'බඩගින්න දරාගන්න බැරිව කුරුම්බා ගෙඩියක් බිව්වා': ගංවතුරට හසුවී පොල් ගසකට නැග දිවී බේරා ගත් ෂම්සුදීන්

Anuradhapura rescue

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Air Force

    • Author, රන්ජන් අරුන් ප්‍රසාද්
    • Role, බීබීසී දෙමළ සේවය
  • කියවීමේ කාලය: මිනිත්තු 4

ඉකුත් නොවැම්බර් 27 වැනිදා දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇද හැලුණු අධික වර්ෂාව නිසා කලා ඔය පිටාර ගැලීමෙන් අනුරාධපුර අවුකන ප්‍රදේශයේ හදිසි ගංවතුරක් ඇති විය.

එම අවස්ථාවේ දී අවුකන ප්‍රදේශයේ පදිංචි ෂම්සුදීන් නැමැත්තා තම නිවස ආසන්නයේ ඇති ප්‍රදේශයකට ගොස් තිබු අතර ගංවතුර හේතුවෙන් මුළු ප්‍රදේශයම ජලයෙන් යටවීම නිසා ඔහු ආසන්නයේ තිබූ පොල් ගසකට නැග්ග බව ෂම්සුදීන් පවසයි.

එම අවස්ථාවේ දී තම ජීවිතය බේරා ගැනීමට ෂම්සුදීන්ට වෙනත් කිසිඳු මගක් තිබී නැත.

ෂම්සුදීන් මෙසේ සිර වී සිටිනු ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු දැක ඇති අතර, ඔහුව බේරා ගැනීමට විවිධ උත්සාහයන් ගෙන තිබේ.

කෙසේ වෙතත්, එම පොල් ගස ආසන්නයට යාමට කිසිවෙකුටත් හැකියාවක් ලැබී නැත. එයට හේතුව ජල මට්ටම සීමාව ඉක්මවා ගොස් තිබීම බව ප්‍රදේශවාසීයෙකු වන රහුමාන් බීබීසීයට පැවසීය.

ඉන් අනතුරුව නාවික හමුදාව ද ෂම්සුදීන් බේරා ගැනීමට උත්සාහ කළ ද එයින් ද ඵලක් නොවීය.

ෂම්සුදීන් බේරා ගැනීමේ අවසන් උත්සාහය ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව මැදිහත් විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් ෂම්සුදීන් බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා යොදා ගැනිණි.

ගුවන් හමුදා මුදවා ගැනීමේ කණ්ඩායමේ සාමාජිකයෝ පොල් ගස මුදුනේ කිසිවක් කරකියා ගත නොහැකිව සිටි ෂම්සුදීන් බේරා ගත්හ.

තමා මුහුණ දුන් භයානක අත්දැකීම ෂම්සුදීන් බීබීසීය හා බෙදා ගත්තේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරියෙකු ෂම්සුදීන් කේබලයක ආධාරයෙන් ඉහළට රැගෙන එන අයුරු.

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Air Force

ඡායාරූප ශීර්ෂ වැකිය, ෂම්සුදීන් බේරා ගැනීමේ අවසන් උත්සාහය ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව මැදිහත් විය.

'හරක් බේරගන්න බැරි වුණා'

"එදා උදේ කෝල් එකක් ආවා වතුර ඇරලා කියලා. මම දුවලා ගිහින් බැලුවා. වතුර මට්ටම ගොඩක් වැඩි වෙලා. මීට කලින් එහෙම වෙලා නෑ. වතුර පිටාර ගැලුවා. කිසිම දෙයක් කරකියා ගන්න බැරි වුණා."

"ගෙවල් ළඟ තැනක බැඳලා හිටිය මගේ හරක් වතුරෙන් වට වුණා. හරක් බේරගන්න මම පීනලා ගියා. හරක් පස් දෙනෙක් හිටියා. වතුර වැඩි වෙද්දි එකින් එක ගහගෙන ගියා. එක හරකෙක්වත් බේරගන්න බැරි වුණා. ඔක්කොම මැරුණා" කියා ෂම්සුදීන් පැවසීය.

"වතුර මට්ටම එකපාරට ම වැඩි වුණා. මට පීනන්න පුළුවන්. ඒත් පීනන්න බැරි තරමට වතුර මට්ටම වැඩි වෙලා තිබුණා. කිසිම දෙයක් කරගන්න බැරි වුණ නිසා ඒ තැන තිබුණ පොල් ගහට නැග්ගා" ෂම්සුදීන් පැවසීය.

පොල් ගසට නැඟීමෙන් පසු සිදු වූ දේ ගැන ද ෂම්සුදීන් පැහැදිලි කළේය.

ෂම්සුදීන් බේරා ගැනීමෙන් අනතුරුව ගුවන් හමුදාවේ සෙබළුන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරික්සමින්.

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Air Force

ඡායාරූප ශීර්ෂ වැකිය, "එදා උදේ කෝල් එකක් ආවා වතුර ඇරලා කියලා. මම දුවලා ගිහින් බැලුවා. වතුර මට්ටම ගොඩක් වැඩි වෙලා. මීට කලින් එහෙම වෙලා නෑ. වතුර පිටාර ගැලුවා. කිසිම දෙයක් කරකියා ගන්න බැරි වුණා."

ඔහු ආහාරයට ගත්තේ කුමක් ද?

"කවුරු හරි ඒවි කියන බලාපොරොත්තුවෙන් මම පොල් ගහේ හිටියා. ප්‍රදේශවාසීන් ඔරුවක් ගෙනාවා. ඔරුව මම හිටපු තැනට ගෙනත් දෙන්න බැරි වුණා. ලණු දෙන්න තරුණයෝ පීනලා උත්සාහ කළා. ඒත් බැරි වුණා," යැයි ඔහු පැවසීය.

තවදුරටත් අදහස් දැක්වූ ඔහු, "එක පැත්තක කැලේ, කෙසෙල් ගස්, බුලත් ගස් තිබුණා. මම එතෙන්ට ගහගෙන ගියා නම් මැරෙන්න තිබුණා. සුනාමිය ආවා වගේ එක ම අවස්ථාවේ වතුර එකපාරටම වැඩි වුණා."

ගස මත සිටිය දී තමා ආහාර ගත් ආකාරය ද ඔහු පැවසීය.

"මොනවා කන්නද? කන්නේ නැතිව හිටියා. එක්තරා වෙලාවක බඩගින්න දරාගන්න බැරිව කුරුම්බා ගෙඩියක් බිව්වා. ආයෙත් කුරුම්බා ගෙඩියක් බිව්වා. ඊළඟ දවස වෙනකම් කන්න කිසිම දෙයක් නැහැ. මුළු රෑම එතන ම ගත කළා. උදේ වෙනකම්ම එක දිගට වැස්ස. එක තත්පරයකටවත් වැස්ස නැවතුණේ නෑ. ඒ වැස්සෙම කුරුම්බා බිබී හිටියා" යැයි ඔහු සඳහන් කළේය.

ගසේ සිටියදී ආහාර ගත් ආකාරය ද ඔහු බීබීසී දෙමළ සේවයට පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, RAHUMAN

ඡායාරූප ශීර්ෂ වැකිය, "මොනවා කන්නද? කන්නේ නැතිව හිටියා. එක්තරා වෙලාවක බඩගින්න දරාගන්න බැරිව කුරුම්බා ගෙඩියක් බිව්වා. ආයෙත් කුරුම්බා ගෙඩියක් බිව්වා."

'ගහ කඩන් වැටෙන තරමට හුළං'

"කවුරු හරි ඒවි කියන බලාපොරොත්තුවෙන් හිටියා. ළඟට ආවා නම් පැනලා ඔරුව අල්ලගන්න තිබුණා. ඔරුවට එන්න බැරි වුණා. ඒවි කියලා රෑ වෙනකම් බලාගෙන හිටියා. ආවේ නෑ. හිත ශක්තිමත් කරගෙන එහෙම්ම ම හිටියා. ගහ කැඩුණොත් පැනලා පීනලා යන අදහසින් සූදානමින්ම හිටියා" ඔහු පැවසීය.

නොවැම්බර් 28 වැනිදා ගුවන් හමුදාව පැමිණ තමන් බේරා ගත් ආකාරය පිළිබඳව ද ෂම්සුදීන් විස්තර කළේය.

"මාව බේරගන්න තමයි එන්නේ කියලා මම දැනගත්තා. මම නැගිටලා අත් දෙකෙන් සංඥා කළා. 'ටිකක් ඉන්න' කියලා දෙපාරක් වටේට ගියා. පොල් ගහ කඩාගෙන වැටෙන තරමට හුළං ආවා. මට ඉන්න බැරි වුණා. මම අල්ලගෙන හිටියා" කියා ඔහු පැවසීය.

'මම ආයෙ ගොඩ එනවා'

තවදුරටත් අදහස් දැක්වූ ඔහු, "දෙවියන්ගේ පිහිටෙන් මාව බේරගත්තා. මගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් ඔවුන්ට පින් සිද්ධ වෙන්න ඕනෙ" යැයි පැවසීය.

තමන් බේරා ගත් පසු අනුරාධපුරයට රැගෙන යාමට උත්සාහ කළ බව ද ඔහු පැවසීය.

"සීතලට අත් පා හිරි වැටිලා තිබුණා. මේ වෙලාවේ එහේට මෙහේට යන්න බෑ කිව්වා. ඊට පස්සෙ කලාවැව ප්‍රදේශයේ බැස්සුවා. පොලීසිය මාව රෝහල් ගත කළා" යැයි ඔහු පැවසීය.

ගොවිතැන් කරන ෂම්සුදීන් තමාගේ සියලුම වගා බිම් වලට හානි වී ඇති බව ද පැවසීය. "කොහොම හරි මම ආයෙ ගොඩ එනවා" යැයි ඔහු පැවසීය.