ඇල්ල බස් රථ අනතුර වාර්තා කළ මාධ්‍යවේදීන්ගේ අත්දැකීම්: 'එක කඹයක් අල්ලන්න 200ක් විතර එකතු වෙලා හිටියා. තිබුණු තත්ත්වය හැටියට මමත් කඹයක් අල්ලගෙන හිටියේ'

    • Author, බීබීසී සිංහල

ඇල්ල පොලිස් වසමේ, ඇල්ල වැල්ලවාය මාර්ගයේදී විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් ගමන් කරමින් සිටි බස් රථයක් සැප්. 4 දින රාත්‍රියේ අඩි 1,000ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ අනතුරින් අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත් වී තිබේ.

මෙම අනතුර සිදුවූ වහා ම සමාජ මාධ්‍යවල මෙවැනි අනතුරක් සිදුව ඇති බවට ත්, අනතුරට පත් වූවන් බේරාගැනීම සඳහා සහය විය හැකි අයට එම ස්ථානයට පැමිණෙන ලෙස පණිවිඩ හුවමාරු විය.

ඒ අනුව එම ස්ථානයට සැලකිය යුතු පිරිසක් එකතු වී සිටි අතර, මුදා ගැනීමේ කණ්ඩායම් සඳහා එම පිරිස් විවිධාකාරයෙන් සහයෝගය ලබා දී තිබිණි.

සිද්ධිය සිදු වූ වහා ම එම ස්ථානයේ තත්ත්වය වාර්තා කිරීම සඳහා එහි ගිය අපගේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනෙකු සිය අත්දැකීම විස්තර කළේ මෙලෙස යි.

අවවාදයයි: ඇතැම් පාඨකයින්ට සංවේදී විය හැකි තොරතුරු මෙම ලිපියෙහි අඩංගු වේ.

'ඇවිල්ලා හිටපු මිනිස්සු පුදුම මහන්සියක් ගත්තා, කඹ දාගෙන බැස්සේ'

සැප්තැම්බර් 4 වන දින සිය හිතවතෙකු ලබා දුන් ඇමතුමක් අනුව ප්‍රාදේශීය වාර්තාකරුවෙකු වන විරාජ් ප්‍රනාන්දු සිය මෝටර් බයිසිකලයෙන් අනතුර සිදුවූ ස්ථානයට යන විට ත් අනතුරට පත්වූවන් බේරාගැනීමට පැමිණ සිටි පුද්ගලයන් ඒ සඳහා විශාල පරිශ්‍රමයක් දරමින් සිට ඇත.

නිවාස කිසිවක් ආසන්නයක පිහිටා නොමැති රක්ෂිත ප්‍රදේශයක් වන අනතුර සිදුවූ ස්ථානයට විවිධ ප්‍රදේශවලින් පැමිණි පිරිස් අනතුරට පත්වූවන් මුදාගැනීමට කටයුතු කර තිබේ.

"ඊයේ මට හවස යාළුවෙක්ගෙන් කෝල් එකක් ආවා. බස් එකක් ප්‍රපාතෙට ගියා කියලා ආවේ. මම ඉන්න තැන ඉඳලා අනතුර සිදු වෙලා තිබුණ ස්ථානයට කිලෝමීටර් 20ක් දුරයි. මම මගේ බයිසිකලයෙන් ඉක්මනට එතනට ගියා," විරාජ් පැවසුවේ ය.

"මම යද්දී ඇම්බියුලන්ස් එකක් වගේ තිබ්බා. මිනිස්සු ඇවිල්ලා හිටියා. පොලීසිය ත් ඇවිල්ලා හිටියා. මම යද්දී මිනිස්සු කෑ ගගහා ප්‍රපාතෙට බහිනවා," විරාජ් පැවසුවේ ය.

තවත් ප්‍රාදේශීය වාර්තාකරුවෙකු වන ඉන්දික රොෂාන් ගරුසිංහ ද අනතුර සිදුවූ ස්ථානයට යන්නේ සිය හිතවතෙකුගෙන් පැමිණි ඇමතුමක් අනුව ය.

"ඇල්ල පැත්තේ ඉන්න මගේ හිතවතෙක් මට කතා කරලා කිව්වා 'අයියා මෙහෙම ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙනවා, පොඩ්ඩක් බලන්න,' කියලා. ඊට පස්සේ මම ඉක්මනට පොලීසියට කතා කළා. මම වැල්ලවාය පොලීසියට කතා කළේ; එතකොට කිව්වා මෙහෙම සිද්ධියක් වෙලා තියෙනවා කියලා. පොලීසියෙන් කිව්වා දැන් කණ්ඩායමක් යන්න හදන්නේ කියලා," ඉන්දික පැවසීය.

'සමහර අය බොඩීස් ඇඟේ බැඳගෙන, තව සමහරු පණ තියෙන අය ඇඟේ බැඳගෙන'

මෙම ස්ථානයට රැස්වූ පිරිස් දැඩි පරිශ්‍රමයක් දරමින් අනතුරට පත්වූවන් බේරාගත් ආකාරය විරාජ් විස්තර කළේ ය.

"ඒ ඇවිත් හිටියේ ගමේ මිනිස්සුම ද කියලා දැනගන්න බෑ. මෙතන ගමක් නෑ. මෙතන රක්ෂිතයක් තියෙන්නේ. පාරේ යන වාහනවලින් එහෙම තමයි සහයෝගය හම්බුණේ. ටිකක් වෙලා යද්දී මිනිස්සු කඹ අරන් එනවා දැක්කා," ඔහු පැවසුවේ ය.

"ආමි එකේ අයත් ආවා. ප්‍රාදේශීය ලේකම්ලා, පොලීසිය, දොස්තරලා ඔක්කොම එතෙන්ට ආවා. පස්සේ කඹ දාලා එක එක්කෙනා උඩට ගත්තා. එක්කෙනෙක් ගේන්න පැයක් එකහමාරක් වගේ වෙලාව ගියා."

විරාජ් ද ඒ මොහොතේ ප්‍රපාතයට බැස ඇති අතර, අනතුරට පත්වූවන් සිරවී සිටි ආකාරය ඔහු විස්තර කළේ ය.

"ඒ වෙලාවේ මම ප්‍රපාතෙට බැස්සා. ප්‍රපාතයේ මැදක තමා ඔක්කොම හිටියේ. මැදක තමයි හිරවෙලා හිටියේ. එතනින් උඩට ගන්න කොහොමත් බෑ. සෑහෙන්න අමාරුවෙන් තමයි කට්ටිය උඩට ගත්තේ," ඔහු පැවසුවේ ය.

"ඔක්කොම මළමිනී 15ක් විතර තිබුණා. ඒ ඔක්කොම බේරගන්න ආව අය ඇඟේ බැඳගෙන තමයි ගත්තේ. සමහර අය බොඩීස් ඇඟේ බැඳගෙන, තව සමහරු පණ තියෙන අය ඇඟේ බැඳගෙන," විරාජ් සිය අත්දැකීම විස්තර කළේ ය.

'වෛද්‍යවරයෙක් ප්‍රපාතයට ම බැහැලා හිටියා'

අනතුරට පත් වූ අයට මුලික ප්‍රතිකාර ලබා දීම සඳහා වෛද්‍යවරයෙකු ද ප්‍රපාතයට බැස සිටි බව ඉන්දික පැවසීය.

"වැල්ලවාය රෝහලේ වෛද්‍යවරයෙක් ප්‍රපාතයට ම බැහැලා හිටියා. අඩි 700ක් 800ක් යට ඉඳන් එයා සේලයින් දීලා මූලික ප්‍රතිකාර දෙමින් හිටියා. එතකොට උඩ වෙන ම වෛද්‍ය කණ්ඩායමක් සූදානම් වෙලා හිටියා, හෙදියන් එහෙම හිටියා. එයාලත් ඉක්මනට ප්‍රතිකාර දුන්නා," ඔහු විස්තර කළේ ය.

"ඇම්බියුලන්ස්වලට යන්න බාධා වෙන නිසා පොලීසිය පාර වහලා ඉඩ හදලා දුන්නා. මම හිතන්නේ මුළු පළාතේ ම ඇම්බියුලන්ස් එන්න ඇති," විරාජ් පැවසීය.

ඉන්පසුව සෞඛ්‍ය කණ්ඩායම් විසින් මෙම බේරාගත් පුද්ගලයන් වහා ම රෝහල් වෙත යොමු කළ බව විරාජ් පැවසුවේ ය.

"බදුල්ල ඉස්පිරිතාලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ එහෙම ඇවිල්ලා එතැනදී ම සේලයින් එහෙම දීලා මූලික ප්‍රතිකාර කරලා තමයි යැව්වේ බේරගත්ත අයව. පාන්දර තුන විතර වෙනකන් ඔක්කොම ටික උඩට ගන්න ලොකු පරිශ්‍රමයක් දැරුවා. ඊට පස්සේ ඔක්කොම අයව ඒ පැත්තේ රෝහල්වලට ඉක්මනට ම යැවුවා."

'ඇඟ පත තියෙනවා නම්, හිතේ ෆිට් එකක් තියෙනවා නම් බහින්න පුළුවන් හැමෝම ප්‍රපාතෙට බැස්සා'

මේ අවස්ථාවේදී පැමිණ සිටි ජනතාව විසින් මුදා ගැනීමේ මෙහෙයුම සඳහා විශාල සහයෝගයක් ලබා දී තිබේ.

"මටත් යාළුවො කතා කර කර ඇහුවා කඹ ගේන්න ඕනේ ද වතුර ගෙන්න ඕනේ ද කියලා. එයාලටත් අරන් එන්න කිව්වා," විරාජ් පැවසුවේ ය.

"ගොඩක් මිනිස්සු උදවු කළා. කඹ අරන් ආවා, වතුර අරන් ආවා. මිනිස්සු කඹ ගැටගහගෙන මල් වට්ටි වගේ උඩට යැව්වේ," ඔහු පවසයි.

"කිසිම බේදයක් නෑ, ඇඟ පත තියෙනවා නම්, හිතේ ෆිට් එකක් තියෙනවා නම් බහින්න පුළුවන් හැමෝම ප්‍රපාතෙට බැස්සා," විරාජ් වැඩිදුරටත් පැවසුවේ ය.

'කඹයක් අල්ලන්න 200ක් විතර එකතු වෙලා හිටියා'

අනතුරට පත්වූවන් මුදා ගැනීම සඳහා කඹ යොදා පහළට බැසීමේදී ඉහළ සිට එම කඹ අල්ලාගෙන සිටීමට විශාල පිරිසක් සහය දැක්වූ බව ඉන්දික රොෂාන් පැවසුවේ ය.

"අඩි 700කට වැඩි ප්‍රපාතයක්. පුළුවන් හැමෝම බැස්සා. හරියට ආලෝකයක්වත් නැතුව තමයි බැස්සේ මේ හැමෝම ලොකු අවදානමක් අරගෙන. පැය බාගෙකට එක්කෙනෙක් වගේ තමයි උඩට ගත්තේ," ඔහු විස්තර කළේ ය.

"එක කඹයක් අල්ලන්න 200ක් විතර එකතු වෙලා හිටියා. ඒ වෙලාවේ තිබුණු තත්ත්වය හැටියට මම ත් කඹයක් අල්ලගෙන හිටියේ."

ආරක්ෂිතව අනතුරට පත්වූවන් ඉහළට ගෙන ඒම සඳහා ඒ මොහොතේ පැමිණ සිටි පිරිස් ක්‍රියාකළ ආකාරය ඔහු විස්තර කළේ ය.

"ඒ කඹ දිගේ තමයි පහළට ගිය අය ගිහිල්ලා බේරගත්ත අය උඩට ගෙනාවේ. ලොකු බරක් තිබුණා.ගොඩක් අය ඒ කඹේ එල්ලිලා හිටියේ. එතකොට ඒ එක කඹයක් මිනිස්සු 200ක් 300ක් විතර අල්ලාගෙන හිටියා."

"අනතුර වුණා කියලා සමාජ මාධ්‍යයේ ලොකු ප්‍රචාරයක් ගියා. ඒක දැනගත්ත ගමන් ම විවිධ ප්‍රදේශවලින් මිනිස්සු ඇවිල්ලා හිටියා උදව් කරන්න."

"මේ හැමෝම එකිනෙකාට අඳුරන්නේ නැති අය. ගමේ කොල්ලෝ, රස්සාවලට ගිහින් එන මිනිස්සු, ඒ පාර භාවිතා කරලා වාහනවලින් වෙන ගමන් යමින් හිටපු අය හැමෝම මේ වැඩේට සහයෝගය දුන්නා."

"පුළුපුළුවන් හැමෝම තමන්ට පුළුවන් විදිහට උදව් කළා. වතුර බෝතලේ ඉඳන් කඹේ එල්ලිලා ඉන්න එක වෙනකන් උදව් කළා," ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.