ඉන්දියාවේ යතුරු පැදියක ගැටුණු බසයක මගීන් 20 ගණනක් මියයාමට තරම් ගින්න තීව්‍ර වුණේ කොහොම ද? 'හේතුව ස්මාර්ට්ෆෝන්'

    • Author, සිහෙර් අසාෆ්

දකුණු ඉන්දියාවේ අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකුට මරු කැඳවමින් බස් රථයක් තුළ ඇති වූ ගින්න, එහි ස්මාර්ට්ෆෝන් සිය ගණනක් තිබීම නිසා තවත් තීව්‍ර වූ බව අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ වාර්තා උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

සිකුරාදා අලුයම බැංගලෝර් බලා ධාවනය වූ බස් රථයක් යතුරුපැදියක ගැටීමෙන් එහි ඉන්ධන ටැංකිය පුපුරා ගොස් ගින්නක් හටගත් අතර, ගින්න වේගයෙන් පැතිර ගොස් තිබිණි.

සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන් පැවසුවේ, බස් රථයේ සිටි මගීන් 40 දෙනෙකු පමණ ඉන් පිටතට පැන ගැනීමට උත්සහ කළ අතර ප්‍රදේශවාසීන් ඔවුන් බේරා ගැනීමට යුහුසුළුව ක්‍රියාත්මක වූ බව ය.

අධිකරණ වෛද්‍ය විශේෂඥයින් ප්‍රාදේශීය මාධ්‍ය වෙත පවසා ඇත්තේ, බස් රථයේ ජංගම දුරකතන 234ක් අඩංගු පාර්සලයක් ප්‍රවාහනය කර ඇති බවත්, ඒවායේ අඩංගු ලිතියම්-අයන් බැට්රි පුපුරා ගිය පසු ගින්න තවත් උග්‍ර වන්නට ඇති බවත් ය.

"බස් රථයේ බැට්රි, බස් රථයේ දැවෙනසුලු භාණ්ඩ තිබීම සහ ජංගම දුරකතන නිසා ගින්න වර්ධනය වීම මේ ඛේදජනක සිද්ධියට හේතු වුණා," කුර්නූල්හි පොලිස් අධිකාරී වික්‍රාන්ට් පටෙල් උපුටා දක්වමින් CNN News18 වාර්තා කළේ ය.

මේ අතර, ආන්ද්‍රා ප්‍රදේශ් ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී. වෙන්කටරාමන් පැවසුවේ, බස් රථයේ වායු සමීකරණ පද්ධතිය සඳහා භාවිත කරන විදුලි බැටරි ද පුපුරා ගොස් ගින්න තවත් උග්‍ර වී ඇති බව ය.

"ගින්නට හසුවී දියවී වැක්කෙරුණු තහඩුත් එක්ක ඇටකටු සහ අළු වැටෙන හැටි අපි දැක්කා," ඔහු මාධ්‍ය වෙත පැවසීය.

මෙම ස්මාර්ට්ෆෝන් තොගය ඉන්දීය රුපියල් මිලියන 4.6ක (£39,361; $52,377) වටිනාකමකින් යුතු වූ අතර ඒවා හයිදරාබාද් සිට බැංගලෝරයේ ඊ-වාණිජ්‍ය සමාගමකට යවන ලද බව NDTV නාලිකාව වාර්තා කරයි.

බොහෝ ස්මාර්ට් දුරකතනවල ලිතියම්-අයන් බැට්රි වලින් ක්‍රියාත්මක වන අතර, එම බැට්රිවලට හානි වූ විට ගිනි ගැනීමේ අවදානමක් පවතී.

ඊට හේතුව එම බැට්රිවල පාලනය කළ නොහැකි උෂ්ණත්ව වැඩිවීමක් ඇති වීම ය. මෙය සාම්ප්‍රදායික ගිනි නිවන ක්‍රම භාවිතයෙන් නිවා දැමීම දුෂ්කර ය. එය ආසන්නයේ ඇති අනෙකුත් බැටරිවලට ද පැතිර යා හැකි ය.

අනතුරට හේතුව නොසැලකිලිමත් ලෙස රිය පැදවීම ද යන්න සොයා බැලීමට බලධාරීන් විමර්ශනයක් ආරම්භ කර තිබේ. බස් රථයේ රියැදුරු පලා ගොස් ඇත. මිය ගිය පුද්ගලයින් අතර යතුරුපැදිකරු ද සිටින බව පැවසේ.

ඉන්දියාවේ බස් රථ පොදු ප්‍රවාහන මාධ්‍යයක් වන නමුත්, ක්‍රියාකරුවන් බොහෝ විට ආරක්ෂක නීති නොසලකන අතර, අධික ලෙස මගීන් පටවා ගනී.

පසුගිය වසරේ ලෝකයේ වැඩි ම මාර්ග අනතුරු මරණ සංඛ්‍යාවක් වාර්තා වූයේ ඉන්දියාවෙනි.