ඇල්ල මාරාන්තික බස් අනතුර ගැන විමර්ශන වාර්තාවෙන් හෙළි වන කරුණු 8ක්

මීට දින කිහිපයකට ඉහතදී ඇල්ල ප්‍රදේශයේ මාරක අනතුරකට ලක්වූ බස් රථය ධාවන කළ රියැදුරු එය ධාවනය කර ඇත්තේ, මුල් වරට බවත් අධික බෑවුම් සහ වංගු සහිත මෙවන් අවදානම්සහගත මාර්ගයක, මාර්ගය හුරු නැති රියැදුරෙකු මගීන් පිරිසක් රැගත් තමාට නුහුරු රථයක් ධාවනය කිරීම එම අනතුරට හේතු වී ඇති බව අදාළ අනතුර සම්බන්ධයෙන් සැකසූ කමිටු වාර්තාවේ සඳහන් වේ.

පුද්ගලයන් 16 දෙනෙකුට දිවි අහිමි කරමින් තවත් පිරිසකට තුවාල සිදුවූ එම මාරාන්තික අනතුර පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව සැප්තැම්බර් 22 වන දා ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේදී අමාත්‍ය බිමල් රත්නායක වෙත භාර දුන් වාර්තාව මගින් ඒ බව නිරීක්ෂණය කර ඇත.

1. තිරිංග රත්වීම

පිටු 52කින් යුත් එම වාර්තාව සහකාර කොමසාරිස් (කාර්මික), බී.ජී.ඒ. බතීගමගේ ප්‍රධානත්වයෙන් යුත් අට පුද්ගල මෝටර් වාහන පරීක්ෂක කමිටුවක් විසින් සකස් කරනු ලැබී ය.

නියමිත ගියරයෙන් වේගය පාලනය සිදුකිරීම වෙනුවට පා තිරිංග වැඩි වශයෙන් භාවිත කර වේගය පාලනය කිරීම හේතුවෙන් අධික ලෙස රත්වී කාර්යක්ෂමතාව අඩු වීම ද මෙම අනතුරට එක් හේතුවක් වී ඇතැයි පරික්ෂණ කණ්ඩායම සිය වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

2. අනතුර සිදුවූ අවස්ථාවේ මාර්ගයේ තත්ත්වය

සැප්තැම්බර් 04 වන දා තංගල්ලේ සිට නුවරඑළියේ විනෝද චාරිකාවට ගොස් ආපසු යමින් සිටි තංගල්ල නගර සභා සේවක පිරිසක් රැගත් බස් රථය ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 24/6 බෝක්කුව අසල ප්‍රපාතයට පෙරළීමෙන් එම අනතුර සිදුවිය.

මෙම වාර්තාවට අනුව එදින අනතුර සිදුවන විට වියළි කාලගුණයක් පැවතිය ද, අඳුර වැටී තිබුණු අතර, මීදුම් සහිත තත්ත්වයක් තිබී නැත.

මෙම මාර්ගය අධික බෑවුම් සහිත අනතරුදායක වංගු සහිත මං තීරු දෙකකින් සමන්විත මාර්ගයක් වන අතර මාර්ගයේ අනතුරුදායක බව දැනුවත් කිරීමට මාර්ග සලකුණු නිසි පරිදි සවිකර අමතර දැනුවත් කිරීමේ පුවරු රාශියක් ද සවි කර ඇතැයි වාර්තාවේ දැක්වේ.

අනතුර සිදුවූ ස්ථානයේ වීදි ලාම්පු නොතිබූ බව මෙන් ම එම ස්ථානය ආසන්නේ කඩයක්, නිවසක් හෝ හෝටලයක් නොමැති පාළු ස්වාභාවයකින් යුත් මාර්ග කොටසක් බව ද එහි සඳහන් කර ඇත.

3. 'බස් රථයේ අනන්‍යතාව සැක සහිතයි'

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව චැසි අංකය අංක 17කින් යුක්ත විය යුතු නමුත් අනතුරට පත් වූ බස් රථයේ චැසි අංකයේ අක්ෂර 18ක් ඇති බව පවසන විමර්ශන කණ්ඩායම චැසිය මත තෙරපා ඇති අංකය මෙරටදී යොදා ඇති බව පවසයි.

ඒ අනුව, වාහනයේ අනන්‍යතාව සැක සහිත බවත් වර්ණය, ලියාපදිංචි සහතිකය සහ මෝටර් රථ ප්‍රවාහන දත්ත පද්ධතිය හා නොගැලපෙන බව ද විමර්ශන කණ්ඩයම සිය වාර්තාවේ දක්වා තිබේ.

'මෙම මෝටර් කෝච් රථයේ අනතුරට පෙර පැවති තත්ත්වය සොයා බැලීමේදී විවිධ වර්ණ සහිත ලාම්පු, සුදු යකඩ කොටස්, ශබ්ද පද්ධති, ස්ටිකර් ආදී අනවසර සවි කිරීම් සහිතව නවීකරණය කර තිබූ බව සොයා ගත හැකි විය. පරීක්ෂා කරන විට එම සියලු කොටස් සුන්බුන් බවට පත්වී තිබිණි. සුදු යකඩ අනාරක්ෂිත රිම් කප් පමණක් රිම්වල සවී වී තිබිණි.' වාර්තාවේ එසේ සටහන් කර තිබිණි.

4. බස් රථයේ රෝද

පරීක්ෂණ කණ්ඩායම අනතුරට පත් බස් රථයේ රෝද සියල්ල ගලවා පරීක්ෂාවට ලක් කර ඇත.

එහිදී ඉදිරි දෙපස සහ පසුපස වම් පැත්තෙහි තිරංගවල පැහැය වෙනස් වී තිබීමෙන් එම ඩ්‍රම්ස් අධිකව රත්වී ඇති බවට තීරණය කර ඇති අතර, තිරිංග ලයිනර්ස් සියල්ල ආරක්ෂිත සීමාව දක්වා ගෙවී නැති බව ද වාර්තාවේ දක්වා තිබේ.

පිටුපස දකුණු පස ඩ්‍රම්ස් ගලවා පරීක්ෂා කිරිමේදී නිරීක්ෂණය වී ඇත්තේ, එම රෝදයේ තිරිංග පද්ධතියට දීර්ඝ කාලයක සිට ග්‍රීස් කාන්දු වී තිබූ බව ය.

Axle Housing ගෙවී ඇති බව, Inner Hub Bearing, Axle Corn කොටස වටා කැරකී බුරුල් වී තිබූ බව පරීක්ෂණ කණ්ඩායටමට නිරීක්ෂණය වී තිබේ.

බස් රථයේ දුර්වල නඩත්තුව පිළිබඳව ද වාර්තාවේ කරුණ දක්වා ඇති අතර රථය මුළුමනින් ම හානී වී ඇති බැවින් ඉතිරිව ඇත්තේ සාක්ෂි කිහිපයක් පමණක් බව පරීක්ෂණ කණ්ඩායම පවසයි.

5. 'මෝටර් වාහන පනතට අනුව රියැදුරු විවේක ගෙන නැහැ'

මෙම පරීක්ෂණ කණ්ඩයම සිය වාර්තාවේ දක්වා ඇති පරිදි බස් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ වයස අවු. 27ක් වූ තේවර හැන්නදිගේ චිරාන් දිමන්ක මෙම ගමන ආරම්භයේ සිට අනතුර සිදුවන තෙක් මෝටර් වාහන පනතේ සඳහන් පරිදි නිසි විවේකයක් ලබාගෙන නැත.

මෙම චාරිකාව ආරම්භ කළ 04 වන දා පැය 02.30 සිට අනතුර සිදුවූ පැය 21.06 දක්වා කාලය ආසන්න වශයෙන් පැය 18.30ක් බව පවසන පරීක්ෂණ කණ්ඩායම එය රියැදුරුහට පැය 24ක් තුළ උපරිම වශයෙන් රිය පැදවිය හැකි කාලය වන පැය 14ක කාලය ඉක්මවා යාමක් වන බව අවධාරණය කරයි.

බස් රථයේ රියැදුරු විසින් මෙම චාරිකාව යන දිනට පෙර එනම් 03 වන දා උදෑසන 09ට වෙනත් වාහනයකින් කොළඹ ගොස් පැමිණ ඇත්තේ රාත්‍රී 9ට පමණ ය.

ඉන්පසු බස් රථය රැගෙන රාත්‍රී 11ට පමණ තංගල්ල නගර සභා පිටියේ ගාල් කර තිබූ අතර උදෑසන 2.30ට පමණ පුද්ගලයෙකු රැගෙන නැවත තංගල්ල නගර සභා පිටියට පැමිණ උදෑසන 3.30ට පමණ චාරිකාව සඳහා පිටත්ව ඇතැයි පරීක්ෂණ වාර්තාවේ දක්වා ඇත.

6. වගකිව යුත්තන් කවුද?

කරුණු සලකා බැලීමේදී චාරිකාව සංවිධානය කළ පුද්ගලයින් ද රියැදුරට මෝටර් වාහන පනත උල්ලංඝනය කිරීමට ආධාර අනුබල දී ඇති බවත්, චාරිකාව සඳහා එක් රියැදුරෙකු පමණක් සහිතව රථය ලබා දීමෙන් තාවකාලික භාරකරු ද මෝටර් වාහන පනත උල්ලංඝන කර ඇති බවත් පරීක්ෂණ කණ්ඩායම පවසයි.

බස් රථයේ චැසි අංකය සහ ලියාපදිංචි සහතිකයේ සඳහන් චැසි අංකය නොගැලපෙන, අනන්‍යතාව තහවුරු කර ගත නොහැකි, මූලාකෘතිය වෙනස් කරන ලද, විකරණය කරන ලද, මාර්ගය භාවිත කරන පුද්ගලයින්හට රථ වාහනවලට කරදරයක්, හිරිහැරයක්, අපහසුතාවක් සහ හානියක් ගෙන දෙන රථයක් තමා සන්තකයේ තබා ගැනීම, මාර්ගයේ ධාවනය කිරීම සහ ධාවනය කිරීමට අනුබල දීම යන ඉහත සඳහන් සියලු කාරණා සඳහා ලියාපදිංචි අයිතිකරු වන කේ.ඒ. නිරෝෂන් යන අය වගකිව යුතු බවට නිගමනය කර තිබේ.

එමෙන් ම ඉහත සඳහන් සියලු කාරණවලට බස් රථයේ අතරමැදි භාරකරු වන තුෂාර ඉන්දික යන අය ද වගකිව යුතු යැයි පරීක්ෂණ කණ්ඩායම සිය වාර්තාවේ දක්වා ඇත.

7. නිර්දේශ

පරීක්ෂණ කණ්ඩායම දීර්ඝ ලෙස විස්තාරත්මක නිර්දේශ 14ක් සිය වාර්තාවෙන් දක්වා ඇත.

විශේෂ චාරිකා සඳහා යොදා ගන්නා රථ හිමිකරුවන් සහ රියැදුරන් නියාමනය සඳහා විශේෂ ආයතනයක් පිහිටුවීම, නිසි ප්‍රමිතියකින් යුතු වාහන භාවිත කිරීම, වාහන නඩත්තු කිරීම ක්‍රමවත් කිරීම, නිසි ප්‍රමිතියෙන් යුත් අමතර කොටස්, ඔයිල් සහ ග්‍රීස් පහසුවෙන් හා සාධාරණ මුදලකට ගත හැකි ක්‍රමවේදයක් සැකසීම, රථවාහන යෝග්‍යතා සහතික නිකුත් කිරීම ක්‍රමවත් කිරීම එම නිර්දේශ අතර වේ.

එමෙන් ම වේගය සීමා කිරීම සඳහා වෙනත් ක්‍රමවේද භාවිත කිරීම, අනතුරු ඇඟවීමේ මාර්ග සිතියම් ප්‍රදර්ශනය කිරීම, මාර්ග සැලසුම් කිරිමේදී ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුගමනය කිරීම, නිරන්තරයෙන් අනතුරු සිදුවන හඳුනාගත් ස්ථාන නවීකරණය කිරීම, තීව්‍ර වංගු සඳහා විකල්ප, ආරක්ෂක ගැලවුම් මාර්ග ඉදිකිරීම සහ ආරක්ෂාව සඳහා පස් කඳු යෙදීමත් ඊට ඇතුළත් ය.

දැනට ක්‍රියාත්මක නොවන රියැදුරු අභිවෘද්ධිත ලකුණු ලබා දීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සහ පොදු ප්‍රවාහන බලපත්‍රය විධිමත් කිරීම යන නිර්දේශ ද අට දෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ මණ්ඩල වාර්තාවේ ඇතුළත් කර ඇත.

8. පොදු ප්‍රවාහන රථවලට අලුත් පරීක්ෂණයක්

මේ අතර, පොදු ප්‍රවාහන වාහන මාර්ගයේ ධාවනයට සුදුසු තත්ත්වයේ තිබේ දැයි පරීක්ෂා කිරීමට පරීක්ෂණයක් හඳුන්වා දෙන බව අමාත්‍ය බිමල් රත්නායක මෙම වාර්තාව ගැන සඳහන් කරමින් අද (23) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ය.

"අපි බලාපොරොත්තු වෙනවා වාහනවලට මොන ලයිසන් තිබුණත් වාහනය පාරට දාන්න කලින්, විශේෂයෙන් පොදු ගමනාගමනයේ යන වාහනවලට මාර්ගයේ පාවිච්චි කරන්න පුළුවන් ද කියන එක සම්බන්ධ පරීක්ෂණයක් එකතු කරන්න."

එමෙන් ම පොදු මගී ප්‍රවාහන රියැදුරන්ට ලබා දෙන විශේෂිත බලපත්‍රය ලබා ගන්නා ලෙස ඉල්ලා සිටි ඇමතිවරයා පොදු ප්‍රවාහන වාහන පරීක්ෂාවට උපදෙස් ලබා දී ඇති බව ද පැවසීය.

"පොදු මගී ප්‍රවාහනය කරන සියලු ම රියැදුරු මහත්වරුන්ට පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් කියන විශේෂ ඩ්‍රයිවින් ලයිෂන් එක, දැනුත් තියෙන දෙයක්. ඒක හරියාකාරව ලබා ගන්න කියලා දෙසැම්බර් 31 වෙනකොට. ඊට අදාළ කරන පහසුකම් සකස් කරන්න අපි බලාපොරොත්තු වෙනවා."