ඉන්දියාවේ මාරක රිය අනතුරකට Google Maps වගකිව යුතු බවට විවේචන එල්ල වෙයි

ඡායාරූප මූලාශ්‍රය, Anoop Mishra
- Author, චෙරිලන් මෝලන් සහ සයඩ් මෝසිස් ඉමාම්
- Role, බීබීසී පුවත් සහ බීබීසී හින්දි
පරිශීලකයෙකු අනතුරට ලක් වුවහොත් එහි වගකීම මග කියන යෙදුමකට (navigation app) පැවරිය හැකි ද?
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේදී මෝටර් රථයක් වැඩ නිම නොකළ පාලමකින් ඉවතට පැන ගංගාවකට වැටී එහි සිටි පුද්ගලයින් තිදෙනෙකු මිය යාමෙන් අනතුරුව එරට ජනතාව නගන ප්‍රශ්නය එය යි.
ඉරිදා සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය තවමත් පරීක්ෂණ පවත්වන නමුත් ඔවුන් තිදෙනා එම මාර්ගයට ගෙන යාමට Google Maps හේතු වූ බව ඔවුහු විශ්වාස කරති.
මෙම වසර මුලදී ජලගැලීම් හේතුවෙන් පාලමේ කොටසක් කඩා වැටී තිබූ බව වාර්තා වන අතර ප්‍රදේශ වාසීන් ඒ පිළිබඳව අවබෝධයෙන් එම පාලම භාවිත නොකළ ද, මෙම පුද්ගලයින් තිදෙනා පිටස්තරයින් වූ බැවින් ඔවුන් ඒ පිළිබඳව නොදැන සිට ඇත. පාලමේ වැඩ නිම නොකළ බවට සඳහන් බාධක හෝ සංඥා පුවරු ද නොතිබිණි.
ප්‍රාන්තයේ මහා මාර්ග දෙපාර්තමේන්තුවේ ඉන්ජිනේරුවරුන් සිව් දෙනෙකුටත්, Google Mapsහි නම් සඳහන් නොකළ නිලධාරියෙකුටත් එරෙහිව බලධාරීන් විසින් සාවද්‍ය මනුෂ්‍ය ඝාතන චෝදනා යටතේ පොලිස් පැමිණිලි ගොනු කර තිබේ.
Googleහි ප්‍රකාශකයෙකු බීබීසී හින්දි වෙත පැවසුවේ, විමර්ශනයට සහයෝගය දක්වන බව ය.
මෙම ඛේදනීය අනතුර ඉන්දියාවේ දුර්වල මාර්ග යටිතල පහසුකම් පිළිබඳ අවධානය යොමු කර ඇති අතර ම Google Maps වැනි මග පෙන්වන යෙදුම් එවැනි සිදුවීම් සඳහා වගකීම දරන්නේ ද යන්න පිළිබඳ විවාදයක් ඇති වී තිබේ.
එක් පිරිසක්, නිවැරදි තොරතුරු ලබා නොදීම ගැන යෙදුමට දොස් පවරන අතර තවත් පිරිසක් තර්ක කරන්නේ, එම ස්ථානයට පිවිසීම තනහම් කිරීමට පියවර නොගැනීම රජයේ පාර්ශවයේ විශාල අසාර්ථකත්වයක් බව ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
Google Maps යනු, ඉන්දියාවේ වඩාත් ම ජනප්‍රිය මග කියන යෙදුම වන අතර එය GPS (Global Positioning System) හෙවත් චන්ද්‍රිකා මත පදනම් වූ ගුවන්විදුලි සංචාලන පද්ධතියට සමානව ක්‍රියාත්මක වන්නකි.
එය බොහෝ ගමනාන්ත, ඊ-වානිජ්‍යය සහ ආහාර බෙදා හැරීම ආදී සේවාවන් ද බලගන්වයි. මෙම යෙදුමට මිලියන 60ක් පමණ ක්‍රියාකාරී පරිශීලකයින් සිටින අතර දිනකට මිලියන 50ක් පමණ සෙවීම් සිදු කරයි.
නමුත් වැරදි මග පෙන්වීම් හේතුවෙන් මෙම යෙදුම නිතර කතාබහට ලක් වී ඇති අතර, එය ඇතැම් විට මාරාන්තික අනතුරුවලට තුඩු දී තිබේ.
2021දී, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පුද්ගලයෙක් තම මෝටර් රථය වේල්ලක් වෙත ධාවනය කිරීමෙන් පසු අනතුරට ලක්වී දියේ ගිලී මිය ගියේ ය. ඔහු මෙම යෙදුම ලබා දුන් මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිටියදී එම අනතුර සිදුවූ බවට එහිදී චෝදනා එල්ල විය.
පසුගිය වසරේ කේරළ ප්‍රාන්තයේ තරුණ වෛද්‍යවරුන් දෙදෙනෙක් තම මෝටර් රථය ගඟක් මතට පැදවීමෙන් මරණයට පත් වූහ. පොලිසිය පැවසුවේ, ඔවුන් මෙම යෙදුමේ පෙන්වා ඇති මාර්ගයක ගමන් කරමින් සිට ඇති බවත්, මාර්ග ජලයෙන් යට වූ විට එම යෙදුම මත ඕනෑවට වඩා විශ්වාසය තැබීමෙන් වළකින ලෙස දැනුම් දුන් බවත් ය.

ඡායාරූප මූලාශ්‍රය, ANI
Google Maps මාර්ගවල සිදුවන වෙනස්කම් පිළිබඳව දැන ගන්නේ කෙසේ ද?
පරිශීලකයන්ගේ යෙදුම්වලින් ලැබෙන GPS සංඥා ඔස්සේ මාර්ගවල රථවාහන චලනයේ සිදුවන වෙනස්කම් නිරීක්ෂණය කරයි. සංඥා වැඩිවීමකදී තදබදය වැඩි බව ද අඩු වීමකදී එම මාර්ගය අඩුවෙන් භාවිත වන බව ද පෙන්වයි.
මාර්ග තදබද ගැන දෛනිකව ගලා එන මිලියන ගණනක පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීමට Google සමාගමට ශ්‍රම ශක්තිය නොමැති බැවින් අධික තදබදයකට අදාළ පැමිණිලි හෝ බලධාරීන් විසින් දැනුම් දෙනු ලබන ඒවාට ප්‍රමුඛත්වය දෙන බව, මාර්ග සිතියම් යෙදුමක් වන Potter Mapsහි නිර්මාතෘ සහ Google Mapsහි හිටපු සේවකයෙකු වන අශිෂ් නායර් පවසයි.
"ඊට පස්සේ වෙනස්කම් ගැන තහවුරු කර ගන්න සහ මැප් එක අප්ඩේට් කරන්න, මැප් ක්‍රියාකරුවෙක් චන්ද්‍රිකා රූප, Google Street View සහ රජයන් කරන දැනුම් දීම් පාවිච්චි කරනවා."
නායර්ට අනුව, පරිශීලකයන් තමන් විසින් ම තීරණය කරන ලද මාර්ගයක ගමන් කළ යුතු බවටත් යෙදුම මගින් සපයනු ලබන තොරතුරුවලට වඩා සත්‍ය තත්ත්වය වෙනස් විය හැකි බවටත් එම යෙදුම්වල කොන්දේසිවල පැහැදිලිව දක්වා ඇති බැවින් ඒවා වෙත අනතුරුවල වගකීම පැටවිය නොහැක.
ඒ හැරුණු කොට, ලොව පුරා ම සිතියම් කළමනාකරණය කරන ගූගල් වැනි වේදිකාවකට, මාර්ගයක සිදුවන සෑම වෙනස්කමක් ම නිරීක්ෂණය කිරීම ඉතා අපහසු බව ද ඔහු වැඩිදුරටත් පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වෙනත් රටවල මෙන් නොව, ඉන්දියාවට ද එවැනි ගැටලු පිළිබඳ නියමිත වේලාවට වාර්තා කිරීමේ ශක්තිමත් පද්ධතියක් නොමැත.
"දත්ත එකතු කරන එක ඉන්දියාවට ලොකු අභියෝගයක්. යටිතල පහසුකම්වල සිද්ධ වෙන වෙනස්කම් වෙබ් පිටුවකට ඇතුළත් කරන්න පද්ධතියක් නැහැ. එහෙම තිබුණා නම්, ඒ දත්ත පස්සේ Google Maps වගේ යෙදුම්වලට පාවිච්චි කරන්න පුළුවන්. සිංගප්පූරුව වගේ රටවල්වලට ඒ වගේ ක්‍රමවේද තියෙනවා," නායර් පවසයි.
ඉන්දියාවේ අතිවිශාල ජනගහනය සහ වේගවත් සංවර්ධනය නිසා නිවැරදි, තත්‍ය කාලීන දත්ත ලබා ගැනීම වඩාත් අභියෝගාත්මක බව ඔහු වැඩිදුරටත් පවසයි. "වෙනත් වචනවලින් කියනවා නම්, දත්ත රැස් කිරීම සහ බෙදා ගැනීම සම්බන්ධයෙන් රජයයන් වඩාත් ක්‍රියාශීලී වන තෙක් වැරදි තොරතුරු තියෙන සිතියම් පවතිනවා."
මාර්ග අනතුරු සඳහා GPS යෙදුම්වලට නීත්‍යනුකූලව වගකිව හැකි ද යන්න පිළිබඳව නීතිඥයින් තුළ ඇත්තේ එක් මතයක් නොවේ.
ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ පනත Google Maps වැනි ඩිජිටල් වේදිකාවලට 'අතරමැදියෙකුගේ' (තෙවන පාර්ශවයක් විසින් සපයනු ලබන තොරතුරු බෙදා හරින වේදිකාවක්) තත්ත්වය ලබා දෙන බැවින් එය වගකීමෙන් ආරක්ෂා වන බව නීතිඥ සයිමා ඛාන් පවසයි.
නමුත් නිවැරදි, කාලෝචිත තොරතුරු ලබා දී තිබියදීත් අදාළ යෙදුම එහි නිවැරදි තොරතුරු සපයා නොමැති බව ඔප්පු කළ හැකි නම්, එය නොසැලකිලිමත්කමට වගකිව යුතු බව ඇය වැඩිදුරටත් පවසයි.














