ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොත්මලේ බස් අනතුර: 'මට පළවෙනි කෝල් එක ආවේ උදේ 4.54ට'
- Author, බීබීසී සිංහල
රම්බොඩ, ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් ඊයේ (මැයි 11 වැනිදා) සිදුවූ අනතුර හේතුවෙන් පුද්ගලයින් 22 දෙනෙකු ජිවිතක්ෂයට පත්විය.
මෙම අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් 52දෙදෙනෙකු මහනුවර, ගම්පොළ, නාවලපිටිය, පේරාදෙණිය ඇතුළු රෝහල් 05ක අද (මැයි 12) වන විටත් ප්‍රතිකාර ලබමින් සිටින බව නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා බීබීසී සිංහල සේවයේ ප්‍රාදේශීය වාර්තාකරුට තහවුරු කර ඇත.
මේවනවිට වාර්තා වන පරිදි මෙම අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ මගීන් 75 දෙනෙකුට අධික පිරිසක් ගමන් කරමින් සිට තිබේ.
මෙම අනතුර සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සිදුකළ කරුණු සොයා බැලීමකදී පොලිසිය පැවසුවේ රම්බඩඇල්ල ප්‍රදේශයේ චෙන්කල්අඩි - පේරාදෙණිය මාර්ගයේ කිලෝමීටර් 42-43 කණුව අතර පිහිටි වංගුව අසලදී මෙම අනතුර සිදුව ඇති බවයි.
'පළවෙනි කෝල් එක ආවේ උදේ 4.54ට'
බීබීසී සිංහල වෙත අදහස් දැක්වූ කොත්මලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වජිර රත්නායක කියා සිටියේ මෙම අනතුර සම්බන්ධයෙන් තමන්ට දැන ගන්නට ලැබුණේ අලුයම 4.54ට පමණ බවයි.
''මේ අනතුර ගැන මට පළවෙනි කෝල් එක ආවේ උදේ 4.54ට. මේ අනතුර සිදු වෙච්ච තැන ඉන්න ගෙදරක කාන්තාවක් තමයි ඒ ඇමතුම දුන්නේ. ඒ එක්කම 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයෙනුත් මට ඇමතුමක් ආවා මේ අනතුර ගැන.''
''අපිට මේ අනතුර සිදුවෙච්ච තැනට යන්න මිනිත්තු 10-15ක් වගේ කාලයක් ගියා. උදේ 5.10 වගේ වෙද්දී අපි එතනට යද්දී ගමේ මිනිස්සු එකතු වෙලා හිටියා.''
''ඒ ගියපු වෙලාවේ ඉදලා ගමේ අයත් එක්ක අනතුරට පත්වුණු අයව රෝහල් ගත කරන්න වගේම හිර වෙලා හිටිය අය මුදවා ගන්න අවශ්‍ය කටයුතු සිදුකළා.'' යනුවෙන් කොත්මලේ පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේය.
'උදේ 5ට පළමු රෝගියා ගෙනාවේ'
මේ අතර කොත්මලේ රෝහලේ ස්ථාන භාර නිලධාරී වෛද්‍ය එච්.එස්. වීරතුංග බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේ රම්බොඩ අනතුරෙන් තුවාල ලැබූ පළමු රෝගියා රෝහලට රැගෙන ආවේ අලුයම 5.00ට පමණ බවයි.
''අපේ රෝහලට පළවෙනි රෝගියා අරන් එද්දී උදේ 5.00 වෙලා තිබුණා. ඒ වෙලාවේ රෝහලේ කාර්ය භාර වෛද්‍යවරයා මුලින්ම ඒ රෝගියා පරික්ෂා කරලා බලලා තිබුණා. මම රෝහලට ඇවිල්ලා රෝගීන්ව පරික්ෂා කරන්න පටන් ගත්තා.''
''මේ අනතුරෙන් තුවාල ලබලා කොත්මලේ රෝහලට ඇතුළත් කරලා හිටිය සියලුම දෙනා අද වෙද්දී ටිකට් කපා ගෙන රෝහලෙන් පිටව ගිහින් ඉන්නේ.'' යනුවෙන් වෛද්‍යවරයා තහවුරු කළේය.
මෙම අනතුර සිදුවූ ස්ථානයේ සිට කොත්මලේ පොලිසිය සහ රෝහල පිහිටා ඇත්තේ කිලෝමීටර් 05 කට අඩු දුරකින් වේ.
'බස් එකේ මගීන් හිටගෙනත් හිටියා'
අනතුරට පත්වූ බස් රථය කතරගම සිට රාත්‍රී 10.00 පසුවී ගමන් අරඹා තිබු අතර බස් රථයේ ගමන් කළ කෑගල්ලේ පදිංචි නිස්සංක උදය කුමාර කියා සිටියේ බස් රථය තුළ සිටගෙන ද මගීන් සිටි බවයි.
''මම යි වැඩ කරන ආයතනයේ ප්‍රධානිය යි කතරගම බැංකුවක ටයිල් වැඩක් කරනවා අපි ගමේ එන්න කතරගමින් රෑ දහයට බස් එකට නැග්ගා. බස් එකේ සීට් සම්පූර්ණ වෙලා හිටගෙනත් කට්ටිය හිටියා. රම්බොඩ දී තමයි අනතුර වුණේ.'' යනුවෙන් ඔහු අනතුර පිළිබඳ පැවසුවේය.
'පාන්දර හින්දා කවුරුත් එතැන හිටියේ නැහැ'
කතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය වෙමින් තිබූ අනතුරට පත්වූ බස් රථයේ සිටි වැල්ලවායේ පදිංචි ඉසාර මධුසංක බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් තමන් මුහුණ දුන් අත්දැකීම මෙලෙස විස්තර කළේය.
''මගේ ගම වැල්ලවායේ මම කුරුණෑගල ආයතනයක ඩිප්ලෝමාවක් කරනවා. මම මේ බස් එකේ ආවේ පිටිපස්සෙ සීට් එකේ. නින්දේ හිටියේ. එකපාරම කට්ටිය කෑගහන ශබ්දයට ඇහැරුණා. එතකොට මම දැක්කා බස් එක ප්‍රපාතය පැත්තට ඇලවෙනවා. බස් එකේ හිටියේ කට්ටිය කලබල උණා. එකපාර බස් එක රවුම් දෙකක් විතර කැරකිලා පහළට පෙරළුනා.''
''ඒ එක්කම බස් එකේ ලයිට් නිවිලා ගියා. කරුවලේම මට දැනුණා බස් එක තව පහළට පෙරළි පෙරළි යනවා. මට සිහිකල්පනාව තිබුණා. මිනිස්සුන්ගේ මරලතෝනි එක්ක තව තව බස් එක පහලට පෙරළිලා ගියා.''
''බස් එක පහළට පෙරළීගෙන ගියාට පස්සේ මම මගේ ෆෝන් එකේ ලයිට් එක ගහලා බැලුව ම ඇතුලේ හිටිය අය විවිධ දුක් අඳෝනා කියලා කෑගහමින් සිටියේ. එක්කෙනෙක් කියනවා මගේ කකුල නෑ කියලා තව එක්කෙනෙක් අත නෑ කියනවා. මමත් කකුල අතගාලා බැලුවා. ඒවා හොඳට තිබුණ නිසා මම බස් එකේ බඩගාගෙන ඉස්සරහට ඇවිත් එළියට ආවා."
''එළියට ඇවිත් මගේ ඇඟ හැම තැනට ම ටෝච් එක ගහලා බැලුවා ඇඟේ අත් කකුල් සේරම තියෙනවාද කියලා. ඒවා තිබුණු බව මට දැනුණ''
''මම බස් එකේ හිටිය ළමයි දෙන්නකුයි නැන්දා කෙනෙකුයි පාරට අරගෙන ආවා. මම ආයෙත් පහළට ගිහින් තව අයියා කෙනෙකුත් අරන් ආවා. පාන්දර හින්දා කවුරුවත් එතනට ආවේ නැහැ. අනෙක් එක ඒ හරියේ ගෙවල් නෑ පාළුයි. පස්සෙත් මම පහළට ගිහින් බස් එකේ කොන්දොස්තර අයියත් උඩට ගෙනාවා. ඊට පස්සේ කට්ටිය එතනට ඇවිත් අපිව ගම්පොළ රෝහලට අරන් ආවා.'' ඔහු සිය අමිහිරි අත්දැකිම පිළිබඳ එලෙස විස්තර කළේය.
මේ අතර එම බස් රථයේ ගමන් ගත් ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරන නිහාල් ලක්මාල් රණබාහු තමන් මුහුණ දුන් අත්දැකීම පිළිබඳ අප සමඟ බෙදා ගත්තේය.
''මෙවර වෙසක් සතිය නුවරඑළියේ තියෙන නිසා පහන් කූඩු හදන්න මම නුවර එළියට ඇවිත් හිටියේ. වෙනදා මේ බස් එක නුවර එළියට එනකොට 3.45 විතර වෙනවා. අද බස් එක විනාඩි 45ක් විතර පරක්කු වෙලා ආවේ. මම ගෙදර යන්න මේ බස් එකට නැග්ග.''
''සෙනඟ ගොඩක් වැඩි නිසා මම බෑග් එකත් තියාගෙන දොර ගාව හිටගෙන හිටියා. එක පාර බස් එක පැත්තට ඇලවෙලා තත්පර ගානක් ඒ විදිහටම තිබුණා. මිනිස්සු කලබල වුණා. එතකොට බස් එක පහළට පෙරළෙන්න පටන් ගත්තා. රවුම් හතරක් විතර කැරකෙනකොට මට සිහි නැතිවුණා.''
''සිහිය ඇවිත් බලනකොට මගේ එක් අතක් හොල්ලන්නවත් බෑ. මම අනෙක් අතින් බස් එකේ බඩගාගෙන එළියට ආවා. වීල් එකකින් කොත්මලේ රෝහලට ගෙනාවා. එතනින් ගිලන් රථවලින් ගම්පොළ රෝහලට ගෙනාවා.'' ඔහු පැවසුවේය.
'ඒ ඇදවැටෙන මොහොතේ මිනිසුන්ගේ විලාපය මට තාමත් ඇහෙනවා වගේ'
මේ අතර අනතුරට පත්වූ බස් රථයේ ගමන් කළ බව කියන ජනිත් ශ්‍යාමින්ද නම් වූ විශ්වවිද්‍යාල තරුණයෙකු තම ෆේස්බුක් ගිණුමේ තමන් මුහුණ දුන් අත්දැකීම සම්බන්ධයෙන් සටහනක් තබා තිබිණි.
''නුවරඑළිය ටවුම පාස්උනාට පස්සෙ මට නින්ද ගිහින් තිබුණත් අඩනින්දෙන් වගේ බස් එක නුවරඑළිය පහුකරල යන කඳු වල වංගු ගද්දි කියාගන්න බැරි අමුත්තක් දැණුනා.''
''කොහොම උනත් බස් එකේ ගමන පොඩ්ඩක් වෙනස් වී ප්‍රපාතයකට ඇදෙමින් පවතින බව ඇඟට දැනෙද්දිම තමා මට ඇහැරුණේ. එතකොට නිදාගෙන හිටිය ගොඩක් අය ඇහැරලා විලාපදෙන්න පටන් අරන් තිබුණේ. මුලින්ම ඉතා සෙමින් පැද්දෙමින් ප්‍රපාතයට ඇදුනු බස් රථය ඉතාම කුඩා වේලාවක් තුළ පහළට පෙරලෙන්න පටන්ගත්තා.''
''ඒ ඇදවැටෙන මොහොතේ මිනිසුන්ගේ විලාපය මට තාමත් ඇහෙනවා වගේ. ජීවිතය අත් හරිනවා හැර කිසිම විකල්පයක් තිබුණෙ නැහැ. ජීවිතයේ කිසිම කලෙක මුහුණ නොදුන් අතිශය හිස් බවක් විතරයි හිතේ තිබුණේ. කොයි මොහොතේ හෝ බස් එකේ කොටසකින් මගේ ඇඟ පොඩිපට්ටම් වෙන බව විතරක් හිතට දැණුනා. අන්තිමේ බස් රථයත් සමගම පෙරළුණු මම සහ තව ඉතා ම සුළුපිරිසක් පමණක් බසය උඩුයටිකුරු වුවත් දෙපයින් සිටගෙන සිහියෙන් බසය තුළ ඉතිරි වුණා.'' ඔහු එම සටහනේ සඳහන් කර තිබිණි.
'නුවරඑළිය පැත්ත සීතල වුණත් මගේ උණුසුමට ළමයා මට ගුලි වෙලා හිටියා. විනාඩි 45ක් විතර මම එහෙම ඉන්න ඇති'
කොත්මලේ, රම්බොඩ ගැරඬිඇල්ලේදී පෙරළී අනතුරට ලක්වූ ලංගම බස් රථයේ සිටි වයඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවියක් තමාගේ එක් අතක් අනතුර හේතුවෙන් උරහිස අසලින් පැන තිබියදීත් බස් රථයේ අතරමංව සිටි මාස හයක දරුවෙකුට රැකවරණය ලබා දෙමින් සිටි පුවතක් අනාවරණය වේ.
වයඹ විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුවියක වන නිෂානි නාමල් රත්නායක වන ඇය එහි භෝග කළමනාකරණය පිඨයේ අධ්‍යාපනය හදාරයි.
බදුල්ල හිඳගොඩ පදිංචි නිෂානි සිය නිවසට පැමිණි පසු යළි විශ්වවිද්‍යාලයට යාම සඳහා රාත්‍රියේ කතරගමින් පැමිණෙන මෙම බස් රථයේ ගමන් කිරීමට බණ්ඩාරවෙලට පැමිණෙන අතර එම ගමන රාත්‍රී එකයි තිහට ආරම්භ කරන බව ඇය පවසයි.
විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ පවත්වන විභාගය සඳහා පෙනී සිටීමට ඇය නැවත විශ්වවිද්‍යාල වෙත යාම සඳහා මෙලෙස එම බස් රථයෙන් පිටත්ව ගොස් තිබේ.
මෙම සිසුවියගේ මව වන සුරංගි රත්නායක එම සිදුවීම පිළිබඳව මෙලෙස පැවසුවාය.
''මට දුවලා දෙන්නෙක් ඉන්නවා මෙයා ලොකු දුව එයා විශ්වවිද්‍යාලයට යන්න කලින් මහනුවර කුණ්ඩසාලේ කෘෂි තාක්ෂණ විද්‍යාලයට ඇතුල්වෙලා අවුරුදු තුනක් ඉගෙන ගත්තා.''
''ඊට පස්සේ වයඹ විශ්වවිද්‍යාලයට තේරුණා. එයා ඒකේ ඉගෙන ගන්නවා. බස් එක පෙරළුණු දා රාත්‍රී මහත්තයා දුව එක්ක ගියා. බදුල්ලෙන් රාත්‍රි කොළඹ යන බස් එකේ බණ්ඩාරවලට ගිහින් එතනින් කතරගම බස් එකට දුව නගිනවා. එදා බස් එක පරක්කු වෙලා ඇවිත් තියෙන්නේ. දුව බස් එකට දැම්මා ම එයාගේ තව විශ්වවිද්‍යාල යාළුවෙක් වැලිමඩින් නගිනවා. දෙන්නම යන නිසා අපට බයක් තිබුණේ නෑ.''
''මහත්තයා දුව බස් එකට දාලා ආවට පස්සේ අපි නිදා ගත්තා. උදේ හතට විතර මට කෝල් එකක් ආවා කතා කළ අය කීවා දුව ගිය බස් එක අනතුරකට ලක්වෙලා දුවට කරදරයක් නෑ. කලබල නැතිව ගම්පොල රෝහලට යන්න කියලා.''
''දැන් දුව ඉන්නේ කොත්මලේ රෝහලේ අපි තව ටිකකින් එයා ගම්පොළට යවනවා කිව්වා. ඒ සිද්ධියෙන් අපි කලබල වෙන නිසා ඒ කතා කරපු කෙනා ෆෝන් එක දුවටත් දුන්නා. දුව අපට කතා කරලා කිව්වා, අම්මා මට වෙන තුවාල නෑ අත තමයි ප්‍රශ්නයකට තියෙන්නේ කියලා. අපි ඉක්මනට බදුල්ලෙන් නුවර බස් එකේ ගිහින් ගම්පොළ රෝහලට ආවා. දැන් දුව ළඟ තමයි මම ඉන්නේ.''
නිෂානි රත්නායක එම බිහිසුණු සිද්ධිය පිළිබඳ මෙලෙස විස්තර කලාය.
''මම බස් එකේ මැද හරියේ වාඩිවෙලා හිටියේ. එක පාරම බස් එක ඇලවෙලා පෙරලෙන්න පටන් ගත්තා. රවුම් දෙකක් විතර යන කොට මම විසිවෙලා ගියා. ඊට පස්සේ යකඩ ගොඩකට හිර වුණා. මගේ ඔලුව වදියි කියලා මම ගුලි වෙලා ඔළුව පහළට හරවාගෙන හිටියේ.''
''බස් එක පෙරළිලා නතර වුණාට පස්සේ මම නැගිටින්න උත්සාහ කළා. මගේ ඇඟම හිරි වැටිලා තිබුණේ අත උස්සන්න බැරි වුණා මගේ දකුණු අත නිකන් පැද්දෙනවා වගේ දැනුණා මම වම් අත තියලා බඩ ගාගෙන බස් එකේ ඉස්සරහට එනකොට බස් එකේ තහඩුවක් ගැලවිලා තියෙන තැනක් දැක්කා එතනින් මම එළියට ආවා.''
''එතකොට බස් එකේ හිටිය කෙනෙක් පොඩි ළමයෙක් උස්සාගෙන ආවා. ළමයගේ අයිතිකාරයෙක් නෑ මේ ළමයා වඩා ගන්න කියලා එයා කිව්වා. එතකොට මම කිව්වා මගේ අත ගැලවිලා අත උස්සන්න බෑ කියලා. ළමයා ගැන මට හරි දුකක් ආවා.''
''මම බිම වාඩිවුණා. ළමයා උස්සාගෙන හිටි කෙනා දරුවා මගේ උකුලේ තිබ්බා. මම වම් අතින් ඒ ළමයා තුරුලු කරගත්තා. ටික ටික එළිය වැටීගෙන ආවා. මම වේදනාව පිටින් ළමයාව අඬන්න නොදී තුරුළු කර ගත්තා. නුවරඑළිය පැත්ත සීතල වුණත් මගේ උණුසුමට ළමයා මට ගුලි වෙලා හිටියා. විනාඩි 45ක් විතර මම එහෙම ඉන්න ඇති.''
''පොලිසිය හා අහළ පහළ පිරිස් ඇවිත් අපිව පාරට අරන් ගියා. මමයි ළමය යි කොත්මලේ රෝහලට ගෙනාවා. මම කීවා මේ දරුවාගේ අම්මා හොයලා දෙන්න කියලා ඒ අය දරුවා ගත්තා පස්සෙ මමත් තව කීප දෙනෙකුයි ඇම්බියුලන්ස්වලින් ගම්පොල රෝහලට ගෙනාවා.'' ඇය පැවසුවාය.
'අවුරුදු 15 කට වැඩිය පළපුරුද්දක් තියෙන රියැදුරෙක්'
කතරගම ඩිපෝ අධිකාරී එස්.ඒ.ඩි. තුසිත චාමින්ද බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසුවේ අනතුරට පත්වූ ලංගම බස් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ 'රියැදුරු මහතා වසර 15 කට ආසන්න කාලයක් සේවය කළ අයෙකු' බවයි.
''මේ බස් එකට කතරගම ඉදලා කුරුණෑගල එන්නේ. ඒ වැල්ලවාය, බෙරගල, හපුතලේ, බණ්ඩාරවෙල, වැලිමඩ, නුවරඑළිය, ගම්පොළ, නුවර ඉදලා කුරුණෑගලට එන්නේ. මේ රූට් එකට යන්න පැය 9යි මිනිත්තු 30ක කාලයක් යනවා.''
''ඒ වගේම මේ බස් එකේ රියැදුරු විදිහට කටයුතු කරපු රියැදුරුවරයා අවුරුදු 15ක සේවයක් තියෙන කෙනෙක්. ඒ වගේම ඒ කෙනා මේ කතරගම-කුරුණෑගල මාර්ගයේ අවුරුදු 04ක ඉදලා වැඩ කරන කෙනෙක්.''
''බස් එකේ අනතුරට හේතුව අපිට තවමත් කියන්න බැහැ. ඒක ගැන මෝටර් රථ පරීක්ෂකවරයා බස් එක පරික්ෂා කරලා බලලා වාර්තාවක් දෙනකම් අපි බලන් ඉන්නවා.' ඔහු පැවසුවේය.
' බස් එක අධික වේගයෙන් ඇවිල්ලා නැහැ'
මෙම අනතුර සිදුවීමෙන් පසුව එම ස්ථානයට පැමිණි ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මාධ්‍ය වෙත කියා සිටියේ අනතුරට පත්වූ බස් රථය වේගයෙන් පැමිණ නැති බවයි.
''අපිට දැන ගන්න ලැබෙන විදිහට බස් එක අධික වේගයෙන් ධාවනය කරලා නැහැ. සාමාන්‍ය වේගයෙන් ධාවනය වෙලා තියෙන්න. පැයට කිලෝමීටර් 20-30ත් අතර වේගයෙන් බස් එක ඇවිල්ල තියෙන්නේ.''
''ඒත් එක්කම බස් එක ඉස්සරහෙන් ලොකු ශබ්දයක් ඇවිල්ලා තියෙනවා කියනවා. ඒත් එක්කම ශබ්දයත් එක්ක බස් එක ඇල වෙලා තියෙනවා කියලා කියනවා කණ්ඩිය පැත්තට. බස් එකේ හිටපු අය කලබල වීමත් එක්ක බස් එක පෙරළිලා තියෙනවා කියලයි දැන ගන්න ලැබෙන්නේ.''
''මේ වගේ අනතුරු නොවෙන්න අපි බලන්න ඕන මොකක් කරන්න හැකිද කියලා. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න, අවශ්‍ය කටයුතු කරන්න නිලධාරීන් ඒ තැන් වලට ගිහිල්ලා ඒ පරීක්ෂණ කටයුතු ආරම්භ කරලා තියෙනවා.'' ඔහු පැහැදිළි කළේය.
මූලික ස්ථානීය පරීක්ෂණයෙන් හෙළි වී ඇති කරුණු
මේ වන විට නුවරඑළිය ප්‍රධාන මෝටර් රථ පරීක්ෂකවරයා වන ජාලිය බණ්ඩාර විසින් අනතුර සිදු වූ ස්ථානයේ මූලික ස්ථානීය පරීක්ෂණය සිදුකර තිබේ. එහිදී අනතුරට පෙර බස්රථයේ තිරිංග භාවිත කළ බවට සළකුණු දක්නට ලැබී නැති අතර එහිදී දුනුකොල කැඩී යාමක් හෝ වෙනත් කාර්මික දෝෂයක් නිසා මේ අනතුර සිදු වී ඇති බවට හඳුනාගෙන නැත.
ඒ අනුව මේ පිළිබඳව ඉදිරි විමර්ශන සඳහා කමිටුවක් පත්කර තිබේ.
කතරගම සිට කුරුණෑගල දක්වා 300Km ආසන්න දුරක් ගෙවා යන මේ බස් රථය රියදුරු පැය 9ක් පමණ ධාවනය කළ යුතු හෙයින් රියැදුරන්ට පැය 4.5ක ධාවන කාලයෙන් පසු ලැබෙන විවේක කාලය මේ රියැදුරාට ලැබුණේ ද යන්න ගැන සහ රියදුරු විඩාවට පත් වී සිටියේ ද යන්න ගැන ද විමර්ශනවල අවධානය යොමුව ඇත.