මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා පිළිබඳ ඇති ආන්දෝලන මොනවා ද?

MP Ramanathan Archchuna

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා පහරදුන් බව කියන සිද්ධියකින් තුවාල ලැබූ අයෙක් යාපනය රෝහලට ඇතුළත් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පැවසුවේ, මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බවය.

තමාට පහර දුන් බවට මන්ත්‍රීවරයා විසින් ද පොලිසියට පැමිණිල්ලක් කරනු ලැබ තිබේ.

වීඩියෝ කිරීමක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් අදාළ පහරදීම (පෙබරවාරි 11 වැනි දා) සිදුව ඇත්තේ යාපනය ප්‍රදේශයේ පිහිටි අවහන් හලකදී ය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පසුගිය ජනවාරි මාසයේදී පොලිස් අත්අඩංගුවට

පසුගිය ජනවාරි මාසයේදී වෙනත් සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා ඇප මත මුදා හැරීමට (ජනවාරි 29) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එහිදී සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප දෙකක් නියම කළ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පෙබරවාරි මස 3 වන දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට ද ඔහුට නියෝග කරනු ලැබීය.

මෙසේ නියෝග කළේ සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා (ජනවාරි 29 වැනිදා) රාත්‍රී 9.50ට පමණ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

යාපනය ප්‍රදේශයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේය.

ජනවාරි 21 වැනිදා අනුරාධපුරය රඹෑව ප්‍රදේශයේදී රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බාධාවන ලෙසට හැසිරීම සම්බන්ධයෙන් වු සිද්ධියකට අදාළව අර්ච්චුනා එහිදී අත්අඩංගුවට පත්විය.

'අර්චුනා ලෝචනා' යළි රාමනාදන් අර්ච්චුනා වෙයි

රියදුරු බලපත්‍රයක් නොමැතිව මෝටර් රථයක් පදවමින් අනුරාධපුර කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධාකර සාපරාදී බලහත්කාරය පා තර්ජනය කිරීමේ සිද්ධියේ නිවැරදි සැකකරු යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා යන අය බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය යළි වැඩි දුර වාර්තාවක් මගින් (ජනවාරි 29 වැනිදා) පෙරවරුවේ අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ, මෙම සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර මූලස්ථාන පොලිසිය කළ ඉල්ලීමකට අනුව මෝසමක් මගින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය ඉදිරියේ යළි කැඳවූ අවස්ථාවේදීය.

අදාළ වැඩිදුර වාර්තාව ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලිසිය තවදුරටත් අධිකරණයට දැනුම් දුන්නේ, මෙම රථ වාහන නඩුවට අදාළ සැකකරු ලෙස අර්චුනා ලෝචනා නමැති නම මීට පෙර මුල් බී වාර්තාවේ සඳහන් වූයේ අතපසුවීමකින් බවය.

ඒ අනුව මෙම රථ වාහන නඩුවේ නිවැරදි සැකකරුගේ නම ලෙස රාමනාදන් අර්ච්චුනා වශයෙන් යළි සංශෝධනය කිරීමට අධිකරණයේ අවසරය ලබා දෙන ලෙසත්, නිවැරදි සැකකරු රාමනාදන් අර්ච්චුනා ලෙස පිළිගන්නා ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අර්ච්චුනා යනු කවුද?

1986 වසරේ ජුනි මස 28 වැනිදා යාපනය, චාවකච්චේරි ප්‍රදේශයේ උපත ලබා ඇති අර්ච්චුනා යාපනය චාවකච්චේරි හා කොඩිකාමම්හි පාසල්වලින් අධ්‍යාපනය ලබා තිබේ.

ඔහු වෛද්‍ය උපාධිය ලබා ගෙන ඇත්තේ, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙනි.

අර්ච්චුනාගේ පියා යුද සමයේ LTTE සංවිධානයේ යාපනය කොඩිකාමම් පොලිසියට අනුයුක්තව සේවය කළ හිටපු පොලිස් සාමාජිකයෙකු වන අතර ඒ සම්බන්ධයෙන් අර්ච්චුනා මාධ්‍ය වෙතද අදහස් දක්වා තිබිණි.

අර්ච්චුනා පාර්ලිමේන්තුවට තේරී පත්වීම

2024 නොවැම්බර් 21 වැනිදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වු අර්ච්චුනා යාපනය දිස්ත්‍රික් ස්වාධීන කණ්ඩායම් අංක 17 යටතේ තරග කොට පාර්ලිමේන්තු ආසනයක් දිනාගනු ලැබීය.

පාර්ලිමේන්තු මැතිවරණයේදී මනාප ඡන්ද 20487 ලබාගත් ඔහු මෙවර පාර්ලිමේන්තුවට යාපනය දිස්ත්‍රික්කයෙන් ස්වාධීන කණ්ඩායමකින් තරග කොට ජය ලැබු එකම අපේක්ෂකයා වේ.

අර්ච්චුනා සම්බන්ධ මතභේදාත්මක සිදුවීම් මොනවා ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

අර්ච්චුනා දේශපාලනයට පිවිසීමට පෙර යාපනය චාවකච්චේරි රෝහලේ රෝහල් අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ අතර, උතුරු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිළධාරීන් සිදුකළ බව කියන අක්‍රමිකතා රැසක් හෙළි කිරීම හරහා හෙතෙම කරලියට පැමිණියේය.

අදාළ හෙළිදරව් සමඟ වෛද්‍ය අර්ච්චුනාට යාපනය චාවකච්චේරි රෝහලෙන් ස්ථාන මාරුවීමක් ලබාදීමට කටයුතු කෙරුණු අතර ඔහු අදාළ ස්ථාන මාරුවීම පිළිනොගැනීමත් සමඟ අර්බුද රැසක් නිර්මාණය විය.

අර්ච්චුනා හෙළි කළ පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තු අක්‍රමිකතා පිළිබඳ සිද්ධි හේතුවෙන් අර්ච්චුනා වටා ජනතාව එක්වු අතර අර්ච්චුනාගේ ස්ථාන මාරුවීම නවත්වන ලෙසට ජනතාව උපවාස කිහිපයක් ද කළහ.

එම සිද්ධියත් සමඟ අර්ච්චුනා වංචා සිද්ධි හෙළිදරව් කිරීමේ පුද්ගලයා වශයෙන් උතුරේ ජනතාව විසින් නම් කරනු ලැබූ අතර ඔහුගේ කීර්තිය ඒ තුළින් ඉහළ දමා ගැනීමට අරච්චුනා කටයුතු කළේය.

අවසානයේදී රේඛීය අමාත්‍යාංශ මැදිහත්වීමක් මත අර්ච්චුනා පේරාදෙණිය රෝහල වෙත මාරු කර යවනු ලැබිණි.

පේරාදෙණිය රෝහලේ කටයුතු කරන අවස්ථාවේ අර්ච්චුනා මන්නාරමේ රෝහලේ ගර්භනී මාතාවක් මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සොයා බැලීමට මන්නාරම රෝහල වෙත පැමිණ රෝහලේ අධ්‍යක්ෂකවරයා වෙත හා රෝහලේ රාජකාරි කටයුතුවලට බාධා කළ බවට මන්නාරම රෝහලේ බලධාරීන් මන්නාරම පොලිසිය වෙත කළ දැනුම්දීමක් මත අර්ච්චුනා අත්අඩංගුවට පත්විය.

එලෙසම විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයින් සමඟ අරච්චුනාගේ දුරකථන සංවාද ද පසුගිය දේශපාලන සමයේ මාතෘකා බවට පත්විය.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ලැබීමෙන් අනතුරුව අර්ච්චුනා මන්ත්‍රීවරයා යාපනය රෝහලේ අධ්‍යක්ෂකවරයා සමඟ මතභේදයක් ඇත කර ගෙන තිබූ අතර අදාළ අවස්ථාවේදී ද මන්ත්‍රීවරයාට විරුද්ධව යාපනය පොලිසිය හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබිණි.

පාර්ලිමේන්තුව සමාරම්භක සැසියේදී මන්ත්‍රීවරයා විපක්ෂනායක පුටුවේ වාඩිවීම හා පළමු සැසිවාරයේ භෝජන සංග්‍රහයේදී කටයුතු කළ ආකාරය හේතුවෙන්ද ඔහුගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් අවධානය යොමුව තිබිණි.

එලෙසම බේස්ලයින් මාර්ගයේදී වාහන ගමනාගමනයේදී පුද්ගලයෙකුට බැන වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද ඔහු ගැන කතා බහක් ඇති වුණේ ය.

සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා විටින් විට විවිධ අදහස් පළ කිරීම තුළින් ඔහු උතුරේ ජනතාව අතර ප්‍රසිද්ධියට පත්ව සිටියේ ය.