ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බදුල්ල බස් අනතුර: සරසවි සිසුවියන් දෙදෙනෙකු මියගිය අනතුර ගැන මෙතෙක් දන්නා තොරතුරු
බදුල්ල, දුන්හිඳ ප්‍රදේශයේදී බස් රථයක් පෙරළීමෙන් අද (නොවැ: 01) පෙරවරුවේ සිදුවූ අනතුරෙන් සූරියවැව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුවියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලීන් හේරත් බීබීසී සිංහල සේවය වෙත පැවසුවේ, ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවක නිරත වෙමින් සිටි සිසුන් පිරිසක් රැගත් එම බස් රථය පෙරවරු 8.05ට පමණ අනතුරට ලක්ව ඇති බව ය.
අනතුර සිදුවන අවස්ථාවේදී සූරියවැව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් ඇතුළු පුද්ගලයින් 41 දෙනෙකු බස් රථයේ සිට ඇත.
අනතුරට හේතුව ගැන පොලිසියෙන් අනාවරණයක්
බදුල්ල - මහියංගණය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ ප්‍රවේශ මාර්ගයට නුදුරින් වූ අඹගහඔය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, බස් රථයේ රියැදුරාට බස් රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් වංගුවක් අසලදී බසය පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුවගෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ඔහු පැවසුවේ, බස් රථය පැදවූ රියැදුරුගෙන් මෙතෙක් ප්‍රකාශයක් ලබාගෙන නොමැති බව ය.
අනතුරෙන් මියගොස් ඇත්තේ, 23 හැවිරිදි නිවිතිගල සහ කුරුණෑගල ප්‍රදේශවල පදිංචි උපාධි අපේක්ෂිකාවවන් දෙදෙනෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
'දැඩි සත්කාර ඒකකයේ 6 දෙනෙක්'
බස් රථ අනතුරෙන් තුවාල ලැබූ පිරිස ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුනේ බදුල්ල ශික්ෂණ රෝහලට ය.
බීබීසී සිංහල සේවය කළ විමසීමකදී බදුල්ල ශික්ෂණ රෝහලේ, හදිසි වෛද්‍ය ප්‍රතිකාර අංශයේ වෛද්‍ය පාලිත රාජපක්ෂ පැවසුවේ, මේ වන විට අනතුරෙන් තුවාල ලැවූ පුද්ගලයින් 6 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව ය.
"ඔක්කොම තුවාල ලැබූ අය 41 දෙනෙක් රෝහලට ගෙනාවා. ඒ ගේන කොට දෙන්නෙක් මිය ගිහින් තිබුණේ.''
''ගෙනාව තුවාලකරුවන්ගෙන් 6 දෙනෙක් මේ වෙනකොට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. ඔවුන්ට අවශ්‍ය ශල්‍යකර්ම ඇතුළු අවශ්‍ය ප්‍රතිකාර සියල්ල ම කරලා තියෙන්නේ.''
''ඒ වගේ ම අනෙක් තුවාලකරුවන් රෝහලේ සාමාන්‍ය වාට්ටුවල ප්‍රතිකාර ලබමින් ඉන්නවා.''
''ඇතුළත් කරපු රෝගීන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම යුද්ධ හමුදාවෙන් සිදුකරනවා.''
''ඒ වගේ ම තුවාල ලබපු අයගෙන් පිරිසක් කොළඹට රැගෙන යන්න සූදානම් කරන්න බලනවා. හැබැයි ඒක බොහොම ප්‍රවේශමෙන් කරන්න ඕන දෙයක්," වෛද්‍ය පාලිත රාජපක්ෂ පැවසීය.
තුවාල ලැබූවන් ගුවනින් කොළඹට රැගෙන ඒමට උපදෙස්
මේ අතර, අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹට රැගෙන ඒමට අවශ්‍ය වුවහොත් ඊට කටයුතු සූදානම් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලින් හේරත් බීබීසී සිංහල සේවය වෙත පැවසුවේ ය.
"ආරක්ෂක ලේකම්වරයා උපදෙස් ලබා දුන්නා ඇක්සිඩන්ට් එකෙන් තුවාල ලබපු අයව කොළඹට එයාර් ලිෆ්ට් කරන්න අවශ්‍ය නම් ඒකට හෙලිකොප්ටර් එකක් ලැස්ති කරන්න කියලා. ඒ නියෝගයට අනුව ගුවන් හමුදාව දැනටමත් අවශ්‍ය කටයුතු යොදලා තිබෙනවා," ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.