දෙවරක් ජනාධිපති ධූරය දැරූ ඔහුට එය දැඩි අවමානයක් ගෙනදුන් අතර, ඔහුට රටින් පිටවීම ද අධිකරණ නියෝගයකින් තහනම් කර තිබිණි.

LTTE සංවිධානයට එරෙහිව දශක තුනකට ආසන්න කාලයක් පැවති සිවිල් යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂ, බහුතර සිංහලයන් විසින් වරක් වීරයෙකු ලෙස සලකනු ලැබීය.