'උදව් කරන්න ගිය අපට බැනපු මිනිස්සුත් හිටියා': විපතට පත්වූ ජනතාවට ආධාර රැගෙන ගිය ස්ටන්ට් යතුරු පැදි කණ්ඩායම

Team 90 Degrees

ඡායාරූප මූලාශ්‍රය, Team 90 Degrees

    • Author, දිනුක් හේවාවිතාරණ
    • Role, බීබීසී සිංහල

''මේ දවස් ටිකේ ජීවත් වෙලා ඉන්න මිනිස්සු, මියගිය මිනිස්සු වගේ ම ආධාර හොරකම් කරන්න හදපු මිනිස්සු පවා හම්බ වුණා'', ඒ බීබීසී සිංහල සේවය වෙත අදහස් දැක්වූ Team 90 Degrees යතුරු පැදි කණ්ඩායමේ සමාජිකයෙකු වන සුජේන්ද්‍ර නිරෝෂන් දැක්වූ අදහසකි.

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රිකයේ ගම්මානවල කොටුවී සිටි ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා ඇති වූ මුලික බාධාවක් වූයේ මාර්ග පද්ධතියට සිදුව තිබූ හානිය යි.

එවැනි තත්ත්වයක් මත ස්ටන්ට් යතුරු පැදි කණ්ඩායමක් වූ Team 90 Degreesහි ධාවකයින් අසරණව සිටි ජනතාවට අවශ්‍ය ආධාර බෙදා හැරීම සඳහා සිය හැකියාව ප්‍රයෝජනයට ගනිමින් ඉදිරිපත් වී තිබිණි.

කවුද මේ Team 90 Degrees කියන්නේ?

ශ්‍රී ලංකාවේ යතුරු පැදි භාවිත කරමින් ස්ටන්ට් ක්‍රියාවල නිරත වන Team 90 Degrees කණ්ඩායම 2011 වසරේදී නිර්මාණය කළ බව එහි නිර්මාතෘවරයා වන ජූඩ් ඇලෙක්ස් බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

"අපි Team 90 Degrees කියලා ස්ටන්ට් යතුරු පැදි කණ්ඩායම 2011 වසරේදී පටන් ගන්නේ ජූඩ්, සුදේශ් සහ අයේෂ් ඇලෙක්ස් කියන අපි සහෝදරයින් තුන්දෙනෙක්ගෙන්. ඊට අමතරව තවත් අපේ ම මිත්‍රයින් පිරිසක් මේ කණ්ඩායමට එකතු වෙලා ඉන්නවා.''

''අපි කණ්ඩායමක් විදිහට මූලිකව කරන දේ තමයි යතුරු පැදිවලින් මෝටර් ෂෝ තරගවල ප්‍රදර්ශනාත්මක සංදර්ශන කරන එක. මේකට අමතරව අපි යතුරු පැදි ධාවනයට ආස කරන අයට ඒ ගැන උගන්වන පාසැලක් පවත්වාගෙන යනවා," ඔහු පැවසුවේය.

ජූඩ් ඇලෙක්ස් ස්ටන්ට් යතුරු පැදි ධාවනයට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායේ යතුරු පැදි ක්‍රියාදාම උපදේශකවරයෙකු ලෙස ද කටයුතු කරන බව පැවසීය.

නිවෙස් පිරිසිදු කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය රැස් කර ඇති ආකාරය

ඡායාරූප මූලාශ්‍රය, Team 90 Degrees

ඡායාරූප ශීර්ෂ වැකිය, "පූගොඩ දන්න හිතවතෙක් කියනවා කන්න ලැබෙනවා බොන්න වතුර නැහැ කියලා. පුළුවන්නම් ගෙවල් සුද්ද කර ගන්න උදව් කරන්න කියලා. ඒ නිසා කෙමිකල් ලීටර් 300ක් එක්ක අවශ්‍ය කොසු ඉදල් එහෙම අරන් ගිහින් දුන්නා ගමේ අයට.''

'මුලින් ම අපි ආවේ යාළුවන්ට උදව් කරන්න'

නොවැම්බර් 27 වන දා පැවති තද වැසි තත්ත්වය සමග ඇති වූ ජලගැලීම් හේතුවෙන් ආපදාවන්ට ලක්වූ සිය මිතුරන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට උපකාර කිරීම අරමුණු කර ගනිමින් තමන් ඇතුළු කණ්ඩායම ගම්පහ ප්‍රදේශයට ගිය බවත්, පසුව එම අදහස මෙවැනි ක්‍රියාවකට ආරම්භය වූ බවත් ජූඩ් ඇලෙක්ස් බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසීය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"අපි නොවැම්බර් 27 වෙනි දා වෙද්දී ෂෝ එකක් කරලා ඉවර වෙලා ඇවිල්ලා ඉන්නකොට තමයි මේ වැස්සත් එක්ක ආව ගංවතුර නිසා ආපදාවට ලක්වුණ අපේ ම යාලුවෝ කිහිප දෙනෙක් එයාලට කෑම වතුර නැහැ කියලා දැනුම් දුන්නේ. ඒ නිස යි අපි මුලින් ම ඒ අයට අවශ්‍ය බඩු ටික ගෙනිහින් දෙන්න තීරණය කළේ. ඔය අතරේ අපේ ටීම් එකේ ඉන්නවා සුජේන්ද්‍ර නිරෝෂන් කියලා මල්ලි කෙනෙක්. එයා තමයි මුලින් ම මේ ගැන අදහස ඉදිරිපත් කරලා කිව්වේ අයියේ මේ වෙලාවේ මිනිස්සු ගොඩක් අසරණ වෙලා ඉන්නවා. අපිට දෙයක් කරන්න පුළුවන් කියලා. ඒ නිසා අපි තීරණය කළා අපිට කණ්ඩායමක් හැටියට කරන්න පුළුවන් දේ කරමු කියලා.''

''මුලින් ම මේ වැඩේ කරන්න පටන් ගත්තේ අපේ අතේ තිබ්බ සල්ලිවලින්. මම අපේ කණ්ඩායමේ අයට කිව්වා මේ වෙලාවේ රුපියල් 100කින් හරි උදව් කරන්න කියලා. එහෙම එකතු කර ගත්ත සල්ලිවලට අමතරව මගේ යාළුවෝ දෙන්නෙක් රුපියල් 10,000 ගාණෙ දුන්නා. මගේ මල්ලි කෙනෙක් ඔස්ට්‍රේලියාවේ බයික් කම්පනි එකක වැඩ කරනවා. එයත් රුපියල් ලක්ෂයක් දුන්නා. ජපානේ ඉන්න සහන් ඕෂධ කියලා කෙනෙක් රුපියල් 22,000ක් දෙනවා මිනිස්සුන්ට වතුර බෙදලා දෙන්න කියලා.''

''ඒකත් එක්ක තමයි අපි ගම්පහ දිස්ත්‍රික්කයේ උඩුගම්පොළ, ගණේමුල්ල වගේ පැතිවල ගංවතුරට අහුවෙලා ඉන්න අපේ යාළුවන්ට දෙන්න බඩු අරන් ගිහින් දෙන්න පටන් ගත්තේ. මගේ ළඟ තියෙන බඩී වෑන් එකෙන් තමයි මේ බඩු අරන් ගියේ අර විපතට පත්වෙලා ඉන්න අයට දෙන්න කියලා. ඒත් සමහර තැන්වලදී පාරවල් වතුරෙන් යට වෙලා නිසා යන්න බැරි වුණා. ඒ යද්දී මට අදහසක් ආවා අපේ ළඟ යිසිකල් තියෙනවා නේ කියලා. මේ එක බයික් එකක් සාමාන්‍යයෙන් ලක්ෂ 30-35 අතර වෙනවා. මොක ද ඒවා Stunt කරන්න හදපු ඒවා නිසා. මගේ යාළුවෙක්ගේ ලොරියක් තියෙනවා. ඒ ලොරියේ බයික් ටික පටවගෙන ඇවිල්ලා අපි මේ යන්න බැරි වුණ තැන්වලට ගිහින් ඒ බඩු ටික බෙදලා දුන්නා.''

''මේ අතරේ පූගොඩ දන්න හිතවතෙක් කියනවා කන්න ලැබෙනවා බොන්න වතුර නැහැ කියලා. පුළුවන්නම් ගෙවල් සුද්ද කර ගන්න උදව් කරන්න කියලා. ඒ නිසා කෙමිකල් ලීටර් 300ක් එක්ක අවශ්‍ය කොසු ඉදල් එහෙම අරන් ගිහින් දුන්නා ගමේ අයට.''

''පස්සේ සුරේන්ද්‍රයි අපේ ටීම් එකේ ඉන්න ලක්ෂාන් මල්ලි යි දෙන්න ම කිව්වා අපිට අවශ්‍ය පහසුකම් දෙන්න අපි මේ වැඩේ දිගට ම කරන්නම් කියලා. එහෙම තමයි අපි මේ වැඩේ කරමු කියලා තීරණය කලේ. මුලින් ම නුවරට යන්න තීරණය කරන්නේ මොක ද ඒ වෙද්දී ඒ පැත්තට ගොඩක් උදව් අවශ්‍ය යි කියලා ආරංචි වෙලා තිබ්බ නිසා. අනිත් එක මම මගේ කණ්ඩායමේ අයගේ ආරක්ෂාව ගැනත් බලන්න ඕන. කොහොම හරි මේ දෙන්නාගේ මෝටිවේෂන් එකත් එක්ක අපි වැඩේ කරන්න පටන් ගත්තා.''

''අපේ අතේ සල්ලිත් නැති නිසා අපිට මුදලින් කරන්න පුළුවන් උපරිම සීමාව මෙච්චර යි කියලා දැන ගත්ත නිසා අපේ හැකියාවෙන් මිනිස්සුන්ට කරන්න පුළුවන් උදව්ව කරන්න මේ වැඩේ පටන් ගත්තේ.''

ගම්පහ දිස්ත්‍රික්කයේ අතුරු මාර්ගයක කොටසක් ජලයෙන් යටවී ඇති අයුරු

ඡායාරූප මූලාශ්‍රය, Team 90 Degrees

ඡායාරූප ශීර්ෂ වැකිය, "සමහර තැන්වලදී පාරවල් වතුරෙන් යට වෙලා නිසා යන්න බැරි වුණා. ඒ යද්දී මට අදහසක් ආවා අපේ ළඟ බයිසිකල් තියෙනවා නේ කියලා."

''අපි රුපියල් ලක්ෂයක විතර පෙට්‍රල් ගහලා තියෙනවා බයික්වලට. මෙතැනදී කියන්න ඕන අපේ අතේ තිබ්බ සල්ලිවලින් තමයි බයික්වලට පෙට්‍රල් ගැහුවේ. එක තැනකදී අපිට අතේ සල්ලි නැතිව සුජේන්ද්‍රගේ අඳුනන දොස්තර කෙනෙක් හිටියා. එයා සල්ලි දීලා තිබ්බා පෙට්‍රල්වලට වියදම් කරන්න කියලා," ඔහු පැවසුවේ ය.

මේ අතර බීබීසී සිංහල සේවය වෙත අදහස් දැක්වූ Team 90 Degrees හි සාමාජිකයෙකු වන සුජේන්ද්‍ර නිරෝෂණ කියා සිටියේ, කොළඹට ආසන්න ප්‍රදේශවල ජනතාවට ආධාර ලැබීමට ඇති ඉඩකඩ සලකා බැලීමේදී රටේ මධ්‍යම පළාතේ දුෂ්කර ප්‍රදේශවල වෙසෙන පුද්ගලයින්ට අත්‍යවශ්‍ය භාණ්ඩ ලැබීමට ඇති අපහසුව සලකා බලා මෙම ක්‍රියාන්විතය දියත් කිරීමට තමන් තුළ උනන්දුවක් ඇති වූ බව ය.

"මම ඉන්නේ ජා-ඇළ. මට ඇත්තට ම අදහසක් තිබ්බේ නැහැ මොකක් ද කරන්න ඕනෙ කියලා. මම ගම්පහ පැත්තට බයික් එකේ එන්න පටන් ගත්තා. එතකොටත් වතුරෙන් යට වෙන ගමන් තිබ්බේ. මම එහෙම එද්දී ගෙදරකට පුවක් ගහක් වැටිලා එතැන අංකල් කෙනෙක් හිටියා. පස්සේ මම පාරේ හිටිය විදුලි බල මණ්ඩලයේ එක්කෙනෙකුටත් කතා කරලා 1919 අංකයට කෝල් කරලා එතන ප්‍රශ්නය විසඳලා දුන්නා.''

''එහෙම එද්දී ගම්පහ නගරයට යන පාරේ සමහර වාහන තිබ්බා පාරේ නතර වෙලා. එහෙම හිටිය අය ගොඩක් බය වෙලා හිටියේ. ඒ වෙලාවේදී මම ඒ අයටත් උදව් කරලා පස්සේ බයික් එකත් තල්ලු කරන් ආවා ගම්පහ වෙනකම්. මේ උදව් ටික කරලා මම ආපහු ගෙදර එන්න ආවා. එහෙම ගෙදර ආවත් මගේ ඔළුවේ මොකුත් තිබ්බේ නැහැ ඉස්සරහට මොනව ද කරන්න ඕන කියලා.''

''දෙවෙනි දවසේ අපි ගම්පහට ආවා. ඇවිල්ලා අපි වතුරෙන් යට වෙලා හිටිය අයට කෝපි බෙදමින් ඉද්දි ආරංචියක් ආවා ගමක් තියෙනවා වතුරෙන් යට වෙලා කියලා. හැමෝම ළඟ ගම්වලට උදව් කරනවා මේ ගමට ආධාර මොකුත් එන්නේ නැහැ මොක ද පපුවේ මට්ටමට වතුර දාලා තියෙනවා කියලා. ඒ අයටත් අපි උදව් කළා.''

''එතැනදී මට තේරුම් ගිය එක දෙයක් තමයි මේ පැත්තේ ඉන්න මිනිස්සුන්ට පැයක් මහන්සි වුණොත් ටවුන් එකකට එන්න පුළුවන් කියන එක. හැබැයි රටේ උඩට වෙන්න තියෙන ගම්වල ඉන්න මිනිස්සුන්ට පැයක කාලයක් ඇවිදලා ආවත් හම්බ වෙන්නේ ම මේ වගේ ම විපතට පත්වෙලා ඉන්න ගමක මිනිස්සු කියලා. මේ නිසා මම අපේ කණ්ඩායමේ කැප්ටන්ට කතා කරලා කිව්වා අපි මේ වෙලාවේදී උදව් කරන්න අවශ්‍ය රට මැද විපතට පත්වෙලා ඉන්න මිනිස්සුන්ට කියලා. එතැනදී අපි තීරණය කළා නුවරට යන්න," සුජේන්ද්‍ර නිරෝෂණ පැවසුවේ ය.

'ගම්පොළ ටවුන් එකට එද්දී හරි ම මූසල හැඟීමක් තිබ්බේ'

තමන් ඇතුළු පිරිස මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ නගරය බලා පැමිණි අවස්ථාවේදී නගරය පැවති ආකාරය දුටු තමන්ට ඇති වූ හැඟීම ගැන සුජේන්ද්‍ර නිරෝෂණ මෙලෙස සිය මතකය අවදි කළේ ය.

"අපි මුලින් ම කුරුණෑගලට ගිහිල්ලා එතැන පොඩි විවේකයක් අරන් කොහොම හරි පාරවල්වල තිබුණ තත්ත්වයත් එක්ක ලොකු කට්ටක් කාලා ගම්පොළ ටවුන් එකට ආවා. අපි යන දවස්වල ගම්පොළ ටවුන් එක හරියට සොම්බි ටවුන් එකක් වගේ. රෑක හිත හයිය මිනිහෙක් වුණත් ඉන්නේ නැහැ. හරි ම මූසල හැඟීමක් තිබ්බේ. ගෙලිඔය කියලා ටවුන් එකක් තියෙනවා අපේ ඇස් දෙකට එක මනුස්සයෙක් දැක්කේ නැහැ. අනිත් පැත්ත පෙරළිලා ගිය වාහන, තට්ටු දෙකක් වගේ උසට යට වුණ ගොඩනැගිලි තමයි අපි දැක්කේ.''

''කොළඹ ඉඳලා ආධාර අරන් ගියපු ලොරි 04ක් තිබ්බා. අපි ගියේ ඒ බඩු ටික ගම්වලට බෙදලා දෙන්න උදව් කරන්න. අපි ගම්පොළ ටවුන් එක ළඟ තිබ්බ පන්සලක නතර වෙලා එතන පන්සලේ හාමුදුරුවෝ වගේ ම ග්‍රාම සේවකගෙන් තොරතුරු අහගෙන කුරුඳුවත්ත, දොළොස්බාගේ වගේ සාමාන්‍යයෙන් ඒ වෙද්දී පාරවල් ඇහිරිලා මිනිස්සුන්ට ලේසියෙන් ළඟා වෙන්න අමාරු වෙලා තිබ්බ ගම්මානවල මිනිස්සුන්ට අත්‍යවශ්‍ය ආධාර අරන් යන්න අපි කණ්ඩායම පටන් ගත්තා. අපේ බයික් 04ක් මේකට යොදවලා තිබ්බා.''

''අපි ලීවලින් ලැගේජ් එකක් හදාගෙන යි බඩු ටික අදින්න පටන් ගත්තේ. අපි දවස් දෙකක් ගම්පොළ පන්සලේ ඉඳගෙන ඒ වැඩ ටික ඉවර කළා. අපිටත් මහන්සි යි ඒ වෙනකොට, අපි වැඩ ඉවරයි කියලා හිතාගෙන ආපහු කොළඹ ආවා. මොක ද අපේ බයික්වල ඔයිල් එහෙම මාරු කරලා තිබ්බේ නැහැ. ඒ සර්විස් ටිකත් කර ගන්න ඕන නිසා අපි ආපහු කොළඹ එද්දී දෙසැම්බර් 01 වෙනි දා පාන්දර 01ට වගේ ඇති. ඇවිල්ලා නිදාගෙන නැගිටිද්දී ෆේස්බුක් එහෙම කට්ටිය පෝස්ට් දාලා තියෙනවා එක එක පැතිවල තියෙන ගම්වල මිනිස්සු අසරණ වෙලා ඉන්නවා ඒ නිසා බයික් ඕන බඩු ගෙනිහින් දෙන්න කියලා.''

 සුජේන්ද්‍ර නිරෝෂණ ඇතුළු තවත් අයෙක් යතුරුපැදියට අත්‍යවශ්‍ය භාණ්ඩ අසුරමින් සිටියි.

ඡායාරූප මූලාශ්‍රය, Team 90 Degrees

ඡායාරූප ශීර්ෂ වැකිය, "පාරවල් ඇහිරිලා මිනිස්සුන්ට ලේසියෙන් ළඟා වෙන්න අමාරු වෙලා තිබ්බ ගම්මානවල මිනිස්සුන්ට අත්‍යවශ්‍ය ආධාර අරන් යන්න අපේ කණ්ඩායම පටන් ගත්තා."

''මන්දාරම් නුවර පැත්තේ මිනිස්සු හිර වෙලා ඉන්නවා කියලා පෝස්ට් එහෙම දාල තිබ්බ නිසා මම ඒවා අපේ ටීම් එකේ කැප්ටන්ට යවලා අපි එදා ම ආපහු පිටත් වුණා කුරුණෑගල හරහා මන්දාරම් නුවරට යන්න.''

''ඒත් ෆේස්බුක් එකේ රැල්ලක් හදලා තිබ්බට මන්දාරම් නුවරට යන්න පාර ක්ලීයර් කරලා තිබ්බේ නෑ යන්න පුළුවන් විදිහට. එක තැනක් තිබ්බා ගුඩ්වුඩ් කියන ගමට යන පාරේ අඩි 20ක් විතර පාර සම්පුර්ණයෙන් ම කැඩිලා තිබ්බේ. මට බයික් එක ගන්නේ කොහොම ද කියලවත් හිතා ගන්න බැහැ. කොහොම හරි අස්සක තිබ්බ පාරක් හොයාගෙන එතනට ගිහිල්ලා ගමේ මිනිස්සු එක්ක කතා වෙලා මිනිස් දම්වැලක් වගේ හදාගෙන අපි බඩු ටික බෙදලා දුන්නේ," සුජේන්ද්‍ර නිරෝෂණ සිය අත්දැකීම පිළිබඳව එලෙස විස්තර කළේ ය.

'හරියට වැඩේ කෙරන්න ඕන නිසා අපි පොලිසියේ උදව් ඉල්ලුවා'

ආධාර බෙදා දීමේදී ඇතැම් පුද්ගලයින් ආධාර කොල්ල කෑමේ චේතනාවෙන් රැඳී සිටි හෙයින් අත්‍යවශ්‍ය පුද්ගලයින්ට ආධාර ලබා දීමේ අවශ්‍යතාවක් පෙනුණු හෙයින් ඒ ගැන තොරතුරු ලබා ගැනීම සඳහා ගම්පොළ කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා සම්බන්ධ කර ගත් බව සුජේන්ද්‍ර නිරෝෂණ පැවසුවේ ය.

"මේ දවස් ටිකේදි අපිට මිනිස්සු හම්බ වුණා, මැරුණ අය දැක්කා. ඒ වගේ ම ආධාර හොරකම් කරන්න හදපු අයත් හිටියා. අපේ බයික්වල යන අය කවුරුත් නතර කළේ නැහැ. ඒ වුණත් අපිත් එක්ක බඩු අරන් ආව ලොරි සමහර තැන්වලදී නතර කරලා සමහර අය බඩු හොරකම් කරන්න හදපු අවස්ථා තිබුණා.''

''එහෙම ඉන්න අය දුක හිතෙන මුණක් හදාගෙන අනේ මහත්තයා මෙතැනින් එහාට පාරේ යන්න බැහැ ලොකු ගලක් තියෙනවා කියලා බොහොම සුහදශීලීව කතාවට එනවා. එහෙම කතා කරන ගමන් කියනවා හැම ගමකට ම ආධාර ලැබෙනවා අපිට තමයි මුකුත් ලැබෙන්නේ නැත්තේ කියලා. එහෙම කියලා පස්සේ ඇග්‍රසිව් විදිහට කතාවට එන්නේ බඩු ටික බලෙන් බාගන්න හදන විදිහට. ගම්පොළ ඉඳලා කුරුඳුවත්තට යන පාරේ පාරවල් අයිනේ මිනිස්සු 50-60 එකතු වෙලා ඉන්නවා මේ වගේ ලොරි නතර කරලා ආධාර හොරෙන් ගන්න හදන අය මම දැක්කා.''

''මේ අතරේදී තමයි අපේ හිතවතෙක්ගේ මාර්ගයෙන් ගම්පොළ කොට්ඨාස භාර පොලිස් අධිකාරී එරික් පෙරේරා සම්බන්ධ වුණේ. අපි එතුමව සම්බන්ධ කර ගත්ත ම එතුමා කිව්වා SP ඔෆිස් එකට ඇවිල්ලා හම්බ වෙන්න කියලා. අපි ගිහින් පොලිස් අධිකාරී එරික් පෙරේරා හම්බ වුණාට පස්සේ එයා අපිට ආධාර බෙදන්න අවශ්‍ය තැන් මොනවා ද කියලා ලිස්ට් කරලා දුන්නා. ඒ වගේ ම සමහර තැන්වලට ආධාර අරන් යන්න පොලිසියේ ත්‍රිවීලර් එකත් ලැස්ති කරලා දුන්නා," ඔහු පැවසුවේ ය.

ගම්පහ ප්‍රදේශයේ ගංවතුරට කොටුවී සිටින පිරිස් වෙත යතුරුපැදියක නැගී ආධාර රැගෙන යන අයුරු

ඡායාරූප මූලාශ්‍රය, Team 90 Degrees

ඡායාරූප ශීර්ෂ වැකිය, 'අපි රුපියල් ලක්ෂයක විතර පෙට්‍රල් ගහලා තියෙනවා බයික්වලට. මෙතැනදී කියන්න ඕන අපේ අතේ තිබ්බ සල්ලිවලින් තමයි බයික්වලට පෙට්‍රල් ගැහුවේ. එක තැනකදී අපිට අතේ සල්ලි නැතිව ඉන්නකොට සුජේන්ද්‍රගේ අඳුනන දොස්තර කෙනෙක් හිටියා. එයා සල්ලි දීලා තිබ්බා පෙට්ට්‍රල්වලට වියදම් කරන්න කියලා."

ගමනේදී ලැබුණු අත්දැකීම්

විපතට පත්ව සිටි ජනතාවට අවශ්‍ය ආධාර බෙදා දීමේ ක්‍රියාන්විතයේදී තමන් සහ කණ්ඩායම ලැබූ අත්දැකීම් සම්බන්ධයෙන් ද සුජේන්ද්‍ර නිරෝෂණ බීබීසී සිංහල සේවය වෙත මෙලෙස අදහස් පළ කළේ ය.

"ගම්පොළ පොලිස් අධිකාරී කාර්යාලයෙන් දුන්න තැනකට එක දවසක් අපි ත්‍රීවීලර් දෙකක බඩු අරන් ගියා. ගමේ අය පන්සලක ඉන්නේ කියලා. ඒ පන්සලට යන පාරේ එක තැනක් තිබ්බා මඩ වෙලා. අපි ට්‍රයි කරලා කොහොම හරි ත්‍රීවීලර් එක තල්ලු කරලා එතනින් ඉස්සරහට ගත්තා. අනිත් ත්‍රීවීලර් එක ආවට ඒකට යන්න බැරි වුණා. පස්සේ අපි බයික්වලින් බඩු ටික පන්සලට ඇද්දා. මම එතැනදී දැක්කා තාර පාරේ අඩියක් වගේ දිගට පැල්මක් තියෙනවා කියලා. පළවෙනි පාර ගිහින් එද්දී ඒ පැල්ම ටිකක් ලොකු වෙලා තිබ්බේ. අපි හකර පස් පාරක් බඩු ටික අරන් එහෙට මෙහෙට යන්න ඕන නේ. ඒ වෙලාවේ හිතුණා මොකක් හරි දෙයක් වෙන්න යන්නේ කියල. ඒත් පුළුවන් ඉක්මනට අපි බඩු ටික ඇදලා දුන්නා. එහෙම කරලා අපිට ගම්පොළ ටවුන් එකට එන්න ඉඩක් ලැබුණේ නැහැ අර පාර නාය ගියා. අර අපිත් එක්ක ගියපු ත්‍රීවීලර් දෙකෙන් එක ත්‍රීවීලර් එකකට ආපහු එන්න ලැබුණේ නැහැ මේ හින්දා. අපිට මේ සිද්ධිය වීඩියෝ කර ගන්නවත් ලැබුණේ නැහැ.''

''මේ ගමනේදී අපි ගියපු දුර ම පාර තමයි කෙලිගෲප් කියන ගම්මානයට ගියපු ගමන. මේ තැන පිහිටලා තියෙන්නේ ගම්පොළ ඉඳලා දොළොස්බාගේ ඉඳලා උඩ පාරක යන්න ඕන. මේ ගමට මම එක පාරක් ගිහින් තියෙනවා. ඒ කබරගලට යන්න කෑගල්ල ඉඳලා එද්දී පාර වැරදිලා. මේ තැනට කෑගල්ල පැත්තෙන් අස්සක තියෙන පාරකින් එන්න පුළුවන්. මේ ගමට එද්දී මට තේරුම් ගිය දෙයක් තමයි ඒ ගමේ මිනිස්සු ටවුන් එකකට එනවා ඇත්තේ අවුරුද්දට ම එක සැරයක් වගේ කියලා. මොක ද ඒ තරම් ම ඒ ගමට යන්න තියෙන පාර දුෂ්කර යි. අපි ඒ වැඩෙත් සාර්ථකව කරලා දීලා ආපහු ආවා.''

යතුරුපැදිය පසුපස ආධාරකයක් මත සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙන යන අයුරු

ඡායාරූප මූලාශ්‍රය, Team 90 Degrees

ඡායාරූප ශීර්ෂ වැකිය, "ගුඩ්වුඩ් කියන ගමට යන පාරේ අඩි 20ක් විතර පාර සම්පුර්ණයෙන් ම කැඩිලා තිබ්බේ. මට බයික් එක ගන්නේ කොහොම ද කියලවත් හිතා ගන්න බැරි වුණා. කොහොම හරි අස්සක තිබ්බ පාරක් හොයාගෙන එතනට ගිහිල්ලා ගමේ මිනිස්සු එක්ක කතා වෙලා මිනිස් දම්වැලක් වගේ හදාගෙන අපි බඩු ටික බෙදලා දුන්නේ."

''පෞද්ගලිකව මට එක දෙයක් වුණා. මන්දාරම් නුවර, ගුඩ්වුඩ් කියන ගමට අපි බඩු අරන් ගියේ හරි ම අමාරුවෙන්. ඒ පාරේ යන එක ලේසි නැහැ. සාමාන්‍යයෙන් එක බයික් එකකට කිලෝග්‍රෑම් 100-120ක් වගේ බරක් පටවනවා පිටිපස්සේ තියෙන ලැගේජ් එකට. බයික් එක පදින කෙනා බයික් එකට නැග්ගට පස්සේ තමයි තව කෙනෙක් ඒ බඩු ටික බයික් එකට පටවලා ඒවා හරියට ගැට ගහන්නේ. මෙතැනදී අපේ කෙනෙක් හිටියා බඩු ගැට ගහන. ඒ වෙලාවේදී එයා හිටියේ නැති නිසා ගමේ අන්කල් කෙනෙක් තමයි බඩු ටික ගැට ගහලා දුන්නේ. හාල් කිලෝග්‍රෑම් 05 මලු ගැට ගැහුවේ. මම ටික දුරක් යද්දී ගැටේ ලිහිලා හාල් බෑග් 04ක් වැටිලා තිබ්බා. ඒක දැකලා ගමේ අය කෑගැහුව ම මම නතර කළා. කොහොම හරි එතන හිටිය ගමේ කෙනෙක් මටත් බැන්නා අපිට කන්න දෙන හාල් ටික මුන් නිකම් ඇවිල්ලා විනාස කරනවා කියලා. මම කිව්වා අපි ආවේ මිනිස්සු වෙනුවෙන් උදව් කරන්න. බැන්නට කමක් නැහැ අයියේ හැබැයි ගහන්න එපා. මොක ද ගැහුව ම රිදෙනව නේ කියලා. අනිත් කාරණය තමයි මිනිස්සු මැරිලා හිටිය තැන්වලින් යන එනකොට හිතුණා ජීවිතේ ඇයි මෙහෙම කියලා. ඔය වගේ අත්දැකීම් මේ දවස්වලදී අපිට ලැබුණා," ඔහු සිය මතකය අවදි කරමින් පැවසුවේ ය.